මැදියම් රැයක කතාවක්....

 ඡායාරූපය:

මැදියම් රැයක කතාවක්....

ඒ කාමරයේ රොසෙට්ටි මේස ලාම්පුවක් පමණක් දැල්වෙමින් තිබුණි. පැරණි බට්ටා ඔරලෝසුව ටිං... ටාං... ටිං... ටාං... යනුවෙන් හඬ නංවමින් වෙලාව මධ්‍යම රාත්‍රි 12 බැව් දැනුම් දුන්නේය. වර්ෂාව හෝ... හෝ... හඬින් ඇද හැලෙමින් තිබූ අතර වහල මතට ඇද හැලෙන වැහි බිඳුවලින් චර... චර... හඬක් නැඟුණි. ඒ හඬ දෙසවන් තුළට කිසියම් හැඟීමක් ජනිත කළේය.

කුඩා දැරිය අම්මාගේ උදර කොටසට අත තබා ඇයට තුරුළු වෙමින් ‘අම්මා... අම්මා...’ යි ළපටි හඬක් මතු කළාය.

“ඇයි පැටියෝ, චූ දාන්න යන්න ඕනද?”

“නෑ, අම්මා.”

“එහෙනම් මොකද තාරු මේ මහ රෑ අම්මට නිදාගන්න දෙන්නෙ නැතුව කරදර කරන්නෙ?’

“අනේ අම්මා, මට නින්ද යන්නෙ නෑ. මට කතාවක් කියන්නකො. කතාව කියනකොට නිදාගන්නම්.”

“මගේ හුරතල් තාරු පැටියට දැන් කතාවක් අහන්නම ඕනද?”

අම්මා එසේ අසත්ම තාරු අම්මාගේ ළය මතට පෙරළී මුනින්අතට හැරෙමින් ‘හ්ම්’ යි හඬ නැඟුවාය.

“මගේ පැටියට කණ්ණාඩි වෙළෙන්දගෙ කතාව කියන්නද?”

“හා... කියන්න කියන්න අම්මා.”

අම්මා පොතපත කියවීමට පුරුදු පුහුණු වී ඇති තැනැත්තියකි. එසේ කියවා දැනගත් දේ අන්‍යයන් සමඟ බෙදා හදා ගැනීමට ඇය කැමතිය. ඇතැම්හු ඇය කිසියම් කතාවක් කියාවි යැයි සිතා ඒ ස්ථානයෙන් වහා පිටව යති. ඇය තමා අතට කඩදාසි කැබැල්ලක් ලැබුණත් එය විසිකර දමන්නේ වරක් හෝ කියවා බලාය. ඈ ප්‍රේම කතාවක් ලිපියකින් ඇරම්භ කළාය. එහි ප්‍රතිඵලය ලෙස විවාහය සිදු වන විට තාරු අම්මාගේ බඩට විත් මාස දෙකක් ගතව තිබුණි.

අම්මා කතාව ආරම්භ කළාය.

“ඔන්න එකමත් එක ගමක කන්දසාමි කියල කණ්ණාඩි වෙළෙන්දෙක් හිටියා. එයා කණ්ණාඩි පුරවපු කූඩෙ ඔළුව උඩ තියාගෙන කූලිංග් ග්ලාස් දෙකක් ඇස් දෙකට දාගෙන තමයි වෙළඳාම් කරන්න යන්නෙ. ඒක නිසා ‘කූලිංග් ග්ලාස් කන්දසාමි’ කියල තමයි හැම දෙනාම එයාව අමතන්නෙ. එයාගෙ ගමන, ශරීර හැඩය, බැල්ම හැම දෙයක්ම වඩිවේලුගෙ වගේමයි....”

තාරු ‘ආ...ව්...ව්...’ යි වඩිවේලු නම් දමිළ සිනමාවේ සුප්‍රකට නළුවාගේ හඬ අනුකරණය කරමින් සිනාසුණාය. ඒ සමඟ අම්මාද ඇගේ සිනාවට එක්වූවාය.

අම්මා තම සිනාව අතරමඟ නතර කර යළි කතාව කියන්නට වූවාය.

“කණ්ණාඩි ගන්නවද කණ්ණාඩි...? කණ්ණාඩි ගන්නවද කණ්ණාඩි...? සල්මන් ඛාන් කණ්ණාඩි... රජිණි කාන්ත් කණ්ණාඩි... රවුම් කණ්ණාඩි... පෙට්ටි කණ්ණාඩි... එක එක ජාතිවල කණ්ණාඩි...තරුණ අයට කණ්ණාඩි... වැඩිහිටියන්ට කණ්ණාඩි... කණ්ණාඩි ගන්නවද කණ්ණාඩි... මේ විදියට කිය කියා ගිහින් කණ්ණාඩි විකුණල ඒ වෙළෙන්දා දවසකට රුපියල් දාහකට වඩා හම්බ කරනවා.

