හොඳ කාව්‍ය නිර්මාණයක භාෂා ඉතිහාසයම එනවා

 ඡායාරූපය:

හොඳ කාව්‍ය නිර්මාණයක භාෂා ඉතිහාසයම එනවා

ප්‍රවීණ කිවියර පරාක්‍රම කොඩිතුවක්කු

මෙම සම්මුඛ සාකච්ඡාවේ මුල් කොටස් දෙක ඉකුත් සති දෙකේ පළ විය.

අද සාහිත්‍ය කෘති සමීක්ෂණයේදී පරිවර්තන කෘති සමීක්ෂණය වන්නේ මුල් කෘතිය නොකියවායි. මුල් කෘති කියවනවා යැයි කියන සමීක්ෂණවලත් එය නිසි ආකාරයෙන් කෙරෙන්නේ නැහැ. මෙවිට මුල් කෘති විකෘති කළ පරිවර්තන සාහිත්‍ය සම්මානවලින් පිදුම් ලබන තැනට පත් වී තිබෙනවා?

අද පරිවර්තන කාර්යය වේගයෙන් වාණිජගත වෙලා. ඇතැමුන් මාසයකට පරිවර්තන කෘති දෙක, තුන කරන්නෙ ඒ නිසයි. මෙය ඊනියා පරිවර්තකයන්ටත් ප්‍රකාශකයන්ටත් ඉල්ලමක්. ඔබ ලියූ තීරුවක මම දැක්කා ප්‍රකාශකයකු ළඟට අත්පිටපතක් අරගෙන ගියාම ප්‍රකාශකයා අහනවා “නවකතාවක් එහෙම නැද්ද?” කියල. ඒකෙන් පැහැදිලි වෙනවා ප්‍රකාශකයන් සාහිත්‍යය කොහොමද අරගෙන තියෙන්නෙ කියල. කවියටත් අද වෙලා තියෙන්නෙ ඕක. අද සාහිත්‍යයට පිවිසෙන ලාභම දොරටුව වෙලා තියෙන්නෙ කවිය. හුඟක් අය අද විශ්‍රාම ගිහිල්ලා කවි පොත් එළිදක්වනවා. මං හිතන්නෙ කවිය ජීවිතය එක්කම ලියලන දෙයක්. ජීවිතය එක්ක යන ජීව යාත්‍රාවක්. විශ්‍රාම ගිය වයසෙදි පාළුව මකාගන්න කුරුටු ගාන කවි ව්‍යාජයක්. අද කවි පොත් මුද්‍රණය කරන්නෙ පිටපත් දෙසීය ගානෙ. මේක ප්‍රකාශකයන්ගේ උප්පරවැට්ටියක්. අද ලේඛකයන් බිහි කරන්නෙත් ප්‍රකාශකයො, සම්මාන ලබාදෙන්නෙත් ප්‍රකාශකයො.

ස්වර්ණ පුස්තක සම්මානය පසුගිය කාලයේම බෙදී ගියේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වූ ප්‍රකාශකයන් හතර පස් දෙනෙකු අතරයි.

ලංකාවේ දේශපාලනය වගේම ලංකාවේ සාහිත්‍යයත් හොරමුලකට අහු වෙලා ඉවරයි. ඒක දැන් සාමාන්‍ය පාඨක සමාජය දන්නවා. ඒ නිසා එම පාඨකයන් අද කියන දෙයක් තමයි නවකතා කොච්චර ලියවුණත් ඒවා කියවන්න රසයක් නැහැ කියල. ඒත් ප්‍රකාශකයන් කොහොම හරි සම්මානවලින් තමන්ගේ වෙළෙඳපොළ හදාගන්නවා. මින් පෙනෙන්නෙ සාහිත්‍යය හසු වී ඇති වාණිජ ප්‍රවාහයයි. මුල් කාලය ගත්තත් අපට කොච්චර වෛවර්ණයෙන් යුතු නවකතා හමු වුණාද? ‘විරාගය’, ‘කරුමක්කාරයෝ’, ජනතාවගේ හද ඇදබැඳ ගත් ‘ගොළු හදවත’... මේ ආදී වශයෙන් අපට එකිනෙකට වෙනස් නවකතා හුඟක් හමු වෙනවා. අද එවැනි තත්ත්වයක් නැහැ.

· ඔබ පරිවර්තකයෙක්ද වෙනවා. පරිවර්තනයේදී දුෂ්කරම වන්නේ කාව්‍ය පරිවර්තනයයි. එසේ වන්නේ ඇයි?

