විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි ලෝකය ඔවුන්ට මිතුරු තැනක් කරමු!

 ඡායාරූපය:

විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි ලෝකය ඔවුන්ට මිතුරු තැනක් කරමු!

ලෝක ජනගහනය සලකා බැලීමේදී එයින් සැලකිය යුතු පිරිසක් කුමන හෝ සංකූලතාවකට ගොදුරු වීම හේතුවෙන් 'විශේෂ අවශ්‍යතා සහිත වූ' තත්ත්වයට පත්ව තිබෙනු හඳුනාගත හැකිය. එම ප්‍රජාව වෙනුවෙන් වෙන් කරන ලද ජාත්‍යන්තර දිනය සෑම වසරකම දෙසැම්බර් මස 03 වැනිදාට යෙදී තිබේ.

උපතේදී, සමාජ ක්‍රියාකාරකම්වලදී හෝ වැඩිහිටිභාවයත් සමඟ ඇති වන විවිධ සංකූලතාවන් හේතුවෙන් විශේෂ අවශ්‍යතා සහිත තත්ත්වයට පත් වූවන් වෙනුවෙන් 1992 වසරේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහය මෙම දිනය සමරනු ලැබේ. ඒ වෙනුවෙන් ලොව බොහෝ රටවල විවිධාකාර වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මෙහිදී එවැනි පිරිස් වෙනුවෙන් විවිධාකාර සමාජ ආරක්ෂණ සහ සමාජ සවිබල ගැන්වීමේ වැඩසටහන් වලට ලොව බොහෝ රටවල් ප්‍රමුඛත්වයක් ලබා දී තිබේ. එහිදී විශේෂයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් පොදු පුරවැසි අයිතිවාසිකම් යටතේ සවිමත් කිරීමට කටයුතු කර ඇත. විශේෂ අවශ්‍යතා සහිත වූවන් සමානාත්මතාවයේ යුතුව පිළිගැනීමත්, ඔවුන්ගේ අයිතිවාසිකම් හා අවශ්‍යතා කෙරෙහි සංවේදී වීමත් බහුතර ප්‍රජාවගේ වගකීමකි.

ශ්‍රී ලංකාව තුළද විශේෂ අවශ්‍යතා සහිත වූවන් වෙනුවෙන් සමාජයීය ආයතන ගණනාවක් කටයුතු කරයි. ඒ අතර සමාජ සේවා දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය සහ ජාතික වශයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවයි. එමෙන්ම ආබාධි සහිතවූවන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලයද විවිධ වැඩසටහන් තුළින් එම ප්‍රජාවගේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරයි. 1996 අංක 28 දරන 'ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම' වෙනුවෙන් වූ පනතක්ද මෙරට පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගෙන තිබේ. එම පනත මඟින් 'ආබාධ සහිත තැනැත්තන් උදෙසා වූ ජාතික සභාවක්' පිහිටුවීම සඳහාද ශ්‍රී ලංකාවේ සිටින එම ප්‍රජාවගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම, අභිසංවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහාද විධිවිධාන සලසා දී තිබේ.

එම පනතෙහි සඳහන් ආකාරයට .ආබාධ සහිත තැනැත්තන් උදෙසා වූ ජාතික සභාව. තුළින් කාර්යයන් රැසක් කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඒ අතර ආබාධිත පුද්ගලයන්ගේ සුබසාධනය ප්‍රවර්ධනය කිරීම, ආබාධිත තත්ත්වයන්ට අදාළ හේතු නිර්ණය සහ ඒවා වැළැක්වීමටත් පාලනයටත් අවශ්‍ය ඵලදායී පියවර ගැනීම, පුනරුත්ථාපනය සඳහා පියවර සකස් කිරීම, වඩා හොඳ ජීවන තත්ත්වයක් ඇති කිරීමට වගබලා ගැනීම, අධ්‍යාපනික සහ වෘත්තිය පුහුණුව ලබා දීම, ඔවුන්ට ගැළපෙන ලෙස භෞතික පරිසරය සකස් කිරීම යනාදී කරුණු කෙරෙහි අවධානය යොමු කර තිබේ.