දවසක් මේ විදියට වෙළඳාම් කරන්න අල්ලපු ගමට ගිය කණ්ණාඩි වෙළෙන්දා නුග ගහක් යට ඉඳගෙන ඉකි ගගහ අඬන්න පටන් ගත්තා. එයාගෙ දකුණු කකුලෙ පහළ කැපුම් තුවාලයක්. ඒකෙන් නොනැවතී ලේ ගලනවා. කකුල ළඟ බිම වැටිල තිබුණු කණ්ණාඩි සේරම බිඳිල ගිහින්...”

“අනේ පව් අම්මා, කණ්ණාඩි වෙළෙන්දා! කවුරුහරි හොරෙක් ඇවිත් එයාට ගහල සල්ලි ටික උදුරගෙන ගිහිල්ලද? ඒ හොරාට බැට්මෑන් ඇවිත් ගුටි දෙයි නේද අම්මේ?”

මුහුණ හකුළාගෙන දෙතොල් ළං කරමින් තාරු ප්‍රශ්න කළාය.

එළියෙන් ‘ඩොක්...ඩොක්...’ හඬක් ඇසුණි. නිවසට පිටතින් සිමෙන්ති පොළව මත සපත්තු දා ගත් පිරිසක් ඇවිදින්නාක් වැනි හඬකි. අම්මා බියපත් වූවාය. ඈ ළය මත නිඳා සිටි තාරු ප්‍රවේශමෙන් ඇඳ මතින් ඔසවා තබා, කලව දක්වා ඉස්සී තිබූ තම රෑ ඇඳුම පහතට දමා බියෙන් යුක්තව ජනේලය දෙසට පා තැබුවාය. සපත්තු අඩිවල හඬ ජනේලය අසලින් ඉතා උස්ව ඇසෙයි. අම්මාගේ බියද වැඩි විය. ඈ පහත් වෙමින් ජනේලය ඇසන්නයට ඇදි ගොස් ජනෙල් තිරය මඳක් හකුළා වීදුරුව තුළින් පිටතට දෑස් යොමු කළාය. එළියේ කිසිවෙක් නොමැත. එහෙත් සපත්තු අඩි හඬ තවමත් ඉතා ආසන්නයෙන් ඇසෙයි. අම්මා මුවින් හඬ නොනැඟෙන සේ විළුඹින් ඉස්සී අවධානයෙන් එළියේ සිමෙන්ති පොළොව දෙස බැලුවාය. එළියට තල්ලු වී වැටෙන තරමට විශාල වී තිබූ ඇගේ ඇස් බෝල දෙක මඳක් හැකිළී ගියේය.

සපත්තු අඩි ශබ්දය යැයි අම්මා බිය වී සිටියේ වැස්සට මුලුගැන්වී සිටි එළු රෑනේ කුර ගැටෙන හඬටය. සිමෙන්ති පොළොව එළුවන්ගේ කුරවලට කැඩී ගොස් තිබුණි. හෙට දිනයේ තමාට බෙහෙවින් වැඩ ගොඩගැසෙන බැව් සිහිව අම්මා එළුවන් දෙස බැලුවේ කෝපයෙනි. අම්මා කෝපයට පත්වූ විට භද්‍රකාලි මෑණියන් වැනිය.

‘සාණන්’ වර්ගයට අයත් එළුවෝ එකෙක් දෙන්නෙකුත්, ‘ජමුනාපාරි’ වර්ගයට අයත් කන් දිගැති එළුවෝත්, බොහෝ ස්ථානවල රවුම් ගසා පැමිණි මුහුන් වර්ගවල එළුවෝත් එහි සිටගෙන සිටිති. මේ බාවාට අයත් එළුවෝය. අම්මා පශු වෛද්‍යවරියක බැවින් එළුවන් ගැනත් දන්නීය. බාවා ගැනත් දන්නීය.

