කවුළුව

 ඡායාරූපය:

කවුළුව

රස්කින් බොන්ඩ්ගේ කෙටිකතා ශ්‍රව්‍ය මාධ්‍යයට

බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත ඉන්දියානු ලේඛකයෙකු ලෙස ප්‍රකට රස්කින් බොන්ඩ් රචනා කළ කෙටිකතා රැසක් ශ්‍රව්‍ය මාධ්‍යයට නැඟීමේ කටයුතු මේ වන විට ඇරඹී තිබෙනවා. මේ සියලු කෘති ඉදිරිපත් කෙරෙන්නේ කතුවරයාගේම හඬින් වීම විශේෂ කරුණක්. දැනට 85 වැනි වියේ පසු වන බොන්ඩ් මේ ශ්‍රව්‍ය කෘති සඳහා හඬ පටිගත කිරීම් දැනටමත් අරඹා ඇති බවයි වාර්තා වන්නේ. විවිධ තේමාවන් ඔස්සේ ඔහු රචනා කර ඇති ‘චෙරි ට්‍රී’ (Cherry Tree), ‘ගෙටින් ග්‍රැනීස් ග්ලාසස්’ (Getting Granny’s Glasses), ‘දි අයිස් ඔෆ් දි ඊගල්’ (The Eyes of the Eagle), ‘වයිට් මයිස්’ (White Mice) සහ ‘අර්ත්ක්වේක්’ (Earthquake) වැනි කෙටිකතා රැසක් ඇතුළත් ප්‍රථම ශ්‍රව්‍ය කෘති කට්ටලය එළඹෙන 2020 වසර ආරම්භයේදී නිකුත් වීමට නියමිතයි. මේ ශ්‍රව්‍ය කෘති මඟින් වඩාත් වැඩි පිරිසක් අතරට බොන්ඩ් රචනා කළ නිර්මාණ ගෙන යා හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. විශේෂයෙන්ම තරුණ පරපුර අතර බොන්ඩ්ගේ නිර්මාණ ප්‍රචලිත කිරීමට මේ ශ්‍රව්‍ය කෘති මහත් සේ උපකාරී වනු ඇතැයි ඉන්දියාවේ පෙන්ගුවින් රැන්ඩම් හවුස් ප්‍රකාශන සමාගම පසුගියදා පැවසුවා.

බොන්ඩ් වැනි ලේඛකයෙකුගේ නිර්මාණ මුද්‍රිත මාධ්‍යයටම සීමා වීමට ඉඩ නොතබා නව පරපුරට වඩාත් සමීප ශ්‍රව්‍ය මාධ්‍යයට නැඟීමට හැකි වීම සිය ජයග්‍රහණයක් වනු ඇති බවත් ඔවුන් පවසනවා. ඔහුගේ නිර්මාණ ගණනාවක් මුද්‍රිත කෘති ලෙස පළ කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව මෙවැනි නව මාධ්‍යයක් ඔස්සේ ඒ නිර්මාණ ප්‍රචලිත කිරීමට අවස්ථාවක් ලැබීම ප්‍රකාශන සමාගමකට කලාතුරකින් ලැබෙන වරමක් බවත් ඔවුන් වැඩිදුරටත් පවසනවා. මෙම ශ්‍රව්‍ය කෘති පෙළ පිළිබඳව රස්කින් බොන්ඩ් පවසන්නේ සිය නිර්මාණ වඩාත් වැඩි පිරිසක් අතරට ගෙන යෑමට ලැබී ඇති සුවිශේෂ අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි බවයි. බොහෝ ලේඛක ලේඛිකාවන්ට තමන්ගේම හඬින් නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් නොලැබෙන බවත්, මේ ශ්‍රව්‍ය කෘති පෙළ නිර්මාණය කිරීමට තමන් ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වන බවත් බොන්ඩ් පවසනවා.

චාලට් බ්‍රොන්ටේගේ නව යොවුන් වියේ අත්පිටපතක් මහජන ප්‍රදර්ශනයට

ෙලාව ප්‍රකට ඉංග්‍රීසි ලේඛිකා චාලට් බ්‍රොන්ටේ නව යොවුන් වියේදී සිය අත්අකුරින්ම ලියූ ඉතා කුඩා ප්‍රමාණයේ අතිශයින් දුර්ලභ අත්පිටපතක් එංගලන්තයේ යෝර්ක්ෂයර් නුවර පිහිටි පාර්සනේජ් කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට මේ වන විට කටයුතු සූදානම් වෙමින් පවතිනවා.

