පාලිකාවන් යක්ෂණියන් වූ කුරුණෑගල බාලිකා නිවාසය

 ඡායාරූපය:

පාලිකාවන් යක්ෂණියන් වූ කුරුණෑගල බාලිකා නිවාසය

හොඳම දේ ළමයින්ට බව කියා ඇත්තේ මාවෝ සේතුංය. දශක තුනක් තුළ වැඩිහිටි ජනගහණය රටේ අතිශය බහුතරය වන පසුබිමක රටේ ආර්ථික අනාගතය කෙරෙහි මෙන්ම සමාජීය දිශානතිය පිළිබඳවද තීරණාත්මක කාර්යභාරයක් පැටවෙන්නේද අද ළමා කාලය ගෙවා දමන අනාගත පරපුර වෙතය. ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මක වන ආයතන බොහෝමයක් ඇත. නමුත් ළමයින් සම්බන්ධයෙන් අනුවේදීනීය කතා පුවත් මෙරට මාධ්‍ය තුළ කලින් කලට ප්‍රමුඛ මාතෘකා බවට පත්වීම වැළැක්වීමට එම ආයතනවලට හැකියාව ලැබී නොමැත.

පරිවාස හා ළමාරක්ෂක සේවා විෂය 13 වන ආණ්ඩුක්‍රම සංශෝධනය සමඟ විමධ්‍යගත වූ විෂයකි. ඒ අනුව පළාත් 9 සඳහා පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු 9 ක් ස්ථාපනය කොට තිබේ. විෂයභාර අමාත්‍යවරයෙකු යටතේ වූ මෙම දෙපාර්තමේන්තුවට සුවිශේෂ කාර්යය භාරයක් පැවරී ඇත.

ඒ අතර දෙපාර්තමේන්තුවට යොමු කරනු ලබන බාල වයස් වරදකරුවන්ගේ චරිතය හැඩගස්වා පුනරුත්ථාපනය හා නැවත සමාජ ගත කිරීම, දණ්ඩ නීති සංග්‍රහයට අනුව අපරාධයක් වශයෙන් සැලකෙන දෙයක් නොකලත් දෙමාපියන්ට අවනත නොවන, සමාජ විරෝධී ක්‍රියා සිදු කරන දරුවන් යහමඟට ගැනීම, අනාථ ,අත්හල, අසරණ හා අපයෝජනයන්ට ගොදුරු වූ දරුවන් රැකබලා ගැනීම, දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල පුහුණුව හා සංවර්ධනය ඇතුළු කටයුතු රාශියක් සඳහන්ව ඇත.

නමුත් මෙලෙස සඳහන්වන කාර්යභාරයන් හුදෙක් ලිපි ලේඛනවලට පමණක් සීමාවී ඇත්දැයි සාධාරණ සැකයක් මතුවන සිදුවීම් කලින් කලට මතු වේ.

එවැනි සිදුවීමක් කුරුණෑගල ප්‍රදේශයේ පිහිටා ඇති ළමා නිවාසයකින් වාර්තා වූයේ පසුගිය ඉරිදා දිනය. මේ කතාව, සමාජජාල තුළ වාර්තා කර තිබුණු කුසුම් ප්‍රනාන්දු මහතා එම ප්‍රදේශයේ ජීවත් වන වෘත්තිකයෙකි. එම සිදුවීම ඔහු විස්තර කර තිබුණේ මෙලෙසය.

"අපේ රටේ වැඩි අවධානයක් යොමු නොවූ දරුවන් කොට්ඨාශයක් සම්බන්ධයෙන් සිදුවීමකට ඊයේ මට මැදිහත්වීමට සිද්ධ වුණා.

මේ ඉන්න දරුවන් දෙදෙනා සිංහල පවුල් දෙකක දරුවන් දෙදෙනෙක්. මම මෙතන සිංහල යැයි විශේෂයෙන් සඳහන් කළේ මේ වනවිට දරුවන් පුළුවන් තරම් හදන්න යැයි කියනා සමාජීය මැදිහත්වීමට මෙය දනවන්නට අවශ්‍ය නිසාය.

