අාකාස හීන

 ඡායාරූපය:

අාකාස හීන

පලායෑම වෙනුවට මුහුණ දීම

මිනිස්සුන්ට බය වෙන්ඩ එපා. දොරටුපාලයට බය වෙන්ඩත් එපා. ඒ අයට වෙන වැඩ තියෙනවා. ඔයා ගැන හොයල බලනවට වඩා වැදගත් වැඩ.”

ඈ ප්‍රමිලා ය. එසේ කියන්නී දස්කොන්ට ය.

නැත. ඈ සිය පෙම්බරා මාළිගයට කැඳවන නරේන්ද්‍රසිංහ රජුගේ මෙහෙසිය නොවන්නී ය.

ඔහු ඒ කතාවේ පේදෲ ගැස්කොන් ද නොවන්නේ ය. සමය වර්ෂ එකදාස් හත්සිය නවය ද නොවන්නේ ය.

මේ ප්‍රමිලා කාර්යාලයක වැඩ කරන්නී ය. මේ කියන දස්කොන්ට ඒ ප්‍රමිලා බලන්නට ලබන ආරාධනාව එන්නේ දුරකතනයක් දිගේ ය. වර්ෂ දෙදදහස් නවයේ දී හෝ ඊට ආසන්න කාලයක දී.

ඔවුන්ගේ කතාව ලියන්නේ සමර විජේසිංහ ය. 'සේදී ගිය පාට'නම් කෙටිකතා පොතෙහි ලා.

සත්‍යයකි. බොහෝ මිනිසුන්ට වෙනත් වැඩ ඇත.

අපි ඒ වැඩ වෙනුවෙන් නොනවතා දුවන්නෙමු. හිමිව ඇති චරිතය කුමක් වුවත්.

කසල ශෝධකයාගේ සිට සමාජ ශෝධකයා දක්වා.

අනෙකා අපට අදාල වන්නේ තැන් දෙකක දී පමණි. අපට බාධා වන්නේ නම් හෝ අපගේ දිවිල්ලට රුකුලක් වන්නේ නම්. එතෙක් අපට වෙන වැඩ ඇත.

අවසන.

තනි පුද්ගලයන් ද ඊට කිලෝ මීටර් ගානක් දුරින් ඇති තවත් එවන් පුද්ගල ජීවිත කිහිපයක් හා බැඳුනු කුටුම්භය නම් සෞරග්‍රහ මණ්ඩලයක් ද ඊට ආලෝක වර්ෂ ගණනක් දුරින් ඇති දන්නා අය නම් තවත් එවන් කුටුම්භ කිහිපයක් එක්කොටගත් චක්‍රාවාටයකින් ද සමන්විත අපම තනාගත් විශ්වයකට සීමාව දිවි ගෙවන්නෙමු. පිටත මහා විශ්වයක් පවතිද් දී.

ලියන මාත් කියවන ඔබත්. අඩු වැඩි ඇතිව.

අපගේම විශ්වයකට කොටුවන්නේ ආත්මාර්ථය නිසාම නොවන්නේ ය. ඒ ඉඩ තුළ අප ආරක්ෂිත යැයි අප සිතන නිසා ය. ජීවිතයේ සැනසිලි කලාපය ඒ වන නිසා ය.

අපට අනෙකුන් අවිශ්වාස නිසා ය. විශ්වාස නැති නිසා ය.

මේ රටෙහි ඒ අවිශ්වාසයට ඇති තරම් හේතු ඇත්තේ ය. මේ බිම අවිශ්වාසයම පැළ කළ බිමක් වන්නේ ය.

ඊයේ රෑ එහා ගෙදර සිටි එකා විසින් පසුදා තමන්ට හිමි සියල්ල වනසනු ලැබූ. අද උදේ පාරේ මුණ ගැසී මුව පුරා හිණැහුණු එකා විසින් දහවල් බෝම්බ පුපුරවණු ලැබූ.

