ලංකාවේ ගුවන් විදුලි නාට්‍ය කලාවේ ඉතිහාසය

 ඡායාරූපය:

ලංකාවේ ගුවන් විදුලි නාට්‍ය කලාවේ ඉතිහාසය

රේඩියෝ නාට්‍ය ලොව බිහිවූ අටවන කලාව ලෙස සැලකේ. ශබ්දය ආගමනයෙන් පසු ගුවන් විදුලි නාට්‍යය යනු අත්හැර දැමූ පතලක් වශයෙන් ඔර්සන් වෙල්ස් ප්‍රකාශ කර ඇත. රේඩියෝ නාට්‍යය ගත් කළ එතුළ සාහිත්‍යමය බවක් ගොඩනැඟී පවතී. ඒ අනුව රේඩියෝ නාට්‍යය යනු කෙටි කතාව, නව කතාවෙන් ඔබ්බට සාහිත්‍යයන්හි ඇති වූ නව මාධ්‍යයමය දිගුවකි. මේවා රේඩියෝ ප්ලේ, රේඩියෝ ඩ‍්‍රාමා, ඕඩියෝ තියටර්, ඉන්විසිබල් ප්ලේ ආදී වචනවලින්ද හදුන්වන ලදි. රේඩියෝව මඟින් ජනතාවට තොරතුරු දැන ගැනීම මෙන්ම ඊට සමගාමීව එහි විකාශය වූ ප්‍රධාන කලාංගයක් වශයෙන් ගුවන් විදුලි නාට්‍ය පෙන්වා දිය හැකි අතර එය ජනතාව ආස්වාදනය කළේ ඒ වටා බණ අසන්නාක් සේ ඒකරාශී වීමෙන් බව එවකට ගුවන් විදුලිය සම්බන්ධව කටයුතු කළ අයගේ අදහස වන්නේය. විශේෂයෙන්ම 1987 කාල වකවානුවේදී රූපවාහිනී ටෙලි නාට්‍යවලට වඩා ඉහළ ශ්‍රාවක ජනප්‍රියත්වයක් මේ ගුවන් විදුලි නාට්‍යවලට හිමි වීමෙන්ම එය පැහැදිලි කරගත හැකිය.

එසේ වුවත් ලංකාවේ ගුවන් විදුලි නාට්‍යයේ ආරම්භය පිළිබඳව නිශ්චිත දිනයක් නම් කිරීම අපහසු වේ. නමුත් 1927 මුල් යුගයේදී බ්‍රිතාන්‍ය ගුවන් විදුලි ප්‍රචාරක ස්ථානයෙන් කෙටි නාට්‍ය ලබා ගෙන ඒවා මෙරට ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන ලදි. ජේ.එස්.එම්. පැටර්සන්ගේ මෙහෙයවීමෙන් කොළඹ ආධුනික නාට්‍ය සංගමය මඟින් ප්‍රථම වරට මෙරට ගුවන් විදුලි නාට්‍යයක් එසේ නිෂ්පාදනය කළ බවට මතයක් ඇති අතර එය ‘වයර්ලස් ඩ්‍රාමා’ නමින් හැදින්වීය.

එම ගුවන් විදුලි නාට්‍ය සඳහා දොස්තර ජෝර්ෂප් පියර්සන්, දොස්තර එල්. නිකල්සන්, සර් රොනල්ඩ් රෝස් හා එෆ්.ඕ. බ‍්‍රයන් එලියන් යන අය මේ සඳහා හඬ දායකත්වය ලබා දී ඇත. එවකට ලංකාව එංගලන්තයේ යටත් විජිතයක්ව පැවැති අතර සියල්ල ඉංග්‍රීසී මාධ්‍යයෙන් සිදු වෙද්දී මෙම ගුවන් විදුලි නාට්‍යයද ඉංග්‍රීසි බසින්ම ප්‍රචාරය වී තිබේ. මේ යුගය තුළ ගුවන් විදුලියේ නාට්‍යවලට ප්‍රමුඛතාවක් හිමිව තිබූ බව 1932 වන විට පිහිටුවූ ගුවන් විදුලි උපදේශක මණ්ඩලයට නාට්‍ය අංශයද නියෝජනය කර තිබීමෙන් පැහැදිළිය.

