මීදුම් සළු ඇඳි දෙවියන්ගේ මල් උයන

 ඡායාරූපය:

මීදුම් සළු ඇඳි දෙවියන්ගේ මල් උයන

මිහිදුම් වලාකුළුවලින් සැරසී ගත් හෝර්ටන්තැන්නේ තණ බිම් දිගේ ඇවිද යන ඔබට දැනෙන්නේ ගත සිත සෞම්‍ය කරවන අපූරු සීතලකි. නමුදු ඊළඟ නිමේෂයේ ඒ පරිසරය වෙනස් වීම අරුමයක් නොවේ. දෙස් විදෙස් සංචාරකයන් අතර හෝර්ටන්තැන්න වඩාත් ජනප්‍රිය වීමට ලෝකාන්තය, බේකර්ස් ඇල්ල මෙන්ම එහි ජෛව විවිධත්වයද හේතු වී තිබේ. මුහුදු මට්ටමේ සිට මිටර් 2,100ත් 2,300ත් අතර උසින් පිහිටි හෝර්ටන්තැන්න මෙරට උසම ස්ථානයේ පිහිටි වන උයන වන අතර එය අප ආදි මානවයන්ගේ නිජ බිමක් ලෙස සැලකේ.

අතීත රජ දරුවන් හෝර්ටන්තැන්න ඇතුළු ඉහළ කඳුකර ප්‍රදේශ වටිනා ජල පෝෂක ලෙස හඳුනාගෙන ඒවා ජන ශූන්‍ය ප්‍රදේශ වශයෙන් ආරක්ෂා කොට ඇත. වර්ෂ 1805දී ඉංග්‍රීසි ජාතිකයන්ගේ ආධිපත්‍යයට රට නතුවීමත් සමඟ 1834දී විලියම් ප්‍රෙෂර් හා ඇල්බට් විල්බට් යන දෙදෙනා මහාඑළිය තැන්නට පැමිණීමෙන් පසු මෙම ප්‍රදේශ සුදු ඇත්තන්ගේ දඩ බිම් බවට පත්විය. මහාඑළිය තැන්න හෝර්ටන්තැන්න ලෙස නම් කරන්නේ 1831 සිට 1837 දක්වා මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ සර් රොබට් විලියම්ය. තම විනෝදය සඳහා අලි ඇතුන් මරා දැමූ මේජර් රෝජස් හොර්ටන්තැන්නේ සිටි අවසන් කුරු අලියාත් වෙඩි තබා මරා දැමූ බව පැවසෙන අතර නුවරඑළිය ගොල්ෆ් ක්‍රිඩා පිටියේ පිහිටි ඔහුගේ සොහොනට අදටත් හෙණ වදින බවද පැවසේ.

1961දී හෝර්ටන්තැන්න ප්‍රදේශයේ බීජ අර්තාපල් ගොවිපොළක් ආරම්භ කොට ඇති අතර 1969 වසරේදී මෙම ප්‍රදේශය ස්වාභාවික රක්ෂිතයක් ලෙස නම් කර ඇත. 1988 මාර්තු මස 18 වැනි දින ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කළ හෝර්ටන්තැන්න පරිසර පද්ධතියේ වැදගත්කම සහ ජෛව විවිධත්වය නිසාම 2010 ජූලි මස 31 වැනි දින එය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

ලෝකාන්තය සංචාරකයන් අතර ජනප්‍රිය වූයේ කෙසේද යන්න පිළිබඳව නිශ්චිතවම තොරතුරු නැතත් හෝර්ටන්තැන්න බීජ අර්තාපල් ගොවිපළේ සේවය කළ කාන්තාවක් පැවසුවේ, හැරල් පීරිස් නම් අයකු විසින් ලෝකාන්තය දැක එම ස්ථානය සංචාරකයන් අතර ජනප්‍රිය කරවන ලද බවයි. එසේම 'මොනිකා සහ බ්‍රිටෝ' යන පෙම්වතුන් ලෝකාන්තයෙන් පහළට පැනීම නිසා ලෝකාන්තය ජනප්‍රිය වූ බවද ඇතැම්හු පවසති. හෙක්ටයාර 316ක භුමියක් පුරා විසිරී ඇති හෝර්ටන්තැන්න නැරඹීමට පැමිණෙන බොහෝ දෙනකු මීටර් 870ක පමණ දළ බෑවුමක් සහිත ලෝකාන්තය තම ප්‍රධානතම සංචාරය බවට පත් කරගනී. පැහැදිලි දිනකදී නම් මෙරට ගිනිකොණ දෙපස විහිදී ඇති නන්පෙරියල් ආශ්‍රිත ප්‍රදේශයේ අලංකාර දර්ශනය නැරඹීමට හැකිවන අතර මිහිදුම් සහිත දිනකදී නම් පහළ කිසිවක් නැරඹීමට අවස්ථාව උදා නොවේ. මීටර් 270ක දළ බෑවුමක් සහිත කුඩා ලෝකාන්තයේ තත්ත්වයද එයමය.

