විචාරය වෙනුවට අද ෆේස්බුක් ‘ලයික්-ෂෙයාර්’ මොඩල් එකක් ඇවිල්ලා

 ඡායාරූපය:

විචාරය වෙනුවට අද ෆේස්බුක් ‘ලයික්-ෂෙයාර්’ මොඩල් එකක් ඇවිල්ලා

එරික් ඉලයප්ආරච්චි

කවියකු, කෙටිකතාකරුවකු, නවකතාකරුවකු සහ සාහිත්‍ය කලා විචාරකයකු වන එරික් ඉලයප්ආරච්චි මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ තමන්ටම අනන්‍ය වූ භාෂා ශෛලියක් සහ නිර්මාණ පෞරුෂයක් ගොඩ නඟාගත් ලේඛකයෙකි. ‘මැදියමේ ගීතය’ කාව්‍ය සංග්‍රහය පළ කරමින් කවියකු ලෙස සිය නිර්මාණ චාරිකාව ඇරැඹූ ඔහු මේ වන විට කාව්‍ය සංග්‍රහයන්, කෙටිකතා සංග්‍රහයන්, නවකතා සහ විචාර කෘතීන් රැසක් ලියා පළ කර ඇත. විවිධ නිර්මාණ ඉසව් ඔස්සේ අඛණ්ඩව සාහිත්‍ය නිර්මාණකරණයේ නියැලී සිටින ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය වන ‘දස බිම්බරා’ ගොඩගේ ප්‍රකාශනයක් ලෙස පසුගියදා ප්‍රකාශයට පත් විය. මේ, අප ඔහු සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

 

‘දස බිම්බරා’ හඳුන්වාදිය හැකි ආකාරය කුමක්ද?

මේ කවි පොතේ තියෙන්නේ අපේ සමාජයේ ව්‍යාකූලත්වය සහ ඒ ව්‍යාකූල සමාජය තුළ කවිය නැවත සොයාගැනීමේ ප්‍රයත්නයයි. කවියක් ලිවීමට වැඩිය සමාජය තුළ නැති වූ කවිය සොයාගැනීමට දැරූ උත්සාහයක් හැටියට මේ කවි පොත හඳුන්වාදෙන්න පුළුවන්. කවීන් නිර්මාණය කරනවාට වඩා සමාජය තුළ කවිය සොයා යෑම වැදගත්. සමාජය තුළ කොතැනද කවිය ඉතුරු වෙලා තියෙන්නෙ කියලා හොයාගෙන යන්න අද අපට සිදු වෙලා තියෙනවා.

මේ වන විට ඔබේ කවියේ කිසියම් මුහුකුරා යෑමක් සිදු වී ඇතැයි ඔබ සිතනවාද?

මම දීර්ඝ කාලයක් තිස්සේ කවි රචනා කළ නිසා මේ කවිවලට එනකොට කිසියම් මුහුකුරා යෑමක් තියෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම ඒක එහෙමද කියන කාරණය තීරණය කළ යුත්තේ පාඨකයායි. හැම වෙලාවෙම කවියේ අභියෝගය වෙන්නේ කාව්‍යමය භාෂාවකින් සමකාලීන අත්දැකීම් ග්‍රහණය කරගන්නේ කොහොමද කියන එකයි. කවිය සම්බන්ධයෙන් මේ සමකාලීන අත්දැකීම් ග්‍රහණය කරගැනීමේදී හැම වෙලාවෙම අත්දැකීමට වඩා බස පැරණියි. අත්දැකීම අලුත්, බස යම් තරමකට පැරණියි. අත්දැකීම සහ බස අතර තියෙන මේ කාල පරතරය භාෂාවෙන්ම ජයගැනීමයි කවියෙකුගේ අභියෝගය වෙන්නේ. මුහුකුරා යෑමක් ගැන කතා කරද්දිත් අපිට දෙපැත්තකින් කතා කරන්න පුළුවන්. එක පැත්තකින් කවි බස කොතෙක් දුරට සමකාලීන අත්දැකීමට අදාළ කරගත්තාද කියන එකත්, අනික් පැත්තෙන් සමකාලීන අත්දැකීම් කොයි තරම් දුරට කවිය තුළ තියෙනවාද කියන එකත් වැදගත්. ඔය දෙකෙන්ම කවියක මුහුකුරා යෑම සිද්ධ වෙනවා. කවිය හුදෙක් භාෂාව නිසාම පමණක් මුහුකුරා යන්නත් බෑ, හුදෙක් අත්දැකීම නිසා මුහුකුරා යන්නත් බෑ. මුහුකුරා යෑමක් සිද්ධ වෙන්නෙ මේ දෙක අතර තියෙන අපෝහක සම්බන්ධයෙන්.

