පොදු ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීම

 ඡායාරූපය:

පොදු ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීම

පසුගිය 10 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධනවල මිල ගණන් ඉහළ ගිය අතර ඒ සමඟම ප්‍රවාහන ගාස්තු ඉහළ යාම පිළිබඳව ද මේ වනවිට කතාබහක් ඇති වී ඇත. ලංකා ඛනිජ තෙල් සංස්ථාව අලෙවි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින්ද ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 14 කින් ද සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 09කින් ද ඉහළ නංවා ඇත. මේ සමඟ පොදු ප්‍රවාහනයට අදාළ විවිධ වෘත්තිය සමිතිවලින් ප්‍රවාහන ගාස්තු වැඩි කරන මෙන් ඉල්ලීම් කරන ලදි. එම නිසා ඉන්ධනවල මිල ගණන් ඉතා සුළු ප්‍රමාණයකින් ඉහළ ගිය පමණින් ප්‍රවාහන ගාස්තු වැඩි විය යුතුද යන්න ඊට අදාළ සියලුම පාර්ශ්වයන්ගෙන් විමසුමක් කළෙමු.

නාමිකව හරි අවම අගය රු. 11ක් විය යුතුයි

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න

බස් ගාස්තුව වැඩි කරන්න කියලා අපි ඉල්ලන්නේ ඉන්ධන මිල ඉහළ ගිය නිසා නෙමෙයි. මේ වකවානුවේ තමයි වාර්ෂිකව බස් ගාස්තු සංශෝධනයක් සිදු වෙන්නෙ. ඒක සිද්ධ වෙන්නෙ මිල සූත්‍රයකට අනුව. ඒ සඳහා අපිට සාධාරණ හේතු තියනවා. සේවක පඩි නඩි, අමතර කොටස්වල වියදම්, නඩත්තු කටයුතු සඳහා වියදම්, පොළී අනුපාතයන් වගේ කරුණු සලකා බලලා තමයි අපි ඒ ගාස්තුව වැඩි කරන්න කියලා ඉල්ලන්නේ. ඒ සඳහා නිවැරදි ගණනය කිරීමක් කරන්න කියලා අපි ඉල්ලා සිටියා. ඒත් ඒකේ යම් දෝෂයක් තියනවා. දැනට බස් ගාස්තු 6.5%කින් වැඩි වෙලා තියනවා. ඒත් ඉහත කරුණු සියල්ලම සලකා බලලා බස් ගාස්තු 10%කින් ඉහළ දමන්න කියලා අපි කියනවා. අවම අගය වැඩි වෙන්න ඕනේ කියන්නේ නැහැ. ඒත් බස් ගාස්තු චක්‍රය අනුව අවම අගය රු.11ක් විය යුතුයි. ඒත් ඒ රුපියල අපේ කොන්දොස්තර මහත්තුරු ඉල්ලන්නේ නෑ. ඒත් වැඩි වීම්ක් සිද්ධ විය යුතුයි. නැත්නම් බස් ගාස්තු චක්‍රය වෙනස් වෙලා ඊළඟ වසරේ අපිට පාඩුවක් වෙනවා. ඒ නිසා නාමිකව හරි අවම අගය රු. 11 කින් වැඩි කරන්න ඕනේ.

පළමු කිලෝමීටරය රු. 10කින් වැඩිවීම අවශ්‍යයි

සමස්ත ලංකා ත්‍රීරෝද රථ ලලිත් ධර්මසේකර

ඉන්ධන මිල ඉහළ ගිය දිනයට පසු දිනයේම අපි කිව්වා ත්‍රීරෝද රථ ගාස්තුව වැඩි කරනවා කියලා. 2012 සිට මේ වෙනකන් අපි කිසිඳු මිල ගණන් සංශෝධනයක් කරලා නැහැ. 2012 තමයි අපි තීරණය කළේ පළමු කිලෝ මීටරය රු. 50කින් පටන්ගන්න. අපි අවුරුදු හයක් තිස්සේ ත්‍රීරෝදරථ ගාස්තුව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ආවා. මෙවර අපි තීරණය කළා පළවෙනි කිලෝමීටරය විතරක් රු. 10කින් වැඩි කරන්න. එතකොට දැන් මීටරේ පටන්ගන්නේ රු. 60න්. ගොඩක් අය අපිට චෝදනා කරනවා පෙට්‍රල් ගණන් ගිය පමණින් ත්‍රීරෝදරථ ගාස්තුව වැඩි කරන්න පුළුවන්ද කියලා. ත්‍රීරෝද රථ මිල ගණන් වැඩි කරන්න බලපාන සාධකය පෙට්‍රල් නම් අපි යෝජනා කරනවා සෑම කිලෝමීටරයක්ම රුපියලකින් වැඩි කරන්න කියලා. එතකොට කිලෝමීටර 100ක් ගියොත් රු. 100ක් ගෙවන්න වෙනවා. අපි කියන්නේ පළවෙනි කිලෝමීටරය විතරක් රු. 10කින් වැඩි කරන්න කියලා විතරයි.