මීට අමතරව බේකර් ඇල්ල සහා චිමිනි පොකුණ මෙන්ම පතන් බිම, තෘණ භූමි සහ ගොනුන් නැරඹීම ඉල්කක කරගෙන පැමිණෙන සංචාරකයන් දැඩි මිහිදුම් සහිත දිනවල ලෝකාන්තය නැරඹීමට නොහැකි වීම නිසා ආපසු පැමිණෙන්නේ කිලෝමීටර් නවයක් පමණ දුරක් ඇවිද යෑම ගැන සිතින් තැවෙමිනි. නමුත් එසේ පොදුවේ ආකර්ෂණයට ලක්වන සංචාරක ස්ථානවලට වඩා බොහෝ දෑ හෝර්ටන්තැන්නේ නැරඹීමට ඇති බව බොහෝ දෙනකු නොදැන සිටීමද අභාග්‍යයකි.

හෝර්ටන්තැන්නට හිමි සුවිශේෂී ජෛව විවිධත්වය ඒ අතර මුල් තැනක් ගනී. හෝර්ටන්තැන්නේ පිහිටි ශාකවලින් සියයට 5ක් පමණ ආවේණික ශාක වන අතර, මෙරටට ආවේණික කුරුල්ලන් 34න් 20ක් පමණ එහිදී දැකගත හැකිය.

හෝර්ටන්තැන්න අතීතයේ දෙවියන්ගේ මල් උයන ලෙසද හඳුන්වා ඇත. ඒ මේ ක්ෂේම භුමිය වර්ණවත් කරමින් විකසිත වන විවිධාකාර පුෂ්පයන් නිසාය. ඒ අතුරින් වසර දොළහකට වරක් හටගන්නා නෙළු විශේෂ කිහිපයක් මෙහිදී දැකගත හැකි අතර ඒවා අතරින් වසර තුනකට වරක්, හතරකට වරක් මෙන්ම වසර හයකට වරක් මල් හට ගන්නා නෙළු වර්ගද වේ. අතීතයේදී අර්තාපල් වගා කොට අත්හල තැනිතලා බිම තුළ ඇතිරිල්ලක් ආකාරයට සරුවට වැඩුණු කාපට් ග්‍රාස් දැකගත හැකි අතර ගොනුන්ගේ ප්‍රධාන අාහාරය වන්නේද මෙම තණකොළය.

ඉහළ කඳුකර ප්‍රදේශයන්ට පමණක් සීමාවන වලාකුළු ඇතිවීමේ සංසිද්ධිය මෙන්ම නිමේෂයකින් වෙනස් වන කාලගුණ රටාවන්ද හෝර්ටන්තැන්නේදී අත්විඳිය හැකිය. ඒ නිසාම ලෝකාන්තය කරා යන ගමන ආරම්භයේදී ඉතා පැහැදිලි අහසක් දැකගත හැකි වුවත් අවසානයේදී තද මීදුමෙන් වැසී ගිය ලෝකාන්තය පමණක් දැකිය හැකි වන්නේ මෙම පරිසර තත්ත්වය නිසාය.

