හැත්තෑව දශකය හැඩකළ තිස්ස මාලනී යුගය

 ඡායාරූපය:

හැත්තෑව දශකය හැඩකළ තිස්ස මාලනී යුගය

තුෂාරා සමගින් සුහද පැතුම කරට කර

සුහද පැතුමත් සමග බිහිවන තිස්ස-මාලිනි පෙම් යුවලත්එදා ප්‍රේක්ෂකයින් වැළඳ ගත්තේ මහත් ආදරයෙන්. මෙම යුගය බිහි කිරිමේ පුරෝගාමියා වුණේ කිංස්ලි රාජපක්ෂ කියා පැවසුවහොත් එය ඉතාමත් නිවැරදියි.

සිංහල කතානාද සිනමා ඉතිහාසයේ රුක්මනී දේවි හා බි.ඒ.ඩබ්.ජයමාන්නගෙන් පටන් ගත්තොත් ස්ටැන්ලි පෙරේරා -රුක්මණීදේවි, ස්ටැන්ලි පෙරේරා-ගර්ලි ගුණවර්ධන, රවීන්ද්‍ර රුපසේන-ලිනාද සිල්වා, ප්‍රේම ජයන්ත්-ප්ලොරිඩා ජයලත් පසු කලෙක එනම් හැටේ දශකය වන විට ගාමිණී-ජීවරානි, ගාමිණි-සන්ධ්‍ය වැනි සිනමා ලෝලීන් මන් මත් කළ පෙම්වතුන් යුගල දැක ගන්නට ලැබුනා, කවුරුන් කොහොම කිවුවත් මේ සෑම දෙනා අතරින් කැපී පෙනුණු නළු නිලි යුවල ලෙස බොහෝ දෙනාගේ ආකර්ෂණයට හසුවුනේ විජය-මාලිනී යුවල කියල කිවුවොත් එකේ වරදක් නෑ. 1971 ආරම්භ වන මේ දෙදෙනාගේ එකමුතුව 90 දශකයේ මුල පමණ දක්වාම විහිද යනවා, 1971 හතර දෙනාම සුරයෝ චිත්‍රපටයෙන් විජය-මාලිනී යුගය ආරම්භ වීමෙන් පස්සේ ඒ දශකය තුළ තවත් කැපී පෙනුණු නළු නිලි යුගල කිහිපයක්ම ඉදිරියට එනවා, ගාමිණී-මාලිනී, තිස්ස -මාලිනී, තිස්ස-ගීතා , රෝයි-සුමනා, තිස්ස-සුමනා, ඇලෙක්සැන්ඩර් -සෝනියා මේ අතර විශේෂයි. කොහොම නමුත් 1972 සිට 1976 වසරේ මුල දක්වා වඩාත් ඉදිරියෙන්ම නැත්නම් චිත්‍රපට වැඩි ගණනක පෙම්වතුන් ලෙස රඟපෑවේ ගාමිණි මාලිනි දෙදෙනා ලෙසයි කියා පැවසුවහොත් එය ඉතාමත් නිවැරදියි, ඒ කාලය තුළ මේ දෙදෙනා එක්ව රඟපෑ නිධානය, සහනය, එදත් සුරයා අදත් සුරයා,ආදරේ හිතෙනවා දැක්කම,සදහටම ඔබ මගේ,හොඳම වෙලාව,හොඳයි නරකයි,හොඳට හොඳයි,කස්තුරි සුවඳ, සැණකෙළිය, ආවා සොයා ආදරේ, සුරයා සුරයාමයි, නයනා, කවුද රජා, වගේ චිත්‍රපට මෙයට උදාහරණ ලෙස සඳහන් කරන්න පුළුවන්.

ගාමිණි, මාලිනී යුගයට සමාන්තරව මාලිනී-විජය යුගය 1971 ඇරඹි සෙමෙන් සෙමෙන් ඉදිරියට ගියත් මෙහි උච්චතම අවස්තාව සටහන් වන්නේ 1976, 1977, 1978 වසරවල යැයි පැවසිය හැකියි, 1976 වසරේ ප්‍රදිපේ මා වේවා, වාසනා, ගංගා, දියමන්ති, උන්නත් දාහයි මලත් දාහයි, ආදරෙයි මං ආදරේයි, වගේම 1977 වසරේ සකුන්තලා, පෙම්බර මධු, හිතුවොත් හිතුවාමයි, එයා දැන් ලොකු ළමයෙක් 1978 විශ්මය, සෙලිනාගේ වලව්ව, කුණ්ඩල කේශී, බඹරු ඇවිත්, සැලී, සඳවට රන් තරු, අනුපමා (මේ චිත්‍රපටයේ ඔවුන් පෙම්වතුන් නෙමෙයි) වගේ ඔවුන් දෙදෙනා පෙම්වතුන් ලෙස රඟපෑ චිත්‍රපට රැසක්ම එක දිගට රිදී තිරය ආක්‍රමණය කරන්නේ හරියට ගංගාවකින් වතුර ගලා එන අකාරයක් සිහි ගන්වමින්. නමුත් 1972 සිට 1976 දක්වාවූ ගාමිණි-මාලිනි යුගය වඩාත් ඉහළින්ම පැවති වකවානුව තුළත් මාලිනී-විජය දෙදෙනා පෙමවතුන් ලෙස රඟපෑ මේ දෙ ඇස් කුමටද, තුෂාරා, සුසී, දාහකින් එකෙක්, සංගීතා වගේ චිත්‍රපටත් වැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් රඳවා ගන්නට සමත් වුණේ සිංහල සිනමාවේ වඩාත් කැපී පෙනෙන පෙම් යුවල මේ දෙදෙනා යැයි පවසන්නාක් පරිද්දෙනුයි.

