ගොවීන්ට කට උත්තර නැති කරන පිටරටින් ආ දළඹු යක්ෂයා

 ඡායාරූපය:

ගොවීන්ට කට උත්තර නැති කරන පිටරටින් ආ දළඹු යක්ෂයා

උදෑසන හේනට ගිය දමන සජිත් ප්‍රියංකර දුටුවේ තම ඉරිඟු වගාවේ කොළ කිසියම් සතෙකු විසින් කා දමා තිබෙන අයුරුය. ඔහු මීට දින කිහිපයකට ප්‍රථම දුටු තත්ත්වයට වඩා වැඩිපුර කා ඇති අයුරු පෙනෙන්නට වූවේය. ඔහු වැඩි විමසිල්ලෙන් බඩඉරිඟු පත්‍ර පරීක්ෂා කර බලන්නට විය. එවිට වෙනදා දක්නට නොලැබුණු දුඹුරු පැහැති පණුවකු එම පත්‍ර මත සිටින අයුරු ඔහු දුටුවේය. කෘෂිකර්ම නිලධාරි මහත්වරු දුන් පත්‍රිකාවේ හිටියෙත් මේ වගේ පණුවෙක් තමයි. මේ පිටරටවල ඉන්න වගාවන් කා දමන පණුවාදයි ඔහුට සිතිණි. ඔහු සැනෙකින් තොට්ටම මුුලස්ථාන කෘෂි උපදේෂක සී.වයි. අලහකෝන් මහතාට මේ බව පවසා සිටින්නට විය.

කෘෂි උපදේශක චමින්ද මහතාද මේ පිළිබඳ දැනගත් විගස වගා බිමට ගොස් එය පරීක්ෂා කර බලන්නට විය. සේනා දළඹුවා නම් ඔළුවේ ඉංග්‍රීසි වයි අකුරේ හැඩය යට අතට වෙන්නට සුදු පැහැයෙන් තිබිය යුතුය. ඔහුු සිතුවා හරිය. ඒ සලකුණද හරියටම ගැලපේ. ඔහු සැනෙකින් මේ පිළිබඳ අම්පාර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ සනිර් මහතාට දැනුම් දෙන ලදි.

මේ සතාගේ තරම දැනගත් ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කල්තියා පෝස්ටර් අත්පත්‍රිකා බෙදමින් ලංකාව පුරා සිටින කෘෂි උපදේශක මහත්වරුන් ඇතුළු නිලධාරීන් දැනුවත් කරන්නට කටයුතු කරනන්ට වුහ. ඒ අනුව ඔවුහු ගොවියන් නිසි ආකාරයෙන් දැනුවත් කරන්නට විය. මේ වෙනුවෙන් පැළෑටි සංරක්ෂණ අංශයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය දයානි පෙරේරා මහත්මිය ඇතුළු පිරිස මහත් වෙහසක් දරමින් කටයුතු කරන්නට වූවාය. ඒ අනුව කෘෂි උපදේශකවරු ගොවීන් දැනුවත් කරමින් දැඩි අවධානයෙන් සිටින්නට වූහ. මේ බව දැනගත් සැනින් ආචාර්ය දයානි පෙරේරා මහත්මිය අම්පාරට පැමිණියාය. ඒ අනුව අම්පාර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ සනිර්, අතිරේක බෝග පිළිබඳ විෂයානුබද්ධ නිලධාරි සංජීව, තොට්ටම මූලස්ථාන කෘෂි උපදේෂක අලහකෝන් යන නිලධාරි මහත්වරුන් ආචාර්ය දයානි මහත්මිය සමඟින් අම්පාරේ වගා බිම් පිරික්සමින් මහා වැසි මැද මෙම සේනා දළඹුවා සොයා මෙහෙයුම් දියත් කරන්නට වූහ. ඒ අනුව අම්පාරේ මහඔය, හිඟුරාණ, උහන, දමන ආදී ප්‍රදේශ රැසක මෙම ආගන්තකු දළඹුවා ඉරිඟු වගා බිම්වල සිට හමුවිය.

කෘෂිකර්ම නිලධාරීන් දැඩි සේ අවධානයෙන් සිටින මෙම අලුත් යාළුවා මුලින්ම හඳුනාගෙන තිබෙන්නෙ 2016 වසරේ නයිජීරියාවේදිය. සේනා දළඹුවා ලෙසින් හඳුන්වන මෙම ආක්‍රමණශීලි ආගන්තුකයා ඉතා ඉක්මණින් රටවල් 44ක් කරා පැතිරෙන්ට වුහ. ඒ අනුව අපගේ ආසන්නතම රට වන ඉන්දියාවට පසුගිය දිනවල මෙම සේනා දළඹුවා පැමිණ වගාවන් වනසනන්ට පටන් ගැනිනි.

