මුදලට නීතිය නැවූ මාධ්‍ය -නීතිඥ හවුල | ඇස පාදන රැස


මුදලට නීතිය නැවූ මාධ්‍ය -නීතිඥ හවුල

 ඡායාරූපය:

මුදලට නීතිය නැවූ මාධ්‍ය -නීතිඥ හවුල

අධිකරණ පද්ධතිය ආරම්භ වූ ඉතිහාසයේ පටන් මෙරට විශිෂ්ට නීතිඥ ප්‍රජාවක් සිටී. ඔවුහු තම සේවාදායක මහජනතාව වෙනුවෙන් යුක්තිය පසිඳලීමේ කාර්ය ඉටුකරමින්, තම වෘත්තික භාවයට සරිලන මිළක් ලබාගනිති. එම වෘත්තීය මැදිහත්වීම මඟින් යම් පුද්ගලයකු අධිකරණය හමුවේ නිවැරැදිකරුවෙකු මෙන්ම වැරදිකරුවෙකුද විය හැකිය. ඒ අනුව එම වෘත්තීය, වගකීම්සගත වූවකි. එයට සාධාරණ මිළක් නියමවීම යුක්ති සහගතය. සමාජයද එය ගෞරවනීය වෘත්තීයක් ලෙස සලකයි. මෙරට මාධ්‍යකරුවාගේ භූමිකාව වෘත්තීයක් වශයෙන් පිළිනොගත්තත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්  මහජනතාවට වඩා ඉදිරියට ගොස්, මිනිස් ජීවිතවලට සමීපව විශිෂ්ට සේවාවක් ඉටුකරති. සමාජයකට අවශ්‍ය මඟ පෙන්වති. නීතියටත්, අනෙකුත් ඕනෑම වෘත්තීන්ටත්  විටෙක ඉදිරිය පෙන්වන්නේ මෙකී මාධ්‍යකරුවාය. එම කාර්‍යයට නිශ්චිත මිළක් නියමව නැතත් එය සමාජ වගකීමක් හා යුතුකමක්ද වේ. මහජනයාගේ ජීවිතයට සමීප හා ඍජුව සම්බන්ධවන වෙනත් වෘත්තීන් කොතෙකුත් ඇතත් නීතිඥවරුන්ට හා මාධ්‍යකරුවන්ට වගකීම් සහගත කාර්යයක් බාරව තිබේ. ඒ හරහා ඔවුන් මත ගොඩනැගෙන සිවිල් බලයක් තිබේ. ගෞරවයක් තිබේ.

එහෙත් ඒ හරහා මෙම  වෘත්තීන් වෙත ගොඩනැගෙන සිවිල් බලයෙන් අයුතු ප්‍රයෝජන ගන්නා පිරිස් ද සිටිති. එය අප ජීවත්වන කලාපයේ රටවල ඕනෑම වෘත්තියක් තුළ දැකිය හැකි පොදු ලක්ෂණයකි. එමෙන්ම මෙම වෘත්තීන්ට පුද්ගලික සම්බන්ධතා, මූල්‍යමය ගනුදෙනු තිබිය හැකිය. ඒවා පුද්ගලිකත්වය සතු කාරණා බව අපි තදින්ම විශ්වාස කරමු. එහෙත් එවැනි ගනුදෙනු පුද්ගලිකත්වයෙන් එහා ගොස් සිය සිවිල් සබඳතා බලය පාවිච්චි කර යමෙකුට අසාධාරණයක් සිදුකරයි නම් හෝ වංචාවන් හෝ බොරු චෝදනා එල්ල කරයි නම් එය බරපතළ වරදකි. ඉකුත් ජනවාරි 11වෙනිදා හෙලිදරව් කළ ' පගාවට නඩු අසා නීතියේ දෙවොල කෙලෙසූ ගාල්ලේ මහාධිකරණ විනිසුරු - මොහාන් සෙනෙවිරත්න ' මැයෙන් ලියැවුණු ලිපියේ සඳහන් නීතිඥවරිය සම්බන්ධ මූල්‍යමය ගනුදෙනුවක දිගුවක් වන මෙම ලිපියේ ආරම්භය මෙරට ප්‍රධානතම පුවත්පතක මාධ්‍යවේදියෙකු සමගද සම්බන්ධ වේ. එනයින් බලාපොරොත්තු වන්නේ එම මාධ්‍ය ආයතනය හෝ එහි සිටින විශිෂ්ට සහෝදර මාධ්‍යකරුවන් අපහසුතාවයට පත් කිරීමවත්, අගතියට පත්කිරීමවත් නොවේ. හුදෙක් උක්ත මහාධිකරණ විනිසුරුවරයා හා බැඳෙන මූල්‍යමය චෝදනා ලත් නීතිඥවරිය පිළිබඳව හෙළිකිරීම මෙහි මූලිකම අරමුණ වෙතත් වින්දිත පාර්ශ්වය හෙළිකරන අනෙකුත් තොරතුරු මහජන තොරතුරු දැනගැනීම උදෙසා හෙලිදරව් කිරීම බලාපොරොත්තු වේ. ඒ සඳහා හඬ පට, වීඩියෝ දර්ශන හා සියලු ලිපි ලේඛනද ඇති අතර මෙමඟින් එම පුවත්පත් කර්තෘවරුන් හෝ සහෝදර මාධ්‍යකරුවන් හෝ නීතිඥ ප්‍රජාව අපහසුතාවයට  පත් නොවනු ඇතැයි විශ්වාස කෙරේ.

