රග්බි ක්‍රීඩකයින්ගේ මරණ සහ ආන්දෝලනාත්මක කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාව | ඇස පාදන රැස


රග්බි ක්‍රීඩකයින්ගේ මරණ සහ ආන්දෝලනාත්මක කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාව

 ඡායාරූපය:

රග්බි ක්‍රීඩකයින්ගේ මරණ සහ ආන්දෝලනාත්මක කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාව

පසුගිය බදාදා දිවයිනට පැමිණි එංගලන්තයේ ඩර්හැම් රග්බි කණ්ඩායමක ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙරටදී මුහුණදුන් අභාග්‍යසම්පන්න ඉරණම පිළිබඳ සාකච්ඡාව මේ වන විටද අවසන්ව නැත. ඒ සම්බන්ධව විවිධ මානයන්ගෙන් සාකච්ඡා ගොඩනැගෙමින් ඇති අතර වගකිවයුත්තේ කවුරුන්ද සහ මෙම සිදුවීම අවසන් වන්නේ කෙසේද යනුවෙන් ප්‍රශ්නාර්ථයන් ඇති වෙමින් තිබේ. එසේ ප්‍රශ්නාර්ථ දැල්වෙන්නේ රග්බි ක්‍රීඩකයින්ගේ මරණ පිළිබඳ කථාවට මෙරට කුප්‍රකට ව්‍යාපාරවලද සබඳකම්ද හෙළි වෙමින් පවතින නිසාය.

එංගලන්තයේ ඩර්හැම් රග්බි සමාජයේ ක්‍රීඩකයින් ලෙස ඔවුන් මෙරටට පැමිණියේ ක්ලේම් පයිරේට්ස් කණ්ඩායම නියෝජනය කරමිනි. ඔවුහු වාර්ෂිකව ලෝකය පුරා සංචාරය කරමින් තමන් සංචාරය කරන රටවල ක්‍රීඩා සමාජ සමග සුහද රග්බි තරගවලට සහභාගි වෙති. ඔවුනට රටවල් රැසක සංචාරක අත්දැකීම්ද තිබේ. එබැවින් ශ්‍රී ලංකා සංචාරය ඔවුන්ට තවත් එක් අත්දැකීමක් පමණි. ඔවුන් මෙරටට පැමිණියේ පුහුණු රග්බි තරග සඳහා පමණක්ම නොවේ. ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලේ රග්බි ක්‍රීඩා උපකරණ බෙදාදීමේ හා පුහුණු වැඩසටහනකටද තම සංචාරය අතරතුරදි ඔවුන් සහභාගි වීමට නියමිතව තිබුණි.

මේ අභාග්‍යසම්පන්න සිදුවීම ඇරඹෙනුයේ පසුගිය 12 වැනිදාය. සංචාරය අතරතුර එදින සී. ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සමග සුහද රග්බි තරගයක් ක්‍රීඩා කළ ක්ලේම් පයිරේට්ස් ක්‍රීඩකයෝ ලකුණු 30-29ක් ලෙස ඉන් තියුණු ජයක් ලැබීමට සමත් වූහ. තරගය ජය ලැබීමේ ප්‍රීතියෙන් සිටි ඔවුන් ලොංග්ඩන් පෙදෙසේ ක්‍රීඩාංගනයෙන් විසිර යන්නේ රාත්‍රී ආහාරයද ගැනීමෙන් පසුවය. අනතුරුව ක්ලේම් පයිරේට්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් තමන් නවාතැන් ගෙන සිටි හෝටලයට යන අතර තවත් ක්‍රීඩකයින් පිරිසක් රාත්‍රි සමාජ ශාලාවකට ගොස් ඇත. වාර්තා වන අන්දමට කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ පිහිටි ක්ලියො පැට්‍රා සමාජ ශාලාව වෙත ඔවුන් ගොස් ඇත. එහිදී ඔවුන් මත්පැන් මෙන්ම මත්ද්‍රව්‍යද භාවිත කරමින් රිසිසේ විනෝද වී ඇත්තේ පැය කිහිපයකට පෙර ලැබූ ජයග්‍රහණය සමරමිනි. පසුදා එනම් 13 වැනිදා පයිරේට්ස් කණ්ඩායමේ රග්බි ක්‍රීඩකයින් දෙදෙනෙකු වන තෝමස් හොවාඩ් සහ බැටී රීඩ් ස්වසන අපහසුතා හේතුවෙන් රෝහල් ගතකර තිබුණි. එදිනම තෝමස් හොවාඩ් මියගිය අතර අනෙක් ක්‍රීඩකයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය. අනතුරුව රෝගීව සිටි බැටී රීඩ්ද පසුගිය 15 වෙනිදා මියගියේය.

