ක්‍රීඩාවේ මානසික සාධකය කෙරේ අපි උනන්දු නෑ

 ඡායාරූපය:

ක්‍රීඩාවේ මානසික සාධකය කෙරේ අපි උනන්දු නෑ

පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු

භාතිය අර්ථනායක

භාතිය අර්ථනායක පුද්ගල හැකියා සංවර්ධන හා අභිප්‍රේරණ විෂය අරබයා මෙරට සිටින දක්ෂ තරුණ පුහුණුකරුවෙකි. දේශකයෙකි. මෙරට සමාගම් රැසක් සිය සේවක පුහුණුවේදී භාතියගේ සහාය ලබා ගනිමින් සිටියි. විවිධ ක්‍රීඩා කණ්ඩායම් සමඟ මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟද වැඩ කිරීමේ පලපුරුද්ද ඔහු සතුය. වසර 10ක් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන්හි මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ නිසාම භාතිය දක්ෂ ලේඛකයෙක්ද වෙයි. “සුණු විසුණු කළ අභියෝග” නමින් සිය පළමු ග්‍රන්ථය 2011 වසරේ ලියා පළ කළ භාතිය ඉන් අනතුරුව ග්‍රන්ථකරණය අරබයා දිගු නිහැඬියාවක සිටියේය. එහෙත් ඔහු ඒ නිහැඬියාව මෙම සැප්තැම්බර් 15 වැනිදා බිඳින්නට සූදානම් වන්නේ නව ග්‍රන්ථ දෙකක් සමඟිනි. එම කෘති ද්වය නම් “THE MIND GAME” සහ

“දියුණුවේ මන්ත්‍ර” ය. ඒ අනුව එම කෘති දෙක මෙම 15 වෙනිදා පස්වරු 3.30ට බත්තරමුල්ල, සෙත්සිරිපාය දෙවන අදියර ගොඩනැඟිල්ලේ 11 වෙනි මහල ශ්‍රවණාගාරයේදී දොරට වඩිනු ඇත. මේ, ඒ ගැන ඔහු සමඟ කළ සංවාදයක සටහනකි.

වසර 08ක නිහැඩියාව බිඳිමින් ඔබ කෘති දෙකක් එළිදක්වනවා. මොකක්ද මේ “THE MIND GAME”සහ “දියුණුවේ මන්ත්‍ර” කියන්නේ?

පසුගිය කාලයේ මම පොත් නොලිව්වාට මගේ ක්ෂේත්‍රයේ වෘත්තිකයෙක් විදියට හුඟක් කාර්යබහුල වුණා. පහුගිය වසර 09 ම මට තීරණාත්මක වුණා. ඒ අත්දැකීම් අරබයා ඔලිම්පික් ලෙවල් එකේ ජයග්‍රහණ ලබන ක්‍රීඩකයෙකුගේ මනස කෙසේ විය යුතුද කියන කාරණය ගැන පොතක් ලියන්න මට ලොකු උනන්දුවක් තිබුණා. ඒක තමයි “THE MIND GAME” කියන්නේ. “දියුණුවේ මන්ත්‍ර” කියන්නේ පුවත්පතක පළ වූ මගේ අභිප්‍රේරණ ලිපි මාලාවක සංස්කරණයක්. ඒකට මගේ Motivation.lk Facebook Page එකේ පරිශීලකයින්ගේ ලොකු කැමැත්තක් තිබුණා. ඒක පොතක් විදියට එළියට දාන්න කියලා ලොකු ඉල්ලීමක් තිබුණා. ඒක තමයි “දියුණුවේ මන්ත්‍ර” නමින් එළි දකින්න නියමිතව තියෙන්නේ.

බොහෝ ක්‍රීඩා ශාරීරික ශක්තිය මත පදනම් වූ ඒවා. මනසට ක්‍රීඩාවේදී කරන්න පුළුවන් දෙයක් තියෙනවාද?

කියමනක් තියෙනවා “සෑම සටනක්ම දිනන්නේ තරගයට පෙරයි” කියලා. ක්‍රීඩාවේදිත් ඒක වලංගුයි. ක්‍රීඩකයෙක් හෙට ලබන ජයග්‍රහණයක් ඔහු ඊයේ කළ සැලසුමක ප්‍රතිඵලයක්. නූතන ලෝකයේ ක්‍රීඩාව දිනන එක ලේසි නෑ. දියුණු රටවල් ක්‍රීඩා ජයග්‍රහණ සම්බන්ධයෙන් මානසික සාධකය ප්‍රගුණ කිරීම ගැන ලොකු උනන්දුවක් දක්වනවා. නමුත් ලංකාවේ තාම ඒක තියෙන්නේ ඉතාම පහළ තැනක. පළවෙනි කාරණාව තමයි දැනුම හොයාගන්න පහසු තැන් නෑ. ඒ අඩුව පුරවන්න “THE MIND GAME” ග්‍රන්ථයට යම්තාක් දුරකට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉංග්‍රීසි නමක් තිබුණට මේක තනිකරම ඉතා සරල සිංහලෙන් ලියැවුණු පොතක්.

එහි අන්තර්ගතය ගැන වැඩිදුර යමක් කිව්වොත්?

