අන්තිම අලි රංචුවත් වඳවීමට පෙර

 ඡායාරූපය:

අන්තිම අලි රංචුවත් වඳවීමට පෙර

මිහිමත ජීවත්වීමේ අයිතිය තහවුරු වී ඇත්තේ මිනිසාට පමණක්ම නොවේ. අපා, දෙපා, සිව්පා, බහුපා යනාදී වශයෙන් ගත් කල මුළු මහත් සත්ත්ව වර්ගයාටම මිහිමත ජීවත්වීමේ අයිතිය එක සේ රඳා පවතී. 'මිනිසා’ මිහිමත ජීවත්වන බුද්ධිමත්ම කොට්ඨාසය ලෙස හැඳින්වුවත් වත්මන් සමාජය දෙස බලන විට පෙනී යන්නේ මිනිසාගේ නොමනා ක්‍රියා හා නොසැලකිලිමත් බව නිසා මුළු මහත් ලෝකයම විනාශයට පත්වෙමින් යන බවයි. මිනිසා ලොව බලවත්ම සත්ත්වයා වුවද සෙසු සත්ත්වයින්ට මිහිමත ජීවත්වීමේ අයිතිය නැතිකිරීමට හෝ ඔවුන්ට හිංසා පීඩා කිරීමට නීතියෙන් හෝ ස්වභාවධර්මයෙන් අවසර දී නොමැත. මිනිසා සහ සත්ත්ව ලෝකය තුළ ඈත අතීතයේ පටන් පැවති සබඳතා පිරීක්සීමේදී පෙනී යන්නේ අලි ඇතුන් යනු මානවයාට සමීපතම සත්ත්වයකු ලෙස ජීවත් වී ඇති බවය. ඊට උදාහරණ ලෙස අලි ඇතුන් පසුබිම් කරගත් ජන සාහිත්‍යයක් මෙන්ම ළමා සාහිත්‍යයක්ද මෙරට ජන සමාජය තුළ ව්‍යාප්ත තිබීම දැක්විය හැකිය. ඈත අතීතයේ සිටම දරු නැළවිලි ගීතවලදීද අලි ඇතුන් පිළිබඳ සඳහන් වේ.

“ඔන්න බබෝ ඇතින්නියා- ගල් අරඹේ සිටින්නියා

ගලින් ගලට පනින්නියා- බබුට බයේ දුවන්නියා”

එම නැළිවිලි ගී අසන කුඩා දරුවකුගේ මනසේ අලි ඇතුන් ගැන මැවෙන්නේ සුන්දර චිත්‍රයකි. එහෙත් වර්තමානයේ 'බල්ලන් බළලුන් සේ' අලි ඇතුන් වැනි සද්දන්තයන් මහ මඟ මැරෙන තත්ත්වයක් උදාවී තිබීම සැබවින්ම ශෝචනීයය.

අලියකුගේ ආයු කාලය වසර හැටක් හැත්තෑවක් පමණ වන අතර , අලියෙක් දිනකට ආහාර කිලෝ සියයත් තුන්සියයත් අතර ප්‍රමාණයක් ආහාරයට ගනී. ආහාර ගැනීම සඳහා ඔවුහු දිනකට පැය 17ක් 19ක් පමණ වැය කරති. එම නිසාම අලියා යනු ලෝකයට ඉතා වටිනා සම්පතක් මෙන්ම දුර්ලභ සත්ත්වයකු ලෙස සැලකේ. නමුත් කණගාටුවට කරුණ නම් අලි - මිනිස් ගැටුම් හේතුවෙන් වසරකට අහිමිව යන අලි මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යෑමයි. නියං කාලවලදී අලි ඇතුන් ජලය සහ ආහාර සොයාගෙන ගම්වැදීම, එසේ ගම් වැදීමේදී වගා ළිංවලට ඇද වැටීම, දුම්රියේ ගැටීම, ඇත් දළ සහ අලි කෙඳි ලබා ගැනීම සඳහා අලින්ට වෙඩි තබා ඝාතනය කිරීම, මිනිසාගේ අවිධිමත් භූමි පරිභෝජනය, අලි ඇතුන් ජීවත් වන වනාන්තරවලට සමීපව මිනිස් ජනාවාස ඉදිකිරීම සහ කැලෑ කුඩාවීම හේතුවෙන් අලින් ගම් වැදීම නිසා වසරකට අලි ඇතුන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වී යාම වර්තමානයේදී මහත් ඛේදවාචකයක් වී තිබේ. අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ අලි පරපුර වඳවෙමින් පවතින හා අනාගතයේ දුර්ලභ සත්ත්ව ගණයට වැටෙන සත්ත්වයකු ලෙස 1986 වසරේදී රතු දත්ත පොතටද ඇතුළත් කර තිබේ.

