ඉතිහාසය පරයන අතීත නෑකම යාපනයෙන් හොයන චීන්නු

 ඡායාරූපය:

 ඉතිහාසය පරයන අතීත නෑකම යාපනයෙන් හොයන චීන්නු

කාලයේ වැලිතලාවෙන් වැසී ගිය දේ ඉතිහාසයයි. ඒ ඉතිහාසය යළි මතු කරගන්නට ගත වන කාලය කොතෙක්දැයි කිසිවකුටත් කිව නොහැකිය. ඉතිහාසයේ බොහෝ දේ කාලය සමඟ මතු වුවත් තවත් බොහෝ දේ කාලයේ වැලිතලාවෙන් සදහටම වැසී යන්නේය.

යාපනයේ අල්ලේපිඩ්ඩි ඉතිහාසයද විශාල කාලයකට පසුව දැන් සෙමෙන් සෙමෙන් මතු කරගනු ලබමින් පවතී. තවත් බොහෝ තොරතුරු තහවුරු කරගත යුතුව ඇතත්, ශ්‍රී ලංකා හා චීන පුරාවිද්‍යා විශේෂඥයන් මෙතෙක් කරන ලද ගවේෂණ අනුව අනාවරණය කරගෙන ඇත්තේ යාපනයත් චීනයත් අතර සබඳකම් වසර 600කටත් ඈත අතීතයක් කරා දිව යන බවයි.

විෂයයක් වශයෙන් පුරාවිද්‍යාව හදාරන චීනයේ ෂැංහයි විශ්වවිද්‍යාලය ඇතුළු තවත් විශ්වවිද්‍යාල ගණනාවක චීන ජාතිකයෝ ශාස්ත්‍රිය අධ්‍යයන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙති. මේ පිරිසෙන් බොහෝ දෙනෙක් සමස්තයක් වශයෙන් පුරාවිද්‍යාව හදාරති. තවත් සමහරකු හදාරන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පමණි. මේ අතරතුර

ශ්‍රී ලංකාවත් චීනයත් අතර ඉතා ඈත අතීතයේ පැවති සබඳකම් පිළිබඳ හාරා-අවුස්සන චීන ජාතිකයෝද සිටිති. චීනයේ විවිධ විශ්වවිද්‍යාලවලින් පැමිණි චීන සිසුන් හා ආචාර්යවරු විශාල පිරිසක් මේ දිනවල යාපනයේ විවිධ පෙදෙස්වල සිටිති. ඒ අතුරින් වැඩිම පිරිසක් සිටිනුයේ කයිට්ස්හිය. යාපනයේ අල්ලේපිඩ්ඩිහි කැණීම් කටයුතුවලට චීන ජාතිකයන් හවුල් වී ඇත්තේ මීට වසර දෙකහමාරකටත් ඉහත කාලයක සිටය.

චීන ජාතිකයන් මෙරටට පැමිණ, චීන -

ශ්‍රී ලංකා සබඳතාවල ඉතිහාසය සොයමින් කෙබඳු ස්ථානයක කැණීම් කළද; මේ සෑම කැණීම් කටයුත්තක්ම අධීක්ෂණය, මෙහෙයවීම හා සුපරීක්ෂාව සිදු වන්නේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා විශේෂඥයන් විසිනි.

චීන ජාතිකයන් මේ ස්ථාන තෝරාගැනීමේදී ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සිටම විශාල අධ්‍යයනයක් සිදු කරන බව පැවසුවේ යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය එස්. පුෂ්පරත්නම් මහතාය.