එල්.එච් දීපිකා දමයන්තිගේ පැමිණිල්ල

බණ්ඩාරමුල්ල , මිරිස්ස ලිපිනයෙහි පදිංචි එල්. එච් දීපිකා දමයන්ති එම ප්‍රදේශයේ හෝටලයක් හිමි ව්‍යාපාරික කාන්තාවක හා සමාජ සේවිකාවකි. ඇයත් සමඟ කලකට පෙර සිට හිතවත් වූ මෙරට ප්‍රධානතම පුවත්පතක මාතර ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ඇයගෙන් ලක්ෂ 30ක ණය මුදලක් ලබාගෙන තිබේ. ඇය ජනාධිපතිවරයාට, පොලිස්පතිවරයාට සහ ජාතික පොලිස් කොමිසම වෙත යවා ඇති පැමිණිලිවලට අනුව එම ණය මුදල් අදාළ මාධ්‍යවේදියාට ලබා දී ඇත්තේ පහත පරිදිය.

2014.02.11වන දින රුපියල් 1,350,000ක් ද, 2014.11.24 දින රුපියල් 1,000,000ක් ද ද, 2014.11.26 දින රුපියල් 475,000ක් ද සහ 2014.12.10 දින රුපියල් 175,000ක් වශයෙන් එම ණය මුදල ලබා දී තිබේ. හිතවත්කමත්, නැවත ගෙවන පොරොන්දුවත් මත ලිඛිත සඳහනක් ලබානොගෙන එම ණය මුදල් ලබාදීමට දීපිකා දමයන්ති  කටයුතු කර තිබේ. එම මාධ්‍යවේදියා  දිගින් දිගටම ණය මුදල ගෙවීම පැහැර හැර ඇති අතර, පසුව ඔහු සිය වැටුපෙන් මාසිකව රුපියල් 20000ක් දමයන්තිගේ ගිණුමකට බැරවන පරිදි අංක CSO/MTB/14/A/0000024 යටතේ ස්ථාවර නියෝගයකින් මුදලක් ආපසු  බැරකර තිබේ. ඒ අනුව 2014.03.27 සිට 2016.04.28 දක්වා දමයන්තිගේ සෙලාන් බැංකු ගිණුමකටද, ඉන්පසුව සම්පත් බැංකු ගිණුමකටද, ලංකා බැංකු ගිණුමකටද කොටස් වශයෙන් ණයෙන් කොටසක් පියවා තිබේ.

