ඩයොනීසියානු සටහන්

 ඡායාරූපය:

ඩයොනීසියානු සටහන්

පාරාදීසය තියෙන්නේ පුතා ස්වර්ග රාජ්‍යයෙන් එපිට!

“ජේසු ස්වාමිදරුවෝ ඉස්සිස්සෙල්ලාම ප්‍රාතිහාර පෙන්නුවේ කොහෙද? කානාත් නුවර සරණ මංගල්ලෙදි. මොකක්ද කෙරුවේ?”

“වතුර වයින් කළා” සින්බෑඩ් මැදට පැන උත්තර සපයයි. “උත්තරීතර වයින්” ඔහු පපුව මත කුරුසිය ඇඳ ගනී.

“එදා ජේසු ස්වාමිදරුවො බීම අනුමත කළා. දේවමෑණියෝ තමයි ඉල්ලූවේ පුතේ! වයින් ටිකක් මවලා මේ තිබහා නිමන්න කියලා. ඒ කියන්නේ දේවමෑණීයොත් බීම අනුමත කළා. ඒ හින්දා අපිත් බීම අනුමත කරනවා. අපි කරන්නේ එදා ඉඳන්ම කරගෙන ආපු කරුමාන්තයක්. සහතික තියෙන කරුමාන්තයක්. අපිට මවන්න බෑ. ඒ හින්දා අපි පෙරනවා.”

“මිදිවලින් මිදියූෂ. පළතුරුවලින් පලතුරු යුෂ” වීදුරුව අතින් ගෙන ඉහළ ඔසවා එසේ පවසන සින්බෑඩ් වීදුරුව කටට හළා ගනී. වීදුරුව පසෙක තබා කුරුසිය ඇඳ ගනී.

“බොනවා කියන්නේ විනය. ඒක දේවාසිර්වාදෙ තියෙන වැඩක්” ලිලීනෝනා මගේ උරහිසට තට්ටු කර කියයි.  - බත්තලංගුණ්ඩුව -

ශ්‍රී ලංකාවේ වයඹදිග මුහුදු තීරයේ කල්පිටියට එපිට ඕලන්ද බොක්ක හා ලොකු කුඩා කොදෙව් ගණනාවක් වෙයි. ඊටද එපිටින් පෘතුගාල බොක්ක ඉසව්වේ, නීල හරිත වර්ණ මහා සමුද්‍රයේ තියුණු පැල්මක් ලෙසින් බත්තලංගුණ්ඩුව තිබෙයි. දිනපතා මහ සමුදුර හා දුෂ්කර ක්‍රියා කරනා බත්තලංගුණ්ඩුව වැසියන්ට එය පාරාදීසය ලෙසින් නොපෙනීම අරුමයක් නොවේ. එනමුත් ක්‍රමය සහ සම්ප්‍රදාය මගින් හික්මවනු ලැබූ ස්වර්ග රාජ්‍යයේ සිට පීතෘන් සොයා යාත්‍රා කරනා පුත්‍රයාට බත්තලංගුණ්ඩුව යනු ස්වර්ග රාජ්‍යයට, ඇපලෝනියාවට ඔබ්බෙන් මහා සමුදුරේ හුදෙකලාව සඟවා ඇති පාරාදීසයම, ඩයොනීසියාවම බව හැ‍ඟෙන්නට පරිච්ඡේද කිහිපයක දුරකට වඩා ගත නොවේ.

ස්වර්ගයෙන් ස්ව කැමැත්තෙන් පිටමං වන පිතෘන් පාරාදීසයට පැමිණෙන්නේ ක්‍රමය මගින් හික්මවනු ලැබූ ඒකාකාරී ස්වර්ගයේ නොමැති සිත් කුළුගන්වන සුළු ආකූලත්වය සොයමින්ද? පියා අතුරුදන් වූ මං සොයමින් පැමිණෙන පුත්‍රයාව ඇද බැඳ තබාගන්නේද ඒ ආකූලත්වය, ව්‍යාකූලත්වය, පාලනයට නතු කර නොගෙන පිටාර ගලන්නට ඉඩ දුන් හැඟුම් ඈ හර්ෂයට තුඩු දෙන දහසක් දෙයින් පරිපූර්ණ ඒ පාරාදීසයමද? පුත්‍රයා හට තමන් ඩයොනීසියානුවා බව වටහා ගන්නට ස්වර්ග රාජ්‍යයෙන් පිටමං වී, හුදෙකලා පාරාදීසයට පැමිණීමටම සිදුවීමේ උත්ප්‍රාසය දැනෙන්නේ එම උරුමය ලැබී ඇත්තේ පියාගෙන් බව හැඟී යන මොහොතේදීම වෙයි.

ඩයොනීසියාව තුළ දැනෙනා පිටාර ගලනා හැඟීම් තුළින් මතුවන, ලිලී නෝනා පවසන විනයානුකූල භාවය ක්‍රමයෙන් හික්මවූ ඇපලෝනියානු රාජ්‍යයේ පැනවූ විනයෙන් එහා ගිය යමක් බව මට පළතුරු මත අතරින් දැනේ. හැබෑවටම වරක් සුන්දර දේවදූතයෙකු වූ, පසුව දෙවියන්ට විරුදුව කැරලි ගසා ස්වර්ගයෙන් පිටමං කෙරුණු ප්‍රියතම පුත්‍ර ලුසිෆර්ටද පෙරාතුව දෙව් පීතෘන් ස්වර්ගය හැර පියා යන්නට ඇතැයි වෙඩිවර්ධනට කොතැනකදී හෝ සිතුනාවත්ද?