ජමුනාපාරි එළුවෙක් සාණන් එළුවකු සමග අංවලින් ඇනගනිමින් සිටියේය. අම්මා මඳක් කලබලයට පත්ව අප්‍රසාදය පාමින් ඇණයක එල්ලෙමින් තිබූ සිය සැමියාගේ ඡායාරූපය දෙස බැලුවාය. සැමියා ‘අයි. ටී.’ ක්‍ෂේත්‍රයේ වෘත්තිකයෙකි. ව්‍යාපෘති කාර්යයක් සඳහා ඔහු සිය කණ්ඩායමද සමඟ ඉන්දියාවට පිටත්ව ගොස් දින දෙකක් ගතව ඇත. ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණීමට සති දෙකක්වත් ගතවනු ඇත. අම්මා ‘හ්ම්...’ යි සුසුමක් මුදාහැර විදුලි බල්බය දල්වමින් නාන කාමරයට ගියාය. නාන කාමරයත්, වැසිකිළියත් එකම කාමරයක ඉදිකරනු ලැබ තිබුණි.

මේස ලාම්පුවට පසෙකින් තිබූ මුද්‍රිත කඩදාසිය සුළඟට සෙලවුණි.

“... නොවැම්බර් 09 කුමන දිනයදැයි දන්නෙහිද? ලෝක වැසිකිළි දිනයයි. 2001 වසරේදී ලෝක වැසිකිළි දිනය ආරම්භ කරන ලදී. 2013 ජූලි මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල්වල පොදු සම්මේලනයකදී නොවැම්බර් 19 දිනය එක්සත් ජාතීන්ගේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළේය. මේ සඳහා වන යෝජනාව ඉදිරිපත් කළේ සිංගප්පූරුවයි. යුරෝපයේ තිබෙන ‘කොමඩ්’ සහිත ජල මුද්‍රිත වැසිකිළිය අද කොපමණ නම් ව්‍යාප්තව තිබේද? වර්ෂ 1800ට පෙර වැසිකිළි ලෙස භාවිත කර තිබෙන්නේ කැළෑවල් සහ වෙනත් වෙන් කළ ස්ථානයන්ය...”

තාරු ඉගෙන ගන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් බැවින් ඇයට දමිළ බස කියවීමට නොහැක. එම නිසා ඇය ඒම කඩදාසියේ තිබූ විස්තර කියවා තිබුණේ නැත.

වැසිකිළි කොමඩ් එකේ ‘ස්විච් පුෂ් කිරීමෙන්’ ජලය ගලන හඬ තාරුට ඇසුණි. අම්මා යළි පැමිණි වහාම කතාවේ ඉතිරි ටික අසාගත යුතු යැයි බලාපොරොත්තුවෙන් ඈ පොරෝණය තුළ ගුලි ගැසී බලා සිටියාය. අම්මා පැමිණෙත් ම “අම්මේ, කතාව කියන්න” යි ඈ අයැද සිටියාය. කුස්සිය තුළ භාජන ගැටෙන හඬක් ඇසී එදෙසට හැරී ගිය අම්මා කුස්සිය තුළට ඇතුල් වූවාය. තාරුගේ මුහුණ ටිකින් ටික මැලවී යන්නට විය.

කුස්සි කාමරයේ මුවින් කරවල කැබැල්ලක් ඩැහැගෙන සිටි මීයෙකි. ඌ තැති ගෙන දෑස් ලොකු කර අම්මා දෙස එබී බලා සිටියේය. ඊළඟට කළ යුත්තේ කුමක්දැයි අම්මා කල්පනා කිරීමට පෙර මීයා ක්‍ෂණිකව දිව ගොස් ජනේලයෙන් එළියට පැන දිව්වේය. අම්මා ජනේලය ඇද වසා දැම්මාය. සෙලවෙමින් තිබූ ජනෙල් තිරයට යළි විවේකයක් ලැබුණි.

අම්මා තාරු ආසන්නයට ගොස් ඇඳේ දිගෑදුණාය. තාරු අම්මාගේ මුව දෙස ම බලා සිටියාය. මුව විවර විය.

“... කණ්ණාඩි වෙළෙන්දා අල්ලපු ගමට ගිහින් හිටියත් බලාපොරොත්තු වුණ විදියට එදා වෙළඳාම සරු වුණේ නෑ. එයා හැම පාරකම රස්තියාදු වෙලා, මහන්සි වෙලා නුග ගසක් යට හාන්සි වුණා. එහෙමම ඇස් පියවෙලා නින්ද ගියා...”

තාරු තව ටිකක් අම්මා වෙතට සමීප වූවාය.