වඩා උස් නොවූ හෝර්ටන්තැන්නේ තුරු ශාක කඳන් මත සරුවට වැඩුණු පෙඳ හා පාසි වර්ග දැකගත හැකි අතර මහල්ලකුගේ රැවුලක් ලෙස තුරු අතර එල්ලී ඇති ලයිකන විශේෂය මහල්ලාගේ රැවුල ලෙස හඳුන්වයි. එමෙන්ම වරුල්ල, යුපටොරියම්, වල් දුම්කොළ, මිහිදුම් මල්, නිල් තරු සහ යුලැක්ස් වැනි ආක්‍රමණශීලී ශාක ගණනාවක්ද හෝර්ටන්තැන්නේ වන අතර, පරිසර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කළ යුලැක්ස් ශාකය පසුගිය කාලයේදී ඉවත් කිරීමට කටයුතු කළමුත් තවමත් තැනින් තැන යුලැක්ස් මතු වෙමින් පවතින බවක් දැකිය හැකිය. පසුගිය කාලයේ ලෝකාන්තයෙන් පහළට වැටීමෙන් විදේශීය තරුණියක් ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ලෝකාන්තයේ නැරඹුම් ස්ථානයේ සංචාරකයන්ගේ ආරක්ෂාව පිණිස වීදුරු ආවරණයක් ඉදිකිරීමට මේ වන විට කටයුතු කෙරෙමින් තිබේ. මේ වන විට එම ස්ථානයේ තාවකාලික කටු කම්බි ආවරණයක් යොදා ඇති අතර ඒවා අතරින් රිංගමින්ද සෙල්ෆි ඡායාරූප ගැනීමට දේශීය සංචාරකයන් උත්සාහ කිරීම කනගාටුදායකය.

දැඩි සංචාරක ආකර්ෂණයක් සහිත මෙම ජාතික වනෝද්‍යානයේ වත්මන් භාරකාරත්වය දරන්නේ ප්‍රදීප් කුමාර මහතාය. හෝර්ටන්තැන්න නිකසළ කලාපයක් කිරීමට දැඩි වෙහෙසක් දරන ඔහු ඒ ගැන මෙසේ කීවේය.

"නුවරඑළිය සංචාරක කලාපයේ දැන් වෙන් කරපු කසළ විතරයි අරන් යන්නේ. ඒ නිසා අපි පට්ටිපොලින් වගේම ඔහියෙන් හෝර්ටන්තැන්නට ඇතුළුවන හැම දෙස් විදෙස් සංචාරකයෙක්ම අපේ නීති පද්ධතිය ගැන දැනුවත් කරනවා. පොලිතින්, නොදිරන ද්‍රව්‍ය වගේම ගිනි පෙට්ටි, දුම් වැටි වගේම මත්පැන් ඇතුළට අරන් යන්න බැහැ. පොලිතින්වල ඔතලා මොනවා හරි අරන් යනවා නම් අපි ඒවාට විකල්ප බෑග් දෙනවා. ඇතුළට අරන් යන ප්ලාස්ටික් වතුර බෝතල් ආපහු ගේන්න නියමු වැඩසටහනක් විදිහට උද්‍යානයට ඇතුළුවන තැනදී ඒ ගෙනියන බෝතල්වලට සරිලන මොකක් හෝ සුරැකුමක් අපි සංචාරකයන්ගෙන් ගන්නවා. ආපහු එනකොට ගෙනිච්ච වතුර බොතල් සංඛ්‍යාව ගෙනාවද කියලා බලලා ඒ සුරැකුම ආපහු දෙනවා. ඒ නිසා හෝර්ටන්තැන්නට එන සංචාරකයන්ගෙන් මම ඉල්ලන්නේ මතක සටහනක් ඕනේ නම් ඡායාරූපයක් අරගන්න. ඒ වගේම තමන්ගේ පා සටහන විතරක් තියලා අරගෙන ආපු හැමදේම නැවත අරගෙන යන්න කියලයි."

දැනුම් සහ අත්දැකීම් සම්භාරයක් ලබාගත හැකි මෙම සොඳුරු ස්වාභාවික පරිසර විශ්වවිද්‍යාලයට පියමනින්නට බලාපොරොත්තු වන කවුරුන් වුවත් හෝර්ටන්තැන්නේ අපූර්වතම වටිනාකම සිහි තබාගෙන කටයුතු කරන්නේ නම් එය පරිසරයට දක්වන උපහාරයකි.

විශේෂ ස්තුතිය- උද්‍යාන පාලක ප්‍රදීප් කුමාර, නියෝජ්‍ය උද්‍යාන පාලක පී.පී.දයාරත්න සහ රවීන් ලක්මාල් යන මහත්වරුන්ට.

[චන්දන තිලක් ද

මාතෘකා

ජනප්‍රිය ලිපි