එකම විප්ලවය වෙනුවෙන් එකට සටන් වැදි සටන් සගයා විසින් එකම හිස සෙළවුමකින් තම ජීවිතය තීරණය කරවනු ලැබූ. සුව පහසු ඇඳන් තිබිය දී දුම්මැහි ගානේ නිදා සිටියත් වයස පමණක් වැරදි වූ පවින් අකාලයේ මරු කැඳවනු ලැබූ.

මිනිසුන්ගෙන් ද ගැහැනුන්ගෙන් ද උන්ගේ දරුවන්ගෙන් ද පවතිනු ලබන්නේ ය.

එමතුද නොව. දේශපාලකයාගේ සිට කලාකරුවා දක්වා බොහෝ වෘත්තිකයන් විසින් ද රවටනු ලද මිනිසුන්ගෙන් පිරී ඇත්තේ ය.

ඉඳින් මෙවන් බිමක පැවතිය හැක්කේ හුදකලා ජීවිත පමණක්ම වන්නේ ය. හුදකලා මිනිසුන් තම පරෙස්සම වෙනුවෙන් තනාගත් කුඩා කල්ලි පමණක්ම වන්නේ ය.

මෙවන් බිමකට සාමුහිකත්වයේ පණිවිඩය ගෙන ඒම කළ යුත්තේ ම ආදරය හා විශ්වාසය මතින් ම වන්නේ ය.

ඒ හැර පදම වැඩි වූ විට එහා පැත්තේ මේසයේ සිටින ගැහැනියගේ පියයුරු මිරිකන්නට පොළඹවන මතින් නම් නොවන්නේ ම ය.

[අනිල් ෙහ්රත්]


රසවතිය

රාජ කපුරු හෙට්ටියා

ගණදෙවි හෑල්ල, පත්තිනි හෑල්ල ආදී සැහැලි කාව්‍යයන් ජනමනසේ ඇති කරන්නේ භක්තියකි. එමගින් දේවොත්පත්තිය, රුචි අරුචිකම් ආදියද දෙවි පිහිට පැතීම ද සිදුකෙරේ. එසේ නමුත් සැහැලි, ‘හෑලි’ වූ කල, ඒවා පල්-හෑලි, යාන්-හෑලි ආදී වශයෙන් ස්වයං ගර්හාවට පාත්‍ර කෙරෙන ප්‍රකාශන විශේෂයක් බවට පත් කෙරේ. සැහැලි කාව්‍ය ජන කාව්‍ය අතරේ ඉතා ජනප්‍රිය කාව්‍ය විශේෂය විය හැකිය. පද්‍යය රුචි නොකරන කෙනෙක් පවා ‘අතුරු-මිතුරු’ සැහැල්ල දන්නා හා කියා ඇති කෙනෙක් විය යුතුය. බොහෝ ළමා කවි සැහැලි ගණයට අයත් වෙන අතර එයින් බහුතරයක් ප්‍රකට සැහැලි වලින් උපුටා ගත් මුක්තක -මුල් කෘතියෙන් වෙන්කළ පසුද තනිව අරුත් ඇති කරන කවි- වෙයි.

අතුරු-මිතුරු ක්‍රීඩාව උපත ලද්දේ කෝට්ටේ යුගයේදීය. එකල කෝට්ටේ රාජසිංහ රජු, යකඩ දෝලියක ලෙස තබා ගෙන හුන් රාජහෙට්ටියා (සිටු) ගේ දුවණිය, අරීට්ට කී වෙන්ඩු පෙරුමාල් ට දීග දුන් කතාව එයින් කියවේ. අරිට්ට කී වෙන්ඩු රණකාමියෙකු බවත් මනම්පෙරුම මොහොට්ටි නම ලත් ඔහු, කන්දේ කොනප්පු බණ්ඩාර හා කොටුවේ පෘතුගීසීන් හා සටන් කර (හෝ අන් අය ගෙන් මියගිය පසමිතුරු භටයින්ගේ) බොහෝ හිස්-තරම් (ගෙලෙන් වෙන්කළ හිස් -ඉස් තරම්) ගෙන රජුට ඔප්පු කර ප්‍රසාදය ලැබුවේය. ඔහුගේ රාජ-ප්‍රිය බවට ගැරහීමට අතපත්තු ආරච්චි, ‘අතුරු-මිතුරු, පද කොක්කනම පටබැඳ කොල්ලන් ලවා කියවූ බව රාජාවලියේ සඳහන් ය.