1939 මාර්තු 29 වැනි දින ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ලියන ලද ‘සමාජ සේවකයා’ ගුවන් විදුලි නාට්‍යය සජීවී ලෙස ප්‍රචාරය විය. මෙය මුදලිඳු ඊ.ඒ. අබේසේකර මහතා විසින් නිෂ්පාදනය කරනු ලැබ ඇත. තවද ජේ.ආර්. ජයවර්ධන හා එලීනා ජයවර්ධන මෙහි ප්‍රධාන චරිත ලෙස දායකත්වය ලබා දී තිබේ. 1948 නිදහස ලැබීමත් සමඟම ප්‍රචාරය කළ විශේෂ වැඩසටහන් අතර ගුවන් විදුලි නාට්‍යයටද මූලිකත්වයක් ලබා දී ඇත. නිදසුන් ලෙස පෙබරවාරි 12 රාත්‍රී 7.30ට සී.ඩී.එස්. කරුණාජීවගේ ‘ශ්‍රී වික්‍රම රාජසිංහ”, පෙබරවාරි 13 රාත්‍රී 8.15ට සී.ඒ. ෆොන්සේකාගේ ‘විජය’, පෙබරවාරි 21 රාත්‍රී 7.30ට යූ.ඒ.එස්. පෙරේරාගේ ‘පෘතුගීසීන්ගේ පැමිණීම’ ආදිය දැක්වීමට පුළුවන.

ලංකාව තුළ රේඩියෝ නාට්‍යය සංස්කෘතියක් හිමි වන්නේ 1925 තරම් ඈත අතීතයක සිටය. ආරම්භක යුගයේ නාට්‍ය බහුතරයක් විකාශය වූයේ සජීවී ආකාරයෙන් වූ අතර ඒවායෙහි රඟපෑම කළේ විනෝදාස්වාදන මාර්ගයක් වශයෙනි. එනිසාම ගුවන් විදුලිය මඟින් නාට්‍යය සඳහා ගෙවීම කළේ එහි රචකයාට පමණි. ඒවායින් බොහොමයක් නිෂ්පාදනය කළේ ඊක්‍ආයතනය නිෂ්පාදනය කළ ඉංග්‍රීසි නාට්‍යවල සිංහල අනුවාදන වශයෙනි. උදාහරණ ලෙස, නිෂ්පාදකයාගේ නම, ඉංග්‍රීසි නාට්‍යයේ නම, සිංහල අනුවාදන නාට්‍යයේ නම, ජෝර්ජ් බර්නාඩ් ෂෝ ‘වෙද හටන’, ගී ද මෝපසාන් ‘දියමන්ති මාලය’, ඇනටෝල් ෆ්‍රොන්ස් ‘ගොළු බිරිඳ’ ආදිය දැක්විය හැකිය.

ටික කලක් ගත වන විට 1940 දශකයේ ගුවන් විදුලි ලිපිකරුවකු වශයෙන් සේවය කළ ධර්ම ශ්‍රී මුණසිංහ එම නාට්‍ය විවේචනය කරමින් සිංහල තේමාවන් යටතේ නාට්‍යය කළ යුතු බවට තර්ක කරමින් ‘ඇහැටුල්ලා’ නම් නාට්‍යය කර තම නාට්‍ය දිවිය ආරම්භ කළේය. පසුකාලීනව මෙරට ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ මුවන්පැලැස්ස, ගජමුතු, මොණරතැන්න, මේධා, ආදරණීය ජුලියස් හා මුදලිමංකඩ ආදී නාට්‍ය රැසක් නිර්මාණය කරමින් මෙරට ගුවන් විදුලි නාට්‍ය කලාවේ පදනම ශක්තිමත් කරනු ලැබීය.

එදිරිවීර සරච්චන්ද්‍ර, ඒ.වී. ගුණරත්න, ටී.ද.එස්. ලීලානන්ද, එස්. පියසේන, ආනන්ද සිරිසේන, සුනිල් විජේසිරිවර්ධන, ඇරුව්වල නන්දිමිත්‍ර, සුනන්ද්‍ර මහේන්ද්‍ර, දයාණන්ද ගුණවර්ධන ආදීන් මෙන්ම සුමිත්‍රා රාහුබද්ධ, කපිල කුමාර කාලිංග, ජයලාල් රෝහණ, සෞම්‍ය ලියනගේ, පියල් කාරියවසම් ආදී දෙවැනි පරපුරේ අයද මෙම කලාවේ පෝෂණයට දැක්වූ දායකත්වය අතිමහත්ය.