මම වාඩියෙන් පිටතට පැමිණ රාත්‍රී ආකාශය දෙස බලමි. ගැඹුරු අන්ධකාරයක් පුරා විසුල සහසක් දීප්තිමත් එළි අතරට මැවුම්කරුවා විසින් ලා අළු-සුදු පැහැයක පින්සල් පහරවල් කිහිපයක් අහසටද නොදැනෙන ලෙසින් ලිහිලට විසුරුවා ඇත.“ඕකට තමයි කිරි සයුර කියන්නේ, ක්ෂීරපථය. අපි ඉන්න මේ පෘථිවිය තියෙන සෞරග්‍රහ මණ්ඩලයත් ඔය තෙරක් පේන්නෙ නැති මන්දාකිණියේ එක කොණක තියෙන්නේ.” අතීතයේ එක් දිනක පැටිවියේ සිටි විස්මයෙන් ඇළලුණු මට පියා එසේ කියා ඇතැයි මතකයක් තිබේ. පුත්‍රයා වන ඇන්ටනිට ඇඩ්ඩින් මුදලාලි කෙදිනක හෝ එසේ කියා නැතැයි මට සිතේ. ඇන්ටනිට, මුහුදේ රක්සාව උරුම කර දෙන්නට, ඇඩ්ඩින් කෙදිනක හෝ අත්පොත් තබන්නට උත්සුක නොවුණි. අනවරතයෙන් තමන්ව සොයා යන මිනිසෙකු ලෙසින් වැඩුණු ඇන්ටනීව ඩයොනීසියානුවෙකු බවට පත්කරන්නේද මෙම පියාම වීමද නැවතත් දෙවියන් වහන්සේ සහ ඔහුගේ නිර්මාණයක් වන පුත්‍රයා සම්බන්ධයෙන් සිතන්නට අපට බලකොට සිටී. මේ පුත්‍රයා කල්වාරි කන්දේ දිවි දුන් පුත්‍රයා නොව, දිව්‍යමය ස්වර්ගයෙන් මිදී, මනුෂ්‍ය පාරාදීසයට පැමිණි පුත්‍රයාම වෙයි.

“මම උඹ ඉන්න විදිහට කැමතියි. කොටින්ම ඔය රැවුළටත් කොණ්ඩෙටත් මම කැමතියි. මට ඕනෙ වුණේ තමන් එක්කම කැරළි ගහන මිනිහෙක් දකින්න. මං දැං ඒක දකිනවා. කොහොමත් මං දැනං හිටපු එක දෙයක් තිබුණා. මම දැනන් හිටියා උඹ බත්තලංගුණ්ඩුවට එන පාර හොයාගන්න බව.”

ගහක් කොළක් පෙනෙන තෙක් මානයක නැති බිමක හිඳ අහස දෙස බලන විට සැබවින්ම අප විශ්වයේ කෙතරම් නොවැදගත් පරමාණු වන්නේ දැයි වැටහේ. එසේම දිගින් දිගටම පැතිර ගිය අජටාකාශයේ විසල් බව ගෞරවනීය හැඟීමක් සිතට පහළ කරවයි. එය භක්තියකට ආසන්න වූවකි. පුරාතනයේ එක් මිනිසෙකු දෙවියන් වැඩ හිඳින්නේ මේ මහා විසල් අහස් තලයෙන් එපිට යැයි සිතීම පුදුමයක් නොවන්නේ, මේ මොහොතේ මම එම ආදිතමයාට හැඟී ගිය පපුව පුරවාලන භක්තියට සංවේදීව සිටිනා බැවිනි.

“හිස හැරවෙනා හැම අතම අහසය. ජීවිතය මුල්වරට පූර්ණ අහස, පරිපූර්ණ අහස දකින්නෙමි. අහස…. හැම තැනම අහස…..”

බත්තලංගුණ්ඩුවේ විසල් නභෝ ගැබ නැවත නැවතත් මිනිසුන්ගේ දෙවියන් ගැන සිතා බලන්නට මා පොළොඹවයි. ධූලි පොළවේ දණ ගසා, අහසට දෑත්, දෑස් යොමා ශෝකාකූල හඬකින් දෙව් සමිඳාණන් හට යාඥාවක් කියනා ආදි භක්තිවන්තයෙකු හා මම මොහොතකට ඒකාත්මික වෙමි. භක්තිය හඳුනාගනිමින්ම දෙවියන් මැවූ බව කියන විශ්වයේ තම ඉරණම තීරණය කළ හැකි ප්‍රාණියෙකු ලෙසින් ධූලි කැටයක් වන් ග්‍රහලෝකයක ශක්තිමත්ව පය ගසා සිටිය හැකි ජීවියෙකු ලෙසින් තමන් පිළිබඳව හැඟී යාම සැබවින්ම ආහ්ලාදජනක හැඟීමකි.

දේවධර්මයෙන්, මිත්‍යා විශ්වාසයන්ගෙන් නිරූපණය වන සැබෑ ලෝකය තවත් සිතුවිලි සහසකට ඉඩ සාදයි. තවත් කුඩා රළ දහසකට පෙ‍රැළී එන්නට ඉඩ සදමින් වෙරළත හැපී විසිර යන පෘතුගාල බොක්කේ රළද එවැනිම වේ. අනවරත හෝහෝවකින් කිසිසේත්ම ඒකාකාරී නොවූ සංධ්වනියක් මවනා මුහුදු ‍රැළි, පළතුරු මතින් උත්තේජනය වූ සිත නළවමින් දැහැනකට පොළොඹවයි.
 
සෙස්ස පස්සට...
 
[අරමානිස් බලසේක්කු]
මාතෘකා

ජනප්‍රිය ලිපි