ඩයොනීසියානු සටහන්

 ඡායාරූපය:

ඩයොනීසියානු සටහන්

හලේලූයා!!!

ශුද්ධ වූ බයිබලයේ සාමුවෙල්ගේ දෙවන පොතෙහි දාවිත් රජු සහ බෙත්ෂෙබාගේ රහසිගත ප්‍රේමය සම්බන්ධයෙන් සඳහන් වෙයි. අභිරූමත් බෙත්ෂෙබා රාත්‍රියේ නිවෙස් පියසේ හිඳ සඳ එළියෙන් නැහැවී ස්නානය කරනු දකිනා දාවිත් ඇය හා ක්ෂණයකින් ප්‍රේමයෙන් බැ‍ඳෙයි. කෙසේ වුවත් බෙත්ෂෙබා විවාහක බව දැනගන්නා දාවිත්, එසේ දැන දැනත් ඇය හා සංවාසයේ යෙදෙයි. බෙත්ෂෙබා ගැබ් ගන්නා අතර, සිය රහසිගත ප්‍රේමය සඟවනු වස් උපක්‍රම යොදා අසාර්ථක වන තන්හි දාවිත් විසින් බෙත්ෂෙබාගේ ස්වාමියා සහ තමන් යටතේ සිටිනා සොල්දාදුවෙකු වන උරියා සටන් පෙරමුණට දැන දැනම යවා මරවයි. එයට දාවිත් හට දඬුවම් නොලැබී යන්නේ නොවේ.

ඔහු හා බෙත්ෂෙබා ලබනා පළමු දරුවා මරණයට පත්වීම දෙවියන් විසින් නියම කරනා දඬුවමයි. දරුවා උපන් පසුව අපේක්ෂා භංගත්වයෙන් මැඩී, ගෙබිම වැතිර නිරාහාරව හිඳි දාවිත් රජුගේ මුවින් 'දෙවි සමිඳාණන්ට ස්තුති ප්‍රශංසා වේවා' නැතිනම් 'හලේලුයා' කියා කියැවෙන්නට ඇතිද?

පිලිස්තිවරුන් අතින් ඊශ්‍රායෙල් ජනතාව ගලවා ගැනීම වෙනුවෙන් දෙවියන් විසින් සම්සොන්ව මෙලොවට එවූ බව වීරාවලියේ සඳහන් වෙයි. සම්සොන් සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වඩා අසීමිත වූ කාය බලයකින් යුක්ත වූ අතර, ඔහු සිය ජනතාව වෙනුවෙන් සටන් කොට ජය ගන්නේ එම කාය ශක්තියේ බලයෙනි.

සම්සොන්ගේ අසීමිත කාය ශක්තියේ රහස වන්නේ ඔහු උපන්දා සිට දැලි පිහියක් ලං නොකොට වැඩූ කෙස් කළඹයි. එසේ ඔහුගේ කේෂය වවන්නේ සම්සොන් ඉපැදීමට පෙර දෙවියන් විසින් ලබාදෙන ගුරුහරුකම් නිසාවෙනි. කෙසේ වෙතත් සම්සොන් විරුවාගේ විනාශය ගෙන එන්නේ ඩිලයිලා නම් ස්ත්‍රියයි.

සම්සොන් පෙම් බඳින්නේ ඇයටයි. නමුත් ඩිලයිලා සම්සොන්ව ප්‍රේමයෙන් මුලා කොට රවටයි. ප්‍රේමයේ නාමයෙන් ඔහුගේ කාය බලයේ රහස ඩිලයිලා තුන් වරක් විමසා සිටිනා අතර, අවසානයේදී සම්සොන් විසින් තම කෙස් වැටියේ සැඟවුණු කාය ශක්තිය පිළිබඳ රහස ඇයට පවසා සිටී. මෙය දැන සිත් තබාගන්නා ඩිලයිලා විසින් සම්සොන් සිය උකුළ මත නිදි කරවා ඔහුගේ හිස කෙස් කපා දමයි. ඉන් පසුව ශක්තිය සිඳී ගිය සම්සොන්ව අල්වා ගැනීමට පිලිස්තිවරුන්ට සන් කරයි. පිලිස්තිවරුන් පැමිණ සම්සොන්ගේ දෑස් උගුල්වා දමා ඔහුව වහල් සේවයට යවයි.

කෙසේ නමුත් සිය අවසන් පළිය ගැනීමට සිතනා සම්සොන් පිලිස්ති අධිපතීන් සිය දෙවි "දාගොත්ට" පූජා පැවැත්වීමට ‍රැස්ව සිටිනා ගෘහයෙහි මහ කුළුණු දෙක මැද හිඳ, දෙවියන්ගෙන් අවසන් වතාවට සිය මහත් කාය ශක්තිය ලබාදෙන ලෙසින් යැද සිටී. සම්සොන්ගේ මහත් කාය බලය ඔහුගේ කේෂය සමඟින්ම නැවත ලැබෙන අතර, සම්සොන් විසින් '‍රැස්ව සිටිනා පිලිස්තිවරුන් සමඟින් මම්ද මියෙම්වා' යැයි සිතා එම මහ කණු දෙක බිඳ මුළු ගෘහයම විනාශ කොට දමයි. තමන් ප්‍රේම කළ කාන්තාව විසින්ම කළ අතිමහත් ද්‍රෝහීත්වයේ බරින් මැඩී, සිය ජීවිත ආශාවද අත් හැර හිඳි සම්සොන්ගේ තොල් අතුරින් දෙව් සමිඳාණන් වෙනුවෙන් හලේලුයාවක් ඇසෙන්නට නැතිද?

හලේලුයා යනු දෙව් සමිඳාණන්ට කීර්තිය අත්වේවා යනුවෙන් අර්ථ දැක්වෙන හීබෘ වදනකි. කෙසේ නමුත් විවිධාකාරයේ හලේලුයාවන් මෙම ලෝකයේ තිබිය නොහැකිද? සර්ව සම්පූර්ණ ආත්මයකින් නැගෙන හලේලුයාව මෙන්ම කැඩී බිඳී ගිය ආත්මයකින් නැගෙන හලේලුයාවද එක් සමාන වටිනාකමකින් යුක්ත නොවේද?

දෙවියෙකු සිටියත් නොසිටියත්, ජීවිතය පිළිබඳව ඇති භක්තිය සනාථ කිරීමට, ආගමික අරුතකින් නොවූවත් ජීවිතය පිළිබඳ අරුතකින් ඔබට හැඟීමෙන් යුතුව හලේලුයා යැයි කීමට නොහැකිද? අඩු තරමින් හලේලුයා යනුවෙන් ගැයූ ලෙනාර්ඩ් කොහෙන් එසේ සිතනට නැතිද?

 

Maybe there's a God above

But all I ever learned from love

Was how to shoot at someone who outdrew you

It's no complaint you hear tonight

It's not some pilgrim who's seen the light

It's a cold and it's a lonely Hallelujah

[අරමානිස් බලසේක්කු]

මාතෘකා