ගුත්තිල - මූසිල

 ඡායාරූපය:

ගුත්තිල - මූසිල

මට නින්දක් වුවමනා වී තිබිණ. තැළුම් කෑ සිරුරට නොව රිදුම් දෙන හදවතට සහනයක් ලෙස දිගු නින්දක් වුවමනා විය. පැය ගණනක්.....! නැත. මාස ගණනක දිගු නින්දක්.....! එහෙත් අවශ්‍යම මොහොතේ නින්ද මා අත් හළේය. හැම විටම සිදු වූයේ එය නොවේද? අවශ්‍යම මොහොතේ හැම කෙනෙක්ම මා අත හැරීම....! නින්ද වෙනුවට මා වෙත ආවේ අතීත මතකයන්ය. වේදනාවෙන් ඔත්පල වූ මනසේ රඟ දෙන අතීතය දෙස මම දෙනෙත් පියා ගෙන ඔහේ බලා උන්නෙමි.

මා උපන්නේම අවාසනාව දෝතින් තුරුළු කර ගෙනය. මගේ පියාට ගීත ගායනයේ මෙන්ම ගැහැනුන් වසඟ කර ගැනීමේ අපූරු හැකියාවක් තිබුණේලු. මගේ අම්මා අනෙකුත් කෙල්ලන් අබිබවා ඔහුගේ ප්‍රේමය දිනා ගත් අතර ඔහු කෙරේ උන්මාදනීය ප්‍රේමයකින් වසඟ වී සිටියේලු. එහි ඵලය වූ මා මෙලොව එළිය දකින්නටත් පෙර ඔහු සැඟ වී පලා ගියේලු. ඒ අයුරින් මපියා මා අත හැර දැමූයේ මගේ උපතටත් පෙරමය.

අම්මාට මා දැඩි කිරීම සඳහා බොහෝ දුක් විඳීමට සිදුව තිබිණ. පියා මෙන් නොව පුතු ගීතයෙන් ලොව දිනනු ඇතැයිද එදිනට තමා කළ වරද නිවැරැදි කරනු වස් ඔහු හඬා වැලපෙමින් තම පෙම්වතිය හා දරුවා සොයා එනු ඇතැයිද යන මායාවක ඇය දැවටී සිටියාය. ඇගේ ජීවිතය රැඳී පැවතුණේ ඒ මායාමය හැඟීම මතය.

සාමාන්‍යයෙන් දරුවකු තුළ තිබිය යුතු උද්‍යෝගය, කෙළිලොල් ප්‍රාණවත් බව කිසිසේත්ම මා තුළ නොවීය. හෝන්දුමාන්දු සෝමාරි පෙනුමකින් යුතු මට පාසල් වියේදී මිතුරෝද නොවූහ. කොහොමටත් මම ඉගෙනීමෙහි දුර්වලයෙක් වීමි. මා සතුව තිබූ එකම කුසලතාව ගායන හැකියාව පමණි. එය පවා මා තුළ ඇති කළේ ප්‍රබෝධය නොව සාංකාකූල සෝබර හැඟීමකි. මා සතු හැකියාව ඉදිරියට ගෙන එය දියුණු කරලීමට මඟපෙන්විය හැකිව තිබුණේ ගුරුවරුන්ටය. එහෙත් මොනයම් හේතුවක් නිසා හෝ ඔවුහුද මා අත්හළෝය.

අම්මා කුලියට දළු කැඩුවාය. වල් නෙළුවාය. උදළු ගෑවාය. ලැබෙන කුමන කුලියක් වුවද අත් නොහළාය. එයින් අපි ජීවිතය සරිකර ගතිමු. වෙනත් ළමුන් මෙන් නොව මම කිසිවක් ඉල්ලා කිසිදා අම්මාට කරදර නොකළෙමි. ලද යමක් කෑවෙමි. ඇන්දෙමි. කළුවර වැටුණු පසු පැදුරට වැටී තනිවම ගීත මිමිණුවෙමි. ජීවිතය සරලව, අලසව ගලා යමින් තිබිණ.

පවුලෙන් පිටමං කරනු ලැබූ අප දෙදෙන පිළිබඳව සොයා බැලූ, කරදර වූ යමෙක් වී නම් ඒ අපේ මාමාය. කලෙක මගේ පියා යැයි කියන මිනිසා ඔහුගේ හොඳම මිතුරා වී තිබිණ. පාසල් දිවිය අත් හළ මට, තමා නියැලි වඩු කර්මාන්තය පුහුණු කිරීමට ඔහු උත්සාහ කළේය. එය අසාර්ථක වූ කල වෙනත් මාර්ගයන් වෙත යොමු කළද ඉන් පලක් නොවීය. කෙසේ වුවද මගේ ජීවිතය වෙනස් මගකට යොමු වන්නට මුල් වූයේද ඔහුමය.