ඒ සඳහා පෙරමුණ ගෙන ඇත්තේ සාහිත්‍ය ලෝකයේ ප්‍රකට බ්‍රොන්ටේ සොයුරියන්ගේ නිර්මාණ සංරක්ෂණය සඳහා කටයුතු කරන බ්‍රොන්ටේ සංගමය නමැති සංවිධානයයි. දිගු කලක් තිස්සේ පෞද්ගලික කෞතුක භාණ්ඩයක් ලෙස අප්‍රකටව පැවැති මේ කුඩා අත්පිටපත පසුගියදා පැරිස් නුවර පැවැති වෙන්දේසියකදී ස්ටර්ලිං පවුම් 512,000ක් සහ වෙන්දේසි ගාස්තු ගෙවා ආපසු ලබාගැනීමට බ්‍රොන්ටේ සංගමය සමත් වුණා. පළල මිලිමීටර් 35කින් හා උස මිලිමීටර් 61කින් යුතු වන මේ කුඩා ප්‍රමාණයේ අත්පිටපත රචනා කරනු ලැබ ඇත්තේ 1830 වසරේදීයි. ඒ වන විට 14 හැවිරිදි වියේ පසු වූ බ්‍රොන්ටේගේ කුඩා ප්‍රමාණයේ අත්පිටපත් හයකින් එකක් ලෙස මෙය සැලකෙනවා. සෙසු අත්පිටපත් පහ මෙයට පෙර හමු වී තිබුණු නමුත් මේ අත්පිටපත 1930 ගණන්වල සිටම අතුරුදහන් වී තිබුණු බවයි සඳහන් වන්නේ.

මෙතෙක් ප්‍රකාශයට පත්ව නැති මේ අත්පිටපතට අතින් ලියූ කතා තුනක් ඇතුළත්ව තිබෙනවා. එයින් එකක් සුප්‍රකට ‘ජේන් අයර්’ (Jane Eyre) නවකතාවේ සඳහන්ව ඇති එක්තරා සිදුවීමකට අදාළ මුල් දළ සටහනක් ලෙස සැලකෙනවා. චාලට් රචනා කළ ‘ජේන් අයර්’ නවකතාව පළ වී ඇත්තේ මේ අත්පිටපත ලියවී වසර 17කට පසුවයි. ඇය වඩාත් ප්‍රකටව ඇත්තේත් 1847 වසරේදී පළ වූ ඒ නවකතාව නිසයි. මෙයට පෙර 2011 වසරේදී මේ අත්පිටපත වෙන්දේසියකට ඉදිරිපත් කරන ලද අවස්ථාවකදී එය මිලදී ගැනීමේ හැකියාව බ්‍රොන්ටේ සංගමයට තිබී නැහැ. මෙවරද වෙන්දේසියේදී එය මිලදී ගැනීමට හැකි නොවනු ඇතැයි බියවූ බ්‍රොන්ටේ සංගමය ඒ සඳහා අවශ්‍ය මුදල් එකතු කර ගැනීමට මාධ්‍ය ඔස්සේ පොදු ජනතාවගෙන් ප්‍රසිද්ධ ඉල්ලීමක් කරමින් සති හතරක කාලයක් පුරා ගෙන ගිය ප්‍රචාරක වැඩසටහනක් ඔස්සේ අරමුදලක් ගොඩනැගීමට පියවර ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතා ආධාර වශයෙන් ස්ටර්ලිං පවුම් 85,000ක් මෙන්ම ජාතික උරුමය පිළිබඳ අනුස්මරණ පදනමෙන් සහ වෙනත් භාරකාර මණ්ඩල ඔස්සේ අවශ්‍ය මුදල් ප්‍රමාණය එකතු කර ගැනීමට ඔවුන් සමත් වුණා.