ගාස්තුව වැඩි කළොත් මඟියාට අසාධාරණයි

ත්‍රීරෝදරථ රියැදුරු හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් රෝහණ පෙරේරා

පෙට්‍රල් ගණන් ගියේ රු. 20කින් විතරයි. ඒ නිසා ත්‍රීරෝදරථ ගාස්තුව වැඩි කරන්න අවශ්‍ය නැහැ කියන මතයේ අපි ඉන්නවා. ඒත් බෝඩ් ලැල්ලට සීමා වුණු කොම්පැනිවලට ආවඩන ත්‍රීරෝදරථ වෘත්තිය සමිති මේ ගාණ වැඩි වෙන්න ඕනේ කියලා කෑ ගහනවා. රු. 20කින් පෙට්‍රල් ගණන් ගියාට පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර 25ක් අපි දුවනවා. එහෙම බැලුවාම කිලෝමීටරේට සත 80යි වැඩි වෙන්න ඕනේ. ත්‍රීරෝදරථ රියැදුරු මහත්තයෙක් දවසකට කිලෝමීටර් 100ක් දිව්වොත් රු. 3000 ආසන්න මුදලක් උපයනවා. ඒක ලොකු ලාභයක් නෙමෙයි. ඒත් එතකොට අර සත 80ට රු 80යි පාඩු වෙන්නෙ. ඒත් හැම හයර් එකේදිම මීටරේ වැටෙන්නෙ 4,6,8 වගේ කැඩිච්ච ගණන්. ඉතින් ඒවගේ ඉතුරු සල්ලි ඉල්ලන්නේ නැතුව බහුතරයක් මඟියොත් බැහැලා යනවා. මේ හැමදේම ගැන සලකා බැලුවාම කිසිම ආකාරයකින් මිල ගණන් වැඩි නොකළ යුතුයි කියන මතයේ අපි ඉන්නවා.

අවමය නොව ඊට එහා ගණන් වැඩි කළ යුතුයි

බස්රථ රියදුරු සුමිත් ක්‍රිශාන්ත

බස් ගාස්තු වැඩි කිරීමක් කරන්න ඕනේ. දැන් CTB බස් තියනවා ප්‍රයිවට් බස්වලට වැඩිය. තනිකරම මෙතන තරඟයක් තියෙන්නේ. ඒ තරඟයත් එක්ක අපිට සෙනඟ නැතිකමක් තියනවා. නිකන් දුවන්න ඕනේ පලියට දුවලා වැඩක් නෑ. ඩීසල් ලීටර් 65ක් ඕනේ කිලෝමීටර් 90ක් දුවන්න. බස්ගාස්තු 6.5 % කින් වැඩි වෙලා මදි. 10%ක් කළොත් ඒක සාධාරණයි කියලා මම හිතනවා. ඒ වැඩි කළත් අවම ගාන වෙන්නෙ රු. 11යි. ඒත් අපේ කොන්දොස්තර මහත්තුරු ටිකට් කඩන්නේ රු.10යි. අවම ගාස්තුව වැඩි නොකළත් කමක් නැහැ. ඒත් එතනින් එහා ගණන් වැඩි කරන්න ඕනේ. ඒත් එහෙම කොච්චර තෙල් මිල ඉහළට ගියත්, බස් ගාස්තු වැඩි වුණත් අපේ පඩුනඩි නම් වැඩි වෙන්නෙ නැහැ. හැමදාම එකම ගාණ තමයි අපිට හම්බෙන්නේ.