“නංඟියෙ කොළුව මොකද කොරන්නෙ දැං?” “මක් කොරංඩද අයියෙ....ඔය ඉන්නෙ.” “එහෙම කියල හරි යනවෑ බං... ඉගෙනිල්ලකුත් නැත්තං කර්මාන්තෙකුත් බැරි නං මොක කොරංඩද හිතාන ඉන්නෙ? කොල්ලෙක් උනාම කවදක හරි දරු පවුලක් නඩත්තු කොරංඩ එපෑ.” “ඒක නං එහෙම තමයි... ඒ උනාට අයියෙ, වැඩක් පොලක් නොකළට මට මෙහෙමයි කියල කරදරයක් කොරන දරුවෙක් නෙවෙයි.... ඇත්තං කාල නැත්තං වැටිල පාඩුවෙ ඉඳී... මේකාට ඔය මොන කරුමාන්තෙයක්වත් හරි යන්නෑ. ඇඟේම තියෙන්නෙ සංගීතෙනෙ.” “සංගීතෙ! නංඟියෙ උඹ දන්නව මං උඹල ගැන වද වෙන තරං. මගේ හිතවත් කමට අරූ මෙහෙ ආව ගිය හින්ද උඹ අමාරුවෙ වැටුණ. මට ඕකව කවදක හරි හම්බෙයිනෙ. හැබැයි මේ ළමෙය ඒ වගෙ පාදඩයෙක් කොරංඩ හීනෙංවත් හිතන්ඩෙපා. මේ අහපං නංඟියෙ, කොළඹ ඉන්නව මහත්තෙක්. හොඳ ගුණ යහපත් මහත්තෙය. විස්ස විද්දියාලෙ උගන්නන්නෙ. අම්ම තාත්ත දෙන්නම අන්දයි. ඒ දෙන්න බලා කියාගෙන ඉංඩ කෙනෙක් හොයනව. උඹ කැමති නං ළමෙය එතෙන්ට යැව්වැකි. හොඳින් හිටියොත් මහත්තෙය ළමයගෙ අනාගතේ ගැන බලා ගනී...” “...........” “මං කැමති මාමෙ, මං එන්නං.”

අම්මා කට අරින්නටත් පෙර මම කීවෙමි. මෙතෙක් කලක් නිහඬව සිටි නමුත් මේ අලස ජීවිතය මට එපා වී තිබුණෙන් හොඳ හෝ නරක ඕනෑම වෙනසක් බාර ගැනීමට මම තීරණය කළෙමි. ඒ මගේ ජීවිතයේ මවිසින් ගන්නා ලද පළමු තීරණයයි.

*** *** *** *** *** ***

මගේ අතීතාවර්ජනයට බාධා කරමින් කිසිවෙක් දොරට තඩිබාන හඬ ඇසිණ. නිදහසේ අතීතය විඳවන්නට වත් ඉඩක් නැති හැටි! මම නිශ්චලව සිටියෙමි. ඔවුහු දොර පියන තල්ලු කරගෙන ඇතුළට පැමිණියහ.

තරු .....! ඔව්, සුපිරි ගායන තරු තරඟයේ අවසන් පස් දෙනාගේ වටයේ තරු අපි වීමු. එතැන් සිට එකිනෙක තරු හැලී ගියද අවසානය දක්වා අපි හොඳ මිතුරන් සේ එක්ව සිටියෙමු. අවසන් ජයග්‍රහණයෙන් අනතුරුව සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් පසුවද ඔවුහු මා හා සිටියහ. නිහඬව.....! බියපත්ව.....! අද ඒ මුනිවත බිඳී වක්කඩ කැඩුවාක් මෙන් ඔවුන්ගේ මුවින් වචන ගලා හැලෙයි.