ඊයේ මම මගේ අම්මවයි තාත්තවයි බලන්න මහ ගෙදරට මගේ දරු දෙදෙනාත් බිරිඳත් සමඟ යමින් සිටියා. අපේ මහ ගේ අසල තමයි කුරුණැගල ප්‍රසිද්ධ මේ බාලිකා ළමා නිවාසය තියෙන්නේ. ඒක වටකරලා උස තාත්පයක් තියනවා. අපි යද්දි ගැහැණු ළමයෙක් තාප්පයෙන් එපිට පැත්තට පැන්නා. මම කාර් එක පාරමැද නවත්වලා පැනලා, ඒ ළමයා අල්ලගත්තා. මම හිතුවේ ළමයෙක් ළමා නිවාසයෙන් පැනලා යනවා කියලා. මම ඉක්මනට මගේ බිරිඳටත් දරු දෙදෙනාව වාහනයේ නවත්වලා එතනට එන්න කිව්වා.

අර ගැහැණු ළමයා කිව්වා අනේ මහත්තයෝ අපිව එළියට දාලා ගේට්ටුව අගුළු දැම්මා. ඒ නිසයි මම මේ ඇතුලට යන්න බැලුවේ කියලා. ඊට පස්සේ මමයි මගේ බිරිඳයි ඒ ගැහැණු ළමයා එක්ක ප්‍රධාන ගේට්ටුව තට්ටු කරලා යද්දි ගේට්ටුවට අගුළු දාලා. මම ගේට්ටුවට ගහලා පැය බාගයක් විතර කතා කලා. ඒ වෙද්දි හොදටම වහිනවා. පාරේ ගිය මගේ ගමේ තව හිතවත් පවුල් කිහිපයක් එකතුවුණා. මුලින්ම ළමයින්ට කුඩයක් දීලා, මම 119 කතා කලා."

කුසුම් ප්‍රනාන්දු මහතාට 119 හදිසි ඇමතුම් සේවයෙන් ලැබී ඇති උපදේශය වී ඇත්තේ ශ්‍රී ලංකා ළමා දුරකථන සේවයේ අංකය වන 1929 අමතා මේ පිළිබඳව සඳහන් කරන ලෙසය. 1929 යනු ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් පැය විසි හතර පුරාම ක්‍රියාත්මකව තබන දුරකථන අංකයයි. ළමා ආරක්ෂණ අධිකාරිය යනු මෙරට ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන අතර ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා සහ ළමා කාර්යාංශය සමඟ පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ වගකීමක් ඔවුන් සතුය. නමුත් ප්‍රනාන්දු මහතාගේ පැමිණිල්ල ලැබී පැයක් පමණ කාලයක් ඔහුට කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුණු බව ඔහු පවසයි. එම යාන්ත්‍රණයේ කාර්යක්ෂමභාවය එසේ නම් එවැනි දුරකථන සේවයක් ඇති කිරීමේ අරමුණ ඉටු වෙනවාදැයි යන්න ගැටළු සහගතය.

ප්‍රතිචාරයක් නොලද තැන ඔහු නැවතත් ළමා ආරක්ෂණ අධිකාරිය අමතා ඇති අතර, මෙම කාලය අතරතුර දරුවන් විසින් හෙළි කරන ලද අමිහිරි කාරණා සිත් පිත් ඇති ඕනෑම වැඩිහිටියකු කම්පාවට පත්කරවන සුළුය.

"....දරුවෝ කියනවා. ඒ අයට ළමා නිවාසය ඇතුලේ සලකපු හැටි. ගහපු හැටි. මෙතන එක දරුවෙක්ට වයස 11යි. පාසල් යවන්නේ නැහැ. මෙම ළමයා පියා සමඟ සංවාසයේ යෙදුන බවට ප්‍රසිද්ධියේ බණි‍නවාලු. මේ කතා අහගෙන ඉන්න බැරි තරම්.,"

කුසුම් ප්‍රනාන්දු මහතාගේ මෙම ප්‍රකාශය කිසිසේත් සුළුකොට තැකිය නොහැක. මෙම දරුවන් අධිකරණමය අර්ථ දැක්වීම් අනුව බාල වයස් වරදකරුවන්ද එසේත් නොමැති නම් දෙමව්පියන්ගේ හෝ භාරකරුවන්ගේ රැකවරණයෙන් බැහැර වීම නිසා පරිවාස ළමා නිවාසගත කළ අයද යන්න අපි සැබැවින්ම නොදනිමු. එම දරුවන් කුමන ලෙස ලැයිස්තු ගත කළද, ඔවුන්ව යහමඟට ගැනීම සහ පුනුරුත්ථතාපනය කිරීම වයඹ පලාත් පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන මෙම කුරුණෑගල බාලිකා ළමා නිවාසය සතු ප්‍රමුඛතම වගකීම වේ.