“... කණ්ණාඩි වෙළෙන්දා හීන ලෝකෙ පාවෙන්න පටන් ගත්තා. හීන ලෝකෙදි එයා කණ්ණාඩි කොම්පැණියෙ ලොක්ක බවට පත් වුණා. ලොකු ලොකු මුදලාලිලා, චිත්‍රපට නළු නිළියො හැමදෙනාම වගේ ඇවිත් කණ්ණාඩි තෝර තෝර මිලදී ගත්තා. වෙළෙන්දා ඒ. සී. රූම් එකක හොඳට ඉඳගෙන අලුත්, අලුත් කණ්ණාඩි මෝස්තර දිහා නිහඬව බලාගෙන හිටියා. ව්‍යාපාරෙ වේගෙන් දියුණුවට පත්වෙනවා. එයා යටතෙ ඉන්න කම්කරුවො හුඟ දෙනෙක් කණ්ණාඩි කූඩෙ ඔළුවෙ තියාගෙන වෙළඳාමට යනවා. ඔය විදියට වෙළෙන්දාට සල්ලි ගොඩගැහෙන්න පටන් ගත්තා.

“වෙළෙන්දා ‘අහා...’ යි කියල සද්ද කරගෙන නින්දෙන් අවදි වුණා. එයාගෙ කකුලෙ ලොකු කැපුම් තුවාලයක්. ඒක කොහොමද වුණේ කියල බැලුවා. එයා සිහින දකින අතරෙ කණ්ණාඩි කූඩෙ එයාගෙ කකුලෙ හැපිල පෙරළිලා කණ්ණාඩි ටික ඔක්කොම බිඳිල ගිහින්. ඒකෙ තිබුණ කණ්ණාඩියක වීදුරු කෑල්ලකට තමයි කකුල කැපිල තියෙන්නෙ. වෙළෙන්දා ඔළුවෙ ජටාවත් බැඳගෙන ‘ඔක්කොම ඉවරයි’ කිය කියා අඬ අඬාම පිට වෙලා යන්න ගියා...”

“එතකොට එයාට මුදලාලි කෙනෙක් වෙන්න බැරිද අම්මා?”

තාරුගේ මුහුණ සුදුමැලි වී ගොසිනි.

“ඒක තේරුංගන්න ඔයාට තව කලක් යාවි පැටියෝ.”

“අනේ ඉන්න අම්මා! ඔයා කියපු කතාව හරි නෑ. මට වෙන කතාවක් කියන්නකො.”

“තව කතාවක්...? දැන් ඇති පැටියෝ. අම්මා හෙට කියන්නම්කො.”

තාරු අම්මාගේ කම්මුලට හාදුවක් දෙමින් එකම එක කතාවක් විතරක් කියන්නැයි අම්මාගෙන් ඉල්ලා සිටියාය. ඒ දැරියගේ මුවෙහි සිසිලසින් කම්මුල ස්පර්ශ වු විට ඇයගේ ඉල්ලීම කෙසේ නම් ප්‍රතික්‍ෂේප කරන්නද? අම්මා තාරුව ළඟට තුරුල් කර ගනිමින් ‘පැටියෝ, මම ඔයාගෙ කතාව කියන්නද? යි අසත්ම ‘හ්...හා..’ යි මුව පුළුල් කරමින් සතුට ප්‍රකාශ කළ දැරිය ‘කියන්න අම්මා කියන්න’ යි හඬ නැඟුවාය.

අම්මා මඳ විරාමයක් ගෙන භූමිකාවට එළඹෙන තුරු තාරු අම්මාගේ මුව දෙසම බලා සිටියාය. අම්මාගේ මුව විවර විය. දෙදෙනාම සිනමා ලෝකයක පාවී ගියෝය.

★......................

දීප්තිය විහිදමින් විදුලි කොටන්නට විය. අකුණු හඬද පැතිරුණි. ඒ හඬ දෙසවන් බිහිරි කරවන තරම්ය. කළු වළාකුළුවලින් අහසම අඳුරු වී තිබුණි. මීදුම සියල්ලම වසාගෙනය. මොහොතකින් ධාරානිපාතව වර්ෂාව ඇද හැලෙන්නට විය.

දැල්වෙන පහණක සිහින් ආලෝක දහරාවක් එම ප්‍රදේශයේ පිහිටි උළු සෙවිලි කරන ලද නිවසක ජනේලයකින් නික්මුණි. පහන් තිරයේ කොනෙහි දැල්වෙමින් තිබූ ආලෝක දහරාව සුළඟට සැලෙමින් තිබූ අතර එම නිවස ඇතුළත කිහිප දෙනෙකුගේ ඡායාවන් එහෙ මෙහෙ සැරිසරනු පෙනුණි. මෙම නිවස යක්‍ෂයින් අරක්ගත් නිවසක් යැයි ගම පුරා කතා පැතිර තිබුණි. ඒ ආසන්නයේ වෙනත් නිවාස නොතිබුණි. රේඛා නමැති කාන්තාව දූෂණය කර මරා දමන ලද්දේ ඒ නිවස තුළදීය. ඇය ඝාතනය කර ටික දිනකට පසු ඒ ස්ත්‍රී දූෂක ඝාතකයින්ද එම නිවස තුළම ලේ වමනය කර මැරී තිබුණි. එදා සිට අඳුර වැටුණු පසු එම නිවස පැත්තෙන් කිසිවෙකුත් ගමන් නොකරති.