“මට නං පුදුම ගුත්තිල සර් මේකට පැටලුණු එක...” “ මොකට පුදුම වෙනවද? සල්ලිවලට ඕනැ මිනිහෙක් ඕනැ පඹගාලක පැටලෙයි.” “නෑ, සර් එහෙම සල්ලි මත්තෙ නැහෙන කෙනෙක් නෙවෙයිනෙ.” “අනේ මංදා, මිනිහ හිතංඩ නෑ එකම කතාව එකම විදියට දෙපාරක් වෙයි කියල.” “ඒ මොකද්ද ඒ ? ” “ඇයි බං ? එදත් ගුටි කෑවෙ මූසිල.... අදත් ගුටි කෑවෙ මූසිල.... මූසිලය ගුත්තිල තරමටම දක්ෂයි. ඒ උනාට පිළිගැනීමක් නෑ. ශක්‍රයත් ඒ පැත්තනෙ ගත්තෙ.” “ඒත් ගුත්තිල සර් වගේ කෙනෙක් ගැන නං ඒ කතාව අසාධාරණයි” “උඹ කිව්වෙ ගුත්තිල සර් උඹට හරියට උදව් කරල තියෙනව කියල. උඹ සර්ගෙ ගෙදරත් හිටිය කිව්ව නේද?” “ඔව්..ඔව්..මං සර්ගෙ ගෙදර හිටිය තමයි. හැබැයි සංගීතෙ ඉගෙන ගංඩ නෙවෙයි. ඇත්තම කියනව නං ගෙදර වැඩට. දැන් ඉතිං මේව කවුරු දැනගත්තත් මට කමක් නෑ. ” “එහෙනං උඹ කිව්වෙ.....” “හරි හරි කිව්ව තමයි, ඒ උනාට දැං මේ කියන්නෙ ඇත්ත. ඒ දවස්වල සර් ඔක්කොම ගෙදර වැඩයි රස්සාවයි තනියම කර ගංඩ අමාරු තත්වෙක ඉඳල තියෙන්නෙ. අම්ම තාත්ත දෙන්නගෙම ඇස් පේන්නෑ. ඒ දෙන්නව නාවන ‐ කවන ‐ පොවන වැඩත් එක්කනෙ. අනික ඒ මහ දෙන්න එක්ක කිසිම කෙනෙකුට ඉංඩ බැයිලු. ඒ හිංදම සර් කසාද බැඳලත් නෑ. වැඩකාරයෙක් අර ගෙනත් නෑ. ඒ තරං වසයි. සර් මට කිව්වෙ, ඒ ගොල්ල මොනව කිව්වත් නිස්සද්දව ඉන්න එක තමයි මගෙං බලාපොරොත්තු වෙන පළවෙනිම දේ කියල. මම වයසක අන්ද ජෝඩුවක් බලා ගන්නව තියා තේකක්වත් හදන්ඩ දැනං හිටියෙ නෑ. හැම දෙයක්ම සර් තමයි කියල දුන්නෙ. මම හිමීට ඉගෙන ගත්ත, වැඩපල තනියම කරගංඩ. මහ දෙන්න කියන දේවල් මං ගණං ගත්තෙම නෑ. මං මහන්සි උනේ ඒ ගොල්ල සතුටු වෙන විදියට වැඩ කරංඩ. ටිකෙන් ටික කෑ කෝ ගැහිලි, ගෙරවිලි නැවතුණා. සර්ට ලොකු නිදහසක් ලැබුණ. මගෙ හිතටත් හරි සැහැල්ලුවක් දැනුණ. ගෙදරදි කිසි වැඩක් නොකර අතපය අකුලං හිටපු මං පුදුම සතුටකිං වැඩ කළේ. දවසක් මං සිංදුවකුත් කිය කියා කුස්සියෙ වැඩ. සර් ඇවිත් අහගෙන ඉඳල.

“ංආ...සංගීත්ට හොඳට සිංදු කියන්න පුළුවන්නෙ. මං දැනගෙන හිටියෙ නෑනෙ ඒ බවක්. හොඳයි...හොඳයි...මං උදව් කරන්නං. රෑට වැඩ ඉවර උනාම සංගීතෙත් ටිකක් ඉගෙන ගමු. ම්ම්ම්ම්......එහෙනං ගුත්තිලගෙන් ඉගෙන ගන්න මූසිලයෙකුත් ආවා ංආ....” එහෙම කියල සර් හයියෙන් හිනා උනා.