එසේම දැඩිව ආරක්ෂා කළ යුතු ළමුන් මෙලෙස අනාරක්ෂිත ලෙස මහා මාර්ගවල දමා ඔවුන් ළමා නිවාසයට ඇතුලු වීම වැළැක්වීම අතිශයින්ම බැරෑරුම් කාරණයකි. රජයේ ආරක්ෂාව යටතේ සිටින මෙම බාල වයස්කරුවන්ගේ ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජනය සම්බන්ධයෙන් වගකීම පළාත් පරිවාස සහ ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව පමණක් නොව පළාත් සභාව සහ මධ්‍යම රජයට පවා පැවරෙන අත් හළ නොහැකි වගකීමකි.

අනෙක් අතට මෙරට තුළ අනිවාර්ය පාසල් අධ්‍යාපනය වසර 13ක් දක්වා දීර්ඝ කිරීමේ සැලැස්මක් රජයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වෙද්දි වයස අවුරුදු 11වන දැරියක් පාසල් අධ්‍යාපනයෙන් බැහැර කිරීමට තරම් බල පුළුවන්කාරකමක් ඇත්තේ කාටදැයි සොයා බැලිය යුතු බරපතළ කාරණයකි. තමන් පාසල් යාමේ කැමැත්තෙන් සහ ආශාවෙන් පසුවන බව එම දැරිය පවසන්නීය.

තත්ත්වය තවත් බරපතළ කරන සිදුවීමක් මෙම බාලිකා නිවාසය තුළ සිදුවන බව කුසුම් ප්‍රනාන්දු පවසයි. ළමුන් සමඟ කතාවෙන් හෙළි වූ කාරණා අනුව ඔවුන්ව පාලනය කිරීම සඳහා මෙම ළමා නිවාසයේ පාලිකාවන් නරුම උපක්‍රම භාවිත කරයි. ඔවුන්ට මෙහි ඇති භයානකකම අවබෝධ නොවන්නේද? ඔවුන් එතරම්ම නොසැලකිලිමත්ද? ඔවුන් මේ දරුවන්ට වෛර කරනවාද? පැහැදිලි නැත.

පරිවාස මධ්‍යස්ථාන සම්බන්ධයෙන් වෙනත් රටවල අතිශය සංවේදීව, ප්‍රවේශම් සහගතව පාලනය කරන බාල වයස්කරුවන් ගැන අංශු මාත්‍රයක දැනුමක් හෝ පුහුණුවක් මෙම පාලිකාවන් සඳහා ලබා දිය යුතු නොවෙද?

"අපේ ගමේ කිසිම කෙනෙක් මේ ළමා නිවාසයේ ළමයෙක්ට විහිළුවක්වත් කරන්නේ නැහැ. ලොකු ගරුත්වයකින් තමයි කටයුතු කරන්නේ. නමුත් මේ පැත්තේ එක මනුස්සයෙක් ඉන්නවා මානසික ප්‍රශ්නයක් තියන. ඒ කාළේ මේ ළමා නිවාසයට මේ මනුස්සය කරදරයක් වුණා. රෑට තාප්පෙන් පනිනවා, ගල් ගහනවා. පොලීසියට කීපවතාවක් අල්ලලා දුන්නා. මේ මනුස්සයව රෑට ළමා නිවාසයට පාලිකාවන් ගෙන්වනවලු ළමයින්ට අවවාද කරන්න කියලා. මෙතන තත්ත්වය බරපතළයි."

