මොලිවුඩය සහ බොලිවුඩය යා කළ Irrfaan Khan ගේ Road Trip සිනමාව

 ඡායාරූපය:

මොලිවුඩය සහ බොලිවුඩය යා කළ Irrfaan Khan ගේ Road Trip සිනමාව

ඒ වගේම මෙම නිර්මාණ ද්විත්වයේම තිබෙනවා සුවිශේෂී ලක්ෂණ ත්‍රිත්වයකුත්. චිත්‍රපට දෙකම Road Trip ශානරයට අයත්. ඒ ඔස්සේ මලයාලම් සිනමාවේ ප්‍රභලම සිනමා තාරකාවන් යුගළයක් තම ප්‍රථම බොලිවුඩ් ප්‍රවේශය ලබාගන්නවා. එතනදී ඒ දෙදෙනාගේම බොලිවුඩ් රංගන සහායකයා වෙන්නෙත් එකම රංගන ශිල්පියෙක්.

හින්දි, දමිළ තරමටම වර්තමානයේදී මලයාලම් සිනමාවත් මෙරට අතිශය ජනප්‍රියයි. හින්දි දමිළ රංගන ශිල්ප ශිල්පිනියන් සම්බන්ධයෙන් පවතින ලාංකේය අපේ රසිකත්වය මේ වෙනවිට මලයාලම් ශිල්ප ශිල්පිනියන් කෙරෙහිත් අධිකව බලපැවැත්වෙනවා. රසික හදවත් දිනූ Parvathy සහ Dulquer Salmaan එම ජනප්‍රිය තලයේ හිනිපෙත්තෙහිම වැජඹෙන්නන්. විශේෂයෙන්ම ඔවුන් දෙදෙනාම එක්ව රංගනයෙන් දායක වූ 'Charlie' චිත්‍රපටය අතිශය ජනප්‍රිය වූ මලයාලම් නිර්මාණයක්. මොවුන් දෙදෙනාගේම බොලිවුඩ් ආගමනය සිද්ධ වෙන්නේ 'Qarib Qarib Singlle' සහ 'Karwaan' යන චිත්‍රපට ඔස්සේ. මෙම චිත්‍රපට දෙකටම ඔවුන් හා රංගනයෙන් විශිෂ්ට සහායක් ලබා දෙන්නේ බොලිවුඩයේ කුසලතා පූර්ණ රංගන ශිල්පියෙක් වන Irrfaan Khan විසින්. කතා තේමාවන් වෙනස් මඟක් ගත්තත් නිර්මාණයන් දෙකම එකම මඟකයි ගමන් ගන්නේ. මෙතනදී අපිට හමුවෙන චරිත දෙක තුළ මැවෙන අපූර්වත්වය තමා ප්‍රධාන වෙන්නෙ. මෙතන ඉන්නවා ජීවිතේ එක්තරා දුරක් ගෙවපු යුගයක තනි වූ දෙදෙනෙක්. ඒ වගේම දෙන්නගෙම පෞරුෂයන් එකකට එකක් වෙනස්. බොහොම වගකීමෙන් වැඩ කරන කාන්තාවක් සහ කිසිම දේක බරපතළක් නොහිතන පිරිමියෙක්. ආදරෙන් බැඳෙන්න නම් මේ දෙන්නම එකම තලයකට පත් වෙන්න ඕනි. ඉතින් දෙන්නට යන්න වෙනවා එකට එක්ව සෑහෙන දුරක්. ඒත් ඉතින් ආලයෙන් වෙළෙන්න නම් නිවැරදිම අවස්ථාවක් බලෙන්ම වගේ ඇති කරගන්නත් වෙනවා. චරිත දෙකේ පෞරුෂයන් දෙක නිරූපණය කරන්නට යොදාගෙන තිබුණා අපූරුම උපක්‍රමයක්. රංගන ශිල්පීන් දෙදෙනා අයත් වෙන්නෙ සිනමා ඛාණ්ඩයන් දෙකකට. දකුණු ඉන්දීය නිළි පාර්වතී සමඟින් උතුරු ඉන්දියානු නළු ඉර්ෆාන් ඛාන්. දෙපැත්තකින්ම මේ දෙදෙනාම ඉන්දීය සිනමාව ඇතුළෙ කුසලතා පූර්ණ වූවන්. ඒ සුසංයෝගයෙන් ජනිත කරවන්නේ වින්දනාත්මක බවෙහි උපරිමයක්.

