මේ රට යන විදිය අනුව ලොකු දේවල් කරන්න බැහැ

 ඡායාරූපය:

මේ රට යන විදිය අනුව ලොකු දේවල් කරන්න බැහැ

තිළිණ බොරලැස්ස

“no parking” කියන මේ මාර්ග සලකුණ කොහොමද ඔබ ජීවිතයට සම්බන්ධ කර ගන්නේ?

“no parking” කියන්නේ මගේ අලුත්ම ටෙලි නාට්‍යයේ නම. ඇත්තටම මම මෙහි තේමාව විදිහට යොදා ගන්නේ වැරදි තැන්වල නැවතුණු ජීවිත කියලා. ඒකත් එක්ක තමයි අපි “no parking” කියන නම දැම්මේ බහුශෘත නමක් නෙමෙයි. හරිම සරලයි. මේ සරල බවත් එක්ක මිනිස්සුන්ගේ හදවත්වලට සමීප වන ප්‍රවණතාවය වැඩියි මේ කතාව නරඹන විට තේරෙයි මේ “no parking” බෝඩ් එක අදාළ වෙන්නේ වාහනවලට විතරක් නෙමෙයි, මෙය ජීවිතවලටත් අදාළ වෙනවා කියලා.

“no parking” කියන්නේ ඔබේම සංකල්පයක්ද?

ඇත්තට ඔව්. අසංක නානායක්කාර සමඟ කතාබහ කරලා තමයි මෙය කතාවක් වශයෙන් ගොඩනඟන්නේ. මේ කතාව බැලූ බැල්මටම serious comedy කියන ටයිප් එකට තමයි වැටෙන්නේ. නමුත් මෙහි අපි කතා කරනවා මෙතෙක් කාලෙකට කතා නොකරපු ගැඹුරු මාතෘකාවක්.

ඒ කතාව ගැනත් සඳහනක් කරමුද?

මේක ඇත්තටම 80 - 90 දශක වන විට ලංකාවට කියලා තියෙන්නේ වේදිකාව කියලා. ඒ කියන්නේ ලංකාවෙන් ළමයි එකොළොස් දාහක් දොළොස් දාහක්පමණ යුරෝපයට සහ විවිධ රටවලට ගෙනිහින් තියෙනවා දරුකමට හදාගන්න. එතකොට එහෙම ගෙනගිය ළමයෙක් තමන්ගේ ඥාතීන්ව, දෙමාපියන්ව හොයාගෙන යන කතාවක් තමයි මෙහි අන්තර්ගත වෙන්නේ. මේ කතා මාලාව තුළ එන සෑම චරිතයක්ම එකිනෙකා රවටමින් තමයි ජීවත් වෙන්නේ. මං මේ ගැන කියනවාට වඩා මේ “no parking” ටෙලි නාට්‍ය නරඹද්දී ප්‍රේක්ෂක ඔබට තේරෙයි මේ කතාව ගෙනෙන්නේ මොන විදිහටද කියලා.

මේ සඳහා චරිත තෝරා ගැනීමේදීත් ඔබ විශේෂත්වයක් කරලා තියෙනවා. මෙහි එන චරිත ගැන කිව්වොත්?

ඇත්තටම ඔව්. මම හිතනවා මේ සඳහා නිවැරදිම චරිත මම තෝරා ගත්තා කියලා. ජගත් චමිල, ගිහාන් ප්‍රනාන්දු, ඩබ්. ජයසිරි, නෙතලි නානායක්කාර, වැනි ප්‍රවීණයන් තමයි මේ සඳහා යොදාගෙන තියෙන්නේ. ඒ අතර නවකයොත් ඉන්නවා. ඉතිං මට හිතෙනවා මගේ කතාව සම්ප්‍රේෂණය කරන්න හොඳම චරිත ටිකක් අපි යොදා ගත්තා කියලා.