දින්නන බෑ කියපු කණ්ඩායම් දිනවන්න, කඩන්න බෑ කියපු වාර්තා කඩන්න මම අභිප්‍රේරකයෙක් ලෙස දායක වෙලා තියෙනවා. සාග් රන් පදක්කම් දිනපු හිමාෂ ඒෂාන්, ජීවන් ජයසිංහ වගේ ක්‍රීඩකයෝ ඒවා ප්‍රසිද්ධ මාධ්‍යයේ කථා කරලා තියෙනවා. මෙහි මගේ ඒ අත්දැකීම් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ලොව බිහි වූ අතිවිශිෂ්ට ක්‍රීඩකයින්ගේ මානසික චර්යාවන් සමීපව නිරීක්ෂණය කරලා ඔවුන්ගෙන් ගත්තු තොරතුරු මෙහි ඇතුළත් කරලා තියෙනවා. සරලව කිව්වොත් මෙය හැම ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාවක්ම කියවිය යුතු පොතක් කියලා මම හිතනවා. මේ පොත, අනිවාර්යෙන් ඔවුන් දැන් ඉන්න තැනට වඩා උඩට එන්න ඔවුන්ට උදව් කරයි.

“දියුණුවේ මන්ත්‍ර” කියන්නෙත් ටිකක් වෙනස් නමක්. ඇයි ඒ ග්‍රන්ථයට ඒ නම වැටෙන්නේ කියලා දැනගන්න කැමතියි.

මන්ත්‍ර කියන්නේ ජප කරන තරමට ප්‍රතිඵල ලැබෙන දෙයක් කියල මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා. හොඳ සිතිවිලි වගේම ක්‍රියාවන් කියන්නෙත් ඒ විදියටම නැවත නැවත ක්‍රියාවේ යොදවන තරමට ප්‍රතිඵල ලැබෙන දෙයක්. ඒ නිසයි ඒක දියුණුවේ මන්ත්‍ර වෙන්නේ. ලොව දිනූ මිනිසුන් විවිධ අභියෝගකාරී වාතාවරණයන් යටතේ ඒවා ජයගත්තේ කොහොමද කියන එක මෙහි පරිච්ඡේද 36කින් සාකච්ඡා කරනවා. ඒවගේම තමන්ගේ වෘත්තිය ඇතුළේ දිනන්න බෑ කියලා හිතපු, නමුත් යහපත් සිතිවිලි බලගැන්වීමෙන් දිනපු මිනිස්සු මට හමු වෙලා තිබෙනවා. මගේ ඒ අත්දැකීම් යම් ප්‍රමාණයකුත් මෙහි අන්තර්ගත කරලා තියෙනවා.

පුද්ගල හැකියා සංවර්ධනය සහ අභිප්‍රේරණය අරබයා බොහෝ ග්‍රන්ථ දැන් දැන් පළ වෙනවා. ඒකෙන් ‘දියුණුවේ මන්ත්‍ර’ වෙනස් වෙන්නේ කොහොමද?

පුහුණුකරුවෙක් සහ දේශකයෙක් විදියට මගේ ක්‍රමේ වෙනස් බව මගේ සේවාලාභී ආයතන දන්නවා. මේ පොතේ වෙනස් දේවල් ලියලා නෑ. හැබැයි දේවල් වෙනස් විදියට ලියලා තියෙනවා. ඒක පාඨකයාට දැනේවි. ලෝකය වෙනස් කළේ වෙනස් දේවල් කරපු මිනිස්සු නෙවෙයි, අනික් අය කරපු දේවල්ම වුණත් වෙනස් විදියට කරපු මිනිස්සු. ඒකට වෙනස් විදියට හිතන එක වටිනවා. ඉලක්ක ගැන, අභියෝග ගැන, කඩාවැටීම් ගැන වෙනස් විදියට දකින්න පුළුවන් නම් ජීවිතේ දිනන එක අපහසු නොවෙන බව මම විශ්වාස කරනවා. ඒ සඳහා මේ ග්‍රන්ථයෙන් කොපමණ පිටුබලයක් ලැබෙනවාද කියන එක තීරණය කිරීම හිතාදර පාඨකයින්ට භාරයි.

මේ පොත පාඨකයින්ගේ අතට පත් වෙන්නේ කොහොමද?

පොත් ප්‍රකාශනය හා බෙදා හැරීම කරන්නේ දංකොටුව මසිත ප්‍රකාශකයින් විසින්. සියලුම ප්‍රධාන ග්‍රන්ථ අලෙවිසැල් වෙත ඔවුන් එය බෙදා හරීවි. ඊට අමතරව කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මසිත කුටියේදී විශේෂ වට්ටම් සහිතව පාඨකයින්ගේ අතට මේ ග්‍රන්ථ පත් කරන්න අපේක්ෂා කරනවා. ඒත් එක්කම සැප්තැම්බර් 15 වෙනිදා පස්වරු 3.30 ට බත්තරමුල්ල, සෙත්සිරිපාය දෙවන අදියර ගොඩනැගිල්ලේ 11 වෙනි මහල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන ග්‍රන්ථ දොරට වැඩුමේ උත්සවයට සහභාගි වෙන්න කියලා පාඨක ප්‍රජාවට මම විවෘත ආරාධනයක් කරන්නත් කැමතියි.

මාතෘකා