‘ඒ ආඬින් එක්ක හිටියාට මහා අතපත්තුවේ දොළොස් හමුදාව බාරව ඉන්නා අතපත්තු ආරච්චියා සිවුපද පද බැඳ එතෙක් වෙන පද කොක්කනම කියා සැම සිවුපද ම මෙනමින් සීතාවක හැම වීදි වල ම කියන්ට පටන් ගත්තාහ. මන්නම්පෙරුම මොහොට්ටිල ලජ්ජාවට මෝරු වත්තට ගොසින් උන්නේය. ඒ ගිය නොබෝ දවසකින් බිසෝ අදහසින්, මන්නම්පෙරුම මොහොට්ටිල ගෙන්නවා සීතාවක සිටියාහ. ඒ හිටිනා කොටත් එම සිවුපද කොල්ලෝ දක්වා කියන්ට පටන් ගත්තාහ. එවර මන්නම්පෙරුම මොහොට්ටිල අවසර ඉල්ලා ගෙන ගිරා ඉඹුලේ කොටුවට ඇවිත් එහි උන්නේය’(රාජාවලිය). අරිට්ටකී වෙන්ඩු පෙරුමාල් කෙනෙකු නොදන්නා බහතෝරන දරුවෙකු ඇඟිලි විහිදුවා පොළව මත තබා ‘අතුරු-මිතුරු’ කියන්නට දන්නා බැවින්, සැහැල්ලක ප්‍රබල බව පැහැදිලි වේ. එලෙසින් ම දේශපාලන උපහාස අවියක් ලෙස යොදාගත් එම සැහැල්ල නිසා අරිට්ටකී වෙන්ඩු පෙරුමාල් ට තැනින් තැනට පලායන්න සිදු වූ බවද ඉහත උපුටනය නිසාපැහැදිලි වෙයි.

විරිඳු ද එලෙසින්ම ජන මනසේ තැන්පත් වන සැහැලි ප්‍රභේදයකි. රෝස නෝනා හා ජැන්ඩි සිඤ්ඤො මධුර ජවනිකා වේ කියන කොතලාවල විරිඳුව දයානන්ද ගුණවර්ධනයන් නොසිතු තරම් ජනප්‍රිය විය. සිරි අයියා ගේ විරිඳු ගුවන් විදුලි අසන්නන් වූ පරම්පරාවේ මතකයෙන් පොලා පනින්නේ ද සැහැලි අභිරුචිය ට දෙස් දෙමිනි. වෙසක් සිරි නරඹන අතරේ,

පෝය දවසේ මස් කෑවට-තොට පළ දුන්නා

කියමින් හාමිනේ ගෙදර-යනතුරු බැන්නා,

යන දෙපදය නිතර සිහියට එන්නේ එනිසාය.