කාව්‍ය පරිවර්තනය ඉතා සූක්ෂ්ම ව්‍යාපාරයක්. මං අදහන විධියට කවියක් පරිවර්තනය කරන්න පුළුවන් කවියකුට පමණයි. කවියා තමයි කවියේ යටිපෙළ අල්ලා ගන්නෙ. පදගත පරිවර්තනවලින් කවි බිහි වෙන්නෙ නැහැ. කවි ලිවීම හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කාව්‍ය කුසලතාවක් නැති කෙනෙකුට එය කරන්න බැහැ.

ඒවගේම තව දෙයක් තියෙනවා. කවියකුට කවි බසක් පැවතිය යුතුයි. ඓතිහාසික භාෂා ගංගාවේ පිහිනා යන කෙනෙකුට විතරයි කවියක් ලියන්න පුළුවන්. දැන් ඔය අද ලියන කවි ඔක්කොම කවි නොවෙන්නෙ එහි භාෂාවක් නැති නිසයි. කවි කොළකරුවාගේ භාෂාව හැදිලා තියෙන්නෙ කොහොමද කියල මම ‘සකල සිරින් පිරි කවි කොළේ’ කෘතියේ විග්‍රහ කරලා තියෙනවා. කවි කොළයේ පුදුමාකාර උසස් භාෂා සංස්කෘතියක් තියෙනවා. එය හුදු ගැමි වහරක් නෙවෙයි, වියත් වහරක්. ඒ තුළ නොනැසී සම්භාව්‍ය වියත් වහරත් කොළඹ කවි බසත් ගලාගෙන එනවා. එහි අද දවසේ ගීතවලට සමාන කවිත් එනවා. කවි කොළ බසේ මිරකල් එක තමයි භාෂාව එහි දැවැන්ත ලෝක වෘක්ෂයක් වීම. එහි දැවැන්ත ශාඛාවල් අහස දක්වා පැතිරී තිබෙනවා. එහි මුල, අග සොයන්න බැහැ. එක භාෂාවක ශබ්ද, නිරුක්ති තව භාෂා ගණනාවක තියෙනවා. අපි අම්මා, තාත්තා, මාතා, පිතා කියන වචන ඉංග්‍රීසියේ තියෙන්නෙ මමා, පපා කියල. ෆාදර්, මදර් කියල. එතකොට මේවා එක මහා මූලයකින් එන බව පේනවා. ඒ අනුව භාෂාව ඓතිහාසික රජයීම් සහිත මහා ගංගාවක්. සියලු භාෂා ප්‍රභේද එහි මිණි, මුතු වගේ ගලා එනවා. පාවී එනවා. ඒ නිසා හොඳ කාව්‍ය නිර්මාණයක භාෂා ඉතිහාසයම එනවා. ඒ තුළයි කවිය අමුතු ආත්මයක් ලබන්නෙ. මිනිසාගේ ගැඹුරුම මනසට කථා කරන්නෙ. ඒ ගැඹුරුම මනසට කථා කරන ඓතිහාසික මන්ත්‍රය තමයි ඓතිහාසික භාෂාව. නැතුව අද දවසේ කථා කරන භාෂාව නෙවෙයි. අනෙක කවියට අද දවසේ භාෂාව කියල එකක් නෑ. එහි තියෙන්නෙ ඓතිහාසික භාෂාවක්. පරිනාමීය භාෂාවක්. අද දවසේ කවියක තියෙනවා “මගේ ගීතය ෂට් ඩවුන් වෙනවා” කියල. මේවා ලියන අය හිතනවා මුඛරි චවන තුන හතරක් දැම්මාම කවියක් බිහි වෙනවා කියල.

· කවි කොළකරුවාගේ කවි බසේ අපට වර්තමාන කවීන්ගේ කවි බසේ දක්නට නොමැති විවිධ භාෂා සම්ප්‍රදායන්හි සම්මිශ්‍රණයක් දකින්න පුළුවන්. එනම් සම්භාව්‍ය වියත් වහරත් ගැමි වහරත් හෙළ වහරත් කොළඹ කවි වහරත් එහි සංකලනය වෙලා තියෙනවා. ඒවගේම සමාජ හද ගැස්ම එහි ඉතා මැනවින් දක්නට ලැබෙනවා.