මේ වන විට කවිය පිළිබඳව සමාජය තුළ වර්ධනය වෙමින් පවතින ප්‍රබෝධය ඔබ දකින්නේ කුමන ආකාරයටද?

කවියට අලුත් පිරිසක් ඇවිල්ලා තියෙනවා. අලුත් පාඨක පිරිසක් වගේම කවීන් පිරිසකුත් ඒ අතර සිටිනවා. ඒක ඉතාම හොඳ ලක්ෂණයක්. කවියට කාව්‍ය ආකෘතියක් අවශ්‍ය නැතැයි කියැවෙන ආකාරයේ අදහසක් මේ බොහෝ අය අතර ඇති වෙලා තියෙන බවකුත් පෙනෙනවා. කාව්‍ය ආකෘතියක් ගොඩනඟාගැනීම කවියේ අන්තර්ගතයට බාධාවක් කියලා ඇතැම් අය සිතනවා. ආකෘතිය කියන්නේ කවියට එතරම් වැදගත් නොවන හුදු පාර්ශ්වයීය කාරණයක් පමණයි කියලා ඔවුන් විශ්වාස කරන බවක් පෙනෙන්නට තියෙනවා. ඔවුන් දරන්නේ “ආකෘතිය ඕන නම් තිබුණත් කමක් නැහැ, නැතත් කමක් නැහැ” වගේ අදහසක්. ආකෘතිය අන්තර්ගතයට දෙවැනියි කියන එක ජනතාවාදයෙන් තහවුරු වෙච්ච වැරදි මතයක්. ආකෘතියකින් තොරව කවියක් නැහැ. විශේෂයෙන්ම කලාව ගත්තාම අන්තර්ගතයයි ආකෘතියයි එකිනෙකෙන් වෙන් කරන්න බැහැ. එතකොට කිසියම් ආකෘතිගත කවියක් එහි අන්තර්ගතයට බාධාවක් කියලා කවුරු හරි හිතනවා නම් ඒක වැරදියි. දැන් කෙරෙන විචාරයේදී පවා ආකෘතියක් උපකල්පනය කෙරෙනවා. ආකෘතියකින් තොරව අන්තර්ගතයකට පවතින්න පුළුවන් කියන ආකාරයේ විචාරයක් තමයි අද තියෙන්නෙ. මේක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. හුඟක් වෙලාවට අද කාව්‍ය විචාර මේ වළට වැටිලා තියෙනවා. බොහෝ අය මුහුණුපොත වැනි මාධ්‍ය ඔස්සේ තම තමන්ට කැමති විදියට එක එක දේවල් කවි හැටියට ප්‍රකාශයට පත් කරනවා. එතැනත් ආකෘතියක් හැදෙනවා. ඒ ආකෘතිය වෙන්නේ ඩිජිටල් තිරයයි. ඒ කවි ලියන්නේ ඩිජිටල් තිරයට ගැළපෙන්නයි. එතකොට කවියට ඉතුරු වෙන්නේ ඩිජිටල් තිර ආකෘතිය පමණයි. ඒක උසස් කවියක් බිහි වෙන්න ප්‍රබල බාධාවක්. ඒක නිසා විශාල ප්‍රතිභාපූර්ණ තරුණ පිරිසක් මේ විචාරය නිසා නාස්ති වෙනවා. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ “ගද්‍ය නොවන සියල්ල පද්‍ය වේ” කියන තැනටයි.

එහෙත් ෆේස්බුක් වැනි සමාජජාල මාධ්‍ය කවිය ඇතුළු සාහිත්‍යාංග වැඩි පාඨක පිරිසක් අතරට ගෙන යනවා?