වින්සන් එදා ගමට එන විට ප්‍රමාද විය. ගණිත පංතිය ප්‍රමාද වී නිමාවට පත් විය. වින්සන් යකෙක් ගැසුවාක් මෙන් නිවස දෙසම බලා සිටියේය. නිවසේ ඇතුල් බිත්තියේ කාන්තාවකගේ රුවක් පෙනුණි. ඒ කාන්තාවගේ හිසකෙස් සුළඟේ ඉගිල්ලෙන්නට මෙන් සැලෙන ආකාරය බලමින් සිටි වින්සන්ට මුත්‍රා කිරීමේ අවශ්‍යතාව තදින්ම දැනුණි. ඔහු ගෙලෙහි තිබූ කුරුසය අතින් අල්ලාගෙන යාඥා කරන්නට වූයේය.

එම කාන්තාව වටා පිරිමින්ගේ ඡායා කිහිපයක් සමීප වනු ඔහු එබි එබී බලා සිටියේය. ඔහුගේ බැල්ම මුළුමනින්ම එදෙසට යොමුව තිබුණි. කතාවක් ලෙස අසා තිබූ රේඛා දූෂණය කිරීමේ සිදුවීම සියැසින්ම දැක ගැනීමේ උනන්දුව ඇත්තෙකු සේ ඔහු නොසැලී ඒ නිවස දෙසම බලා සිටියේය. ඒ පිරිමි ඡායා දෑත් එහෙ මෙහෙට දික් කරමින් කුමක්දෝ කතා කරමින් සිටියහ.

හදිසියේම බකමූණෙක් ‘සට සට’ හඬින් පියාපත් සලා බිය ජනිත කරවමින් ඉගිල ගිය විට තද කරගෙන සිටි මුත්‍රා ධාරාවට වින්සන්ගේ මුළු කලිසමම තෙමුණි. වින්සන් බිය පත්වූ විට මුත්‍රා පිටකිරීම පුරුද්දකි. බියෙන් කෑගැසූ ඔහු ක්ලාන්ත වී ‘දඩාස්’ ගා බිම ඇද වැටුණි. මියගිය හූනෙක් මුනින් අතට වැටී තිබෙන්නාක් මෙන් වින්සන්ද වැටී සිටියේය.

මඳ වෙලාවකට පසු වින්සන් දෑස් විවර කළේය. ඔහු දිගාවී සිටියේ යක්‍ෂයින් අරක් ගත් ඒ නිවසේ රේඛා දූෂණය කර, ඝාතනය කරන ලද ස්ථානයේමය.

★......................

තාරු අම්මාගේ පුළුල් ළය මධ්‍යයේ මුහුණ සඟවා ගන්නට උත්සාහ කළාය. අම්මාගේ මුවින් මුණු මුණු හඬක් නැඟෙයි. තාරුගේ මුහුණේ ඉරියව්වලින් හැඟවෙන්නේ නිදාගන්නට කතාවක් කියන්නැයි ඉල්ලා සිටි විට නිදා නොගන්නටම අම්මා කතාව කියන්නාක් මෙන්ය.

★......................

වින්සන් නැඟිට එබි එබී බැලුවේය. ඒ හොල්මන් නිවස තුළ කිසිවෙකුත් නැත. චිමිනි ලාම්පුවක් පමණක් දැල්වෙමින් තිබුණි. ලාම්පු චිමිනියේ කළු දුම් බැඳී ඇත. ‘කෝ යක්‍ෂයා? මේව සේරම සෝදල පිරිසිදුව තියාගන්න ඕන නේද?’ යි ඔහු තමාටම සිතින් කියා ගත්තේය. මුව විවර කර එවැන්නක් පැවසීමට බියය. කෙසේ හෝ එළියට දිව යා යුතු යැයි සිතා දොර අසලට ගොස් තල්ලු කරත්ම දඩස් ගා දොර විවෘත විය. එවිට ඔහු යළිත් වතාවක් එම ස්ථානයේ ක්ලාන්තව ඇද වැටී, මැරුණු හූනකු සේ සිටියේය.

