මිනී අතුනුබහන්, සත්ත්ව මළසිරුරු, මළ අපද්‍රව්‍ය මුසු නිල්වලා ගඟේ කළුපාට කතාව

 ඡායාරූපය:

මිනී අතුනුබහන්, සත්ත්ව මළසිරුරු, මළ අපද්‍රව්‍ය මුසු නිල්වලා ගඟේ කළුපාට කතාව

ස්වභාව ධර්මයා යනු මිනිසාට මේ මිහිපිට ලැබුණු අපූර්වතම වූත් වටිනා වූත් දායාදය වන්නේය. මිනිසාගේ නිර්මාණයේ මූල බීජය වන්නේ ද සොබාදහමය. එබැවින් මිනිසා සහ සොබාදහම අතර පවතින්නේ මේ යැයි කිවනොහැකි අන්‍යෝන්‍ය සහසම්බන්ධතාවකි.

සොබාදහම මිනිසාට වැඩීමට ජීවත්වීමට අවැසි මූලද්‍රව්‍ය සැමදා ලබාදෙන්නේ යම් සේද ඒවා ආරක්ෂා කරගැනීමට මිනිසා සැමදා වගබලාගත යුතු බව කවුරුත් දන්නා කරුණකි. නමුදු මේ වර්තමානයේ සිදුනොවන්නේ ද එයයි. සොබාදහම ආරක්ෂා කරගැනීමට උපතේ සිටම බැඳී සිටින මිනිසාම පරිසරය දූෂණය කිරීමට නිතැතින්ම තම කාර්ය පටිපාටිය පෙළ ගස්වාගෙන හමාරය. පරිසර දූෂණය පිළිබඳ කථිකා කරන විට විවාදයට භාජන වන ප්‍රධානතම මාතෘකාවක් වනුයේ ජල දූෂණයයි.

ලෝකයේ ඇති මුළු ජල ප්‍රමාණය ඝන කිලෝමීටර් මිලියන 1386ක්‌ බව ප්‍රකාශිතය. එයින් 97.5%ක්‌ම කරදිය වන අතර, මිරිදිය ඇත්තේ 2.5%කි. මිරිදිය ජලයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක්‌ ඇත්තේ ධ්‍රැවීය ප්‍රදේශවල අයිස්‌ කඳු (ග්ලැසියර) වශයෙනි. තවත් කොටසක්‌ හිම, භූගත ජලය, පාංශු ජලය, වායු ගෝලීය ජල වාෂ්ප, ගස්‌වැල් තුළ, සතුන්ගේ ශරීර තුළ, වැව්, පොකුණු, වගුරුබිම්, ඇළ දොළ ආදී ස්‌ථානවල ඇත. ලෝක ජනගහනයෙන් මිලියන 663ක්‌ පානය කරන ජලය පිරිසුදු සෞඛ්‍ය ආරක්‌ෂිත නොවේ. ඒ නිසා හටගන්නා රෝග හේතුවෙන් වාර්ෂිකව මියයන සංඛ්‍යාව 842,000ක්‌ පමණ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ශ්‍රී ලංකාවේ ජලය හා සම්බන්ධ ප්‍රධාන ගැටලු දෙකක්‌ ඇත. එනම්, ජල දූෂණය සහ ජල හිඟයයි. මෙම ගැටලු දෙකට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ රට වැසි ජනතාවමය. ජල දූෂණය ගැන කථා කරන විට ජලය දූෂණය කරන ප්‍රධාන ආකාරය වන්නේ විවිධ අපද්‍රව්‍ය ජල මාර්ගවලට මුදා හැරීම බව පෙන්වාදිය හැකිය. අතීතයේ එය අගනගරය ආශ්‍රිතව සිදුවුණද මේ වනවිට ග්‍රාමීය ප්‍රදේශයන්හීද එම තත්ත්වය ගැටලු රැසක් මතු කරන්නක් බවට පත් වී හමාරය. මෙසේ පූර්විකාව ගනු ලබන්නේද ලංකාවේ සංචාරක කර්මාන්තයේ අග්‍රස්ථානයක වැජඹෙන ප්‍රදේශයම ප්‍රදේශවාසීන්ගේ නොමනා ක්‍රියාකලාපය නිසා විනාශ වෙමින් යන ජල මූලාශ්‍රයක් පිළිබඳව තොරතුරු හෙළි කිරීමටය.

"මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා" ලෙස එදා කවි ගී කොතරම් ලියැවුණත් මාතර නිල්වලා ගඟ මේ වන විට මාතර ජනතාවගේ ජීවිත දස දහස් ගණනක් රැක ගැනීමට තරම් වැදගත් ජල මූලාශ්‍රයක් වී හමාරය. ඒ මාතර නගරය සහ ඒ අවට ප්‍රදේශ රාශියකට පානීය ජලය ලබා ගන්නවාට අමතරව ගංඟාවෙන් පහල කෙත්වතු අක්කර පනස් දහසකට වැඩි ප්‍රමාණයක් අස්වැද්දීම සඳහා මෙම නිල්වලා නදියෙන් ජලය ලබාගැනීමට අතීතයේ සිටම අපේ මුතුන්මිත්තන් කටයුතු කර ඇත. ඒ අනුව මාතර ප්‍රදේශවාසීන්ගේ පිපාසය සංසිඳුවනවා සේම කුසගින්නට බත සපයන්නටද රුකුල් සපයනුයේ නිල්වලා නදියෙනි. විශේෂයෙන් අකුරැස්ස ප්‍රදේශයෙන් සහ කද්දූව ප්‍රදේශයෙන් පානීය ජලය ලබාගැනීමට ජාතික ජලාපවහන මණ්ඩලයේ පෙරුම් මධ්‍යස්ථානය කටයුතු කරයි. ඒ අනුව මෙම නිල්වලා නදිය ප්‍රදේශවාසීන්ට අනාදිමත් කාලයක සිට දවසරි කරගන්නට නොයෙක් ලෙස උපකාර කළ ජල මූලාශ්‍රයකි.

මොරවක, පිටබැද්දර, අකුරැස්ස, කද්දූව, මාලිම්බඩ හා වැල්ලෙතොට යන නගර සහ ගම්මාන මැදින් ගලා යන ඒ මගාර්ඝ ජල සම්පත මේ වන විට එම ප්‍රදේශ කේන්ද්‍ර කොටගෙන ජීවත් වන ජනතාව අපවිත්‍ර කරමින් සිටිති. කොතරම් මනරම් සොබාදහමක් උරුම කරගෙන පැමිණියද ලංකාවාසීන් යනු ඒ මනරම් සොබාදහම දිනෙන් දින විනාශ මුඛයට ළඟා කිරීමට කටයුතු කරන මිනිස් කොට්ඨාසයක් බව නොවලහා කිව යුතුය. මාතර ප්‍රදේශවාසීන්ද එසේය. අපද්‍රව්‍ය බැහැර කිරීමට සුසුදු වෙනත් විකල්ප සකස් කොට තිබුණද ඔවුන් තමන්ගේ පහසුව සහ වාසිය උදෙසා නිල්වලා ගඟාවට ඒ සියලුම අපද්‍රව්‍ය බැහැර කිරීමට වගබලා ගනී.

විශේෂයෙන් අකුරැස්ස නගරයේ වැසිකිළි කැසිළිවලින් පවා ගලාගෙන යන අපද්‍රව්‍ය අකුරැස්ස නගරයෙන් නිල්වලා ගංගාවට මුසුවන බව කිව යුතුය. නිවාසයන්හී පමණක් නොව නගරයේ පවතින ඇතැම් ව්‍යාපාර ස්ථානවල වැසිකිළි ඍජුවම නිල්වලා ගඟට යොමුකර තිබේ. අපද්‍රව්‍යවලින් ගංගාව අපවිත්‍ර වනවා සේම වැසිකිළි කැසිකිළිවල අපද්‍රව්‍යවලින් ජලය විශාල වශයෙන් අපවිත්‍ර වේ. නිල්වලා ගංගාව යනු මාතර ප්‍රදේශවාසීන් විශාල සංඛ්‍යාවකට ජලය සපයන එකම ජල මූලාශ්‍රය නිසා මේ වනවිට එහි ජලය පානය කිරීමට නොහැකි මට්ටමට පත් වී ඇත.