1929 යන දුරකථන අංකයට සහ පොලිසිය අමතා කළ පැමිණිල්ලට ක්‍රියාත්මක වූ පොලිසිය සිදුවීමෙන් පැය 3කට පමණ පසු පැමිණ සියලු දෙනාගෙන් ප්‍රකාශ ලබාගෙන දරුවන්ට කිසිඳු කරදරයක් නොවන බව පොරොන්දු වී ළමුන්ව නැවත එම බාලිකා ළමා නිවාසයටම බාර දී ඇත.

සිදුවීම මෙතැකින් නිම නොවේ. මෙම සිදුවීම පිළිබඳව එක පාර්ශ්වයක තොරතුරු මත පමණක් රැඳී සීටීමට සූදානම් නොවූ අපි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති එච්.එම්.අබේරත්න මහතා ඇමතුවෙමු.

'ඔව්. පැමිණිලි අංක 496 යටතේ සිදු කරලා තියන මේ පැමිණිල්ල ගැන හොයලා බැලුවා. ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කළා. මෙතන වෙලා තියෙන්නේ ඒ ළමයිව පාලනය කර ගන්න පාලිකාවන් සමත් නොවීම ගැන ගැටලුවක්. ඒ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න අවශ්‍ය පොලිසියයි. අපි පොලිසියට මේ ගැටලුව යොමු කළා'

මෙවන් කාරණයකදී අවශ්‍ය වන්නේ අවස්ථාව සමනය කිරීමේ ක්‍රියාමාර්ගයට වඩා වැඩි යමක් බව අප විශ්වාස කළද, පොලිසිය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ආකාරය සොයා බැලීමද වැදගත්ය.

කුරුණෑගල පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශය පවසන පරිදි ද මෙම සිදුවීම බාලිකා නිවාසයේ නේවාසික දරුවන් සහ පාලිකාවන් අතර ගැටුමකි. ඔවුන්ට අනුව මෙම බාලිකා නිවාසයේ මෙවැනි ගැටුමක් සිදු වූ මුල් අවස්ථාව මෙය නොවන අතර සෑම අවස්ථාවකම සිදුව ඇත්තේ මෙලෙස දරුවන්ට සහ පාලිකාවන්ට අවවාද කර නැවතත් එම දරුවන්ව බාලිකා නිවාසයේ පාලනයට භාර දීම පමණි.

කුරුණෑගල මෙම බාලිකා නිවාසය පාලනය වන්නේ වයඹ පළාත් පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ වන නිසා මෙවැනි බරපතල සිදුවීම් දිගින් දිගටම ඇති වන පසුබිමක සුළු සරල විසඳුම්වලින් ඇඟ බේරාගැනීමට ඔවුන්ට නොහැකිය. අප පළාත් පරිවාස සහ ළැමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ 0372 222 391 යන දුරකථන අංකයට පස්වරු 4ට පමණ ඇමතීමට උත්සහ කළද සම්බන්ධ කර ගත නොහැකි විය.

මානව සංවර්ධන දර්ශකයේ දියුණු යැයි සම්මත බොහෝ රටවල ළමයින් සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ඉතා සංවේදී ප්‍රතිපත්තිය. බොහෝ රටවල දෙමව්පියන්ටවත් සිය දරුවන්ට පහර දීමට කිසිඳු අවසරයක් නොමැති අතර දරුවන් අනාරක්ෂිත කිරීම දෙමව්පියන්ට දඬුවම් දී දරුවන් රජයේ භාරයට ගැනීමට තරම් බරපතල වරදකි. එලෙස දරුවන් සම්බන්ධයෙන් ඉතා සැලකිල්ලෙන් එම රටවල් කටයුතු කරන්නේ, එම රටවල අනාගතය රඳා පවතින්නේ එම දරුවන්ගේ පෞරෂය මත බව ඔවුන් විශ්වාස කරන නිසා විය යුතුය.

දෙමව්පියන්ගේ රැකවරණය අහිමි වූ දරුවන් රජයේ භාරයට පත් වූ කළ, ඔවුන්ගේ කලදසාව මෙවැනි දුක්ඛිත අනාරක්ෂිත තත්ත්වයකට පත් වන්නේ නම් අපගේ අනාගතය ගමන් කරන්නේ කොයිබටද?

[මංජුල සමරසේකර]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?