ඔහුගේ මුහුණට දිය බිඳු වැටුණි. දෑස් විවර කළඔහු තම මුහුණ ආසන්නයට රැවුල වවාගත් මුහුණක් පැමිණ සිටගෙන සිටිනු දැක විලාප නඟා යළි ක්ලාන්ත වූයේය. යළිත් මුහුණට දිය බිඳු වැටී නැවත වතාවක් දෑස් විවර කළේය. ඔහු වටා කිහිප දෙනෙක් සිටගෙන සිටිති.

“මූණ කිට්ටු කරල බලන්න එපා. කොල්ල ක්ලාන්ත වෙනවා.”

පුහලේන්දි එසේ පවසත්ම සියලු දෙනා සිනාසුණහ.

“මල්ලි, ගමට යන්න නේද ආවෙ?”

පුහලේන්දි එසේ ප්‍රශ්න කරත්ම මඳකුදු ප්‍රමාද නොවූ වින්සන් ‘ඔව් ඔව්’ යි පිළිතුරු දුන්නේ බිල්ලට නියමවූවකුගේ ස්වරූපයෙනි.

“කනිමෝලි යාළුවා, ඔයා ඔයාගෙ කණ්ඩායමත් එක්ක බෙහෙත් බඩු සේරම අරගෙන සූදානම් වෙන්න. මරුදුයි, ඉනියවනුයි කෑම පාර්සල් ටිකත් උස්සගෙන ඔරුවට ගියා.”

එසේ පැවසූ පුහලේන්දි වින්සන් අමතමින් ‘ඔයාගෙ පැත්තෙ තියෙන පෙට්ටිය උස්සගෙන මගේ පස්සෙන් එන්න’ යි පැවසුයේය. සියලු දෙනාගේම උරහිස්වල එල්ලෙමින් තිබෙන තුවක්කු දෙස බැලූ පසු ‘පලයන් හරකෝ යන්න, මට විතරක් මේ පෙට්ටි උස්සගෙන එන්න පුළුවන් කමක් නෑ’ යයි වින්සන්ට කෙසේ නම් කිව හැකිද? පෙට්ටිය ඔසවාගෙන හිස මත තබාගෙන කම්බිය දිගේ ඇවිදින සර්කස්කාරියක මෙන් වින්සන් ඔහු පසුපසින් ගියේය.

ගම තුළින් එන්ජින් බෝට්ටු තුනක් පිටත්ව ගියේය. වෙලාව සවස පහ හමාර වන විට අඳුරු වී තිබුණි. එන්ජින් බෝට්ටුව ගංවතුරේ පැද්දෙමින් යන විට වින්සන් බෝට්ටුව තදින් අල්ලාගෙන ‘කොහොමහරි පණ පිටින් ගෙදරට ගිහින් දාන්න දෙවියනේ’ යි යාඥා කළේය. එවිට ඔහුගේ මුහුණට එබී බිය ගැන්වූ රැවුල් කාරයාගේ තුවක්කු කොන කොන්දේ ස්පර්ශ විය. ‘අර කහපාට බෑග්එක අරන් දියන්’ යි ඔහු අණ කළේය. වින්සන් වහ වහා බෑගය ගන්නා විට එහි තිබූ පොතක් බිම වැටුණි. එහි පිට කවරයේ ‘බොලිවියන් ඩයිරි’ යයි සඳහන්ව තිබුණි. වින්සන් වහා පොත අහුලා බෑගයට දමා රැවුල්කාරයාට දික්කළේය. ඊළඟ මොහොතේ වින්සන් ‘දැන් ගමට ඇවිත්ද?’ යි විමසා බැලීය. නිවාස ගං වතුරේ ගිලී ගොසිනි. ගඟ පිරී ගමට කඩා වැදී දින දෙකකි. පුංචි අම්මාගේ නිවසේ සිට පංති ගිය වින්සන් තම නිවස බැලීමට අද ගමට යමින් සිටියේය.

උස ගොඩනැඟිලිවල ජනතාව නතර කර තිබුණි. වින්සන් සිටි බෝට්ටුවට අමතරව තවත් බෝට්ටු දෙකක් ජනයා සිටි දෙසට ගොස් කෑම පාර්සලුත්, වතුර බෝතලුත් බෙදා දෙමින් තිබුණි.

