මේ මොහොතේ සාහිත්‍යය

 ඡායාරූපය:

මේ මොහොතේ සාහිත්‍යය

පොතක කවරය සහ නිමාව

මං හිතන්නෙ පොතකට පිටකවරය සහ නිමාව හරි වැදගත්. අන්තර්ගතය විතරක්ය වැදගත්, පිටට පේන දේ මොකක් වුණත් කමක් නැහැය කියන තැන අද අපට ඉන්න බෑ. අපි ලෝකයත් එක්ක ඉදිරියට යන්න ඕන. ඒ තුළ රැකගත යුතු යම් යම් දේවල් රැකගනිමින්, ඒවාට විශාල හානියක් කරගන්නෙ නැතුව අපි ඉදිරියට යන්න ඕන. පොතකට බාහිර අලංකාරය අවශ්‍ය නැහැ කියලා අපට කියන්න බැහැ. සාමාන්‍ය පුද්ගලයෙකුට වුණත් බාහිර පෙනුම වගේ දේවල් වැදගත් වෙනවා. ඇත්තටම කෙනෙක් සුවඳ විලවුන් පාවිච්චි කරන්නෙත් තමන් වෙනුවෙන් නෙවෙයි. අපි සුවඳ විලවුන් පාවිච්චි කරන්නෙ අනුන් වෙනුවෙන්. ඒ, බාහිර අලංකාරය වැදගත් කියලා අපි විශ්වාස කරන නිසායි.

සාහිත්‍ය සංස්කරණය

ලංකාවේ සාහිත්‍ය සංස්කරණය ලොකු ඛේදවාචකයක්. එතැනදී ප්‍රකාශන සමාගම්වලට විශාල වගකීමක් පැවරෙනවා. තමන්ට පළ කිරීම සඳහා ලැබෙන පොත් සඳහා සංස්කරණ මණ්ඩලයක් පත් කරලා හොඳ සංස්කරණ ක්‍රියාවලියකින් පසුව ගුණාත්මකභාවයෙන් ඉහළ පොතක් පළ කිරීමට ඔවුන් කටයුතු කරනවා නම් ඒක හරි වටිනවා. හැබැයි ලංකාවේ ඒ විදහෙ දෙයක් කරන්න කියලා එකපාරටම කියන්නත් බයයි. මොකද සංස්කරණ මණ්ඩලයට කොයි විදිහේ අය තෝරා ගනියිද කියන ගැටලුවත් එතැන තියෙනවා. ඇමෙරිකාවේ පොත් ප්‍රකාශන ආයතනයක සංස්කරණ මණ්ඩලයේ චිනුවා අචිබෙ ඉඳලා තියෙනවා. ඒ වගේ අය ඉන්නවා නම් ගැටලුවක් නැහැ. ලංකාවේ එහෙම අය ඉන්නවද කියන එක ගැටලුවක්. සමහරු හොඳ දෙයක් කරන්න එකතු වුණත් අවසානයේදී ඒකෙන් සිද්ධ වෙන්නෙත් නරක දෙයක් වෙන්න ඉඩ තියෙනවා. බොහෝ වෙලාවට මේ වැඩවලට සම්බන්ධ වෙන්නෙ පෞද්ගලික න්‍යායපත්‍ර අනුව වැඩ කරන අය වුණාම ගැටලු ඇති වෙනවා.