නිරන්තරයෙන් ටීවී දෙරණ සමග අත්වැල් බැඳගන්න ඔබ මේ “no parking” සමග වෙනත් ප්‍රධාන නාලිකාවක් හා සම්බන්ධ වෙනවා. ඇයි ඔබ මේ සඳහා ස්වර්ණවාහිනියම තෝරා ගන්නේ?

ලංකාවේ තියෙන බොහොමයක් රූපවාහිනී නාලිකාවලින් පෙරමුණේ සිටින නාලිකාවක් තමයි ස්වර්ණවාහිනිය කියන්නේ. ඒ වගේම විශාල ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් සිටින නාලිකාවක් සහ මම මේ කතාව දුන්නාම ඉතා කැමැත්තෙන් ඔවුන් එය බාර ගත්තා. ලංකාවේ ප්‍රේක්ෂකයා නොදන්න මහා විශාල ටෙලිනාට්‍යය මාෆියාවක් තිබුණා. මම මෙතෙක් කල් ගොඩාක් ටෙලිනාට්‍ය කළේ ටීවී දෙරණ සමඟ. දෙරණින් පිට වෙනත් නාලිකාවක විකාශය වන මගේ පළවෙනි නාට්‍ය තමයි මේ ටෙලි නාට්‍යය.

ඒ කියන්නේ ඔබ දෙරණට සමු දුන්නා කියන එකද?

කවදාවත්ම නෑ. මගේ ‘සිදූ’ ටෙලි නාට්‍යයත් මේ වෙද්දි ටීවී දෙරණ නාළිකාවේ විකාශය වෙනවා. ඇත්තටම මගේ හිතේ තිබුණු concept එකක් මේක. මෑතකදී විකාශය නතර වන ටෙලිනාට්‍යයක් නොමැති නිසා මම මේක ස්වර්ණවාහිනී නාලිකාවට දුන්නා. පුංචි වෙනසක් බලමු ඉතිං.

ඔබේ ටෙලි නාට්‍යය සඳහා බොහෝ ප්‍රතිචාර ලබලා තියෙනවා සහ දැනටත් ප්‍රතිචාර ලබමින් සිටිනවා. මේ වෙනසත් සමඟ ඔබේ නවතම ටෙලි නාට්‍යයටත් එලෙසම ප්‍රතිචාර ලැබෙයි කියලා විශ්වාස කරනවාද?

මට ලොකු විශ්වාසයක් තිබෙනවා මගේ අනෙකුත් ටෙලිනාට්‍යය වගේම “no parking” ටෙලි නාට්‍යයත් ප්‍රේක්ෂකයා වැළඳ ගනීවි කියලා. සහ බොහෝ ප්‍රතිචාර ලැබෙයි කියලා. මේ සඳහා ප්‍රේක්ෂකයා සහ වාසනාව බලපානවා. මේ වැඩේ කොහොමද පත්තු වෙන්නේ කියලා අපි බලාගෙන ඉමු.

මේ ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයන්ට විවෘත වෙන්නේ කවදාද?

මේ මස ( ජුනි) 24 වැනිදා සිට සෑම සතියේ දිනකම රාත්‍රී 9.30ට මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට මෙය නැරඹීමට ඉඩකඩ විවර වෙනවා.

අධ්‍යක්ෂවරයෙක් ලෙස තිළිණ බොරලැස්සගේ ඊළඟ පිම්ම මොන වගේ වෙයිද?

මගේ ඉතිං ලොකු හීන නැහැ. මේ රට යන විදිය අනුව ලොකු දේවල් කරන්න බැහැ. ඒ නිසා මම හිතනවා මේ රට යන්න තත්ත්වෙත් සමඟ ගැළපෙනම ටෙලි නාට්‍යයක් කියලා “no parking” ඉදිරියේදිත් මගේ අලුත්ම නිර්මාණ ප්‍රේක්ෂකයින්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

[මේධාවි ජයතිලක]

ඡායාරූප [සේලිත මුණසිංහ]

මාතෘකා