බෝට්ටුවේ ඉදිරිපස සිටගෙන වින්සන් ගමන් කළේ අණ දෙන නිලධාරියකු ලෙසිනි. ඔහු ‘අර බලන්න, අර බලන්න’ යි කෑ ගැසූ විට බෝට්ටුවේ සිටි පස් දෙනාම හිස ඔසවා එදෙස බැලූහ. ගරුත්වයට ලක්විය යුතු අවුරුදු පනහක පමණ වයසැති ඇයත් වතුරේ පණ බේරා ගැනීමට දඟලමින් සිටියි. බෝට්ටුව ඔහු දෙසට ගියේය. ‘බාවා.... බාවා....’ යි වින්සන් හඬ නැඟුවේය. බාවාගේ එළුවෝ උස් ගොඩනැඟිලි සහිත භූමියේ සිටියහ. ඔහුගේ සෙන්පහවල්ලි පමණක් ගං වතුරට හසුව ගොස්ය. සෙන්පහවල්ලි යනු බාවාගේ බිරිඳගේ නමයි. ගං වතුර ඔවුන් දෙදෙනාව වෙන් කළේය. ඇයගේ මතකය ලෙස ශේෂ වූයේ ඒ එළදෙන පමණි. දෙදෙනා ඒ එළදෙනගේ අම්මා මිල දී ගන්නා විට එළදෙන කුඩා පැටියෙකි. මව් එළදෙන මියගිය පසු බාවා අම්මාගේ නම දියණියට තැබුවේය.

බෝට්ටුවේ සිට පුහලේන්දි සමග එක්වූ තිදෙනෙක් වතුරේ ගිලී ගිය සෙන්පහවල්ලිගේ සිරුර සොයා ගැනීමට උත්සාහ කළහ. වින්සන් පීනන්නට නොදත් බැවින් බෝට්ටුව තුළටම වී සිටියේය. සෙන්පහවල්ලිව සොයාගෙන ආරක්‍ෂිතව රැගෙන ගොස් ඒ ප්‍රදේශයේ තිබූ දෙමහල් ගොඩනැඟිල්ලේ උඩ තට්ටුවේ තැබූහ. බාවා සෙන්පහවල්ලිව වැලඳගෙන හාදු වැස්සක් දුන්නේය.

ඈතින් වෙඩි හඬක් ඇසුණි. නොඉවසිලිමත් වූ පුහලේන්දිත්, අනෙත් අයත් බෝට්ටුවට පැන නැගී හඬ ආ දෙසට පිටත් වූහ. වින්සන් කුමක් කරම්දැයි නොදැන සිටගෙන සිටියේය. හඬ ආ දිශාව සොය සොයා බෝට්ටුව ඇදී ගියේය. එහි මරුදුත්, ඉනියවනුත් සිටියහ. මොහොතක් තිගැස්සී ගිය පුහලේන්දි ‘කනිමොලිගෙ බෝට්ටුව කෝ?’ යි ප්‍රශ්න කළේය.

“කනිමොලි ඔයාල හොයාගෙන තමයි ආවෙ. ඔයාල දැක්කට පස්සෙ වෙඩිල්ලක් පත්තු කරන්නම් කියල දැනුම් දුන්නා. පරක්කු වෙනකොට කනිමොලිට අමතක වේවි කියල අපි වෙඩිල්ල පත්තු කළා. උත්තරයක් නෑ.”

එසේ පවසනු ඇසෙත්ම පුහලේන්දි හිසට අත තබා බෝට්ටුවේ හිඳගත්තේය. වින්සන්ටද මඳ අසහනකාරී බවක් දැනුණි. ඔහුගේ සිත බිඳී ගියේය. ඔහු මැලවී යන්නට වූයේය. සියලු දෙනා කම්පනයට පත්ව සිටි බැවින් ඔහුගේ ස්වරූපය කිසිවකුගේ හෝ අවධානයට ලක් නොවුණි.

කනිමොලි සොයා බෝට්ටු සිව්දෙස රවුම් ගැසීය. අඳුරු වී තිබූ බැවින් ඈතින් තිබෙන දේවල් හොඳින් දර්ශනය වූයේ නැත. ඔවුහු ඔහුව සොය සොයා වෙහෙසට පත්වූහ. කෑ ගැසූහ.

ඈතින් ආලෝකයක් දිස්විය. වින්සන්ද එහි සිදු වන්නේ කුමක්දැයි බැලීමට උත්සාහ කළේය. උත්සාහය අසාර්ථක විය. බෝට්ටුව ආලෝකය බලා ඉගිලුණේය. එහි කනිමොලි පැමිණි බෝට්ටුව පමණක් වතුරේ පාවි පාවී තිබුණි. කනිමොලිගේ පපු පෙදෙස පුරා ලේය. මුහුණේද ලේ තැවරී ඇත. වින්සන් අඬා වැලපෙමින් කෑ ගසාගෙන වතුරට පැන අපහසුවෙන් ඒ බෝට්ටුවට ගොඩවිය.