අවංකභාවයේ ප්‍රශ්නය

අද ලංකාවේ සාහිත්‍ය කටයුතුවලට සම්බන්ධ වෙන අයගේ අවංකභාවය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සම්මාන සම්බන්ධයෙන් වුණත් ගැටලු ඇති වෙන්නේ ඒ නිසායි. බොහෝ වෙලාවට හැමෝම බලන්නේ තමන්ගේ කල්ලියේ, තමන්ගේ යාළුවාගේ පොත ඉදිරියට දාන්නේ කොහොමද කියලයි. මේක ලංකාවේ හරි ප්‍රශ්නයක්. ඒක මම හැමදාම කියන දෙයක්. ලංකාවේ පොතකට සාධාරණයක් ඉෂ්ට වෙනවා නම් අර ඩී.ආර්. විජේවර්ධන සම්මානය හා ජාතික පුස්තකාල සේවා මණ්ඩලය කරපු විදිහට සමීක්ෂකයින්ට පිටපත් යවන්න ඕන කෘතිය ලියපු කෙනාගේ නම නැතුවයි. එහෙම වුණොත් විතරයි ලංකාවේ සාධාරණයක් ඉෂ්ට වෙන්නෙ. කාලයකට ඉහතදී පුස්තකාල සේවා මණ්ඩලයෙන් මගේ පොත් හතක් එක දිගට අනුමත වුණා. ඒ කාලයේ අනුමත කළේ පොත් හතයි. මගේ පොත් ඒ විදිහට අනුමත වුණේ නම නැතිව යවපු නිසයි. ඒ පිළිබඳව මගේ දැඩි විශ්වාසයක් තියෙනවා. බොහෝ සම්මානලාභී ලේඛකයින්ගේ පොත් එතැනින් කොච්චර ප්‍රතික්ෂේප වෙලා තියෙනවාද කියන එකත් මම දන්නවා. අද බොහෝ අවස්ථාවලදී ලේඛකයාගේ හෝ ලේඛිකාවගේ නම සාධකයක් කරගැනීම ලොකු ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා.

මගේ ආස්ථානය

සම්මාන සඳහා කෘති ඉදිරිපත් නොකිරීමේ තීරණයේ මා තවදුරටත් සිටිනවාද? මේ අවස්ථාවේදී ඒ ගැන නිශ්චිතව යමක් කියන්න මට අපහසුයි. සම්මානවලට මගේ පොත් ඉදිරිපත් නොකිරීමට තීරණය කරලා පහුගිය කාලය පුරාම මම ඒ තීරණයේ දිගටම සිටියා. ඒ තීරණය අරගෙන දැනට අවුරුදු දහයක් වෙනවා. මම ඒ තීරණය ක්‍රියාත්මක කළේ 2009 වසරේ සිටයි. ඉදිරියේදී ඒ තීරණය වෙනස් කරනවාද නැද්ද කියන එක මේ වෙලාවේ කියන්න බැහැ. ඒ සඳහා නියමිත කාලය ආවාම ප්‍රකාශකයාට අසාධාරණයක් නොවෙන විදිහේ තීරණයක් ගන්න මම සූදානම්.

ඒත් මගේ කෘති සාහිත්‍ය සම්මාන සඳහා ඉදිරිපත් නොකිරීමෙන් පාඨකයන්ට කිසියම් අසාධාරණයක් වුණා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම නීල් විජේරත්න වගේ ලේඛකයෙක් මගේ ඒ තීරණය නිසා බොහෝ අයට අසාධාරණයක් වෙන බව වරින්වර මට මතක් කළ අවස්ථා තියෙනවා. ඒ සියල්ලත් එක්ක මගේ ඒ තීරණය ගැන නැවතත් අමුතුවෙන් හිතන්න ඕන කියලා මටත් දැන් හිතෙනවා.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය

සැප්තැම්බරයේ කොළඹ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ගැන මම කතා කරන්න කැමති නැහැ. මේක එක තැනකට විතරක් යොමු කරන්න පුළුවන් ප්‍රශ්නයකුත් නෙවෙයි. අද මුළු සමාජයම දුවන්නෙ මුදල් පස්සෙනෙ. සියලු වටිනාකම් රුපියල් සත බවට ලඝු වෙලා තියෙනවා. රුපියල් සතවලට එහා ගිය වටිනාකම් ගැන අම්මලා තාත්තලාවත් ළමයින්ට කියලා දෙනවද? අම්මලා තාත්තලා සහ ගුරුවරු බලන්නෙත් පුළුවන් තරම් විභාගවලින් ළමයින්ව සමත් කරවන්න විතරයි. විභාගයක් කියන්නේ රැකියාවක්. දරුවෙකුට ජීවිතය සතුටින් ගත කරන්න ඕන රැකියාවක් විතරක් මදිනෙ. අපි ජීවත් වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය අද අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට මතක් කරලා දෙනවද? අපි ජීවත් වෙන්නෙ ඇයි කියන ප්‍රශ්නය හරි වැදගත්නෙ. ඒත් අපි ජීවත් වෙන්නෙ ඇයි සහ අපි ජීවත් වෙන්නෙ මොකටද කියන ප්‍රශ්න දෙකට උත්තර හොයන්න ගුරුවරු හෝ මව්පියවරු ළමයින් පොළඹවන්නේ නැහැ. ඒ නිසා අද ඇති වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් අපි ළමයින්ට බැණලා වැඩකුත් නැහැ.

මුහුණුපොතේ මැදිහත්වීම

මම නම් මුහුණුපොතත් එක්ක සම්බන්ධ නැහැ. හැබැයි ඒක හොඳ නැහැ කියලා මම කියන්නෙ නැහැ. මුහුණුපොතේ සාධනීය සහ නිශේධනීය පැති දෙකක් තියෙනවා. මට මගේ කාලය පිළිබඳව තියෙන ප්‍රශ්නය නිසයි මම බොහෝ දුරට ඒකට සම්බන්ධ නොවෙන්නෙ. ඒ කොහොමවුණත් සාහිත්‍යය ප්‍රචලිත කරන්න මුහුණුපොත වගේ මාධ්‍යයක් යොදාගැනීම හොඳයි. සාහිත්‍යය කියන්නේ ජීවිතය වෙනස් කරන දෙයක්. මිනිසාගේ ආකල්ප වර්ධනයට ආගමට වඩා සාහිත්‍යය වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. සාහිත්‍යය වැලමදුලක බෙහෙතක් හංගලා දෙන විදියට සුන්දර සහ රසවත් ආකාරයකට බොහෝ දේවල් ජීවිතයට ලබාදෙනවා. අද වෙනකොට ආගමට වඩා සාහිත්‍යයෙන් හොඳ සමාජයක් බිහි කරන්න අවශ්‍ය ආකල්ප වර්ධනය කරන්න පුළුවන්. අද සමාජයේ ඉහළම තැන්වල ඉන්න පිරිස් සාහිත්‍යය පිළිබඳ බොහොම සෘණ ආකල්පයක් දරන තත්ත්වයක් දකින්න ලැබෙනවා. ඒ නිසාම සාහිත්‍යයට සම්බන්ධ වැඩ කටයුතුවලදිත් සාහිත්‍යයට ආදරය කරන අය අපහසුතාවට පත් කෙරෙන අවස්ථා තියෙනවා. සැප්තැම්බර් මාසය තුළදි ඒ වගේ අවස්ථා සම්බන්ධ අත්දැකීම් බොහෝ අයට විඳින්න ලැබුණා කියලා මම හිතනවා. රාජ්‍ය සාහිත්‍ය උත්සවයත් ඒ වගේ අවස්ථාවලින් එකක්. මෙවර රාජ්‍ය සාහිත්‍ය උත්සවයට යන්න කියලා මම කලින් හිතාගෙන හිටියා. ඒත් එතැනට රාජ්‍ය නායකයා එනවා කියලා තිබුණ නිසා මම නොයන්න තීරණය කළා. ඒ රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂද, මෛත්‍රීපාල සිරිසේනද, රනිල් වික්‍රමසිංහද කියන එක නෙවෙයි මගේ ප්‍රශ්නය. ඒ කවුරු ආවත් එතැනට ගියාම අපි හරි දුකක් විඳිනවා. ඒ දුක විඳින්න මම කැමති නැහැ.

 

සංවාදයක් ඇසුරින් ලීවේ අජිත් නිශාන්ත

[කැත්ලින් ජයවර්ධන]

News Order: 
5
මාතෘකා