වැසිකිළි කැසිකිළි අපද්‍රව්‍ය පමණක් නොව අකුරැස්ස ජනතාවගේ තවත් චෝදනාවක් වන්නේ එක්තරා මල් ශාලාවක මළ සිරුරුවලින් ඉවත් කරනු ලබන අතුනුබහන් අකුරැස්ස නගරයෙන් නිල්වලා ගංගාවට මුදාහරින බවයි. මේ ක්‍රියාවලිය දිගින් දිගටම පෙර සිදූ වී ඇත. මෙය ඉවසා දරා සිටීමට නොහැකි වූ තැන මේ සම්බන්ධයෙන් පසුකාලීනව ජනතා විරෝධයක් පැන නැඟුණු අතර එවිට මෙම නීති විරෝධී ක්‍රියාවට එරෙහිව ඇතැම් බලධාරීන් කටයුතු කිරීම නිසා එම මල්ශාලාවෙන් ඍජුවම ගඟට නොදමන අතර එම අපවිත්‍ර කොටස් මරණකරුගේ ඥාතීන්ට භාර දෙන බවත් පසුව එම ඥාතීන් විසින් එතරම් සෙනඟ නොගැවසෙන ස්ථානයකින් ගංගාවට මුදාහරින බවටද චෝදනා නැඟේ. ඍජුව හෝ වක්‍රව සිදු කළද ඔවුන් කරන්නේ මළසිරුරුවල අපවිත්‍ර කොටස් ප්‍රදේශවාසීන් ලක්ෂ සංඛ්‍යාවකගේ ජල අවශ්‍යතාව සමුරන නිල්වලා ගංගාවට මුදා හැරීමයි.

එපමණක්ද නොවේ. ඕනෑම නගරයක සුළු හා ප්‍රාථමික ව්‍යාපාර පවතී. අකුරැස්ස නගරයේද එසේමය. එම ව්‍යාපාරික ස්ථානවලින් බැහැර කරන අපවිත්‍ර ද්‍රව්‍ය නිල්වලා ගඟට මුදා හැරීම ඔවුන් පුරුද්දක් වශයෙන් සිදු කරනු ලබයි. මේ සම්බන්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවාසීන් නිරන්තරයෙන් විවිධ පැමිණිලි කළ ද ඒ සඳහා බලධාරීන්ද නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම කනගාටුවට කරුණකි. අකුරැස්ස නගරයේ මාළු ලෑලිවලින් ඉවත් කරන අපවිත්‍ර දෑ ගංගාවට මුසු කරයි. මේ පිළිබඳව අප ඔවුන්ගෙන් විමසූවිට ඔවුන් කියන්නේ කසළ බැහැර කිරීමට වෙනත් විකල්පයක් නොමැති බැවින් එය සිදු කරනු ලබන බවයි. එමෙන්ම රාත්‍රී කාලයේ මාතර දිස්ත්‍රික්කයේ හොර හරක් වැඩි වශයෙන් ඝාතනය කරන්නේ අකුරැස්ස ගොඩපිටිය ප්‍රදේශයේ බව කවුරුත් දන්නා රහසකි. එහි ඉවත් කරන අපද්‍රව්‍ය ද ගඟට දැමීමට හරක් හොරුන් ක්‍රියා කරන බවට ප්‍රදේශවාසීහු මැසිවිලි නඟති.

මෙම තත්ත්වය තුළ වැඩි වශයෙන් නිල්වලා ගඟ දූෂණය වන්නේ අකුරැස්ස නගරයෙන්ය. ඒ හැරුණු විට මාතර නගර සීමාව තුළ අකුරැස්ස ප්‍රදේශයේ තරම් නොවුණද යම් තරමකින් දූෂණයට ලක්වේ. ඒ මාතර මහ රෝහලේ පල්දෝරු (අපද්‍රව්‍ය බැහැර කරන පද්ධතිය) මේ වනවිට විනාශ වී ඇති බවත් ඒ තුළින් මළ අපද්‍රව්‍ය ගඟට මුසුවන බවටත් ජනතාව චෝදනා කරති. මේ සම්බන්ධයෙන් බලධාරීන්ද මේ වනවිට දැනුම්වත් කර ඇත.