මාර්ග දෙකක යන දෙදෙනෙක් අහම්බයෙන් එකම මාර්ගයකට වැටුණත් ඒත් ගමන් කරන්නෙ මාර්ගයේ දෙපැත්තේ. එකිනෙකා පෙනි පෙනී, එකිනෙකාව දැනි දැනී වුණත් පරතරයක් නිතරම පවතිනවා. ප්‍රේක්ෂක අපිට සිද්ධ වෙනවා මේ පරතරය බිඳෙන මොහොතක් එනතුරා බොහොම ඉවසිල්ලෙන් බලන් ඉන්නට. ඒ අතරෙදී අතිශය සුන්දර Road Trip චාරිකාවක නියැලෙන්නටත්. එතනට තමා නිර්මාණයත් එක්ක ප්‍රේක්ෂක රසාස්වාදය උපරිමයෙන්ම පෑහෙන්නෙ... Dehradun, Delhi, Alwar, Bikaner, Rishikesh, Roorkee සහ Gangtok යන දර්ශනීය ඉන්දියානු භූමිදර්ශනත් එක්ක වෙනමම මිහිරක් මවන සිනමා අත්දැකීමක් විඳගන්නට හැකියි. නිසැක වශයෙන්ම මතකයේ රැඳෙන හින්දි චිත්‍රපටයක් වෙන්නට අවශ්‍ය කරන සියල්ලගෙන්ම Qarib Qarib Singlle පොහොසත්. හොඳ ගුණාත්මක බවකින් යුත් රංගනයන් සහ කතා වස්තුවක් එක්ක සෑහෙන වෙනසක් අත්විඳින්නට හැකි චිත්‍රපටයක්.

මෙහි අධ්‍යක්ෂණය සහ තිරරචනය Tanuja Chandraගෙන්, කතාව Kamna Chandra ගෙන්. බොලිවුඩයේ සංචාරක සඟයා විදිහට මේ වන විට Irrfaan Khan විසින් වෙනමම අනන්‍යතාවයක් ගොඩනඟා ගෙන ඇති බව සනාථ කරවන තවත් අපූරුම චාරිකා සටහනක් තමා 'Karwaan' කියන්නේ. ඊට එක්වනවා මොලිවුඩයේ කඩවසම්ම රංගන ශිල්පියා Dulquer Salmaan. තමන් විසින් තමන්වම සොයා යන ඉරණම් ගමනක් විදිහට දිගැහැරෙන, බැංගලෝරයේ සිට කොචී වෙතට කෙරෙන මේ අනපේක්ෂිත චාරිකාවේ කොටස්කරුවන් ත්‍රිත්වයක් විසින් චිත්‍රපටයට ලබා දෙන ජීවය තදින්ම දැනෙන එකක්. චරිත විස්තර තුනක් එක් තැනකදී සමානුපාතික වන අයුරු ගැනයි මේ කතා පුවත.

කාලෙත් එක්ක ඔහේ ගෙවන ජීවිතවලට සුන්දර අරුත් සපයන්නේ, දෛවෝපගත හමුවීම් නිසාවෙන් ගොඩනැඟෙන ළෙංගතු සබඳතාවයන් තුළින් බව ඔවුන්ම පසක් කරගත්තා. දුල්කර්-ඉර්ෆාන් එක්ක හරිහරියට අවධානය දිනගන්නා මිතිලාගේ දායකත්වයත් වඩාත් වැදගත් වන ලෙස කතන්දරය තුළ ඈටත් හොඳ ඉඩක් සලසාදී තිබුණා. තවත් පැත්තකින් මෙහි රංගන ශිල්පී ශිල්පිනියන්ගේ එකතුව තුළත් විශේෂයක් දකින්නට ලැබෙනවා. Dulquer මොලිවුඩයෙන් හෙවත් මලයාලම් සිනමාවෙන්. Irrfaan බොලිවුඩයෙන් හෙවත් හින්දි සිනමාවෙන්. Amala ටොලිවුඩයෙන් හෙවත් තෙලිඟු සිනමාවෙන්. Kirti සැන්ඩ්ල්වුඩ් හෙවත් කන්නඩ සිනමාවෙන්. Mithila මරාති සිනමාවෙන්. සුන්දර Tamil Nadu Nilgiri Hills සහ Ooty ප්‍රදේශයන් පුරාවටම සිදු කළ ඔවුන්ගේ අරුම පුදුම චාරිකා සටහන වසරේ ආකර්ෂණීයම බොලිවුඩ් චිත්‍රපටයක රස මිහිර ගෙන එනවා. කුළුඳුල් අධ්‍යක්ෂණය සහ තිරරචනය Akarsh Khurana ගෙන්. කතාව Bejoy Nambiarගෙන්.

මාතෘකා

ජනප්‍රිය ලිපි