වසරකට අලින් දෙසිය පනහකට වැඩි සංඛ්‍යාවක් ඉහත සඳහන් කළ විවිධ හේතූන් මත මියයන අතර, මිනිසුන් හැටකට ආසන්න පිරිසක් අලි ප්‍රහාර හේතුවෙන් මිය යන බවද වනජීවී දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලින් අනාවරණ වී තිබේ. 2013 වසරේදී කරන ලද සමීක්ෂණයකට අනුව මෙරට සමස්ත අලි ගහනය පන්දහස් අටසිය හැත්තෑ නවයකි. නමුත් වර්තමානයේ දිනෙන් දින ඉහළ යන අලි මරණ හේතුවෙන් එම ගණන ක්‍රම ක්‍රමයෙන් අඩුවී යන තත්ත්වයක් දක්නට තිබේ.

2010 වසරේදී අලි මරණ දෙසිය විසිහතක්, 2011 වසරේදී අලි මරණ දෙසිය පනස්පහක්, 2012 වසරේදී අලි මරණ දෙසිය පනහක්, 2013 වසරේදී අලි මරණ දෙසිය හයක්, 2014 වසරේදී අලි මරණ දෙසිය තිස් එකක්, 2015 වසරේදී අලි මරණ දෙසිය පහක්, 2016 වසරේදී අලි මරණ දෙසිය හැත්තෑපහක්, 2017 වසරේදී අලි මරණ දෙසිය පනස්හයක් යනාදී වශයෙන් ගෙවී ගිය වසර අට පුරාවට විශාල අලි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පසුගිය වසරේදී කරන ලද සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබේ. තවද මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව හෙළි වී තිබෙන්නේ මෙම වසරේ ඔක්තෝබර් දහතුන් වැනිදා වන විට පමණක් මෙරට අලි ඇතුන් දෙසිය විසිහයක් මරණයට පත්ව ඇති බවයි. ඒ අනුව පෙනී යන්නේ මෙම වසරද ඇතුළුව ගෙවී ගිය වසර නවයක කාලය පුරාවට අලි ඇතුන් දෙදහස් එකසිය තිස්එකක් මරණයට පත්ව ඇති බවයි. මෙය සුළුපටු කාරණාවක් නොවේ. මෙම ගැටලුව වර්තමානයේ ඉතා දැවැන්ත ඛේදවාචකයක් බවට පත්වෙමින් තිබේ.

පසුගිය පාලන සමයේදී මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා අලි ඇතුන්ගේ ප්‍රධාන වාසස්ථානයක් වූ දැවැන්ත වනාන්තර පද්ධතියෙන් හෙක්ටයාර දෙදහසක් සහ හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා හෙක්ටයාර එක්දහස් එකසිය පහළොවක් ලබාගෙන තිබේ. එමඟින් අලි ඇතුන්ගේ වාසස්ථාන භූමියක් ලෙස පැවති විශාල වනාන්තර පද්ධතියක් එළිකිරීම නිසා නිකරුනේ මාරයාට බිල්ලක් වීමට සිදුව ඇත්තේ අලි ඇතුන්ටය.

සිය වාසස්ථාන අහිමි වීම නිසා ගම් වැදී වගාබිම් වනසමින්, මිනිසුන් පවා මරන්නට පෙලෙඹෙන අලි ඇතුන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීමට වගකිව යුත්තේ මිනිසාගේ ක්‍රියාකාරකම්ය. උතුර, වයඹ, මහවැලි කලාපය, මධ්‍යම, නැඟෙනහිර සහ දකුණ යන පළාත්වල වන අලින් බහුලව දැකගත හැකිය. 2013 වසරේදී කරන ලද සමීක්ෂණයකට අනුව උතුරු පළාතේ අලි දෙසිය තිස් තුනක්ද, වයඹ පළාතේ අලි එක්දහස් එකසිය තිස් නවයක්ද, මහවැලි කලාපයේ අලි එක්දහස් හත්සිය පනස් එකක්ද, මධ්‍යම පළාතේ අලි හතළිස් හතක්ද, නැගෙනහිර පළාතේ අලි එක්දහස් පන්සිය හැත්තෑ තුනක්ද, දකුණු පළාතේ අලි එක්දහස් අසූ හයක්ද ආදී වශයෙන් ජීවත් වන බව හෙළි වී තිබේ. තවද දුම්රියේ ගැටීම හේතුවෙන් වාර්ෂිකව සැලකිය යුතු අලි සංඛ්‍යාවක් මිය යන බවද සංඛ්‍යලේඛන මගින් තහවුරු වේ. 2000 වසරේ සිට 2007 වසර දක්වා කාලය තුළ අලි මිනිස් ගැටුම් හේතුවෙන් අලි දෙසියක් සහ 2007 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ අලි දෙසිය අසූවක් මරණයට පත්වන බවද හෙළි වී තිබේ. ඒ අනුව පෙනී යන්නේ දිනෙන් දින අලි මිනිස් ගැටුම් උග්‍ර අතට හැරෙමින් පවතින බව යි.