ලොව බොහෝ රටවල් විශේෂ අවශ්‍යතා සහිත වූවන් සඳහා අවශ්‍ය පරිදි භෞතික පරිසරයේ පහසුකම් සලසා දී ඇතත් ශ්‍රී ලංකාව තුළ තවමත් ඒ පිළිබඳ සැලකිය යුතු අවධානයක් යොමු වී නොමැති බව දැකගත හැකිය. කෙසේ නමුත් මෙම ප්‍රජාව වෙනුවෙන් ලබා දෙන අනෙකුත් වරප්‍රසාදයන් සලකා බැලීමේදී මාසිකව දීමනා ලබා දීම, ආධාරක උපකරණ ලබා දීම, ස්වයං රැකියා ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම සහ අධ්‍යාපන පහසුකම් සලසා දීම ආදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ. මෙයට අමතරව විවිධ සමාජ සංවිධාන විසින්ද විශේෂ අවශ්‍යතා සහිත වූවන් වෙනුවෙන් නොයෙක් ආකාරයේ සමාජ උපකාරක වැඩසටහන් ක්‍රියාවට නංවයි.

පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදීද විශේෂ අවශ්‍යතා සහිත ජනතාව පිළිබඳ වැඩි වශයෙන් කතාබහට ලක් විය. වත්මන් ජනාධිපතිතුමන්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළද ‘ඵලදායී පුරවැසියෙක් – සශ්‍රීක මානව සම්පතක්’ යන තේමාව යටතේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සමාන අයිතිවාසිකම් ඇති පිරිසක් ලෙස සලකා සමාන ජීවන අවස්ථා පුළුල් කර දීම උදෙසා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳවද අවධානය යොමු කර තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශ තුළ විශේෂ අවශ්‍යතා සහිත වූවන් වෙනුවෙන් විශේෂ සේවා මධ්‍යස්ථාන, මාර්ගෝපදේශන මධ්‍යස්ථාන, පුනරුත්ථාපන මධ්‍යස්ථාන, වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන, වෙනුවෙන් නේවාසික සහ සුරැකුම් මධ්‍යස්ථාන සහ පාසල්ද ස්ථාපනය කොට තිබේ. මේ සියලු ආයතන තුළින් උත්සාහ ගනු ලබන්නේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් ඔවුන්ගේ අභිමානය ඉහළ මට්ටමකට ගෙන ඒමත් සමාජ, ආර්ථික, දේශපාලන, අධ්‍යාපනික සහ සංස්කෘතික යනාදී සකල විධ අංශයන්ගේ සුබසාධනය වෙනුවෙන් රුකුල් දීමයි.

විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ ජාත්‍යන්තර දිනය යෙදෙන මෙහොතේදී පමණක් හෝ මැතිවරණ වේදිකාවන්වලදී පමණක් මොවුන් පිළිබඳ අවධානය යොමු නොකොට ජීවිතය සැමදා සුබවාදී වීමට අවශ්‍ය වටපිටාව ඔවුන්ට නිර්මාණය කර දීම වෙනුවෙන් කටයුතු කිරීම වගකිව යුතු බලධරයන්ගේ මෙන්ම සංවේදී හදවත් ඇති කොයි කාගේත් යුතුකමක් මෙන්ම වගකීමක්ද වේ.

එමෙන්ම තමන් දුබල යැයි සිතන තාක් ජීවිතයේ ලබාගත හැකි තෘප්තියද ඔවුනට අහිමි වී යා හැකිය. මේ නිසාම ශක්තිමත් මානසිකත්වයකින් යුක්තව සම අයිතීන් තුළින් සමාජ අභිමානය දිනා ගැනීමට ඔවුන්ද ක්‍රියා කරන්නේ නම් සුබවාදී අනාගතයකට ඔවුන්ද හිමිකම් කියනු ඇත. එසේ හිමිකම් කියූ පුද්ගලයන් අප රට තුළ පමණක් නොව ලෝකය තුළත් ප්‍රසිද්ධිය දිනා ගත් අවස්ථා මාධ්‍ය තුළින් අසන්නට මෙන්ම දකින්නටද ලැබී ඇත. සැබැවින්ම ලෝකයට ධෛර්යය ගැන ගැඹුරුම පාඩම් කියා දී ඇත්තේ ඔවුන්ය.

[බී. ආර්. සමීර සඳරුවන්]

News Order: 
0
මාතෘකා