මේ සටහන තබන මොහොත වන විටදීත් මෙම ක්‍රීඩකයින් දෙදෙනා මියගිය සැබෑ හේතුව ගැටලුවකි. පළමුව මිය ගිය තෝමස් හොවාඩ්ගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදි අනාවරණය වූයේ තුවාල සිදුවීමකින් හෝ රෝගයකින් එම මරණය සිදුනොවූ බවය. මේ අතර, 12වැනිදා රාත්‍රියේදි ස්ථිරවම තහවුරුවී නොමැති මුත් බොහෝ විට හෙරොයින් මෙම ක්‍රීඩකයින් පානය කළ බව සමාජජාල මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබිණි.

මියගිය තෝමස් හොවාඩ් 26 හැවිරිදි වියේ පසුවූ අතර ඔහුගේ 29 හැවිරිදි බිරිඳ එමා සමග ඔහු ඩර්හැම්හි ඇඟලුම් වයාපාරයක් පවත්වාගෙන යන ලදි. එසේම ඔහු කුඩා කල සිටම ඩර්හැම් රග්බි කණ්ඩායම සමග සම්බන්ධ වී සිටි ක්‍රීඩකයෙකි. ඔහු ඩර්හැම් රග්බි ක්‍රීඩා සමාජයේ දෙවැනි පෙළ කණ්ඩායමේ නායකයා ලෙස පසුගිය වසරේ කටයුතු කළේය. බැටී 27හැවිරිදි වූ අතර ඩර්හැම්වලට මෑතකදී පැමිණ තිබුණි. ඔහු ඩර්හැම් පළමු පෙළ රග්බි කණ්ඩායමේ සාමාජිකයෙකි.

මෙම රග්බි ක්‍රීඩකයින් අවසන් වරට ගියා යැයි පැවසෙන ක්ලියෝ පැට්‍රා රාත්‍රී සමාජ ශාලාව සහ එහි හිමිකරුවන් පිළිබඳවද කතාබහක් මේ වන විට නිර්මාණය වී තිබේ. ක්ලියෝ පැට්‍රා සමාජ ශාලාව පසුගිය කාලය පුරා ආන්දෝලනයට ලක් වූ ස්ථානයකි. එම සමාජ ශාලාව වෙත පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීම සඳහා භාවිත කරනු ලබන විවිධ උපාය උපක්‍රමද, ඊට පැමිණෙන පුද්ගලයන්ගේ හැසිරීම පිළිබඳවද යාබද ව්‍යාපාරික ස්ථානවල හිමිකරුවන් පැමිණිලි කර තිබුණි. නමුත් ඒ සම්බන්ධව නිසි පියවර ගැනීමට පොලිසිය හෝ එම ආයතනය පිහිටි ගොඩනැගිල්ලේ කළමනාකාරිත්වය දරන ආයතනය අපොහොසත්ව තිබේ.

මෙම සමාජ ශාලාවේ හිමිකරු වනුයේ මෙම සාප්පු සංකීර්ණයේම සුපිරි ගණිකා නිවාසයක් පවත්වාගෙන යන ‘ජිනා මැඩම්’ ලෙස හැඳින්වෙන කුප්‍රකට කාන්තාවගේ පුත්‍රයාය. ජිනා ලෙස හැඳින්වූවද ඇගේ නියම නම රෝස්මරී ෆිලීෂියා පෙරේරාය. ඇය විසින් පවත්වාගෙන ගිය එම ගණිකා මඩම නිසා කීපවරක්ම අත්අඩංගුවට පත්වූ අතර ඉතා ඉක්මනින්ම නැවත ඇප ලබා පැමිණීමටද ඇයට හැකියාව ලැබුණි. එතරම්ම ඈ බලවත්ය. ඇගේ එම බලවත්භාවය පසුපස ඇත්තේ ප්‍රබල හස්තයන් මිස අන් කිසිවක් නොවේ.