“සාමාන්‍යයෙන් චීන ජාතිකයන් ඉතා සූක්ෂ්ම සැලැස්මක් අනුව දුර-දිග බලා කටයුතු කරන ජාතියක්. ඔවුන් නිතර යාපනය විශ්වවිද්‍යාලයට විවිධ පර්යේෂණ කටයුතු සඳහා පැමිණෙනවා. එසේ පැමිණීමට පෙර ඒ සම්බන්ධයෙන් වූ සියලු දේ හදාරා අවසන් කොටයි අදාළ ස්ථාන කරා ළඟා වන්නේ. බොහෝ අවස්ථාවල යාපනය විශ්වවිද්‍යාලයට පැමිණෙන ඔවුන් කෙළින්ම අහවල් පොත කියා නම් කොට ඉල්ලා සිටිනවා. ඔවුන් පුරාවිද්‍යාව පිළිබඳ විවිධ හැදෑරීම් කළත් නිතරම ඔවුන් ඒ අධ්‍යයන කටයුතු චීනයට අදාළ කරගනිමින් ඒ කටයුතුවල නියැළෙන ගතියක් පෙන්නුම් කෙරෙනවා. මේ සෑම අවස්ථාවකම යාපනයේත් ශ්‍රී ලංකාවේත් සිදු වූ ඓතිහාසික සිදුවීම් චීනය සමඟ කුමන ආකාරයකින් සම්බන්ධ වී ඇත්දැයි යන්න ඔවුන් සොයා බලනවා. “මෑතක සිට පුරාවිද්‍යා ගවේෂණ සඳහා යාපනයට පැමිණෙන චීන ජාතිකයන්ගේ සංඛ්‍යාවේ විශාල වැඩි වීමක් පෙන්නුම් කෙරෙනවා. ඔවුන්ගෙන් පිරිසක් ගවේෂණ කටයුතුවලට හවුල් වන අතරතුර තවත් සමහරු ඒ සම්බන්ධයෙන් වූ පර්යේෂණ නිබන්ධන වැනි දේවල නිරත වන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ සිටයි. මේ පිරිස අතරට චීනයේ ආචාර්යවරු මහාචාර්යවරුන් පවා ඇතැම් අවස්ථාවලදී ඇතුළත් වෙනවා.

“ඔවුන් නිතරම උත්සාහ කරන්නේ චීනයත් යාපනයත් අතර ඉතිහාසයේ පැවති සම්බන්ධකම් මොනවාද කියා හඳුනාගැනීමටයි. මේ සඳහා ඔවුන් විශාල වෙහෙසක් දරමින් සිටිනවා.

“අපට දැනට ඇති තොරතුරුවලට අනුව චීනයත් යාපනයත් අතර ඉතා සමීප වෙළෙඳ සබඳකම් අනාදිමත් කාලයක සිට පැවතී තිබෙනවා. මේ කාලය සමහර ලේඛනවලට අනුව වසර දහසකට වැඩියි. දැනට හමුව ඇති මූලාශ්‍රවලින් නිශ්චය වශයෙන් කාල වකවානු සනාථ කිරීම අසීරු වුවත් අනුමාන සාධක ඔස්සේ ඉතා පැහැදිලිව දැකගත හැක්කේ සියවස් ගණනාවකට පෙර සිට චීනයත් යාපනයත් අතර විවිධ සබඳතා පැවති බවයි.”

මහාචාර්ය පුෂ්පරත්නම් මහතාගේ නිගමනයට අනුව හා චීනයේ සිට යාපනයට පැමිණ පුරාවිද්‍යා කැණීම් සිදු කරන පිරිස්වලට යාපනයේ අල්ලේපිඩ්ඩි ප්‍රදේශයෙන් හමුව ඇති පුරාවස්තුවලට අනුව යාපනයත් චීනයත් අතර වසර 600කට ඉහතදී පවා වෙළෙඳ ගනුදෙනු පැවති බව සනාථ වී තිබේ. චීන ජාතිකයන් අපේ පුරාවිද්‍යා නිලධාරීන් සමඟ එක්ව කළ කැණීම්වලට අනුව මේ වන විට විවිධ වර්ගයේ මැටි බඳුන් කැබලි 654ක් සොයාගෙන තිබේ. ඒ මැටි භාණ්ඩවල හැඩය, වර්ණය හා ඒවා තැනීමට භාවිත කරන ලද අමුද්‍රව්‍යවලට අනුව චීන ජාතිකයන් මේ කාලවකවානු අනුමාන කොට ඇත.