බයිලා තාලයට ගැයෙන සැහැලි සිතේ සැහැල්ලුව ඇති කරයි. එම්.එස්. ප්‍රනාන්දු ගේ ටැක්සි කාරයා වඩා නූතන සැහැල්ලකි. ඔහු ටැක්සි කාර වෘත්තිය වටා ප්‍රවාදයක් ගොතන්නේ වෘත්තීය අභිමානය නොනසා උපහාස රසයක් ජනනය කරමිනි. ඔහු ඒ අතරම ටැක්සි කාරයන් කෙරේ ‘රාත්‍රියට දෙගුණයක් අයකිරීම, මීටරය වංචා කිරීම’ ගැන උපහාසාත්මකව සඳහන් කරයි. ඔහු ගල්කිස්සේ හෝටලේ ළඟ ගීයෙන් සංචාරක රියදුරු ආතර් අයියා ගැන කියයි. එහිදී ඔහු යොදාගන්නා මිශ්‍ර භාෂාව ටැක්සි රියදුරා සංචාරකයෙකු අමතන ආකාරය සිහි කරයි. එම්.එස්. වර්ධනය කළ ගී ධාරාව ජනප්‍රිය වන්නේ එහි අනතර්ගතය ජන මනස පෑහෙන නිසාය. එලෙසම ජන මනස ආක්‍රමණය කළ අනිත් සැහැලි ගායකයා වන්නේ ඇන්ටන් ජෝන්ස් ය. ඔහු ඉතිහාසගත විය යුතු සිදුවීම් සැහැලි ගී මාර්ගයෙන් තහවුරු කළේය. ඔහු නිසා ඉතිහාසයේ අමතකව යාමට ඉඩ තිබූ සිදුවීම් වන ගංවතුර, මතුගම සමන් කුමාර, මතකයෙන් ගිලිහී නොයයි. ඔහු සිය ආරක්ෂක කිතු සාන්තුවර අන්තෝනි තුමන් ගේ දුක්ඛ ප්‍රාප්තිය සිංහල සැහැල්ලකට නගන්නේ අන්‍ය ලබ්ධිකයෙකුට ඒ ගැන අදහසක් ලගන්නා අයුරින් සම්ප්‍රේෂණය කරමිනි.

සැහැලි කාව්‍යය මීට වඩා ගැඹුරින් සිතාබැලිය යුතු බව ‘හැරී බෙලෆොන්ටේ’ ගේ ජනප්‍රිය ගීතයන්ට සවන් දෙන විට හැඟී යයි. කෝට්ටේ යුගයේ මනම්පෙරුම මොහොට්ටාල සේම නූතන යුගයේ මනම්පේරි ප්‍රේමවතී ජන මනසේ ප්‍රතිරාව නගන්නේ සැහැලි කවි සම්ප්‍රදාය නිසාය.

[හෂිත අබේවර්ධන]


අතුරු පාර

අතීතකාමය උගුලක් - හීල් හෙවනක්

අතීතය සුවඳක් වගේ. අල්ලන්න බැහැ. ඒත් දැනෙනවා. සමහර වෙලාවට අතීත සිද්දි අපේ මනස විසින් වඩාත් තද වර්ණවලින් වර්ණ ගන්වනවද කියලත් වෙලාවකට හිතෙනවා. ගයාත්‍රි ස්පිවැක් කියන ඉන්දීය චින්තිකාව එක තැනක කියනවා "ස්වයං චරිතාපදානයක් කියන්නෙ ඉතිහාසයේ සුව නොවූ ලේ ගලන තුවාලයක්..." කියලා. ඇය කියන කතාව මට හරියටම තේරුණේ යාපනයෙ ඇවිදින්න ලැබුණු පහුගිය දවස් කිහිපයෙදි.

මට මුලින්ම මුණගැහුනෙ මාතර පැත්තෙ තානායම් බාරකරුවෙක් හැටියට හැත්තෑ ගණන්වල වැඩ කරපු දෙමළ මහත්තයෙක්. මගෙ වැරදි දෙමළ උච්චාරණය නිසාදෝ එතුමා කතාකළේම සිංහලෙන් " මගෙ සිංහල වැරදි ඇති , අවුරුදු කීයකට පස්සෙද මේ කතා කරන්නෙ.." එතුමා සැරෙන් සැරේ කිව්වා. තව මට මුණගැහුනු අසූ ගණන්වල ගුවන් විදුලියෙ ඉංජිනේරුවෙක් හැටියට වැඩ කරපු මහත්තයා කතා කලේම පැහැදිලි ව්‍යක්ත ඉංග්‍රීසියෙන්. රජයේ ආයතනයක් ගණකාධිකාරීවරියක් හැටියට වැඩ කළ බවක් කීව දෙමළ නෝනත් පැහැදිලි සිංහලෙන් කතා කළා. මේ තුන්දෙනාම විශ්‍රාමිකයි.