2014.11.26 දින පළමු ලියාපදිංචිය සහිත,  අංක 152/A, උඩ අපරැක්ක, අපරැක්ක, මාතර ලිපිනයේ පදිංචි අදාල මාධ්‍යවේදියාට අයත්ව තිබූ SP BBN - 8293 දරන මෝටර් බයිකලයේ ලියාපදිංචිය 2016.05.27 දින දමයන්ති වෙත පවරා ඇත්තේ එය විකුණා ණය පියවා ගන්නා ලෙස දන්වමිනි. ඇය මෝටර් බයිසිකලය රුපියල් 15000කට විකුණා තිබේ. අදාල මාධ්‍යවේදියා ඊට පෙර බැංකු ගත කළ මුදල සහ මෝටර් බයිසිකලය විකුණා ලැබූ මුදල රුපියල් 892000ක් බවත්, තමන් ලබාදුන් ලක්ෂ 30ක මුදලෙන් නැවත ලැබුණේ එපමණක් බවත් දමයන්ති විසින් ජනාධිපතිවරයා, අගමැතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු රජයේ ආයතන වෙත යවන ලද ලිපිවල සඳහන් කර තිබේ.

දමයන්තිට බොරු පැමිණිලි

එම පැමිණිලිවල වැඩිදුරටත් දක්වා ඇත්තේ 2016.05.16 වැනිදා ස්ථාවර දුරකථනයකින් දමයන්තිට කතා කළ  අදාළ මාධ්‍යවේදියා ' මැඩම් ගහපු කැලෑ පත්තර ටික සීසීටීවී කැමරාවක තිබිලා ගහපු එකාව අල්ලගත්තා. මම දැන් ඌත් අරගෙන ඩී.අයි.ජී සුමිත් එදිරිසිංහ ළඟට යනවා. මැඩම් ඇතුළට යන්න බලාගෙන ඉන්න'යැයි ප්‍රකාශ කර තිබේ. ඉන්පසුව ඔහුගේ මව ලෙස කාන්තාවක්ද, තවත් පුද්ගලයන් කීපදෙනෙක්ද දුරකථනයෙන් අමතා එම තොරතුරු දමයන්ති වෙත පවසා තිබේ. පසුව මාධ්‍යවේදියාගේ හිතවතියක බව කියැවෙන ජීවනී චම්පිකා හෙවත් බොබී නැමැත්තියක දුරකථනයෙන් අමතා එම කැලෑ පත්තර ගැසූ බවට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා නිදහස් කරගැනීම සඳහා ලක්ෂ 10ක මුදලක් ඩී.අයි.ජී සුමිත් එදිරිසිංහ ඉල්ලා සිටින බවත්, එය තමන් ලක්ෂ 6කට අඩු කරගත් බවත්, එය නොදුන්නහොත් එම චෝදනාවට දමයන්තිට රිමාන්ඩ් වීමට සිදුවනු ඇති බවත් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව තමන් මත  පැවරීමට යන බොරු චෝදනාවට හා පොලීසියට ඇති බියෙන් දමයන්ති දෙවරකදී ලක්ෂ 5ක මුදලක් ලබා දී තිබේ. එම ගනුදෙනු සිදු වූ දුරකථන සංවාද දමයන්ති විසින් පටිගත කර ඇත. පසුව එම බොරු චෝදනාව සහ මුදල් ලබාගැනීම වංචාවක් බව තේරුම්ගත් දමයන්ති මාතර වංචා විමර්ශන අංශයට පැමිණිලි කර කොටස් වශයෙන් එම මුදල චම්පිකා නැමැත්තියගෙන් ලබාගෙන තිබේ. ඊට අමතරව එම වංචාවට විරුද්ධව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ 62988 යන නඩුව තවමත් විභාග වෙමින් තිබේ.