ඇත්තටම සර් මට ඉගැන්නුව. මං හොඳින් ඉගෙන ගත්ත. මට මතකයි, ඉස්සර ආසාවකට ත් සංගීත භාණ්ඩෙකට අත තියන්න නොදීපු ලොකු මහත්තෙයයි නෝනයි ඒ වෙන කොට මගේ ගායන, වාදන අහං හිටපු හැටි. ඔහොම ඉද්දි එක පාරටම වගේ කරදර එක පිට එක කඩා වැටුණ. ලොකු මහත්තෙය අසනීප උනා. අංශබාගෙ....ඊට පස්සෙ මොන සංගීත පාඩංද! එයාගෙ රාජකාරි ඔක්කොම කළේ මං. මහත්තෙයට කලිං නෝන මැරුණ. පපුව රිදෙනව කිව්ව. එච්චරයි. ඊට හය මාසෙකට විතර පස්සෙ ලොකු මහත්තෙයත් මැරුණ. සර් දැනං හිටිය ඒ දෙන්නට මං කොයි තරං හොඳිං සැලකුවද කියල.

“සංගීත් මට දරුවෙක්, සහෝදරයෙක් වගේ. මගේ අම්මයි තාත්තයි හොඳින් බලා ගත්තට පිං. ඒක මං කවදාවත් අමතක කරන්නෙ නෑ.” එහෙමයි සර් මං ගැන කිව්වෙ.

කොහොම හරි ලොකු මහත්තෙයයි නෝනයි ජීවත් වෙලා ඉන්නකං නොහිටපු නෑයො ඊට පස්සෙ යංඩ එංඩ ගත්ත. කසාද බැඳිල්ල කල් දදා හිටපු සර් කසාද බැංද. සර්ගෙ නෝන ඉක්මනටම ගෙදරයි සර්වයි පාලනය කරංඩ ගත්ත. සර්ගෙ හිත හොඳ වැඩි. කිසි දේකට කතා කරන්නෑ. ඒ නෝනට මාව නිකංම නිකං වැඩකාරයෙක් විතරයි. එච්චර දවසුත් මං ඒ ගෙදර වැඩ කරා තමයි. ඒ උනාට මං එතකොට පවුලෙ කෙනෙක් වගෙ. බැඳීමක් තිබුණ. අර නෝනා සලකපු විදියට මට තවත් ඒ ගෙදර ඉංඩ බැරි උනා. අම්ම ලෙඩ වෙලා බලා ගංඩ කවුරුත් නෑ කියල මං ගෙදර ගියා. පඩියට අමතරව සර් වෙනම මුදලකුත් මට දුන්න. ඕක තමයි කතන්දරේ.”

ඔවුන් ඉදිරියේ දිගහළ මගේ අතීතය විසින් ඔවුන්ව නිහඬ කර ඇත. තම තමාගේ ජීවන කතන්දර සමඟ ඔවුන් ඒකාත්මික වන්නට ඇත. මමද මගේ මතක චාරිකාවට පිවිසියෙමි.

සුපිරි ගායනා තරඟය පිළිබඳව මා සවන් පත් වූයේ ඒ අතරයි. මම ඉදිරිපත් වීමි. ගුත්තිල සර් වෙතින් ලද පන්නරය මගේ ජයග්‍රහණය සඳහා මට මහත් රුකුලක් විය. එකිනෙක තරු කඩා හැලෙද්දී මම දීප්තිමත්ව ඉදිරියට ගියෙමි. අම්මාගේ අහිංසක සිහිනය සැබෑ වී යැයි සිතීමි. මගේ අනාගතය සුරක්ෂිත මගකට අවතීර්ණ වී යැයි සිතීමි.

ප්‍රවීණයෙකු හා ජයග්‍රාහකයා විසින් කරනු ලබන ප්‍රසංගයකින් තරඟාවලිය නිම කළ යුතු බවට හදිසියේම සංවිධායක මඬුල්ල තීරණය කරනු ලැබීය. ප්‍රවීණයා කවුරුන්දැයි අප දැන සිටියේ නැත. කවුරුන් වුවද කම් නැත. එය ජීවිතයට ලැබෙන මහඟු අවස්ථාවකි. කොයි කවුරුත් නොසලකා හැරි අසරණ මෝඩ කොලුවා ප්‍රවීණයකු සමඟ එකම වේදිකාවක.....!

*** *** *** *** *** *** *** ***

ශාලාව අතුරුසිදුරු නැතිව පිරී තිබිණ. ජයග්‍රහණයෙන් මන්මත් වූ මම ප්‍රේක්ෂක අත්පොළසන් මැද ගායනා කළෙමි. මා මෙන්ම ප්‍රේක්ෂකයින්ද සතුටින් කුල්මත්ව සිටින බව ඔවුන්ගේ ප්‍රතිචාරවලින් දැක ගත හැකි විය. අනතුරුව නිවේදකගේ ආරාධනයෙන් ප්‍රවීණ සංගීතවේදියා වේදිකාවට පිය මැන්නේ ප්‍රේක්ෂක ඔල්වරසන් මැදය.