ඒ තුන්දෙනාම තමන් දකුණේ සේවය කරපු කාලෙ ගැන බොගොම අභිරුචියෙන් කතා කළා. මට ඒ තුන් දෙනාගෙම සමානකම් ගොඩක් පෙණුනා. “ආයෙ බලන්න ගියාට වැඩක් නැහැ , දැන් හැම දේම වෙනස් වෙලා..., ඒ වගේ කාලයක් ආයෙ කොහෙන්ද?, මට සිංහල යාළුවො ගොඩක් හිටියා...” වගේ කතා ඒ තුන්දෙනාම කිව්වා. මම සිංහල කෙනෙක් නිසා බොරුවට සිංහල මිනිස්සු ගැන ගෞරවයෙන් කතා කරනවදෝ කියලත් මට නොහිතුනාමත් නෙමෙයි. ඒ අතීතය ගැන මතක් කරද්දි එයාලගෙ ඇස් දිලිසුණා. එයලා නොනවත්වාම කතාකළා. ඒ වගේම ඒ තුන් දෙනාම අසූ ගණන්වල සිංහල දෙමළ කලකෝලහල කාලෙ යාපනෙට ඇවිත් තිබුණා.

"ඒ කාලෙද හොඳ , දැන්ද? සිංහල මිනිස්සු එක්ක තරහක් තියනවද?" වගේ ප්‍රශ්න අහන්න හිතුනත් මං ඇහුවෙ නැහැ. ඒත් එයාලා මං ඇහුවෙ නැති ප්‍රශ්න වලට උත්තර දුන්නා. "දුව සිංහලෙන් එහෙ ඉගෙන ගත්තෙ මෙහෙ ආවම එයාට මෙහෙට හරියට හැඩ ගැහෙන්න ගොඩක් අමාරු වුණා.." ගණකාධිකාරී නෝනා කිව්වා. " අපි හරි කැමැත්තෙන් ආදරෙන් රස්සාව කළේ, එෆ් එම් චැනල් ආවට පස්සෙ රේඩියෝ සිලෝන් වැටුනා, නැගිට්ටන්න වැඩ දන්න අය හිටියෙ නැහැ, අපිටත් එන්න වුණානෙ.." ඉංජිනේරු මහත්තයා කිව්වා. තානායම් බාරකාර මහත්තයා දිගින් දිගටම එයා වැඩ කරපු තානායම සහ ඒ පැත්තෙ විස්තර අහලා ඒ තානායම තවදුරටත් නැති බව කිව්වම දුක් වුණා. " අයියෝ අපි හිටපු කාලෙ කොහොමට තිබුණු තැනක්ද?" එයා කිව්වා.

අතීතකාමය කියන්නෙ උගුලක් වගේම හීල් හෙවනක්. ඒ මිනිස්සුන්ට දුකක්, මහන්සියක් දැනුනම ගිහින් වාඩි වෙලා විවේක ගන්න තැනක්. ඒ වගේම ආයෙ ආයෙ පෑරෙන තුවාලයක්. නොදන්නම කෙනෙක් වෙච්චි මං ඉස්සරහා ඒ අය ජනෙල් පියන් ඇරියෙ මං සිංහල සහ ඒ අය එක්ක හිනාවෙන කතා කරන කෙනෙක් නිසා වෙන්න ඇති.

එක පාරටම මුල් වලින් ගලවලා වෙන පොළවක පැල කරපු ගස් ඒ. බෙදුම් ඉරි ඇඳෙනවා බලන් හිටපු පරම්පරාව ඒ. එයාලා තමා දන්නෙ හරියටම වෙච්චි දේවල්.

සිංහල කතා කරන්න දන්න මැදි වයසෙ ගෑණු, පිරිමි උදවිය ගණනාවක් යාපනේදි මුණගැහුනත් ඒ වැඩි දෙනෙක් විවෘත වුණේ නැහැ. තවමත් අපි අතරෙ සැකය සහ බය තියනවා. ඒක වීදුරු බිත්තියක් වගේ. අපි විනිවිද දැක්කට අනිත් පැත්තෙ අයව අල්ලන්න බැහැ. පරණ තුවාල කාලය හොඳ කරපු බවක් පේන්න නැත්තෙ ඒ වීදුරු බිත්තිය තියෙන නිසා.

[ඉසුරු චාමර සෝමවීර]

මාතෘකා