මාතර ප්‍රධාන ආගමික සිද්ධස්ථානයක වැසිකිළි නලයක් ඍජුවම නිල්වලා ගඟට යොමුකර ඇති ආකාරය මේ මොහොතේද ඕනෑම කෙනෙකුට දැක ගැනීමට හැකියාව ඇත. ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරික ස්ථාන නොයෙක් ආකාරයන්ගෙන් නිල්වලා ගඟෙහි ජලය අපවිත්‍ර කිරීම විශාල ගැටලුවක්ව පවතින සමයක මෙසේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍රධාන ආගමික සිද්ධස්ථානයකින්ද ජලයට අපද්‍රව්‍ය මුසු කිරීමට පෙලඹීම ඛේදජනකය.

මෙම තත්ත්වය හමුවේ මාතර නිල්වලා ගඟ ලංකාවේ අනෙකුත් ගංගාවන්ට සාපේක්ෂව දූෂණය වී තිබේ. පුදුමයට කරුණ නම් එය නොවේ. මෙසේ නිල්වලා ගඟ අපවිත්‍ර කරන ප්‍රදේශවලම ජනතාවම එය අපවිත්‍ර කිරීමට කටයුතු සම්පාදනය කරන්නා සේම එහි ජලය පානීය අවශ්‍යතා ඇතුළු අනෙකුත් අවශ්‍යතා සඳහා භාවිත කිරීමයි. අකුරැස්ස ප්‍රදේශයෙන් අපද්‍රව්‍ය ගඟට දමන පුද්ගලයන් එම ගංගාවේම ජලය නල මාර්ග පද්ධති මඟින් තම නිවසට හරවාගෙන භුක්ති විඳින්නේ මේ කිසිවක් නොදැනය.

වර්තමානයේ ජල පරිභෝජනය සම්බන්ධයෙන් ගංගා ජලය අපවිත්‍ර කිරීම සම්බන්ධයෙන් විවිධ නීති රීති අණ පනත් තිබුණද මෙවැනි ගැටලු සහගත තත්ත්වයකදී බලධාරීන්ට ඒ වෙනුවට විකල්ප නොමැති වීම නිසා ඔවුන් මහත් අසීරුතාවට පත්ව තිබේ. විශේෂයෙන් අකුරැස්ස නගරයේ වැසිකිළි පද්ධතිවලට විසඳුමක් මෙතෙක් නොමැත. එය ගංගාවට ගලා යන බවට විද්‍යාත්මකව කෙසේ වෙතත් පියවි ඇසට පෙනුණද එසේ කිසිවක් නොවන ආකාරයට මඟහැර යාම හේතුවෙන් ඇත්ත වශයෙන්ම නිලධාරීන්ද මෙම ගැටලුවේදී අපහසුතාවට පත් වී ඇති බව පෙනේ.

මේ තත්ත්වය තුළ මාතර ප්‍රදේශය තුළ දිනෙන් දින සංකීර්ණ වන ජනතා ගැටලු අතරේ නිල්වලා ගංගාව රැකගැනීමට කොතෙක් වෙහෙසක් දැරිය යුතුද යන්න සිතා බැලිය යුතුය. විශේෂයෙන්ම පානීය ජලයේ බැක්ටීරියා ආදී ක්ෂුද්‍ර අපද්‍රව්‍ය ඉවත් කිරීම සියයට සියයක් සිදු වුවද රසායනික හේතූන් නිසා ජලයේ ඇති වන වෙනස්කම් සියයට සියයක් නිවැරදිව සකසා පානීය ජලය ලබාදීමට හැකියාවක් නොමැත. එබැවින් ජනතාව විසින්ම ඔවුන්ට දායාද වුණු මේ උරුමය රැක ගත යුතුය. ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. ප්‍රදේශවාසීන් ඒ සඳහා සංවිධානාත්මකව කටයුතු කළ යුතුය. නමුත් එසේ සිදු වන්නේ නැත. සිදු වන්නේ ඔවුන් සැමදා තම ලේසියට හා පහසුවට නිල්වලා ගඟ තම කැළිකසළ බැහැර කරන වාහකය බවට පත් කරගැනීමය. එසේ සිදුවන තාක්, මේ සඳහා සාමූහිකව විසඳුම් නොසොයන තාක් මේ ජල ගැටලුව එසේම පවතිනු ඇත.

 [සම්පත් දෙනිපිටිය]
 

මාතෘකා