වින්සන් ‘අක්කේ... අක්කේ...’ යි හඬ නඟමින් ඇගේ මුවට වතුර ඉස්සේය. ඔහුගේ අක්කා දරුවකු ළමැදේ තබාගෙන දිගාවී සිටියාය. කනිමොලිගේ අතේ තවත් දරුවෙකි. නිවුන් ගැහැනු දරුවන් දෙදෙනෙකි. කනිමොලිගේ අතේ සිටි ගැහැනු දරුවා මියගොසිනි. අනෙත් දරුවා වින්සන්ගේ අක්කාගේ තනපුඩුව උරමින් සිටියාය. ඒ කුඩා දැරිය තාරුය.

එදා වින්සන් තම අක්කාට පැවසූ මේ කතාව අද ඈ තාරුට භාරදුන්නාය.

“එයත් හිටියා නම් මම වගේම ඉඳීවි නේද අම්මේ?”

තාරු එසේ පවසත්ම අම්මා තාරුව තදින් වැළඳ ගත්තාය.

“අම්මේ, දැන් මාමා කෝ?”

“අවුරුදු දාසයේදි තමයි මාමා ඒ දේශප්‍රේමි සංවිධානෙට එකතු වුණේ. අප්පා...! මගේ මතකෙ උඩට එනකොට ම ආයෙ යට යනවා. රටේ කලබල තිබුණ නිසා මාමා හැංගිලාම තමයි හිටියෙ. හැම දෙයක්ම හරිගියාට පස්සෙ මාමා ඔයාව බලන්න ඒවි.”

අම්මාගේ දෑසින් කඳුළු බිඳු වෑහුණි.

තදින් දොරට තට්ටු කරන හඬක් ඇසුණි. අම්මා බියෙන් හා නොඉවසිල්ලෙන් බල්බ් ස්විචය දමා දොරේ සිදුර ඔස්සේ බැලුවාය. දොරට හේත්තු වී සිටින්නේ වින්සන්ය. ඈ දොර විවෘත කළාය. වින්සන් අක්කා මතට වැටෙන්නට ගිය අතර ඈ ඔහුව දරාගෙන අල්ලා ගත්තාය. වින්සන්ගේ ශරීරය තුවක්කු උණ්ඩවලින් සිදුරු වී තිබුණි.

තාරුගේ උපත සිදු වූ සෙන්තාරකෛ බෝට්ටුවේ එන විට හමුදා ප්‍රහාරයකට හසුව බෝට්ටුව කැඩී බිඳී විනාශව ගියේය. මෙතරම් දුරක් දිවි බේරාගෙන පීනා ආ තැනැත්තා වින්සන්ය. තාරුගේ සම්පූර්ණ නම සෙන්තාරකෛය.

අක්කාගෙ ළය මත දිගාවී සිටි වින්සන්ගේ දෑස්වලට තමා ඉදිරියේ තිබූ අම්මාගේ හා තාත්තාගේ පිංතූර දර්ශනය විය. විවරව තිබූ වින්සන්ගේ දෑස්වලින් කඳුළු පිට විය. අම්මාගේ පිංතූරයේ ස්ටෙල්ලා යනුවෙනුත්, තාත්තාගේ පිංතූරයේ කදිරවන් යනුවෙනුත් ඔවුන්ගේ උපත, විපත ආදී විස්තර සමග මුද්‍රණය කර තිබූ අතර පිංතූරවලට මල්දම් දමා තිබුණි. එම මල්දම් මැලවී ගොසිනි.

--------------

කෙටිකතා එවන්න

ඔබේ ස්වතන්ත්‍ර කෙටිකතා නිර්මාණ අප යොමු කරන්න. අතින් ලියූ අත්පිටපත් වශයෙන් නොව පරිගණක අක්ෂර සංයෝජනය කළ ‘වර්ඩ්’ පිටපත් වශයෙන් (PDF නොකර), වචන 2500කට නොවැඩිව එෆ්.එම්. අභය අකුරින් හෝ ඉස්කෝල පොත අකුරින් ටයිප් කර යොමු කරන්න. අපගේ ඊමේල් ලිපිනය මෙසේය: [email protected]

දෙමළ කෙටිකතාව සදීස් සෙල්වරාජ්

පරිවර්ථනය ජී. ජී. සරත් ආනන්ද

 

News Order: 
10
මාතෘකා