පසුගිය වසර අවසාන භාගයේදී ගල්ගමුවේ දළ පූට්ටුවා, තබ්බෝවේ ඇතා, රිටිගල ඇතා, තනි දළයා ආදී වශයෙන් එක දිගට අලි ඇත්තු මිය ගියහ. මෙමඟින් පරිසරයට සිදුවූ හානිය මුදලින් මිල කළ නොහැකිය. මීට සති කිහිපයකට ඉහතදී මීනගයා දුම්රියට බිලි වී මරණයට පත් වූ අලි තිදෙනාගේ කතාවද ඉතාමත් අනුවේදනීය කතා පුවතකි. ඒ පුවත ඇසූ බොහෝදෙනෙකුගේම මුවගට නැඟුණේ “අනේ අපොයි මොකක්ද මේ විනාසේ”, “අලි කියන්නේ රටට කොච්චර වටින සම්පතක්ද?” , “අලි ඇත්තු ආරක්ෂා කරන්න රටේ නිසි වැඩපිළිවෙළක් නැද්ද?” වැනි වදන්ය.

ඒ පිළිබඳව වහා ක්‍රියාත්මක වූ රජය අලින් දුම්රියේ ගැටීම වළක්වාලීම සඳහා ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ සැප්තැම්බර් මස විසි අටවැනිදා කමිටුවක් පත්කරනු ලැබීය. ඒ අනුව දුම්රිය මාර්ග අසල අලි ඇතුන් ගැවසෙන ස්ථාන නිරීක්ෂණය කොට ඊට විසඳුමක් ලබාගැනීම සඳහා දාහතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉකුත් එකොළොස් වැනිදා සිට දාහතර වැනිදා දක්වා නොකඩවා දින හතරක් මහව හන්දියේ සිට ත්‍රිකුණාමලය, මඩකළපුව, තලෙයිමන්නාරම සහ කන්කසන්තුරේ යන උතුරු නැඟෙනහිර දුම්රිය මාර්ගවල නිරීක්ෂණ කටයුතුවල නිරත විය. එම දින හතර තුළ ලබාගත් දත්ත හා තොරතුරු අනුව එම කණ්ඩායම විසින් දුම්රිය රියැදුරන්ට මාර්ගයන් පැහැදිලිව පෙනීම සඳහා දුම්රිය මාර්ගය දෙපස මීටර් තිහක් දක්වා වූ ළඳු කැලෑ එළි කිරීම, පැයට කිලෝමීටර් හතළිහ දක්වා ඇති වේග සීමා නියමිත පරිදිම ක්‍රියාත්මක කිරීම, මාර්ගය දෙපස කඳුගැට සහිත ස්ථානවල අලි ඇතුන්ට මාරුවීම සඳහා උඩින් මාර්ග ඉදිකිරීම, දුම්රිය පාලම් සහ බෝක්කු සහිත ස්ථාන තුළින් අලි ඇතුන්ට මාරුවීම සඳහා දැනට තිබෙන බාධා ඉවත් කොට මාර්ග ඉදිකිරීම, දුම්රිය මාර්ගයට අලි ඇතුන් ඇතුළු වන ස්ථාන සඳහා විදුලි වැට, රේල් පීලි යොදා බාධාවන් යෙදීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා පද්ධති සවි කිරීම යන නිර්දේශ ඉදිරිපත් කර තිබිණ.

ඊට අමතරව අලි ඇතුන් සංරක්ෂණය කිරීම සඳහා රජයේ මැදිහත්වීමෙන් යම්කිසි විශේෂ ආයතනයක් පිහිටුවන්නේ නම් අලි ඇතුන් ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙළ වඩා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇත. එසේ නොමැතිව දිනෙන් දින ඉහළ යන අලි මරණ වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම තවදුරටත් පමා කළහොත් සිදුවන්නේ වනසතුන් සහ ස්වාභාවික පරිසරය විසින් මිනිසා විනාශය කරා ගෙනයෑම ඉක්මන් වීමයි.

නිමාෂා සඳරුවනි

 

මාතෘකා