ඇය අත්අඩංගුවට පත්වී බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ පසුවූවද, අත්අඩංගුවෙන් මිදී නිදහසේ සිටියද වැඩි වෙනසක් නැත. අත්අඩංගුවේ සිටින විට බන්ධනාගාර නිලධාරීන් ඇය රැකබලා ගන්නා අතර එළියේ සිටින විට වෙනත් පිරිසක් එම රාජකාරිය සිදු කරයි. කොතැනක සිටියද ඇය සුරක්ෂිතය. එනිසාම ඇගේ ව්‍යාපාරයද දවසින් දවස වැඩි දියුණුවෙමින් පවතී. අනෙක් අතට පොලිසියද ඇගේ ගණිකා නිවාසය වටලන්නේ එසේ නොකර බැරිකමටය. නැතහොත් ඇඟ බේරා ගැනීමටය. කොළඹ උසස් පාසල්වල සිසුන් පවා යන එන තැනක් හැටියට ප්‍රසිද්ධ ජිනා මැඩම්ගේ ගණිකා නිවාසය පිළිබඳව පොලිසිය නොදන්නවා යැයි කිරි දරුවෙකු පවා විශ්වාස නොකරන කාරණයකි. එබැවින් ඇගේ නීති විරෝධී ව්‍යාපාරය පිළිබඳව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම පිටුපස ඇත්තේ ප්‍රබල හස්තයන්ගේ ආරක්ෂාවයි හා ආශිර්වාදය බව සුපැහැදිලිය.

ඇගේ ව්‍යාපාරික ස්ථානය පිහිටා ඇත්තේ ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණයේය. විදුලි සෝපනය ඔස්සේ අටවැනි මහලට පැමිණ පිටින් බලන්නෙකුට ඔපදැමූ දැකුම්කලු පිත්තල තහඩුවක The Ambassador ලෙස සඳහන් නාම පුවරුවක් දක්නට ලැබේ. ඒ, ජිනා මැඩම්ගේ ගණිකා නිවාසයේ නිල නාමයයි. එහි ගණිකාවන් අලෙවි වන්නේ ඉතා සුපිරි පන්තියේ පුද්ගලයන්ටය. ශ්‍රී ලංකාවේ පමණක් නොව රුසියානු සහ උස්බෙකිස්ථාන් තරුණියන්ගේද සේවාව එහිදී ලබාගත හැකිය. දේශපාලකයින්, ඉහළ පොලිස් නිලධාරීන් පමණක් නොව, ඉතා ධනවත් ව්‍යාපාරිකයින්, ඉහළම නීතිඥවරුන් ඇතුළු සමාජයේ නාමධාරි පුද්ගලයන් ජිනා මැඩම්ගේ ගණිකා නිවාසයේ සමීප ගනුදෙනුකරුවන්ය.

වරක් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් මෙම ස්ථානය වැටලු අවස්ථාවේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්ව ආ මෙරට සංස්කෘතික නියෝජ්‍ය ඇමතිවරයාද එහි හිඳ හසු විය. නමුත් දේශපාලන හයිය නිසා ඔහුට අත්අඩංගුවෙන් මිදී පළා යාමට හැකිවිය.

ඇය අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදී බන්ධනාගාරයේදීද ගත කර ඇත්තේ සුපිරි ජීවිතයකි. වෙනම නානකාමර සහ වැසිකිළි පහසුකම් ඇයට ලැබී ඇති අතර දිනකට රුපියල් දස දහසක පමණ ආහාර සඳහා ඇගේ පුතා වූ දිනේෂ් ඇන්තනි විසින් වියදම් කර ඇත. ඇය වෙනුවෙන්ම වෙන් කළ සේවකයෙකු දිනකට කිහිප වරක් ඇයට අවශ්‍ය කළමනා බන්ධනාගාරය වෙත සපයා තිබුණි.

ක්ලියෝ පැට්‍රා සමාජ ශාලාව පිහිටා ඇත්තේ ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ බිම් මහලේය. නිරන්තර‍ෙයන් ගැටුම් සහ කළහ ඇති වන ස්ථානයක් ලෙස අපකීර්තිමත් වාර්තාවක් සහිත මෙම රාත්‍රී සමාජ ශාලාව වෙත ඩර්හැම් රග්බි ක්‍රීඩකයින් යෑමත් ඉන් දෙදෙනෙකු මියයාමත් සමගම එම අපකීර්තිය තව තවත් ඉහළ ගොස් ඇත්තේ ඊට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක්ද නොමිලේ ලබා දෙමිනි. කුමන ආකාරයකින් හෝ රග්බි ක්‍රීඩකයින් දෙදෙනාගේ මරණ යම් ප්‍රශ්නකාරී තත්වයක් නිර්මාණය කළහොත් එය කෙසේවත් අප රටට සුබදායක නැත.