බස් ගාස්තු වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ

අජිත් හෙට්ටිආරච්චි ( රියදුරු සහයක)

මම කොන්දොස්තර රස්සාව කරන්නේ 88 ඉඳන්. දැන් අවුරුදු 30ක් වෙනවා. මේ කාල සීමාවේදි විවිධ අවස්ථාවල බස් ගාස්තු වැඩි වුණා. මේ සැරෙත් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟම බස් ගාස්තු වැඩි වීමක් වෙන්න ඕනේ කියලා මම හිතනවා. හැබැයි ඒ වැඩි වීම මඟියාට වගේම බස්‍ රථ හිමියන්ටත් සාධාරණ විය යුතුයි. රු.33 වගේ කැඩිච්ච ගණන්

රු. 35කි, රු. 75 වගේ ගණන් රු. 77කින් වගේ වැඩි වෙන්න ඕනේ. මිනිස්සු මාරු සල්ලි අරන් නෙමෙයි බස් එකට නඟින්නේ. අවශ්‍ය ගාණ දුන්නේ නැත්තන් ඉතුරු සල්ලි දෙන්න වෙන්නෙ අපිට. සමහරු ඒකත් රුපියලටම ගණන් බලනවා. ඉතින් මේ දේවල් ගැන සලකලා බැලුවාම බස් ගාස්තු වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ.

අපිට මේ රස්සාව කරලා පාඩු විඳින්න බැහැ

ත්‍රීරෝදරථ රියදුරු රුවන් කුමාර

ත්‍රීරෝදරථ ගාස්තුව වැඩි විය යුතුයි කියලා මම හිතනවා. අවම වශයෙන් රු. 5කින්වත් ගාස්තු වැඩි වෙන්න ඕනේ. මේ ගාණ තියෙද්දිත් අපි අමාරුවෙන් ජීවිතේ ගත කරන්නේ. පෙට්‍රල් රු. 20කින් වැඩි වුණා කියන්නේ අපිට තවත් වියදම් කරන්න වෙනවා ඒකට. ඒ නිසා ඒ ගාණ අපි මඟීන්ගෙන් ගත්තේ නැත්තං මේ රස්සාව කරලා පාඩු විඳින්න සිද්ධ වෙන්නෙ. ඒ වගේම දැන් ටැක්සි කම්පැනි දවසින් දවස වැඩි වෙනවා. එයාලා අපිට වඩා අඩුවෙන් ගාස්තු අය කරන නිසා දැන් ගොඩක් අය ඒවයේ යන්න පුරුදු වෙලා. ඒ නිසා අපිට දැන් හයර් ඉස්සර වගේ නැහැ. ඒ නිසා ත්‍රීවිල් ගාස්තුව වැඩි වෙන්න ඕනේ. ඒක මඟියාගේ පැත්තෙන් අසාධාරණ වෙන්න පුළුවන්. ඒත් අපිට මඟියා ගැන විතරක් හිතලා පාඩු ලබන්න බැහැ.

හැමදේකින්ම පීඩාවට පත් වෙන්නෙ මහජනතාව

කේ. එච්. සී ජයලතා

ඉන්ධනවල මිල වැඩි වූ පමණින් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීම මම අනුමත කරන්නේ නැහැ. ඉන්ධන මිල වැඩි වුණ ගමන්ම බස් ගාස්තු ත්‍රීවිල් ගාස්තු විතරක් නෙමෙයි අනිත් ඔක්කොමත් වැඩි වෙනවා. කෑම බීමවල ගණන් පවා වැඩි වෙනවා. හැමදේම වැඩි වෙනවා විතරයි. අඩු වීමක් වෙන්නෙ නැහැ. මේ ප්‍රවාහන ගාස්තු වැඩි වෙන එකට මම විරුද්ධයි. මේවා වැඩි වෙනවා වගේ මිනිස්සුන්ගේ පඩි වැඩි වෙන්නෙ නෑනේ. මේ හැමදේම මිනිස්සු ගෙවන්න ඕනේ තමන්ගේ පඩියෙන්. මේ හැමදේකින්ම පීඩාවට පත් වෙන්නෙ මහජනතාව විතරයි.

[නිර්මාණි බණ්ඩාරනායක]

ඡායා [රංජිත්]

මාතෘකා