සේනා දළඹුවා අමුතුම ආකාරයේ ආක්‍රමණශීලී දළඹුවෙකි. කුසගිනි නොසිඳෙන ආක්‍රමණශීලී දළඹුවෙක් නිසා නොනවත්වාම වගාවන් කා දැමීම සිදු කරති. ඉරිඟු පත්‍ර පමණක් නොව කඳද දිගින් දිගටම කා දමන්නට මෙම දළඹුවා සමත්ය. ඒ සමඟම ඉරිඟු කරල්වලටද හානි කරනු ලැබේ. මෙම දළඹු විශේෂය ගොයම් ඇතුළු බෝග 100ක් පමණ හානි කිරීමට හැකියාවක් ඇති දළඹු විශේෂයකි. අනවසරයෙන් මෙරටට රැගෙන එන ගහ කොළ නිසා මෙම සතුන්ට පහසුවෙන්ම මෙරටට පැමිිණිය හැකිය. දිනකට මෙම සලබයාට කි.මී. 100ක දුරක් සුළං පහර ඔස්සේ පියාසර කිරීමේ හැකියාවක් ඇත. ඒ නිසා මොවුන් එලෙස ලංකාවට ඒමේ හැකියාවක්ද ඇත. ඒ කුමන ආකාරයෙන් හෝ සේනා දළඹුවා මේ වන විට අම්පාරේ බඩඉරිඟු වගාබිම්වලින් වැඩි වශයෙන් හමුවන්නට විය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම සතාගෙන් වන හානිය කලින් සිටම දන්නා නිසා ඒ වෙනුවෙන් මුලසිටම සුදානම්ව සිටීම නිසා ගොවීන්ද සිටියේ දැඩි සෙවිල්ලෙනි. මෙම සේනා දළඹුවා කුඩා කළ කොළ පැහැතිය. දිනක් යන විට දුඹුරු පැහැයට හැරේ. ශරීරය පුරාම ඉදිමුණු බිබිළි වැනි දෑ ක්‍රමවත් රටාවකට ඇත. හිසේ යටි පැත්තට වෙන සේ සුදු පැහැයෙන් වයි අකුරට සමාන හැඩයෙන් යුත් සලකුණක් නිසා මෙම දළඹුවා ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය.

මේ වන විට මෙම සතා මර්දනය කිරීම සඳහා ලොව දැන් සාකච්ජා වෙමින් පවතින අතර තවම නිශ්චිත විසඳුමක් සොයා ගෙන නොමැත. තවද මෙම දළඹුවාගේ විශේෂත්වය වන්නේ කෘමිනාශකවලට පහසුවෙන් ප්‍රතිරොධතාවක් ගොඩනගන්නට හැකි වීමය. එම නිසා මේ වන විට මෙම දළඹුවාට පහසුුවෙන් මෙම කෘමිනාශකවලට ඔරොත්තු දීමේ හැකියාවක් තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ පැළෑටි සංරක්ෂණ අංශයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය දයානි පෙරේරා මහත්මිය මෙසේ පැවසුවාය.

