කවුළුව

 ඡායාරූපය:

කවුළුව

නොබෙල් සාහිත්‍යධර ඔල්ගා ටොකාක්සුක්ගෙන් පදනමක්

මෙවර නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමිකර ගත් පෝලන්ත ලේඛිකා ඔල්ගා ටොකාර්ක්සුක් ලේඛක ලේඛිකාවන් සහ සාහිත්‍ය පරිවර්තන කටයුතුවල නියැලෙන පිරිස් වෙනුවෙන් නව සාහිත්‍ය පදනමක් පිහිටුවීමට සූදානම් වන බව වාර්තා වෙනවා. පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කර ඇති ආකාරයට ව්ලොක්ලෝ ප්‍රදේශයේ ආරම්භ කෙරෙන මේ පදනමෙන් සාහිත්‍ය කටයුතුවල නියැලෙන ලේඛකයන් සහ පරිවර්තකයන් වෙනුවෙන් ශිෂ්‍යත්ව මෙන්ම අධ්‍යාපන වැඩසටහන්ද සංවිධානය කිරීමට අපේක්ෂා කෙරෙනවා. සාහිත්‍යකරණයේ යෙදී සිටින විවිධ රටවල නියෝජිතයන්ට එකිනෙකා හමු වී සාකච්ඡා හා සංවාද පැවැත්විය හැකි ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලෙසත් මේ පදනම ක්‍රියාත්මක වෙනවා. පෝලන්ත නවකතා රචිකාවක, කිවිඳියක හා විචාරිකාවක වන ඇය නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමිකර ගත් 15 වැනි ලේඛිකාව ලෙස සැලකෙනවා. මෙයට පෙර 2018 වසරේදී මෑන් බුකර් ජාත්‍යන්තර ත්‍යාගය හිමිකර ගත්තේත් ඇයයි.

මෙවර ෆෝර්වර්ඩ් කාව්‍ය සම්මානය ෆියෝනා බෙන්සන්ට

බ්‍රිතාන්‍යයේ පළ වන විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහයන් සඳහා වාර්ෂිකව පිරිනැමෙන ෆෝර්වර්ඩ් කාව්‍ය සම්මානය මෙවර හිමි වී ඇත්තේ ඉංග්‍රීසි ලේඛිකා ෆියෝනා බෙන්සන් රචනා කළ දෙවැනි කාව්‍ය සංග්‍රහය වන ‘වර්ටිගෝ ඇන්ඩ් ගෝස්ට්’ (Vertigo & Ghost) නමැති කෘතියටයි. ස්ටර්ලින් පවුම් 10,000ක මුදල් ත්‍යාගයක්ද හිමි වන මේ සම්මානය සඳහා මෙවර ටී.එස්. එලියට් කාව්‍ය ත්‍යාගය සඳහා නිර්දේශ ලබා සිටින ඉල්යා කමින්ස්කි සහ විද්‍යාන් රවින්දිරන් වැනි කිවිඳියන්ගේ නිර්මාණද ඉදිරිපත් වී තිබුණා. ග්‍රීක මිථ්‍යා කතාවල ඇතුළත්ව ඇති භීෂණය සහ හිංසනය පිළිබඳ පණිවුඩය නූතන සාහිත්‍යයට මුසු කිරීමට ගන්නා ලද උත්සාහයක් ලෙස ඇගයීමට ලක්ව ඇති ෆියෝනාගේ සම්මානලාභී කාව්‍ය සංග්‍රහය සෙසු සියලු කෘතීන් අබිබවා ඉදිරියට පැමිණ ඇත්තේ එහි ඇති නව නිර්මාණශීලීත්වය මෙන්ම ගැඹුරු දාර්ශනික චින්තනය ඇතුළත් කාව්‍ය නිර්මාණ නිසා බවයි සඳහන් වන්නේ.

සුප්‍රකට සාහිත්‍ය විචාරක හැරල්ඩ් බ්ලූම් මෙලොවින් සමු ගනියි

ජාත්‍යන්තර ප්‍රසිද්ධිය දිනූ සාහිත්‍ය විචාරකයෙකු සහ මහාචාර්යවරයෙකු ලෙස ලොව පුරා විශාල පිරිසකගේ අවධානයට පාත්‍රව සිටි ඇමෙරිකානු ජාතික හැරල්ඩ් බ්ලූම් පසුගියදා මෙලොවින් සමුගත්තා. මියයන විට 89 හැවිරිදි වියේ පසුවූ ඔහු මෑතක් වන තුරුම පොත්පත් සහ ලිපි රචනා කළා. විවිධ විෂයන් යටතේ විචාර කෘති විස්සකට අධික සංඛ්‍යාවක් රචනා කර ඇති ඔහු ගැඹුරු විෂය කරුණු සරල බසින් සාමාන්‍ය පාඨකයා වෙත ගෙන යෑමට සමත් වූ අයෙක්. ඇමෙරිකාවේ මෙන්ම ලොව පුරා විවිධ රටවල සාහිත්‍යයේ බිඳවැටීම පිළිබඳව දිගින් දිගටම සිය කනස්සල්ල පළ කරමින් ඔහු රචනා කළ ඇතැම් විචාර ලිපි විශාල පිරිසකගේ අවධානයට ලක් වුණා. ඒ ඇතැම් රචනා විවිධ අවස්ථාවලදී ආන්දෝලනාත්මක තත්ත්වයන් නිර්මාණය කිරීමට පවා සමත් වුණා. ඔහුගේ The Western Canon සහ The Book of J වැනි කෘති අලෙවි වාර්තා තැබූ කෘතියි. ඇමෙරිකානු කලා හා සාහිත්‍ය ඇකඩමියේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කළ ඔහුගේ කෘති ඉකුත් සියවසේ ඉංග්‍රීසියෙන් පළ වූ විශිෂ්ටතම ප්‍රබන්ධ නොවන කෘතියි.

News Order: 
11
මාතෘකා