තවත් බොරු චෝදනාවක්

2016.05.31 දින දමයන්තිගේ ජංගම දුරකථනයට අදාල මාධ්‍යවේදියාගේ 071423097 දරන අංකයෙන් කෙටි පණිවිඩයක් එවමින්  වියදම සඳහා ලක්ෂ 5ක මුදලක් ඉල්ලා තිබේ. දමයන්ති එම මුදල ලබාදීමෙන් වැලකී තිබේ. එම මාධ්‍යවේදියා 2016.12.14 දින මාතර තිහගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඔවුන් පානීය ජලය ලබාගන්නා ළිඳට කවුරුන් හෝ වස දමා ජීවිතහානි කිරීමට කටයුතු කර ඇති බව පැමිණිලි කර තිබේ. 2016.12.18 වෙනිදින නැවතත් ඔහු ප්‍රකාශයක් ලබාදෙමින් වස දැමීම සඳහා කොන්ත්‍රාත්තුව බාර දී ඇත්තේ දමයන්ති විසින් ගයාන් සහ වසන්ති යන දෙදෙනෙකුට බවත්, දමයන්ති විසින් ඔහුගේ පුතා ඝාතනය කිරීමටද උත්සාහ ගන්නා බවත් වැඩිදුරටත් පැමිණිලි කර ඇත. එම පැමිණිල්ල සඳහා මාධ්‍යවේදියාගේ බිරිඳ ඇතුළු  සාක්ෂිකරුවන් 5 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගත් බවත්, පැමිණිලිකරුට හා ඔහුගේ පවුලේ උදවියට ජීවිත හානි කිරීමට උත්සාහ කිරීම යන අපරාධ  චෝදනා ගොනු කළ බවත් දන්වා තිබේ. තිහගොඩ පොලීසියේ කර තිබූ පැමිණිල්ල ප්‍රකාරව කොටවිල පොලීසිය 2017.04.02 දින දමයන්තිට  පැමිණෙන ලෙස දන්වා තිබේ. එදිනම එහි ගොස් තමන් එවැන්නක් සිදුනොකළ බව එම පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරිට ප්‍රකාශ කර ඇත. පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු විසින් දමයන්තිට දිගින් දිගටම බැණවැදී ඇති අතර, ඉක්මණින්ම සිරබාරයට ගන්නා බවත් ප්‍රකාශ කර තිබේ.

වරුණි බෝගහවත්ත සහ හෙළනි ද සිල්වා

මෙම අසත්‍ය චෝදනා හේතුවෙන් හා බැණවැදීම් හේතුවෙන් සිත්තැවුලටත්, බියටත් පත් වූ දමයන්ති 2017.04.02 දින මාතර පොලීසියේ කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි වරුණි බෝගහවත්තගේ නිවසට ඇය හමුවීමට ගොස් තිබේ. තමන් මූණදෙන ගැටලුවත්, අසාධාරණයත් පිළිබඳව ඇයට පැවසීමෙන් පසුව තමන් දන්නා නීතිඥවරියක් සිටින බව පවසා හෙළනි ද සිල්වා නැමැත්තියකට දුරකථනයෙන් කතාකර, දමයන්තිට ඇමතුම ලබාදී ඇත. තමන්ට සිදුව ඇති අසත්‍ය චෝදනාව සහ එනයින් අත්අඩංගුවට පත්වීමට ඇතිබව පවසා දමයන්ති මෝටර් රථයෙන් පිට වී ආපසු එන මඟ වරුණි බෝගහවත්තගේ නිවස අසල මාර්ගයේ උක්ත මාධ්‍යවේදියාද සිට තිබේ. ඔහු පසුකර මද දුරක් ගිය පසු උක්ත නීතිඥවරිය දමයන්තිට  කතා කර තමන් මෝටර් රථය පසුපසින් පැමිණෙන බවත්, ඉදිරියෙන් නතර කරන ලෙසත් දන්වා තිබේ. මාතර තල්අරඹ ප්‍රදේශයේදී රථය නතර කළ ඉන්පසුව නීතිඥවරිය ඇයගෙ  මෝටර් රථය ඉදිරියෙන් නතර කර එයට එන ලෙස දමයන්තිට දන්වා ඇත. හෙළනි ද සිල්වා යමෙකුට ඇමතුමක් ලබාදී දමයන්තිට එය ඇසෙන්න සලස්වා තිබේ. එහිදී පිරිමි පුද්ගලයෙක් කතා කර 'ඔය ගෑනි කොහේ හිටියත් අද අත්අඩංගුවට ගන්නවා. මාස 6 කට ඇතුළට යවනවා'යැයි පවසා තිබේ. ඉන්පසුව හෙළනි විසින් 'ඔයාව තව පැයකින් අත්අඩංගුවට ගන්නවා. ඒකට මාධ්‍යවේදියා ඔක්කොම සාක්ෂි හදලා ඉවරයි. ඔයාව අත්අඩංගුවට ගන්න එක මට නතර කරන්න පුලුවන්. පොඩි ගණන්වලට නඩු බාරගන්නෙ නෑ. මේක මිනීමැරුම් නඩුවක්. එකක් නෙමෙයි පවුලක්ම ඝාතනය කරන්න හදපු එකක්.' බව පවසා විනාඩි 30ක් ඇතුළත ලක්ෂ 15ක මුදලක් අවශ්‍ය බව පවසා තිබේ. එලෙස ලබාදුනහොත් අත්අඩංගුවට ගැනීම හා නඩුව ඉවත් කිරීම සිදුකළ හැකි බව ප්‍රකාශ කර ඇත. මේ සියල්ල සටහන්ව ඇත්තේ දමයන්ති කරන ලද පැමිණිලිවලය.