ගුත්තිල සර්...! මට අදහාගත නොහැකි විය. ඔහු කිසිදා මෙවැනි සංදර්ශනවලට සහභාගි වූ අයෙක් නොවේ. එහෙත් අද....? කොතෙකුත් අය සිටියදීත් ඔහුම....! ප්‍රසන්න සිනාවක් මවෙත තිළිණ කළ ඔහු ගායනය ඇරඹීය. ගුත්තිල සර්ගේ සුමධුර ගායනයෙන් හැමදෙනම සිහින ලොවකට පාවී ගියාක් වැනිය. සොඳුරු රිදුමකින් හදවත කම්පනය වූවාක් මෙනි. මගේ දිරිය සිඳී ගියේය. ඔහු කෙරේ වූ භක්තියෙන් මහද පිරී ගියේය. මා කුමන ගායකයෙක්ද? තවදුරටත් ගායනා කළ නොහැකි බවක් මට හැඟී ගියේය. එහෙත් මෙය තරඟයක් නොවේ. මා සුපිරි තරුව ලෙස කිරුළ දිනා අවසන්ය. එනමුදු කිසියම් අවිනිශ්චිත බවකින් මම පසුබට වීමි.

අඩපණව ගිය මගේ හඬ ප්‍රේක්ෂක ජනතාව නොඉවසිලිමත් කරවන බවක් පෙනී ගියේය. ගුත්තිල සර් මා දිරිමත් කරන දෑසින් ඉඟි කළේය. මම යළි සුපුරුදු රිද්මයට පැමිණි අතර මගේ ආකර්ෂණීය හඬ වා තලය සිසාරා පැතිරුණි. එහෙත් කිසියම් අනපේක්ෂිත යමක් සිදු වන බවක් මට හැඟී ගියේය. හදිසියේම ඇරඹුණු මුණු-මුණුව උස්ව නැගී ආ අතර කඩදාසි කැබලි, ගල් කැට ආදිය වේදිකාව වෙත ඉගිල එන්නට විය. ඒ සමඟම කීප දෙනෙක් වේදිකාවට ගොඩ වූ අතර කුමක් සිදු විණිදැයි මම නොදනිමි.

ඇත්ත වශයෙන්ම මේ සියල්ල සමඟ ගුත්තිල සර්ගේ කිසියම් සම්බන්ධයක් ඇතිද? ඔහු ඒ ගැන දැන සිටියේද? මගේ හැකියාවන් ගැන ඔහුට සතුටක් නැතිද? ඔහු මට ඊර්ෂ්‍යා කරන්නේද? ඔහුට එසේ කළ හැකිද? අනෙක් අතට මගේම පියා මා අත්හළේ නම් ඔහුට එසේ කරන්නට බැරිකමක් නැත.

“කවුද දොරට ගහන්නෙ?” “දොර අරිංඩ බලංඩ.” සුමින්ද දොර පියන ඇද්දේය. ඒ ප්‍රසන්න සිනාව සමඟින් ගුත්තිල සර් ඇතුළු විය. මිතුරන් සියලු දෙන නැගී සිටි අතර ඔහු මවෙත පැමිණ වැතිර උන් මගේ අතක් අල්ලා ගත්තේය. “කොහොමද දැන් සංගීත්ට?” “හොඳයි සර්.” “වෙච්ච දේට මට හරි කනගාටුයි. ඒ වගෙ දෙයක් වෙයි කියල දන්නවනං මම කොහොමටවත් එතනට එන්නෙ නෑ.” “මොකද සර් ඇත්තටම උනේ?” “මාත් දන්නෙ නෑ දරුවො, පේන එකම දේ තමයි අපි හැමෝම කොයි මොහොතක හරි කාට හරි විකිණෙනව කියන එක. මම සංගීත් නිසාම ඔය ප්‍රෝග්‍රෑම් එක දිගටම බැලුවා. මට ඕන උනා සංගීත් එක්ක සතුට බෙදා ගන්න. ඒකයි මම ආවෙ. කොහොම උනත් සිද්ධ උනේ ලොකු වරදක්. එයාල අද උදේ මට පොරොන්දු උනා ඒක නිවැරදි කරන්න. හැමදේම හරි විදියට වෙයි.”