ක්‍රම ක්‍රමයෙන් ගුවන් විදුලි නාට්‍යය කලාවත් සංකීර්ණ වන්නට විය. මුල් කාලයේ විනාඩි 15කට, පැය භාගයකට සීමා වූ මෙම නාට්‍යයවල ගුවන් කාලය සමහර අවස්ථාවලදී පැය දක්වා දීර්ඝ විය. එමෙන්ම නාට්‍ය අතර වර්ගීකරණයක්ද ඇති විය. ඒ අනුව,

1. ඒකාංගික නාට්‍ය

2. මාලා නාට්‍ය

වශයෙන් වර්ග කරන ලදි. සිංහලෙන් සකසන ලද ප්‍රථම ගුවන් විදුලි මාලා නාටකය ඇන්ටන් චෙකොෆ්ගේ කතාවක් ඇසුරින් සැකසූ ‘වලහා’ නමැති ගුවන් විදුලි මාලා නාටකයයි.

ලාංකේය ගුවන් විදුලියට ආධුනික යෞවනයන් සම්බන්ධ කර ගැනීමත් ගුවන් විදුලි නාට්‍ය කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයකි. නිදසුනක් ලෙස, 1950දී සරත්චන්ද්‍ර විසින් අගෝස්තු මස අරඹන ලද යෞවන සමාජ දැක්වීමට පුළුවන. ඒ අනුව සරත්චන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් පී. වැලිකල, ඒ.පී. ගුණරත්න, වික්ටර් මිගෙල් වැනි ප්‍රකට ශිල්පීන් හා ශිල්පිනියන් රැසක් ගුවන් විදුලියට හඳුන්වා දීමේ ගෞරවය හිමි වේ. තවද නාට්‍යවලට ස්වභාවික දෙබස් භාවිතය හඳුන්වා දුන්නේද සරත්චන්ද්‍ර මහතාය.

1950 ගණන් වන විට ගුවන් විදුලි නාට්‍ය සඳහා එකම ශිල්පීන් කණ්ඩායමක් යොදා ගැනීම හා දක්ෂ බාහිර ශිල්පීන් සම්බන්ධ කර නොගැනීම මේ තුළ පවත්නා ප්‍රබල දුර්වලතාවයක් වශයෙන් 1953 වීරසූරිය කොමිසම මඟින් පෙන්වා දෙන ලදි. පසුව එවන් දුර්වලතාද මඟහැර පොදු ශ්‍රාවකයා අතර තව තවත් මේ කලා අංගය වර්ධනය කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

මේ වකවානුව තුළ හඳුනා ගත හැකි තවත් ලක්ෂණයක් වන්නේ, එවකට සමාජයේ ජනප්‍රියත්වයට පත්ව තිබූ සිංහල නවකතා රැසක්ම ගුවන් විදුලි නාට්‍ය වශයෙන් නැවත ප්‍රති නිර්මාණය කිරීමයි. ඒ සඳහා නිදසුන් පහත පරිදි දැක්විය හැකිය.

• 1951.02.18 මාර්ටින් වික්‍රමසිංහගේ රෝහිණී නව කතාව රෝහීණි නමින්ම කොටස් වශයෙන් විකාශනය විය.

• 1952.06.20 ලෙනාඩ් වුල්ෆ්ගේ (The Village in the Jungle) බැද්දේගම ගුවන් විදුලි නාට්‍යය (කොටස් 10කින් සමන්විත විය)

• 1952.08.29 මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය ගුවන් විදුලි නාට්‍යය (පී.දේවසිරි පෙරේරා විසින් සැකසූ මෙය 1952.10.10 දක්වා ප්‍රචාරය විය.)

මෙසේ ජනප්‍රිය නවකතා ගුවන් විදුලි නාට්‍ය වශයෙන් ඉදිරිපත් වීමත් සමගම මේවා කෙරේ තව තවත් ශ්‍රාවක පිරිස ඇදී එන්නට පටන්ගෙන තිබේ. 50 දශකය තුළ සමාජ නාට්‍ය මෙන්ම ආගමික හා ඓතිහාසික නාට්‍යයත් ප්‍රචාරය විය. මීට අමතරව විකට නාට්‍ය වැඩසටහන්ද වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇත. එසේ ප්‍රකට වූ විකට නාට්‍ය ශිල්පීන් අතර ඒ.ඩී. පෙරේරා, එඩී ජයමාන්න, හැරියට් සුරවීර ආදීන් කැපී පෙනේ.

