අපේ පොත් ජාත්‍යන්තරයට හඳුන්වා දිය යුතුයි

 ඡායාරූපය:

අපේ පොත් ජාත්‍යන්තරයට හඳුන්වා දිය යුතුයි

මොහාන් රාජ් මඩවල

මෙවැනි පරිවර්තන ජාත්‍යන්තර වෙළෙඳපොළට ගෙන යා හැකි යැයි ඔබ විශ්වාස කරනවාද?

ඔව්. සෝමසිරි මුණසිංහ මුලින්ම මට කථා කරපු දවස්වල කිව්වා මගේ පොත්වල අන්තර්ජාතික වෙළෙඳපොළට ගැළපෙන ස්වරූපයක් තියෙනවා කියලා. ලංකාවේ අනන්‍යතාව, අපේ ජන සමාජයේ තියෙන විශ්වාස, ආකල්ප, මිනිසුන්ගේ ජන සාහිත්‍යය වගේ දේවල් එක්ක මුසු වුණු සංස්කෘතික වටිනාකමක් එහි තියෙන නිසා අන්තර්ජාතික වෙළෙඳපොළට යනකොට මේ වගේ පොත් වෙනත් රටවල පාඨකයන් අතර ජනප්‍රිය වෙන්න ඉඩ තියෙනවා කියලා ඔහු කිව්වා. සාමාන්‍ය නවකතාවල දකින හුදු කතාවට එහා ගිය යමක් මේ නවකතාවල තියෙනවා කියලත් ඔහු කිව්වා. ලංකාවේ මුල්බැසගත් සම්ප්‍රදායන්, විශ්වාස සහ චර්යා රටා ගැන කියැවෙන මේ කතාවලින් වෙනත් රටවල පාඨකයන්ට අලුත් කියවීම් අත්දැකීමක් ලැබෙයි කියන එක තමයි ඔහුගේ අදහස වුණේ. ඒ නිසා මේ වගේ පරිවර්තන වෙළෙඳපොළට ගෙන යන්න පුළුවන් වෙයි කියන විශ්වාසය මා තුළත් ඇති වුණා.

මෙරට ඉංග්‍රීසි පාඨක ප්‍රජාව අතර මේ පරිවර්තන ජනප්‍රිය වනු ඇතැයි ඔබ සිතනවාද?

ඇත්තටම මම එහෙම හිතන්නෙ නැහැ. මේ පරිවර්තන පළ කරන්න මම තීරණය කළේ ලංකාවේ ඉංග්‍රීසියෙන් කියවන පාඨකයන් වගේම වෙනත් රටවල පාඨක පිරිස් අතරටත් මේ කෘති ගෙන යා යුතුයි කියල මට හිතුණු නිසායි. විශේෂයෙන්ම ලංකාවෙන් පිටත ජාත්‍යන්තර වෙළෙඳපොළට අපේ පොත් හඳුන්වා දීම වැදගත් කියා මම විශ්වාස කරනවා. මොකද දැනට ලංකාවේ පළ වන සිංහල පොත් ඉංග්‍රීසි පරිවර්තන විදිහට හෝ විදෙස් වෙළෙඳපොළට යන ප්‍රවණතාවක් තවම නිර්මාණය වෙලා නැහැ. ඒ නිසාම ලංකාවේ සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයක් ගැන අදහසක් විදෙස් රටවල පාඨකයන්ට නැහැ. මේ තත්ත්වය දැන්වත් වෙනස් කරන්න පුළුවන් නම් හොඳයි කියලයි මට හිතුණෙ. ඉතාම තරගකාරී පොත් කර්මාන්තයක් තියෙන ජාත්‍යන්තර වෙළෙඳපොළට මේ වගේ පරිවර්තන අරගෙන යන එක ඒ තරම් පහසු කටයුත්තක් නොවන බව මම දන්නවා. හැබැයි එහෙමයි කියලා නිකම්ම ඉන්නවාට වඩා ඒ සඳහා කිසියම් හෝ උත්සාහයක් දරන එක වටිනවා කියලයි මම නම් හිතන්නෙ.

එහෙත් මෙරට ඉංග්‍රීසියෙන් කියවන පිරිස් වැඩි කැමැත්තක් දක්වන්නේ බටහිර නවකතාවලටයි?

