අධිකරණ සංවිධාන (සංශෝධන) පනත කුමක්ද?

 ඡායාරූපය:

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත කුමක්ද?

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත විය.

වැඩි ඡන්ද 67කින් සම්මත වූ මෙම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 119 ක්ද විපක්ෂව ඡන්ද 52 ක්ද ලැබිණ.

2018 මාර්තු මස 06 වන දින අධිකරණ ඇමතිතුමිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත මඟින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය විය.

විවේචන

මෙම පනත පිළිබඳව පසුගිය සමයේ විවිධ අදහස් පළවූ අතර එම පනත අභියෝගයට ලක් කරමින් පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ද ඉදිරිපත් විය.

එම පාර්ශවයන් ඉදිරිපත් කර තිබු පොදු තර්කය වූයේ එම පනත් කෙටුම්පතේ ඇතුළත් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය නිසි ලෙස සම්මතවීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවයි.

කෙසේ නමුත් පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා විසින් 2018 අප්‍රේල් 03 වන දින පාර්ලිමේන්තුවට දැනුම් දී තිබිණ.

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය

මේ පනත යටතේ පිහිටුවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් විභාග කිරීම, නඩු විභාග කිරීම සහ තීරණය කිරීම කළ යුතු බව දැක්වේ.

ඒ, සොරකම, දේපල වංක පරිහරණය , සොරකම් කළ දේපල සඟවා තැබිමට සහය වීම, කූඨ ලේඛන සෑදීම, ගිණුම් වරදවා දැක්වීම, මුදල් විශුද්ධිකරණය, අධිකරණ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ අල්ලස් ගනුදෙනු, පොදු දේපල සොරකම් කිරීම ඇතුළු වැරදි ගණනාවක් වෙනුවෙනි.

බලපෑම කාටද?

මෙම පනත යටතේ යම් තැනැත්තකු විසින් ශ්‍රී ලංකාව ඇතුළත සම්පූර්ණයෙන් ම හෝ කොටසක් හෝ සිදුකරන ලද වරදක් විභාග කිරීම, නඩු විභාග කිරීම සහ තීරණය කිරීමට නියමිතය.

එසේම ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විසින්, ශ්‍රී ලංකාවේ දේශ සීමාවෙන් පිටත කිනම් ස්ථානයක දී හෝ කවර වර්ගයක නැවක හෝ යම් ගුවන් යානයක නැතහොත් එබඳු යම් නැවක් හෝ ගුවන් යානයක් සම්බන්ධයෙන් සිදු කරන ලද වැරදි මේ සම්බන්ධයෙන් මෙම පනත මඟින් ආවරණය කර තිබේ.

අමාත්‍යවරයාට සුවිශේෂ බලයක්?

මෙම පනත මඟින් අධිකරණ අමාත්‍යවරයා වෙත බලතල විතැන් කිරීමක් සිදු කර තිබීම සුවිශේෂී කරුණක් වේ.

ඒ අනුව අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මඟින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවන ස්ථානය හෝ ස්ථාන නිශ්චිතව දක්වනු ලැබිය හැකිය.

මෙමඟින් අමාත්‍යවරයාට ලබාදී ඇති බලය තුලනයකට යටත් කර තිබීම සුවිශේෂී කරුණකි.

එසේම අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මඟින් ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ ඒ අධිකරණ සංඛ්‍යාව වැඩි කරනු ලැබිය හැකි ය.

නඩු පැවරීම

මෙසේ පිහිටුවන ලබන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරීමේ බලය අවස්ථාවෝචිත පරිදි, නීතිපතිවරයා හෝ අල්ලස් සහ දූෂණ වැළැක්වීමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත හිමිව තිබේ.

දිනපතා නඩු විභාගය

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියෙහි ඇති නඩු විභාගයක් නීතිපතිවරයා විසින් හෝ අල්ලස් සහ දූෂණ වැළැක්වීමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කරනු ලබන අධිචෝදනා පත්‍රයක්මත පවත්වනු ලැබිය යුතු වන අතර ඉක්මනින් පවත්වා අවසන් කරනු ලැබිය යුතුවේ.

එසේම එම නඩු ඉක්මනින් අවසන් කිරීමට හැකි වන පරිදි දිනපතා විභාග කළ යුතු ය.

අභියාචනය කිරීමේ අයිතිවාසිකම

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවත්වන ලද නඩු විභාගයක දී ප්‍රකාශයට පත් කරන ලද නඩු තීන්දුවක්, දණ්ඩන නියමයක් හෝ ආඥාවක් සම්බන්ධයෙන් වන අභියාචනයක්, එකී නඩු තීන්දුව, දණ්ඩන නියමය හෝ ආඥාව ප්‍රකාශයට පත් කරන ලද දිනයේ සිට දින විසි අටක් ඇතූළත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ යුතු අතර අග්‍ර විනිශ්චයකාරවරයා විසින් නම් කරනු ලබන එකී අධිකරණයේ විනිශ්චයකාරවරයන් පස්දෙනකුට නොඅඩු සංඛ්‍යාවකින් යුත් විනිශ්චය පීඨයක් මගින් විභාග කළ යුතු ය.

මහාධිකරණ විතරක් ඇතිද?

මහා පරිමාණ මූල්‍ය අපරාධ සහ දූෂණ නඩු විභාග කිරීම කඩිනම් කිරීමේ අරමුණින් ගෙන ආ මෙම පනත තුලින් මෙරට අධිකරණ ක්ෂේත්‍රය කාර්යක්ෂම වනු ඇතැයි අපේක්ෂිතය.

නමුත් සිවිල් නඩු සම්බන්ධයෙන් මෙරට ඇති කල්ගතවීම මෙරට ජනතාවගේ ජන ජීවිතය සහ ආර්ථිකය කෙරෙහි ඇති කර තිබෙන අයහපත් බලපෑම සුළුපටු නොවේ.

පරම්පරා ගණනාවක් තිස්සේ ඇදෙන ඉඩම් නඩු ද, වසර ගණනාවක් තිස්සේ කල් යන දික්කසාද සහ වන්දි නඩු ද මෙරට සමාජ ප්‍රගමනයට කර ඇති හානිය මෙහි විශේෂයෙන් විග්‍රහ කළ යුතු නොවේ.

[විමුක්ති දුෂාන්ත]