ඒ අනුව 0777728796 අංකයෙන් හෙළනි ද සිල්වා කෙටි පණිවිඩයක් එවමින් මාතර සෙලාන් බැංකු ශාඛාවේ 002033318996101 දරන ගිණුම් අංකයත්, එහි හිමිකරු ලෙස එච්. එච්. සී ද සිල්වා යන නමත් එවා තිබේ. දමයන්ති විසින් තම බෑනාවන ඩික්සන් ජයවර්ධනට හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇති බව දන්වා ඔහු හරහා පැය බාගයක් තුළ හෙළනිගේ ගිණුමට එම මුදල බැර කර තිබේ. ඉන්පසු කිහිපවරක් හෙළනි දුරකථනයෙන් කතා කර ඇති අතර, 2016.04.07 දින මාතර කාලිදාස පාරේ ඇයගේ නිවසට එන ලෙස දන්වා තිබේ. දමයන්ති එදින එහි ගොස් ඇති ඇතර එහිදී කර ඇත්තේ මෙම සිදුවීම යටපත් කිරීමට තවත් මුදල් අවශ්‍ය බවත්, මෙවැනි දේ සඳහා ඕනෑතරම් පුද්ගලයන් විශාල වශයෙන් මුදල් ලබාදෙන බවත් පවසා, ලක්ෂ 35ක මුදලක් ලබා දෙන්නේ නම් එතැනින් සියල්ල අවසන් කළ හැකි බව ප්‍රකාශ කිරීමය. මෙම සිදුවීමෙන් අනතුරුව වෙනත් නීතිඥයෙකු මාර්ගයෙන් 2017.04.26 දින දමයන්ති අධිකරණයට ඉදිරිපත් වී රුපියල් 5000ක මුදල් ඇපමත මුදාහැර තිබේ. එහිදී මහේස්ත්‍රාත් ඉදිරියේ  අදාල මාධ්‍යවේදියා තමන්ට ගෙතූ බොරු චෝදනාව පිළිබඳවද ප්‍රකාශයක් ලබා දී තිබේ. හෙළනි ද සිල්වා ලක්ෂ 15ක මුදලක් ලබාගෙන නඩුවට පෙනී නොසිටීමත්, එය ආපසු නොගෙවීමත් හේතුවෙන් 2017.06.03 සහ 05වැනිදා දුරකථනයෙන් කතාකොට මුදල් ඉල්ලූ විට එය ලබාදිය නොහැකි බවත්, එය කොළඹ ප්‍රදේශයේ වෙනත් අයෙක්ට ලබා දුන් බවත් පවසා මගහැර කටයුතු කළ බව පැමැණිලිවල සඳහන්වේ.

[අදාල මාධ්‍යවේදියාගේ සහ නීතිඥවරියගේ පිලිතුරු ප්‍රනාශ සහිතව මෙම ලිපියේ දෙවන කොටස හෙට දිනයේ පළ වේ.]