ලංකාවේ ගුවන් විදුලි නාට්‍යයේ වර්ධනීය අවස්ථාවක් වශයෙන් “රේඩියෝ රගමඩල” හෙවත් “ගුවන් විදුලි රඟමඩල” ද කැපී පෙනෙන්නකි. සතිපතා විනාඩි 45ක් වූ වැඩසටහන් විනාඩි 30කට සීමා විය. මුල්කාලීනව ගුවන් විදුලි නාට්‍ය ශ්‍රාවකයන් පිළිබඳව ගුවන් විදුලි සංස්ථාවේ ශ්‍රවණ පර්යේෂණ අංශය කළ ගුවන් විදුලි නාට්‍ය පිළිබද දීපව්‍යාප්ත සමීක්ෂණයද මෙහිලා වැදගත් වේ. ඒ තුළ,

1 ස්ථානය - සුගන්ධිකා,

2 ස්ථානය - ගුවන් විදුලි රඟමඩල,

3 ස්ථානය - ගජමුතු,

4 ස්ථානය - මුවන්පැලැස්ස,

5 ස්ථානය - සේසතයි කුමරියයි,

6 ස්ථානය - මේධා

7 ස්ථානය - ළමා රංග පීඨය,

8 ස්ථානය - රක්ෂණ රංග,

9ස්ථානය - සඳගලතැන්න පිළිවෙළින් පාඨක රසිකත්වය ලබා ඇත.

මෙහිදී රූපවාහිනී නාට්‍යවලට වඩා ගුවන් විදුලි නාට්‍ය ප්‍රිය කළ අය වැඩි වූ අතර ඔවුන් සමකාලීන නාට්‍ය රචකයන් උසස් නිර්මාණ බිහි කරන බවට 57%ක ප්‍රමාණයක් අදහස් ප්‍රකාශ කර ඇත. මින් එකල ජනතාව අතර ගුවන් විදුලි නාට්‍ය ජනප්‍රියව පැවැති බවට සනාථ කර ගත හැකි සාධකයකි.

එමෙන්ම ගුවන් විදුලි නාට්‍ය කලාවේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් වනුයේ 1953 අප්‍රේල් මස ඇරඹුණු ‘තරංගනී’ සඟරාව හා ඊට පෙර සිට ප්‍රකාශයට පත්වෙමින් පැවැති ගුවන් විදුලි සඟරාවන්ය. මේවා හරහා ගුවන් විදුලියේ ප්‍රචාරය කෙරෙන නාට්‍යවල පිටපත් පළකිරීම හා ඒ සම්බන්ධ විචාර හා ප්‍රතිචාර සම්භාවනාවට ලක් කිරීමද දැක ගත හැක. ගුවන් විදුලි නාට්‍ය කලාවේ විෂය ක්ෂේත්‍රය ක්‍රමයෙන් පුළුල් වීමත් සමඟ මෙය සංවර්ධන තේමාව සඳහාත් යොදා ගන්නට විය. එහිලා, දියනිල්ලේ රාල, කිවුලේකුඹුර, වෙලේගෙදර, කුඹුරේගම, මුවන් පැලස්ස, පහන්සිළුව ආදී නාට්‍ය නිදසුන් වේ. ඒවා තුළින් මූලිකවම සංස්කෘතිය, සදාචාරය හා ආර්ථික සංවර්ධනය යනාදිය තේවා කොටගෙන ඇති බව අධ්‍යයනයේදී හඳුනාගත හැකි විය.

මෙහිලා ගුවන් විදුලි ළමා නාට්‍ය ප්‍රචාරය වීම ආරම්භ වීමද කැපී පෙනෙන අවස්ථාවකි. ඒ අනුව 1951 අපේ‍්‍රල් 9 වැනි දින ‘ළමා උයන’ නමින් ප්‍රථම ළමා ගුවන් විදුලි නාට්‍ය ඇරඹුණු අතර එය 1953 වන විට ‘ළමා පිටිය’ බවට පත් විය. මෙම ගුවන් විදුලි ළමා නාට්‍යය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා විශාල පිරිසක් තම දායකත්වය දැරූ අතර ආනන්ද සරත් විමලවීර, අයලීන් සරත්වන්ද්‍ර, වික්ටර් මිගෙල්, ආනන්ද සිරිසේන, ඩබ්.ඒ. සෝමදාස ආදීන් කැපී පෙනේ.

බුද්ධිකා buddhibandara.blogspot ඇසුරනි

News Order: 
4
මාතෘකා