එතැන තියෙන්නෙ හීනමානය පිළිබඳ ගැටලුවක් වෙන්නත් පුළුවන්. මේ රටේ ඉංග්‍රීසි සංස්කෘතිය

ඇතුළෙත් අපි පසුගාමී සමාජයක්ය කියන ආකල්පයක් තියෙනවා. හරිම යල්පැනගිය ආකල්ප තියෙන, වැඩවසම්වාදී චින්තනයක් තියෙන මිනිස්සු ඉන්න, එහෙම අය ලේඛකයො සහ කලාකාරයො වෙලා ඉන්න තත්ත්වයක් අපේ රටේ තියෙනවා. ඉංග්‍රීසි ඉහළ පන්තියේ ඉන්න කියවන පිරිස අතරෙත් තියෙන්නෙ කිසියම් පසුගාමී ආකල්පයක්නෙ. ඒ ආකල්පයත් එක්ක සිංහල ලේඛක ලේඛිකාවන් සහ කලාකරුවන් සම්බන්ධයෙන් ඔවුන්ට තියෙන්නේ අවතක්සේරුවක්. එවැනි පසුබිමක් තුළ මේ රටේ ඉංග්‍රීසියෙන් කියවන පාඨකයන් අතර අවධානයට ලක් වූ සිංහල ලේඛක ලේඛිකාවන් නැති තරම්. තරමක් හෝ ඔවුන්ගේ අවධානයට ලක් වෙලා තියෙන්නෙ ඉංග්‍රීසියෙන්ම ලියන මයිකල් ඔන්ඩච්චි, ශ්‍යාම් සෙල්වදොරෙයි සහ ශෙහාන් කරුණාතිලක වගේ කිහිප දෙනෙක් පමණයි. මේ රටේ ඉඳන් ඉංග්‍රීසියෙන් ලියන ලේඛක ලේඛිකාවන් වුණත් ඔවුන්ගේ අවධානයට ලක් වෙන්නේ නැහැ. ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ අපේ ඉංග්‍රීසි ලේඛක ලේඛිකාවන් පවා ප්‍රමාණවත් අවධානයට ලක් වෙලා නැහැ. ලංකාවෙන් බැහැර විදෙස් සාහිත්‍යය තුළ කිසියම් අවධානයක් දිනාගත් ඉංග්‍රීසි ලේඛක ලේඛිකාවන් අතර ඉන්නෙත් මයිකල් ඔන්ඩච්චි වගේ ලේඛකයෙක් විතරයි. හැබැයි ඔහුගේ ‘ඉන්ග්ලිෂ් පේෂන්ට්’ (The English Patient) වගේ මුල්කාලීන කෘති ජනප්‍රිය වුණේ ලංකාවේ අනන්‍යතාව ඒ කෘතිවල තිබුණු නිසයි.

ඉංග්‍රීසියෙන් ලියන මේ ලේඛක ලේඛිකාවන් කිහිප දෙනා ලෝකයේ ඉංග්‍රීසි පාඨක ප්‍රජාව තුළ කිසියම් ආකාරයක අවධානයක් දිනාගත්තට සිංහලෙන් ලියන ලේඛක ලේඛිකාවන්ගේ කෘති ගැන නම් ඔවුන් දන්නෙවත් නැහැ. උදාහරණයක් හැටියට මාර්ටින් වික්‍රමසිංහගේ පොත් ගණනාවක් ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා තියෙනවා. ‘ගම්පෙරළිය’, ‘යුගාන්තය’, ‘කලියුගය’ සහ ‘විරාගය’ ඇතුළු කෘති ගණනාවක් ඒ අතර තියෙනවා. ඒත් ඒ කෘති මේ මුහුදු සීමාවෙන් එහාට ගිහිල්ලා නැහැ. ඒ කෘති කියවන්නෙ මේ රටේ ඉන්න ඉතාම සීමිත පිරිසක් විතරයි. ඒකයි ඛේදවාචකය. ඒ පරිවර්තන කියවන්නෙත් ඉංග්‍රීසියෙන් කියවන බහුතර පිරිස නෙවෙයි. සමහරක් වෙලාවට පාසල් විෂය නිර්දේශවලට ඇතුළත් වුණාම අධ්‍යාපන අවශ්‍යතාව නිසා ඒ කෘති කියවනවා ඇරෙන්න එතැනින් එහාට මේවා ඉංග්‍රීසි පාඨක ප්‍රජාවේ අවධානයට ලක් වෙන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් කියවන ඉහළ පාන්තික පිරිස් අතරෙත් පොඩි හීනමානයක් තියෙනවා, හරි වැඩවසම්වාදී චින්තනයක් තියෙන පිරිසක් තමයි සිංහලෙන් ලියන්නේ කියල.

 

News Order: 
10
මාතෘකා