යාපනයේ අල්ලේපිඩ්ඩියේ වර්ග මීටර් 92.4ක භූමි භාගයක මේ වන විට චීන ජාතිකයන් කැණීම් සිදු කොට තිබේ. වසර දෙකහමාරකට අධික කාලයක් තිස්සේ කරන ලද මේ කැණීම්වලින් චීනයත් යාපනයත් අතර විශාල සබඳතාවක් තිබූ බවට සාධක හෙළි වීමත් සමඟම චීනයේ සිට මේ පළාතට පැමිණෙමින් කෙරෙන පර්යේෂණ කටයුතුවල යම් වැඩිවීමක් දක්නට ලැබේ. යාපනයේ අල්ලේපිඩ්ඩි පෙදෙසට අමතරව කයිට්ස්, චාට්ටි යන ස්ථානවලද චීන ජාතිකයන් විසින් පුරාවිද්‍යා කැණීම් ආරම්භ කොට තිබේ.

යාපනයේ සිටින පුරාවිද්‍යා නිලධාරීහු ඔවුන්ට මඟපෙන්වන අතරතුර කොළඹ සිටද නිලධාරීන් ගොස් මේ කටයුතු අධීක්ෂණයට ලක් කරති. යාපනයේ පුරාවිද්‍යා සංවර්ධන නිලධාරී එන්. අරුල් රාජා මහතා කියා සිටියේ තවම මේ පර්යේෂණවල අවසන් වාර්තා නිකුත් වී නැති බවත්, චීනයේ පිරිස මේ තොරතුරු තම රට වෙත යවා තවදුරටත් පර්යේෂණ කරමින් සිටින බවත්ය.

“මේ අල්ලේපිඩ්ඩි පළාතේ කැණීම්වලින් එතෙක් හඳුනාගෙන තිබුණු පුරාවස්තුවලට වඩා ඉතා පැරණි ගොඩනැඟිලි පෙළක් හමු වී තිබෙනවා. ඒ ගොඩනැඟිලි පෙළේ ඉතා කුඩා කුඩා කාමර වෙන් වී ඇති බවක් දක්නට ලැබෙනවා. චීන ජාතිකයන් කියා සිටින්නේ ඔවුන්ගේ තොරතුරුවලට අනුව චීනයේ පිරිස් නැවතී අධ්‍යාපනයක් ලද ස්ථානයක් ලෙස ඒ ගොඩනැඟිලි සංකීර්ණය හැඳින්විය හැකි බවයි.

“ඒ ස්ථානය විශ්වවිද්‍යාලයක මට්ටමේ අධ්‍යාපන ආයතනයක් හෝ පර්යේෂණ ආයතනයක් බවට චීනයේ සිට පැමිණි පුරාවිද්‍යා ගවේෂකයන් විශ්වාස කළත් අපේ පුරාවිද්‍යා නිලධාරීන් තවම මේ පිළිබඳ යමක් ප්‍රකාශ කොට නැහැ.

“මේ අල්ලේපිඩ්ඩි පුරාවිද්‍යා කැණීම් ස්ථානයෙන් ඉපැරණි ඔරුවක් බෝට්ටුවක් හෝ කුඩා යාත්‍රාවක් බවට විශ්වාස කළ හැකි යාත්‍රාවක විනාශ වී ගිය සැකිලි කොටස් හමු වී තිබෙනවා. මේ යාත්‍රාවේ කොටස් චීනයේ නිෂ්පාදිත හැටියට චීන ජාතිකයන් පෙන්වා දෙනවා. ඒ මඟින් ඔවුන් සනාථ කරන්න උත්සාහ කරන්නේ යාපනයත් චීනයත් අතර ගමනාගමන කටයුතු සිදුවීමක් හෝ භාණ්ඩ හුවමාරුවක් සිදුව ඇතැයි යන කාරණයයි. චීනයේ නිෂ්පාදිත විවිධ වර්ගයේ මැටි බඳුන් හමු වීමෙන් පසු ඔවුන් මේ කාරණය තව දුරටත් තහවුරු කරනවා. ඒත් මේ රටේදී එය තවමත් තහවුරු කොට නැහැ.

