වතුර නැතිව අතරමං වුණු අලගොල්ලෑව වැසියන්ගේ කඳුළු කතාව

 ඡායාරූපය:

වතුර නැතිව අතරමං වුණු අලගොල්ලෑව වැසියන්ගේ කඳුළු කතාව

රූස්ස ගස් අතු පතරින් ඇදී එන ළා හිරු රැස් වැලි පොළොව මත පතිතව ඇත්තේ නේක රටා ඔප දමමිනි. ඈත වනරොදක සැඟව ගිය අඳුරු සෙවණැලි නොදැනීම කෙමෙන් ගම් මායිමේ රොද බඳිනුයේ දවස අහවර වග සන්කරමිනි. අදුර වැටෙන්නට හෝරා දෙක තුනක් තිබියදී තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විසල් රිටිගල කඳු සිරසට යාව පිහිටි "අලගොල්ලෑව" වන මායිම් ගම්මානය වෙත ආයේ ඉරිතැලුණු ජීවිතවල වගඵල අසනු සඳහාය.

අංක 543 ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් අලගොල්ලෑව ගම්මැද්දේ පවුල් 300ක, 950ක් පමණ පිරිසක් නේක දුක් කම්කටොලු මැද දිවි ගෙවති. වැසි අපේක්ෂාවෙන් ගැමියෝ දෙවියන් යදිමින් සිටිති. කලකින් වැසි නොවැටුණු බිම දූවිලි ඇවිළී යයි. බොන්නට පිරිසුදු වතුර ටිකක් නැතිකම කලක පටන් ගම වසා පැතිර ඇති දුක්ගැනවිල්ලකි. හිටිහැටියේ කඩාවැදී ගම දෙවනත් කරන වන අලි මෙහි ගැමියන්ගේ සුවබර නින්දට තහංචි දමා ඇත. එකල පටන් හව්හරණට ඇති වැව් ටික අබලන් වීම ගැමියන්ට ඇති ලොකුම කනස්සල්ලකි.

සිය ජීවිත වෙත ඇවිළී ඇති නොනිමෙන ළතැවුල් ගැන ගමේ අහුමුළු හොඳහැටි දත් එම්. එල්. ශාන්ති මහත්මිය පැවසුවේ මෙවැනි කතාවකි.

"බොන්න වතුර නැති එක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. ගමට වතුර දෙන්න කියලා පටන් ගත්ත ව්‍යාපෘතියත් එහෙම්මම අතරමග නැවතිලා තියෙන්නේ. ගමටම වතුර දෙන්න කියලා පටන් ගත්ත ව්‍යාපෘතිය නිකන්ම විනාශ වෙලා ගියා. හදපු ටැංකි දෙකත් වතුර ගන්න ළිඳත් ඔක්කොම විනාශයි. ගම පුරා එළලා තියෙන්නේ බාල බට. ඒවත් දැන් නිකන්ම විනාශ වෙලා තියෙන්නේ. හැම ගෙදරකටම වගේ වතුර දෙන්න කරාම හයිකෙරුවා. ඒවත් දැන් ගන්නම දෙයක් නෑ. බොන වතුර සල්ලි දීලා ගත්තත් උයන්න පිහන්න වතුර ගන්නේ කොහෙන්ද? පවුල් තුන්සීයක් ඉන්න ගමටම තියෙන්නේ එක පොදු ළිඳයි. ඒකත් තියෙන්නේ ගමේ එහා කෙළවරේ. ගමේ මෙහා කෙළවරේ ඉන්න මනුස්සයෙක් කිලෝමීටර් තුනක් විතර යන්න ඕන ඒ ළිඳෙන් වතුර ටිකක් ගන්න. පායන කාලෙට ඒ ළිඳත් හිදෙනවා."

බීමට මෙන්ම ස්නානය සහ අනෙකුත් සනීපාරක්ෂක කටයුතු ස‍ඳහා ජලය සපයා ගැනීම මෙහි ගැමියන්ට ගැටලුවක් වී ඇත. කලකට ඉහත අරඹා ඇති ජල ව්‍යාපෘතියේ ලක්ෂ ගණනාවක් වටිනා සම්පත් වල්වැදී මෙපරිද්දෙන් විනාශ වීම ගැමියන්ගේ සංවේගයට සහ ආවේගයට හේතු වී තිබේ. ශතවර්ෂාධික ඉතිහාසයකට හිමිකම් කියන අලගොල්ලෑව ගම්මැද්ද විවිධ දුෂ්කරතා රැසකට මැදිවූ අවස්ථාවන් ගණනාවක් පිළිබද තොරතුරු ගැමියන්ගේ මතකයේ ඇත. එසමයෙහිද ගම්බිම් අතෑර නොගිය ගැමියන්ට අද වනවිට පානීය ජලයෙහි ඇති හිඟකමත් වන අලි හිරිහැරයත් ගම එපා වීමට හේතු වී තිබේ. එහෙත් යායුතු අතක් නොමැති හෙයින්ම සියලු උපද්‍රව සමඟ දිවි ගෙවන්නට ඔවුනට සිදුව ඇත.