මාලිනී-විජය දෙදෙනා පෙම්වතුන් ලෙස ප්‍රධාන චරිත නිරුපනය කළ යසපාලිත නානායක්කාරගේ තුෂාරා චිත්‍රපටය 1973 වසරේ මරදානේ එල්පින්ස්ටන් ඇතුළු සිලෝන් තියටර්ස් මණ්ඩලයේ සිනමාහල්වල තිර ගත වනවිට මරදානේ ගාමිණි සිනමාහල ඇතුළු සිනමාස් මණ්ඩලයේ සිනමාහල්වල තිර ගත වනවා මාලිනී සමග තවත් යොවුන් නළුවෙකු ප්‍රධාන චරිතය රඟපෑ සුහද පැතුම චිත්‍රපටය. මේ යොවුන් නළුවා තමයි 1970 වසරේ තිරයට ආ නිම් වළල්ල චිත්‍රපටයෙන් සිනමාවට පිවිස සිටි තිස්ස විජේසුරේන්ද්‍ර, සුහද පැතුම ප්‍රදර්ශනය වන විට ඔහු රඟපා තිබුනේ චිත්‍රපට කිහිපයක පමණයි. කොහොම නමුත් මේ සුහද පැතුම චිත්‍රපටය සමත් වනවා විජය මාලිනී වගේම තිස්ස ,මාලිනී දෙදෙනාත් සිංහල සිනමාවේ තවත් අමරණිය පෙම් යුවලක් බවට පත් කරන්නට, විජය,මාලිනීගේ තුෂාරා දින සියයක් ඉක්මවා ප්‍රදර්ශනය වනවිට තිස්ස, මාලිනි යුවල ප්‍රධාන චරිත නිරුපනය කළ සුහද පැතුම ඊට සමගාමිව දින සියයක් තිර ගත වනවා තුෂාරාට නොදෙවෙනි අයුරින්.

සුහද පැතුමත් සමග බිහිවන තිස්ස-මාලිනී පෙම් යුවලත් එදා ප්‍රේක්ෂකයින් වැළඳ ගත්තේ මහත් ආදරයෙන්. මෙම යුගය බිහි කිරිමේ පුරෝගාමියා වුණේ කිංස්ලි රාජපක්ෂ කියා පැවසුවහොත් එය ඉතාමත් නිවැරදියි. චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කර තිබු ඔහුගේ අති සාර්ථකම සිනමා නිර්මාණය සුහද පැතුම බව පවසන්න පුළුවන්, පී.එල්.ඒ.සෝමපාලගේ සංගීතයත්, සුපුරුදු ලෙස එදා කතා නායක නායිකාවන්ට වඩාත් ගැලපුණු ජෝතිපාලයන් හා ඇන්ජලින්ගේ ගායනයත් චිත්‍රපටයේ සාර්ථකත්වයට වඩාත් හේතු වුණා. විජය මාලිනි වගේම තිස්ස මාලිනි යුගයත් සාර්ථක වන්නට බලපෑ එක හේතුවක් තමයි මේ දෙදෙනාත් සමාන වයස් මට්ටම්වල සිටීම,කොහොම නමුත් ගාමිණි-මාලිනී, විජය-මාලිනී තරම් විශාල චිත්‍රපට ගණනක් තිස්ස-මාලිනී යුගයට ඇතුලත් වන්නේ නෑ මෙම යුගයට ඇතුලත් වන්නේ චිත්‍රපට කිහිපයක් පමණයි. සුහද පැතුම චිත්‍රපටයෙන් පස්සේ මේ දෙදෙනා පෙම්වතුන් ලෙස රඟපෑ කොහොම කියන්නද, සධානා, නිලා, රාන් කුරුල්ලෝ වගේ චිත්‍රපට තිරගත වුනා. මේ අතරින් ඉතාමත් සාර්ථක වනවා 1975 තිර ගතවන සධානා චිත්‍රපටය මෙය නිෂ්පාදනය කරන්නෙත් සුහද පැතුම නිෂ්පාදනය කළ කැමිලස් පෙරේරාමයි.මිට අමතරව 1977 තිරයට එන නීලා චිත්‍රපටයත් අති සාර්ථකයි කියා පවසන්න පුළුවන්. මෙය ජෝ සුගන්ධාගේ නිර්මාණයක්. නීලා චිත්‍රපටයට එදා තරග කරන්නට සිදු වුණේ විජය, මාලිනී ප්‍රධාන චරිත මැවූ සකුන්තලා චිත්‍රපටයත් සමග වීම විශේෂ සිදුවීමක්, මේ දෙදෙනා අතර ඇත්තෙන්ම පෙම් සම්බන්ධතාවක් තිබෙන්නට ඇති බවක් එදා ඇතැම් ප්‍රේක්ෂකයින් පැවසුවේ මේ චිත්‍රපටවල ඔවුන් දෙදෙනා මැවූ පෙම් ජවනිකාවල සාර්ථකත්වය නිසාමයි. ඉතාමත් අඩු චිත්‍රපට සංඛ්‍යාවකට සිමා වුණ අදටත් එදා සිනමා ලෝලීන් මහත් ආදරයෙන් මතක් කරන තිස්ස-මාලිනී යුගය අවසන් වනවා 1979 ප්‍රදර්ශනය වූ කලින් ප්‍රේමේ දීපශිකා නමින් හඳුන්වා තිබු රාං කුරුල්ලෝ චිත්‍රපටයත් සමගින්.මෙහි විශේෂත්වය වන්නේ මෙය අධ්‍යක්ෂණය කළෙත් මෙම යුගය බිහි කරන්නට පුරෝගාමී වූ කිංස්ලි රාජපක්ෂම වීමයි.

[අනිල් වීරසිංහ]

මාතෘකා