අප ජීවත් වන පසු ධනවාදී යුගයේ ලක්ෂණ වගයක් තියෙනවා. ඒ අතරින් එකක් තමයි සියල්ල පාරිභෝගිකවාදී වීම. හැමදෙයම පාරිභෝගිකවාදීයි. හැමදෙයක්ම පාරිභෝජන භාණ්ඩ වෙලා. අනිත් එක මෙය මාධ්‍ය විසින් හැමදෙයම හැසිරවිය හැකි සමාජයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම මේ සමාජය කාර්යසාධනය උඩ දුවන (Performance-driven) සමාජයක් බවට පත් වෙලා. නවකතාව ඇත්ත වශයෙන්ම බිහි වෙන්නේ පසුධනවාදය තුළ නෙවෙයි, මුල්ධනවාදය තුළයි. මුල්ධනවාදය විසින් බිහි කළ ලක්ෂණ සියල්ල පසුධනවාදය තුළ අත්හැරිය යුතු නැහැ. මොකද මෙය පසුධනවාදී ශානරයක් නොවන නිසා. නමුත් පසුධනවාදය තුළත් අර්ථාන්විත යමක් සිදු විය යුතුයි. ඒ නිසා පසුධනවාදී සංස්කෘතියත් සමඟ ලේඛකයා ගැටුමකට යා යුතු වෙනවා. කාලයකට ඉහත සාහිත්‍ය විචාරයට තිබුණු තැන, විශේෂයෙන් පුවත්පත් කලාව තුළ පැවැති විශාල තැන සහ අපේ පුවත්පත් විසින් නවකතාව වෙනුවෙන් ලබා දුන් දායකත්වය අද වන විට අඩු වෙලා තියෙනවා. එදා නවකතා විචාරය සඳහා පුවත්පත් මාධ්‍යයෙන් ලබාදුන් තැන වෙනුවට අද වන විට ෆේස්බුක් විචාරයක් ඇවිල්ලා තියෙනවා. මේ ෆේස්බුක් විචාරයෙදී වෙන්නේ කෙටි වදන්වලින් ප්‍රතිචාර දැක්වීමක්. ‘ලයික්-ෂෙයාර්’ මොඩල් එකට ඒ සියලු විචාරයන් හෑල්ලු වෙනවා. ‘ලයික් ෂෙයාර්’ මොඩල් එකේදි පාඨකයා ප්‍රතිචාර දක්වන්නේ සමාජජාලවලට ග්‍රහණය කරගන්න පුළුවන් ප්‍රමාණයටයි. එය ක්ෂණිකයි. එය සිද්ධ වෙන්නේ සමාජ ජාලයට ගන්න පුළුවන් ප්‍රමාණයට පමණයි. එතකොට ඒ ප්‍රමාණයට නවකතාවත් කොටු වෙනවා. ලැබෙන ප්‍රතිචාර හුඟක් වෙලාවට ‘ෆර්ස්ට් පර්සන්’ හෙවත් උත්තම පුරුෂ අදහස්. ‘මම, මට තියෙන හැඟීම, මම මේකට කැමතියි, ඔයා කැමතිද නැද්ද?’ වගේ අදහස් පළ වන මට්ටමට සාහිත්‍යය වැටෙනවා. මම හිතන්නේ ඒ අතින් බලද්දි මෙතරම් අර්බුදකාරී ප්‍රතිචාරයක් මුළු සාහිත්‍ය ඉතිහාසය තුළම තිබිලා නැහැ. හැබැයි මේ ඔස්සේ ෆේස්බුක් හරහා සාහිත්‍යය ජනප්‍රිය කරන්න පුළුවන් වෙනවා. කිසියම් කෛරාටික පුද්ගලයෙකුට මේ සමාජජාල පාවිච්චි කරමින් සාහිත්‍ය කෘතියකට ‘මාර්කට් එකක්’ හෙවත් වෙළෙඳපොළක් ගොඩනඟා ගන්නත් පුළුවන්. නමුත් මේ උත්තම පුරුෂ ප්‍රතිචාර හෙවත් සමාජ ජාල ‘ලයික් ෂෙයාර්’ ප්‍රතිචාර ඉතාම හානිකරයි. ඒ තුළ තියෙන්නේ හිස්ටීරියානු ලක්ෂණ. ඒ නිසා විචාරය අවශ්‍ය මට්ටමින් සිදු වන්නේ නැහැ. මේ සමාජජාල ඔස්සේ බරපතල විචාරයක් පළ වුණොත් සමාජජාලකරුවෝ බොහෝ විට එයට විරෝධය ප්‍රකාශ කරනවා. “මේක අපට තේරෙන්නේ නැහැ” කියනවා. “ඇයි මෙහෙම ලියන්නේ?”, “අපිට පුළුවන් ප්‍රමාණයට තේරෙන්න මේක ලියන්න බැරිද?” කියලා අහනවා. සමස්ත සාහිත්‍යය ඉතිහාසයට, සෞන්දර්යවේදී ඉතිහාසයට බොළඳ ලෙස අභියෝග කරන මෙවැනි මට්ටමකයි මේ සමාජජාල සාහිත්‍යය ප්‍රමෝදය පවතින්නේ.