ශ්‍රී ලංකාවේදී විදෙස් රග්බි ක්‍රීඩකයින් මියගිය පළමු අවස්ථාව මෙය නොවේ. 1997 වසරේ ලෝක කම්කරු දිනයදා කොළඹ හැව්ලොක්ස් රග්බි කණ්ඩායමට ක්‍රීඩා කළ විදෙස් ජාතික රග්බි ක්‍රීඩකයෙකු වූ පැපුවා නිව්ගිනියා ජාතික ජොයෙල් ප්‍රේරා අලුයම් කාලයේදී මරා දමා තිබුණේ කොල්ලුපිටිය කාල්ටන් කැසිනෝ ශාලාව ඉදිරිපිටදීය. ඔහු හැව්ලොක්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද ක්‍රියා කරමින් සිටි අතර ප්‍රේරා පැපුවා නිව්ගිනියාහි අතිශයින්ම ජනප්‍රිය රග්බි ක්‍රීඩකයෙක් විය. ශ්‍රී ලංකාවටත් වඩා ඒ අවස්ථාවේදී ආන්දෝලනය ඇතිවූයේ පැපුවා නිව්ගිනියාවේය. හේතුව ඔහුගේ මරණය සම්බන්ධව නිසි පරීක්ෂණ නොපැවැත්වීම සහ ඔහුට සාධාරණයක් ඉටු නොවීම නිසාය. එම අවස්ථාවේ පැපුවා නිව්ගිනියාහි සේවය කළ ශ්‍රී ලාංකිකයින්ට පහරදීම්ද සිදුව තිබුණි.

ජොයෙල් ප්‍රේරා ඝාතනයේ සිද්ධිය ඇසින් දුටු ප්‍රධාන සාක්ෂිකරු වූයේ ඔහු සමග එම අවස්ථාවේ සිටි සහෝදර ක්‍රීඩක ගිඩිස්බාන් රකාය. රකාට අධිකරණයේදී ඝාතකයින් කිසිවෙකු හඳුනාගැනීමට නොහැකි විය. එසේ වූයේ අධිකරණයට ඉදිරිපත් කර සිටියේ එම සිදුවීමට කිසිදු සම්බන්ධයක් නැති අහිංසක පුද්ගලයෙකු නිසාය. අවසානයේ ප්‍රේරාට ඝාතකයෙකු නොමැති මරණකරුවෙකු ලෙස මෙලොවින් සමුගැනීමට විය.

එවැනි අපකීර්තිමත් ඉතිහාසයක් තිබූ අඳුරු යුගයක් අප රට සතුව පැවතුණි. එදා එම ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස මාධ්‍ය මගින් පවා හඳුනාගත් පුද්ගලයා අද මහනුවර දිස්ත්‍රික්කයෙන් මෙරට උත්තරීතර ව්‍යවස්ථාදායකය නියෝජනය කරමින් සිටී. එය සැම දෙනාම දන්නා නමුත් කිසිවෙකු කථා නොකරන මාතෘකාවකි. එබැවින් මේ අවස්ථාවේ අප රටේදී මියගොස් සිටින ඩර්හැම් රග්බි ක්‍රීඩකයින් දෙදෙනාගේ මරණවලට සැබෑ හේතු සොයාගෙන ඒ සඳහා ගත යුතු නිසි පියවර ගැනීමට බලධාරීන් වගබලා ගතයුතුය. එසේ නොවුවහොත් නැවත වතාවක් අප රටට අපකීර්තියක් ඇති වන සිදුවීම් පෙළකින් මෙම රග්බි ක්‍රීඩකයින්ගේ මරණයන්ද කෙළවර විය හැකිය.

මේ සම්බන්ධයෙන් ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ හිමිකාරීත්වය දරන Colombo Land and Development (PLC) ආයතනයෙන් කළ විමසීමකදී එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වාසුල ප්‍රේමවර්ධන ප්‍රකාශ කළේ සිදුවීමට අදාළ රාත්‍රී සමාජ ශාලාව පිළිබඳව කිසිදු හිමිකමක් තමන්ට නොමැති බවයි. එසේ වුවද තම පාලනය යටතේ ඇති ස්ථානයක පවත්වාගෙන යන ආයතනයක සිදුවූ මෙබඳු සිදුවීමකදි එතරම් සැහැල්ලුවෙන් ඔහුට ගැලවිය හැකිද යන්න ප්‍රශනාරථයකි. මෙම ආන්දෝලනාත්මක සමාජ ශාලාව පිළිබඳ මෙම වෙළඳ සංකීර්ණයේ ඇති සෙසු ව්‍යාපාරික ආයතන එහි කළමනාකාරිත්වයට නිරතුරුවම පැමිණිලි කර ඇති බව කියැවෙන පසුබිමක මීට වඩා වැඩි වගවීමක් අනිවාර්යෙන්ම තිබිය යුතුය.

[ඩබ්ලිව්.ආර්. කුමාර]

මාතෘකා