කවි කොළ කවියාගේ බසේ ඇති ඓතිහාසික යථාර්ථය ඔබ හරියටම දැකලා තියෙනවා. කවි කොළ කවියා ජන කවියෙක්. ඒ නිසා ඔහුට දෘෂ්ටිගත වීමක් නැහැ. ඔහු සියල්ල දෙස බලන්නේ නිදහස් මනසින්. ඔවුන් කවි කොළයේදී හැම දෙයක් ගැනම කථා කරනවා. අනගාරික ධර්මපාලතුමාගේ නිදහස් සටන් ව්‍යාපාරය තුළ තිබූ සෑම සමාජ ප්‍රපංචයක්ම කවි කොළ කවියා කථා කරනවා. ධර්මපාලතුමා එදා වැඩියෙන්ම කථා කළේ කළු සුද්දන් ගැන. එකදාස් නවසීයේ බිහි වන කවි කොළ බැලුවාමත් ඒ වැඩි හරියක අපට පෙනෙන්නෙ කළු සුද්දන් ගැන කියපුවා. ඒ අනුව ඔවුන් අනගාරික ධර්මපාලතුමාගේ ව්‍යාපාරය ආදර්ශ කරගෙන තියෙනවා. ඊළඟට එකල බිහි වන නවකතා බලන්න. ‘තෙරීසා’, ‘මහා වියවුල’... බලන්න, ‘මහා වියවුල’ කියන නම අද දවසේ ලියවෙන නවකතාවකට යොදන්න බැරිද? අද නාට්‍යයකට පවා ඒ නම යොදන්න පුළුවන්. ඒ නම අද ගැටලුවට කොච්චර උචිතද?

එදා නවකතාකරුවාගේ චරිත මත්පැන්හලකට ගියොත් ඕඩර් කරන මත්පැන් වර්ග මොනවාද කියාත් නවකතාවේ දානවා. විස්කි මෙච්චරයි, බ්‍රැන්ඩි මෙච්චරයි ආදී වශයෙන් යොදනවා. ඊළඟට තෙරීසා උදේ දවස පටන් ගන්න තැන ඉඳලා හවස් වෙනකන් ඇගේ දිනචර්යාව නවකතාකරුවා දානවා. ඉන් ඇගේ ජීවන ශෛලිය අපට පිංතාරු කරලා පෙන්වනවා. එදා ජන කවියා ලියනවා ‘අධ්‍යාපන අවුල’ කියල කවි කොළයක්. එදා මිෂනාරී අධ්‍යාපනය ගැන ඇති වූ අවුල ඔහු එහිදී පෙන්වා දෙනවා. ඒ කියන්නෙ එදා ශිෂ්‍යයන් ලෝකයේ විල් ගැන දන්නවා, ගංගා ගැන දන්නවා, ඒත් මෙහේ වැව් අමුණු ගැන දන්නෙ නෑ. පිටරට ඉන්න රොබින් කුරුල්ලා ගැන දන්නවා, ඒ වුණාට මෙහේ පිළිහුඩුවා ගැන දන්නෙ නෑ. මෙයයි ඔහු අධ්‍යාපන අවුල විධියට දකින්නෙ.

එදා ඇඳුම් පැළඳුම් ගැන කවි කොළ කවියා කථා කරනවා. ඒවගේම එදා මිනිස්සු මහා ඉඩම් කොල්ලයට හසු වෙලා කම්කරු වැටුපක් ලබන හැටි කියනවා. බටහිර ස්ටයිල් බෝ වීම ඔහු ‘සංකර කුලප්පුව’ කියල විස්තර කරනවා. ‘බත නැති වූ හැටි’, ‘අහර නිදහස’ ආදිය ගැන ලියනවා. ඔහු එක් පසෙකින් මිනිස්සු ජාතික අරගලයට සම්බන්ධ වූ හැටිත් අනෙක් පසින් සංස්කෘතික අරගලයට දායක වූ හැටිත් ලියනවා. කරත්තකරුවන්ගේ වැඩවර්ජනයේ ඉඳලා කම්කරු සටන් සිය ගණනක් ගැන කවි කොළකරුවා ලියනවා. මං හිතන්නෙ ඒවා බිහි වෙන්නෙ කවි කොළකරුවා ඉතාම නිදහස් මනසින් ලෝකය දිහා බැලූ නිසයි.