“යාපනයේ පුරාවිද්‍යා කැණීම් කටයුතුවල නිරතව සිටින චීන ජාතිකයන් දැන් අවධානය යොමු කර ඇත්තේ කාසි විශේෂයක් සොයාගැනීම සඳහායි. චීනයේ භාවිත කරන ලද කුමන හෝ කාසි විශේෂයක් එපෙදෙසින් හමු වුව හොත් චීන - යාපන සබඳතා පිළිබඳ කාලවකවානු පිළිබඳ නිවැරදි හා නිශ්චිත නිගමනයකට පැමිණිය හැකි බව ඔවුන් පවසා සිටිනවා.

“ඒ වගේම මේ ප්‍රදේශයෙන් ඉතා පැරණි ළිඳක නටබුන් මතු වී තිබෙනවා. ඒ ළිඳේ අල්ලා තිබූ ඇතැම් දේ චීනයේ නිෂ්පාදනය කරන ලද දේ බවට ඔවුන් විශ්වාස කරනවා.

“කෙසේ වෙතත් පුරාවස්තුවක් හමු වූ සැණින් කිසිවකුටත් ස්ථිර නිගමනයකට පැමිණීම අසීරුයි. මතයක් පළ කිරීමට හා විශ්වාසයක් ඇති කරගැනීමට පමණක් මෙහිදී ඉඩ සැලසෙනවා. ඒ කොහොම වුණත් චීන ජාතිකයන් මේ තොරතුරු ඉතා ඉක්මනින් සනාථ කරගැනීමට විශාල උනන්දුවක් දක්වනවා.”

චීනයේ සිට පැමිණ යාපනයේ රැඳී සිටිමින් පුරාවිද්‍යා ගවේෂණ සිදු කරන කණ්ඩායම්වලට චීනය හා යාපනය අතර පැවති සබඳකම් ඉතා ඉක්මනින්ම දැනගැනීමට ඇති ආශාව කැමැත්ත හා උනන්දුව පිළිබඳ අප පුදුම විය යුතු නොවේ. එහෙත් උතුරේදී හෝ දකුණේදී හෝ හමු වන ඕනෑම පුරාවස්තුවක් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා නිලධාරීන්ට තවත් එක් පුරාවස්තුවක් පමණි. ඒ පිළිබඳ විමර්ශනය කරන විට ශ්‍රී ලංකාවත් වෙනත් රටකුත් අතර තිබූ ඓතිහාසික සබඳකම් විස්තර වූවත්, එය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ යම් මට්ටමකිනි. කෙසේ හෝ වේවා! චීනයේ ඉතිහාසය හා ඊට සම්බන්ධ දේ යාපනයෙන් මතු වීම පිළිබඳ අප සතුටු විය යුතුය.

ඒ මන්ද යත්: බොහෝ දෙනකු ශ්‍රී ලංකාව මේ වන විට චීනයේ කොලනියක් බවට පත් වෙමින් තිබෙන බවට චෝදනා කරමින් සිටියත්, චීනයත් ශ්‍රී ලංකාවත් අතර සබඳකම් දියුණු වී පැවතුණේ අදක-ඊයේක සිට නොවන බවට මේ පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි සැපයීම හේතුවෙනි.

[රසුර දිල්හාර ගමගේ]

මාතෘකා