සේන සමරසිංහගේ අමුතු සිනමාව

 ඡායාරූපය:

සේන සමරසිංහගේ අමුතු සිනමාව

සත පනස්පහ අමරණීය මතකයක් බවට පත්වෙන්න බලපෑ එක් සිනමාකරුවකු හැටියට සේන සමරසිංහ හඳුන්වන්න පුළුවන්. මුලින්ම නැරඹුවේ "කස්තුරි සුවඳ". හැමදාම දැකල පුරුදු වට්ටෝරුවම වුණත් ඒකාකාරී බව මැකෙන විදියේ අපූරු සංගීතයක් එහි තිබුණා. ගායනා මිහිරියි. නළු නිළියන්ගෙ රඟපෑම් ආකර්ෂණීයයි.

ප්‍රේමයේ මධුර බව හා යෞවනානන්දය දැනෙන වයසේ සිටි අය ඉමහත් ආසාවෙන් සේන සමරසිංහගේ චිත්‍රපටි නැරඹුවා. කස්තුරි සුවඳ, නිල්ල සොයා, ආශා දෑසින් මල් කැකුළු, චංචල රේඛා යනාදී වශයෙන් දිගු වන ඔහුගේ සිනමා කෘති නාමාවලියෙහි හුරුපුරුදු ශිල්පී නාමාවලියත් අමතක කළ නොහැකියි. සේනගෙ හොඳම නිෂ්පදකයා පියසේනද සිල්වා විය හැකියි. ඒ තරමට ඒ නම් දෙක එකටම කියවුණු ඉතිහාසයක් තිබෙනවා.

අනෙක් ශිල්පීන් මෙසේයි. සරත් දසනායක, ගාමිණී ෆොන්සේකා, මානෙල් වානගුරු, රෙක්ස් කොඩිප්පිලි, ශ්‍රියානි අමරසේන, ෆරීනාලයි, බන්දු සමරසිංහ, විමල් කුමර් ද කොස්තා, ලතා වල්පොළ, ඇන්ජලින් ගුණතිලක, එච්.ආර් ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, රිචඩ් වීරක්කොඩි යනාදී වශයෙන් මේ නාමාවලිය තවත් දිගුවනවා. ජෝතිපාල වෙනුවට මිල්ටන් මල්ලවාරච්චි යොදා ගැනීම අත්හදා බැලීමක් නම් එයින් මහඟු ඵල ලැබූ අධ්‍යක්ෂවරයා සේන සමරසිංහ බව ලියුම්කරුගේ හැඟීමයි. එමෙන්ම මේ සටහන තබන රසිකයා ගැලරියෙන් මිදී යෞවනයකු හැටියට කුරුණෑගල ජුපිටර් සිනමා හලෙන් දෙවැනි පන්තියේ ටිකට් පතක් මිලදී ගෙන නැරඹූ සේන සමරසිංහගේ ආශා දෑසින් චිත්‍රපටිය දින 100 ඉක්මවා ප්‍රදර්ශනය වුණා. සේන සමරසිංහගේ හැම චිත්‍රපටයක්ම වාගේ බොහෝ ජනප්‍රිය වුණා.

ආශා දෑසින් සුපුරුදු වට්ටෝරුවටම අයත් වුණත් එහි කතා තේමාව ප්‍රබල එකක්. සැමියා [ගාමිණී], තම බිරිය [ශ්‍රියානි] වෙනත් අයකු [කරුණාරත්න හඟවත්ත] සමඟ සම්බන්ධයක් ඇති කරගෙන ඇතැයි බලවත් සැකයකින් පසුවීම නිසා පවුල් ජීවිතයේ අර්බුදයක් ඇති වන අයුරුත් ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට මාන බලන වෙනත් පුද්ගලයකු [රෙක්ස් කොඩිප්පිලි] සැමියා අතින් මරණයට පත්වීමත් මේ චිත්‍රපටයේ කතා ප්‍රවෘත්තිය ලෙස දැක් විය හැකියි.