මා වැනි ගුණමකුවෙක්......! මට මා ගැන දැඩි කලකිරීමක් ඇති විය.

“මට සමාවෙන්න සර්!”

“ඒ මොකටද? ඇත්තටම මම කැමතියි ඔයයි මායි අතරෙ තරඟයක් තියල ඔයා දිනනවනං. එදා ගුත්තිලට වගෙ නෙවෙයි අද ගුත්තිලට පුළුවන් මූසිල ගැන ආඩම්බර වෙන්න. මූසිලට සාධාරණය ඉෂ්ට කරන්න.” ගුත්තිල සර් සුපුරුදු සිනාවෙන් කීය.

රෝහිණී විජේසිංහ

------------------

මෙම කෙටිකතාව විකාශය වන්නේ සුපිරි තරුවක් වීමට යන තරුණයකු වටාය. තරුණයා දිළින්දෙකු වන අතර ඔහුට උපකාර කරන ගුරුවරයා පොහොසතෙකි. එහෙත් පොහොසතාට - ගුත්තිල සර්ට - තරුණයා සංගීතයේ ඉහළට ගොස් ජනප්‍රියත්වයට පැමිණීම දරාගත නොහැකිය. එනිසා අවසන් සුපිරි තරුව තෝරන ප්‍රසංගයේදී ඔහුද තරුණ ශිෂ්‍යයා හා තරග වදී. කතාවට අනුව සිතෙන්නේ ඔහු තමාගේ ඇති - හැකියාවෙන් තරුණයා පරාජය කරන බවකි. එහෙත් අවසන ඔහුම ඒ ගැන පසුතැවිලි වී තරුණයා හමු වීමට ගොස් සිදු වූ වැරැද්ද නිවැරදි කරන බව කියයි. මෙම කතාවේ ආරම්භය සිත්ගන්නාසුලුය. එහිදී කතාකාරියගේ බසද ධ්වනිපූර්ණ වන අතර පාඨකයා පහසුවෙන් එහි භාව ලෝකය හා බැඳේ. එහෙත් කතාවේ දෙවන භාගය කතාකාරිය සිතාමතා ගෙතූ බවක් හැඟේ. සුපිරි තරු තෝරන තරගයක ඇත්තේ තරු අතර තරගයක් විනා ගුරු - ගෝල තරගයක් නොවේ. එනිසා අවසන් භාගයේ තරගයට ගුරා අවතීර්ණ වීම පාඨකයා ව්‍යාකූලතාවට පත් කරයි. ප්‍රබන්ධයක් යනු ගොඩනැඟෙන යමක් විනා ගොඩනඟන යමක් නොවේ. එහෙත් කතාකාරිය වෑයම් කර ඇත්තේ කෙටිකතාවක් සිතා ලිවීමටය. කතාවේ නමද ගුත්තිල - මූසිල ලෙස හැඳින්වීම පාඨකයාට සියල්ල කලින් කීමක් වැනිය. එය රස වින්දනයට බාධාවක් මිස අනෙකක් නොවේ. මෙහි බස ධ්වනිපූර්ණ වුවත් මුළු කතාවම කතානායකයා උද්යෝගයෙන් යුතුව කියාපෑම එහි රසභංග කරයි. කතාවක කතානායකයාට සියල්ල කිව හැකි වුවත් මෙහි අනුභූතියට අනුව ඔහුට උද්යෝගයෙන් එය කිව නොහැකිය. ඇත්ත වශයෙන් මෙම කතාව කෙටිකතාවක් බවට ගොඩනැඟිය යුත්තකි. ඒ කළ හැක්කේ බැරෑරුම් සංස්කරණයක් මගිනි.
- සංස්කාරක
 

------------------

කෙටිකතා එවන්න

ඔබේ ස්වතන්ත්‍ර කෙටිකතා නිර්මාණ අප යොමු කරන්න. අතින් ලියූ අත්පිටපත් වශයෙන් නොව පරිගණක අක්ෂර සංයෝජනය කළ ‘වර්ඩ්’ පිටපත් වශයෙන් (PDF නොකර), වචන 2500කට නොවැඩිව එෆ්.එම්. අභය අකුරින් හෝ ඉස්කෝල පොත අකුරින් ටයිප් කර යොමු කරන්න. අපගේ ඊමේල් ලිපිනය මෙසේය: [email protected]

මාතෘකා