ඔබ කිව්වා වගේ කවි කොළ කවියාගේ නිර්මාණවල සමාජ හදගැස්ම තියෙනවා. ඔහු ලියන දේ හරි අවංකයි. සින්සියර්. සාහිත්‍යයක ඇති විශිෂ්ටම ගුණාංගය සාහිත්‍යමය අවංකභාවයයි. ඉංග්‍රීසි විචාරකයො මෙය හඳුන්වන්නේ ලිටරරි සින්සියරිටි (Literary Sincerity) කියල. අද අපේ බොහෝ සාහිත්‍ය කෘතිවල නැත්තේ ඒ සාහිත්‍යමය අවංකභාවයයි. එවැන්නක් නැති බව අපට දැනෙනවා. ඒවා ව්‍යාජ බව අපට දැනෙනවා. ඒත් කවි කොළ කවීන් සමාජයේ නිදහස් ක්‍රියාධරයන් විධියට සෑම දෙයක් ගැනම ඔවුන්ට දැනෙන අවංක හැඟීම් ලිව්වා. ඔවුන්ට දැක්මක් තිබුණා. මෝරල් බේසිස් එකක් (Moral basis) තිබුණා. හොඳ නරක පිළිබඳ, පින් පව් පිළිබඳ ආකල්පයක් තිබුණා.

· කලාකරුවා සමාජය නොසන්සුන් කරන දේ නිර්මාණ වෙසින් ඉදිරිපත් කරනවා පසුගිය කාලයේම අප දුටුවා. කලාකරුවාට සමාජය නොසන්සුන් කළ හැකිද?

පැහැදිලිවම ඔහුට සමාජය කලඹන්න බැහැ. හැත්තෑව දශකයේ බටහිර ලෝකයේ ප්‍රතික්ෂේප කළ ප්‍රවණතාවක් තමයි පශ්චාත් නූතන වාදය. ඒත් අපි ඒක සනාථන දහමක් විධියට මෙහෙට ගෙනාවා. දැන් අපි පාවුලෝ කොයියෝ ගැන කියවනවා. පාවුලෝ කොයියෝගේ ඇතැම් පොත් කුණුහරුප. ඔහුම කියා තියෙනවා ඔහු අන්තිමට ලියූ පොත් ඔහුගේ මරණයෙන් පස්සෙ ගිනි තියන්න කියල. ඒත් අපි ඒ අයින් කළ යුතු පොත් ලොකුවට අරගෙන පරිවර්තනය කරනවා. මං හිතන්නෙ මේවා අපි අරගෙන තියෙන්නෙ කිසිම විචක්ෂණශීලීත්වයක් නැතිවයි. ෆ්‍රොයිඩ් පවා අපි අරගත්තේ එහෙම. ලෝකයේ ඇන්ටි ෆ්‍රොයිඩිස්ම් (Anti Freudism) තිබුණා. ඒත් අපට ඒක ආවේ නැහැ. ඇන්ටි මාක්සිස්ම් (Anti Marxism) ලෝකයේ තිබුණා. අපට ආවේ නැහැ. ඇන්ටි මාවෝවිස්ම් (Anti Maoism) තිබුණා. අපට ආවේ නැහැ. එහෙම ආවොත් තමයි අපට සත්‍යය තෝරාබේරා ගන්න පුළුවන්. ඒත් එහෙම දෙයක් වුණේ නෑ.

තවමත් අපේ “මම භෞතිකවාදියෙක්” කියල කියාගෙන කථා කරන්න වාඩි වෙන කලාකරුවෝ ඉන්නවා මම දැකලා තියෙනවා. එහෙම ලේඛකයො ඉන්නවා. සංගීතඥයො ඉන්නවා. ඔවුන් වාඩි වෙන්නෙම “මම භෞතිකවාදියෙක්” කියල කියාගෙන. මට නම් එතකොට හිතෙන්නෙ මේ මිනිහා මොන අඥානයෙක්ද කියලයි. භෞතිකවාදය බිඳ වැටුණේ ද්‍රව්‍ය බිඳ දැමුවාට පස්සෙ. තවදුරටත් ද්‍රව්‍ය නැති බව, ඇත්තේ ශක්තීන් පමණක් බව පෙන්නුම් කළාට පස්සෙ. අද ක්වොන්ටම් සයන්ස් කියන්නෙ ශක්ති විද්‍යාවක්. තරංග විද්‍යාවක්. භෞතිකය අද නැහැ. ඒත් අපි භෞතිකවාදයෙන් අයින් වෙලා නෑ, මෙහෙම තත්ත්වයක් තුළ සාහිත්‍ය නිර්මාණ, කලා නිර්මාණ බිහි නොවීම අරුමයක් නෙවෙයි.

 

සාකච්ඡා කළේ [රවීන්ද්‍ර විජේවර්ධන]

News Order: 
3
මාතෘකා