අපූරු කතා තේමාවක් සුපුරුදු වට්ටෝරු ආකෘතියට එබ්බවීම නිසා අසාර්ථක වූ අවස්ථාවක් හැටියට ආශා දෑසින් හැඳින්විය හැකියි. සේන සමරසිංහ මෙහි තිරපිටපත කෙරෙහි මීට වඩා සැලකිලිමත් වුණා නම් කලාත්මක නිර්මාණයක් බිහි කිරීමේ හැකියාව තිබුණා. සේනගේ චිත්‍රපටවලින් වඩාත් සාර්ථක චිත්‍රපටයත් මෙයයි. මෙය එකල ජාත්‍යන්තර සිනමා උලෙළක ජනප්‍රිය ධාරාව නියෝජනය කරමින් ප්‍රදර්ශනය වූ බවත් මතකයි.

බන්දු සමරසිංහ සහ විමල් කුමාර් ද කොස්තා විකට නළුවන් ලෙස මෙහි කළ රඟපෑම ප්‍රේක්ෂකයන්ගේ ආස්වාදයට හේතු වුණා. චිත්‍රපටයේ සටන් ජවනිකා රූගත කෙරුණේ රිදී බැඳි ඇළ අමුණ ආසන්නයේ රමණීය පරිසරයක. එකල මේ ලියුම්කරු මිනුවන්ගැටේ මහ විදුහලේ සිසුවෙක්. සිනමා නළු නිළියන් දැක බලා ගැනීම සඳහා ගම්මුන් රිදී බැඳි ඇළ අවට රොද බැඳගත්තා.

සේන සමරසිංහගේ චිත්‍රපටවල ඇතුළත් වූ "සිටු මැදුරේ හෝ පුංචි පැලේදී", "නිල්ල නඟන ස්වර්ණ කිකිණි රාවේ", "යෞවන උයනේ පියුම් තටාකේ", "පාට පොදක් තිලක ලා", "විකසිත පැතුමන් ඔබේ ළයේ" යනාදී ගීත එදා මෙන්ම අදත් ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම තිබෙන බව කිව යුතුයි.

චිත්‍රපට බොහෝ ගණනක දුෂ්ඨයාගේ චරිතය නිරූපණය කළ රෙක්ස් කොඩිප්පිලි ආශා දෑසින් චිත්‍රපටියෙහි දිය සහ ගොඩ යන දෙකෙහිදීම කන ගුටි කෑම ඔහුගේ නළු දිවියෙහිද දීර්ඝ වේලාවක් ගුටිකෑ අවස්ථාව බවට පත්වනු සැකයක් නෑ. ශාස්ත්‍රකාරයන් සේ වෙස්ගත් බන්දු සහ කොස්තා පෙම්වතාගේ පණිවිඩය පෙම්වතාට ගෙන යන ආකාරය සිහිපත් වන අයකුගේ මුවෙහි සිනහවක් නැඟීම වැළැක්විය නොහැකියි.

මේ චිත්‍රපටවල ඇතුළත් ගීත රචනාවල වදන් මිහිරට ගැලපෙන කර්ණ රසායන සංගීතය රසිකයන්ට අත්කර දුන් මිහිර මෙතෙකැයි කිව නොහැකියි.

බණ්ඩාර කේ. විජේතුංග ගුවන් විදුලිය ඔස්සේ මේ චිත්‍රපට ජනප්‍රිය කරවීම සඳහා කළ නිර්මාණශීලී මැදිහත් වීම් චිත්‍රපටි ප්‍රේක්ෂකයන් අතරට යෑම කෙරෙහි බලපෑවා.

සේන සමරසිංහ පසුකලෙක සිනමාවෙන් මුළුමනින්ම ඈත් වුණේ ඇයි දැයි අප දන්නේ නෑ. කෙසේ නමුත් ඔහු සිංහල සිනමාවේ ජනප්‍රිය අවධිය නියෝජනය කරන පතාක යෝධයකු ලෙස හැඳින්වීමේ වරදක් නෑ.

මාතෘකා

ජනප්‍රිය ලිපි