"මෙම සේනා දළඹුවා ගැන අපි මුල සිටම අවධානයෙන් සිටියේ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ මඟපෙන්වීම මත මේ වන විට අපි මෙම දළඹුවා ඉන්දියාවේ වගාවන්ට හානි කරන්නට ගත් නිසා අපි ලංකාවට පැමිණේයැයි අනුමාන කළා. යම් කිසි වෙලාවක මෙම දළඹුවා ලංකාවට පැමිණියොත් ඒ වෙනුවෙන් අපි අපේ කෘෂිකර්ම උපදේශකවරුන් ඇතුළු නිලධාරීන් දැනුවත් කිරීම් කළා. ඒ සමඟ පෝස්ටර් පත්‍රිකා බෙදාහරිමින් ලංකා පුරාම ගොවීන් දැන්වත් කළා. මේ වන විට මෙම ආගන්තුක දළඹුවා ගැන ගොවීන් ඉතා හොඳින් දැනුවත් වෙලා ඉන්නවා. ඒ අනුව අපි අම්පාර ප්‍රදේශ රැසකට ගොස් ඒ පිළිබඳ සොයා බැලුවා. අපට වාර්තා වුණ සේනා දළඹුවා සාමාන්‍ය දළඹුවාට 99%ක්ම සමානයි. එම නිසා මෙම දළඹුවා තවම හමුව තිබෙන්නේ සුළු ප්‍රමාණයකයි. ඔබ නිරන්තරයෙන් වගා බිමට ගොස් භෝගයන් පිළිබඳ දැඩි අවධානයෙන් සිටින්න. යම් කිසි අවස්ථාවක මෙම දළඹුවා හමුවුවොත් හැකි ඉක්මනින් කෘෂිකර්ම උපදේශක මහත්ම මහත්මීන්ට දැනුම් දෙන්න. ඒසේ නොමැති නම් ගන්නෝරුව පැළෑටි සංරක්ෂණ සේවය අමතන්න. ක්‍ෂේත්‍ර බෝග පර්යේෂණ ආයතනයටත් දන්වන්න."

"මේ වන විට අපි කීට විද්‍යාඥයන් කාර්යසාධන බලකායක් ලෙස තමයි මෙම උවදුර මර්දනය කරන්න කටයුතු කරන්නේ. කෘමි නාශක යොදනවා නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 2015 පළිබෝධ නිර්දේශය අනුව කොඩෙස්ටර් විශේෂය භාවිත කරන්න පුළුවන්. මේ වන විට අපි රසායනික ද්‍රව්‍ය භාවිතය අඩු කරලා ජෛව විද්‍යාත්මක ක්‍රම භාවිත කරලා මෙම සේනා දළඹුවා මුළු දිවයිනෙන්ම තුරන් කරන්න කටයුතු කරනවා. ඒ අනුව නොවැම්බර් මාසය තුළ දී අපිට මෙම සේනා දළඹුවා මුළුමනින් තුරන් කිරීමට හැකි වේ යැයි විශ්වාස කරනවා. මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරගෙන යනවා" යැයිද දයානි පෙරේර මහත්මිය පවසා සිටියාය.

පසුගිය කාලයේ බොහෝ ගොවීන් වැසි නැතිව පීඩා විඳින්නට විය. අම්පාරට නම් වසර දෙක තුනකින් නිසි පරදි වැසි වැස්සේ නැත. යාන්තමට මේ කන්නයේ නිසි සේ වැසි ඇද වැටෙද්දි ගොවීන් වගා කරන්නට පටන් ගත්තේ මෙදා සැරේවත් සරු අස්වැන්නක් ලබාගන්නට එයින් තම අටුකොටු පුරවන්නට බලාපොරොත්තුවෙනි. එසේ නොවුණහොත් දරු පවුල් පිටින් ඔවුන් අන්ත අසරණ වන නිසාවෙනි. කොරේ පිටට මරේ කියන්නා වගේ මෙම සේනා දළඹුවත් එරොප්පේ සිට ඇවිත් ඔවුන්ගේ වගා බිම්වලට බැල්ම දමා ගොවීන් භීතියට පත්කරවන්නට විය.

මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාස කිහිපයක සිට නිසි පියවර ගෙන ගොවීන් දැනුවත් කර තිබීම ගොවි මහත්වරුන්ගේ වාසනාවකි. නමුත් ඔබේ වගාවන් පිළිබඳ නිරන්තරයෙන් සෝදිසියෙන් සිට මෙම දළඹුවා සිටින්නේදැයි නිසි අවධානය යොමු කළ යුතුව ඇත. එසේ නොවුණහොත් සැමදා බඩගින්නේ සිටි ආකාරයෙන් වගාවන් විනාශ කරන සේනා දළඹුවා ටික දිනකින් ඔබේ වගාවන් විනාශ කරනු ඇත. ඒ නිසා ඔබේ වගාවට මෙම සේනා දළඹුවා සිටින්නේ නම් ඔබේ කෘෂි උපදේශකවරයාට දැනුම් දෙන්න. එසේ නොමැති නම් 1920 අංකයට හෝ 081- 2388 316 අංකයට හෝ දැනුම්දිය හැකිය. මෙම වසංගතය ලංකාවෙන් තුරන් කිරීමට ඔබේ සෝදිසිය සහ අවධානය ඉතා වැදගත් වෙනු ඇත.

[එස්. අමරබන්දු]

 

මාතෘකා