ඉන්දියානු ලේඛිකා ශාන්තා ගෝඛලේට දිවමන් ප්‍රණාම සම්මානයක්

ප්‍රකට ඉන්දියානු ලේඛිකාවක, පරිවර්තිකාවක, විචාරිකාවක සහ පුවත්පත් කලාවේදිනියක වන ශාන්තා ගෝඛලේ පසුගියදා පැවැති 10 වැනි ටාටා සාහිත්‍ය උළෙලේදී දිවමන් ප්‍රණාම සම්මානයකින් පිදුම් ලැබුවා. ගෙවී ගිය කාලය පුරා ඉන්දියානු සාහිත්‍ය ක්ෂේත්‍රයට ඇය ලබාදුන් විශිෂ්ට දායකත්වය ඇගයීමට ලක් කරමින් ඇයට මේ සම්මානය පිරිනමනු ලැබුවේ මුම්බායි නුවර ප්‍රාසාංගික කලාවන් සඳහා වන ජාතික මධ්‍යස්ථානයේ පැවැති විශේෂ උත්සවයකදීයි.

මෙයට පෙර සංගීත් නාටක් ඇකඩමි සම්මානයද හිමි කරගෙන ඇති ඇය විවිධ සාහිත්‍ය කලා ක්ෂේත්‍ර නියෝජනය කරමින් නිර්මාණකරණයේ යෙදී සිටින්නියක ලෙස විශාල පිරිසකගේ ගෞරව ආදරය දිනාගෙන තිබෙනවා. සිය සාහිත්‍ය කලා ජීවිතය පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් කරමින් ඇය රචනා කළ ‘වන් ෆුට් ඔන් ද ග්‍රවුන්ඩ්: අ ලයිෆ් ටෝල්ඩ් තෲ ද බොඩි’ (One Foot on the Ground: A Life Told Through the Body) නමැති මතක සටහන් කෘතියකුත් මෑතකදී පළ වුණා. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තේන් නමැති දිස්ත්‍රික්කයේ දහනු ප්‍රදේශයේදී 1939 අගෝස්තු 14 වැනිදා උපත ලද ඇය මාහිම් නමැති ප්‍රදේශයේ පිහිටි පාසලකින් සිය මූලික අධ්‍යාපනය ලබා, පසු කලෙක එංගලන්තයේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ උපාධියකුත්, මුම්බායි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති ගෞරව උපාධියකුත් හිමිකර ගත්තා.

විවිධ පුවත්පත් සහ සඟරා සඳහා ඉංග්‍රීසි සහ මරාති යන දෙබසින්ම කෙටිකතා රචනා කරමින් නිර්මාණකරණයට පිවිසි ඇය 1970 ගණන්වලදී නවකතා රචනයටත් යොමු වුණා. පසුව සිනමා හා නාට්‍ය පිටපත් රචනයටද යොමු වූ ඇය විචාරිකාවක ලෙසත් පසුකලෙක බොහෝ කතාබහට ලක් වුණා. කලක් ‘ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ (The Times of India) පුවත්පතේ මුම්බායි නුවර කලා පිටු සංස්කාරිකාව ලෙසත්, ‘ෆෙමිනා’ (Femina) සඟරාවේ නියෝජ්‍ය සංස්කාරකවරිය ලෙසත් කටයුතු කළ ඇය තවත් පුවත්පත් සහ සඟරා ගණනාවක තීරුලිපි රචිකාවක ලෙසත් කටයුතු කළා. ඇයට දිවමන් ප්‍රණාම සම්මානයක් පිරිනැමුණු මෙවර ටාටා සාහිත්‍ය උළෙලේදී වසරේ විශිෂ්ටතම සාහිත්‍ය කෘති සඳහාද සම්මාන හිමි වුණා. මෙවර විශිෂ්ටතම කුළුඳුල් ප්‍රබන්ධ කෘතිය ලෙස මධුරි විජේ රචනා කළ ‘ද ෆාර් ෆීල්ඩ්’ (The Far Field) නවකතාවත්, වසරේ විශිෂ්ටතම ප්‍රබන්ධ කෘතිය ලෙස රාජ් කමල් ජා රචනා කළ ‘ද සිටි ඇන්ඩ් ද සී’ (The City and the Sea) නවකතාවත් සම්මාන හිමිකර ගත්තා. වසරේ විශිෂ්ටතම ප්‍රකාශකයාට පිරිනැමෙන සම්මානය පෙන්ගුවින් රැන්ඩම් හවුස් ප්‍රකාශන ආයතනයට හිමි වුණා.

News Order: 
11
මාතෘකා