අලගොල්ලෑවේ වෙල් නියරවල් මත හොඳින් පදම් වී ඇති අජිත් නිශාන්ත තරුණයා කටුක ජීවන අත්දැකීම් පැහැදුවේය.

"අලි කරදරේ හින්දා ඇත්තටම ගම දාලා යන්න වෙලා තියෙන්නේ. පහුගිය ටිකේ ගොයම් කපා ගන්නකල් නින්දක් තිබුණේ නෑ. එළිවෙනකල් පැල් රකිනවා. සමහරු බැරිම තැන අමුවෙන්ම ගොයම් කැපුවා. වෙන කරන්න දෙයක් නෑනේ. ගමට කරන්ට් වැටක් දෙන්න කියලා දැන් සෑහෙන කාලයක් තිස්සේ ඉල්ලීම් කරනවා. ඒත් තාමත් කවුරුවත් ඒ ගැන බැලුවේ නෑ. අලි හැමදාම රිටිගල කැලේ කොහෝ හරි තැනකින් ඇවිල්ලා වතුවලට, කුඹුරුවලට පනිනවා. දැන් මේ ගම්මැදිවලට ඇවිල්ලා අලින්ට කන්න දෙයක් නෑ. ගමට කඩා පනින අලි අපි විඳින දුක දන්නේ නෑ."

අලගොල්ලෑව ගමට කුඩා වැව් පහක් ඇතත් එම සියලුම වැව් පාහේ රොන් මඩ එකතුවීමෙන් ගොඩ වී, අබලන් වී ඇත. සමහර වැවක වාන, සොරොව්ව ආදිය අබලන් වී තිබීම වැවෙන් යැපෙන ගැමියන්ගේ මනස්තාපයට හේතු වී තිබේ. ඇති දුබලතා හේතුවෙන් වැස්සෙන් එකතු වන ජල සම්පත සමහර වැව් මඟින් ඉවත ගලායෑම වගාව මහ කන්නයට පමණක් සීමා කරවයි. මොරගහකන්ද මහා වාරි ව්‍යාපෘතියේ දියවර මිහින්තලයේ, මහකනදරාව මහ වැව වෙත ගෙන යන අතරමගදී හමුවන ගම්මැදි කොටු වැව් ගණනාවක් ඉන් පෝෂණය වීමට නියමිතව ඇත. අලගොල්ලෑව ගැමියන්ගේ අපේක්ෂාව වී ඇත්තේ ඔවුනටද ඒ හව්හරණ ලැබේවිය යන්නය.

එහෙත් අලගොල්ලෑව ගම්මැද්දට වී නිහඬ දිවියක් ගෙවන අත්දැකීමෙන් මුහුකුරා ගිය සිරිල් සමරකෝන් මහතා පැවසුවේ සිදුවීමට නියමිතව ඇත්තේ වෙනකක් බවය.

"හැමෝටම අමාරු කාලයක් මේක. පහුගිය කාලේ හේන් සුද්ද කරගෙන බලාගෙන හිටියා. කුඹුරු යායවල් පිටින් මූකලන් වැහිලා තිබුණා. යන්තන් මේ කන්නයේ නම් කුඹුරක්, හේනක් කරලා ආදායමක් ගත්තා. ඒත් මිනිස්සු වෙලා තියෙන ණයවල හැටියට ඒ ආදායම මහලොකු දෙයක් නෙමෙයි. අපේ මේ අලගොල්ලෑව ගමේ විතරක් වැව් පහක් තියෙනවා. වැව් පහම ගොඩවෙලා තියෙන්නේ. ඔය වැව් යටතේ තමයි මිනිස්සු කුඹුරු කරන්නේ. වැව් ටික විනාශ වුණොත් මිනිස්සුන්ට ගොවිතැනක් කරගන්න විදිහක් නැතිව යනවා. මොරගහකන්ද ජලාශයෙන් මහකනදරාව වැවට වතුර ගෙනියනකොට මේ අපේ ගම්වලටත් වතුර ලැබෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් හිටියා. ඒත් දැන් ඒකත් කෙරෙන පාටක් නෑ කියලා තමයි ආරංචි. අඩුමගා‍ෙ ගමේ වැව් ටිකේ රොන් මඩ ගොඩදාලා අඩුපාඩු ටික සම්පූර්ණ කරලා දෙනවා නම් වෙන දෙයක් අපිට ඕනෙ නෑ."

දැන් මේ හැමගේ අපේක්ෂාව ගිනිගත් මිහිකත සුවපත් කරවන මහා වැස්සකි. එවිට හේන් වැවිය හැකිය. වැව්ද පිරී යල කන්නයේ වගාවන් ඇරඹිය හැකිය. වන මායිමේ විසල් වනස්පති හෙවණක කොළ අතු එල්ලා නොපෙනෙන දෙවියන් අභිමුව ගැමියන් ආයාචනය කරනුයේ එබන්දකි. එහෙත් දෙවියන්ද මේ ගැමියන්ගේ ආයාචනා නෑසු කන්ව සිටින්නේ මන්දැයි අසන්නට සිදුව ඇත. ලඳු කැලෑ, බඩ වැටි, වෙල් ලියැදි, උඩ පැල, බිම පැල මත ගෙවී යන මේ ගැමියන්ගේ ජීවිත වෙත කවර හෝ හව්හරණක් අවැසිව ඇත. ඔවුන් සහනාධාර කිසිත් නොඉල්ලයි. එහෙත් ජීවත්වීම උදෙසා යම් අතදීමක් ඉල්ලයි.

ගම්වාසී ඩග්ලස් සමරකෝන් දුකම සතුට කොට විදින ගම්මැද්දේ ජීවිත අරුමැසිය පැහැදුවේය.

"මොන කරදරේ තිබුණත් තාමත් මේ ගම්මැදිවල මිනිස්සු හවසට වතුර ටිකක් නාගෙන තියෙන දෙයක් හදාගෙන කාලා සැනසිල්ලේ ජීවත් වෙනවා. පහුගිය පෑවිල්ල හින්දා මිනිස්සු පුදුම තරම් දුකක් වින්දේ. යන්තම් මේ පාර මහ කන්නේ ගොවිතැනක් කරගත්ත එකෙන් කන්නවත් වී ටිකක් ගෙවල්වල ඉතුරු වෙලා තියෙනවා. වැස්සේ නැත්නම් යල කන්නේ ගොවිතැනක් කරන්න වෙන්නේ නෑ. අපිට තියෙන ප්‍රශ්න ගැන කාට කිව්වත් සහනයක් නෑ. හැම මනුස්සයටම ජීවත් වෙන්ඩ මොකක් හරි මාර්ගයක් තියෙන්න ඕනනේ. ගොවිතැන් කරන අපිට ඕන වතුර. වතුර නැතිකමින් තමයි හැම අහේනියක්ම."

එක් පසෙකින් රිටිගල කන්දත් අනෙක් පසින් ලබුනෝරුව කඳු සිරසත් දිස්වේ. ඒ කඳු සඳහා මැදිවූ අලගොල්ලෑව ගම්මැද්ද දෙසින් මළහිරු බැසයමින් තිබේ. ඉපනැලි මතුව පෙනෙන වෙල් ලියැදි උලා කෑ ගවයන් ගම් මායිමට එමින් සිටී. සියලු විපත් අභිමුව අකම්පිත ගැමියන් වෙත ගමබාර දෙවියන්ගේ පිහිට ආයාචනය කරමින් මම යළි එන්නට වීමි.

එන මග දෙපස හිරුත් සමඟ මැළවී ගිය අතෝරක් මුහුණුවල වෙහෙසකර බව මම දකිමි. විස්තර කළ නොහැකි තරමේ ආයාචනාවන් සමුදායක් ඒ මුහුණු මත ලියැවී ඇති බව නම් නිසැකය. මේ බිමේ බොහොමයක් අහුමුළු මත ලියැවී ඇති යථාර්ථයත් එයම නොවේ යැයි කාටනම් පැවසිය හැකිද?

තඹුත්තේගම විශේෂ [ඩබිලිවි. ප්‍රදීප්]

මාතෘකා