‘මෝනාලීසාට රැවුලක්’ නමින් මෑතකදී පළ වූ ඔබේ එක් කෙටිකතාවකත් මේ ෆේස්බුක් සාහිත්‍යය විවේචනයක් ගැබ් වෙනවා?

ඔව්, මගේ අලුත් කෙටිකතාවල තියෙන්නේ සමකාලීන තේමාවන්. නවකතාවයි, කෙටිකතාවයි දෙකම සමාජයේ කැඩපත්. ඒ ශානරයන් තුළ තියෙන්නේ සමාජ නිරූපණයන්. සමාජයේ හැඩරුව වෙනස් වන ආකාරය ඒ නිර්මාණවලට හසු වෙනවා. දිගටම ලියන ලේඛකයෙකුට පුළුවන් මේ සාමාජයීය වෙනස්වීම තම කෘති මාලාවක් හරහා ග්‍රහණය කරගන්න. සාහිත්‍ය ලෝකය සහ මේ සමාජජාල අන්තර්ඡේදනය වගේම සමාජජාල ඔස්සේ සාහිත්‍යය පිළිබඳ බලපෑමක් කිරීමට පුළුවන් වීම වැනි කාරණා ගැන කෙටිකතාවක් ඔස්සේ සාකච්ඡා කිරීමට මා උත්සාහ කළේ අද සමාජයේ හැඩරුව වෙනස් කිරීම සඳහා මේ නව මාධ්‍ය මෙවලම ඔස්සේ කෙරෙන බලපෑම සුළුපටු නොවන නිසයි. මීට කලින් සාහිත්‍යයට ප්‍රතිචාර දක්වන්න පුළුවන් ක්‍රම කිහිපයක් තිබුණා. එකක් තමයි තමා හුදෙකලාව කියවීම. දෙවැන්න තව පිරිසක් සමඟ සාකච්ඡා කිරීම. තුන්වැන්න තමයි විචාරයක යෙදීම, නැත්නම් විචාරකයෙක් විසින් ලියන ලද දේ කියවීම. මේ සමාජජාල, විශේෂයෙන් කෙටිකතාව හරහා කියැවෙන සමකාලීන යථාර්ථය මේ කිසිවක් නැතිව සාහිත්‍යය ස්පර්ශ කරන්න යනවා. ඒ ස්පර්ශ කිරීම අලුත් සමාජ ලක්ෂණයක්. ඒ ඔස්සේ විශාල පිරිසක් අද සාහිත්‍යයට ආකර්ෂණය වෙලා තියෙනවා. මේ කෙටිකතාවෙන් සාකච්ඡා වෙන්නේ එහි ඇති බරපතළකමයි. නව මාධ්‍ය ඔස්සේ මෙවැනි තත්ත්වයන් මතු වෙන්නේ පසුධනවාදී සමාජ ලක්ෂණයක් හැටියටයි. මෙහි කලාත්මක ලක්ෂණත් තියෙනවා. මේ තත්ත්වය සමඟ නිර්මාණය වන සෞන්දර්ය ප්‍රවාහය වෙනස්. කාලයක් තිස්සේ සෞන්දර්යය ප්‍රවර්ග වුණේ කලාත්මකභාවය සහ උත්කෘෂ්ටභාවය ඔස්සේයි. රසවාදයේ සිට බටහිර සාහිත්‍ය විචාරය පුරා සෞන්දර්ය ප්‍රවර්ග හැටියට සැලකුණේ මේ කලාත්මක ගුණය සහ උත්කෘෂ්ටභාවයයි. එහෙත් අද වන විට ඒ ප්‍රවර්ග වෙනස් වෙලා. ඒ ප්‍රවර්ග වෙනුවට අද වන විට අලුත් සෞන්දර්ය ප්‍රවර්ග ඇති වෙමින් තිබෙනවා. ඇතැම් රටවල විචාරක පිරිස් විසින් හඳුනාගනු ලැබ ඇති එවැනි ප්‍රවර්ග තුනකට සමාන ප්‍රවර්ග ලෙස ‘සමයං’, ‘ෂෝක්’ සහ ‘පංකාදුයි’ වැනි වචන අද අපේ අලුත් පරපුර අතර භාවිතයට පැමිණ තිබෙනවා.. මේවා තමයි හුඟක් වෙලාවට ෆේස්බුක් ප්‍රතිචාරවලදි මතු වෙන්නේ. “හරි ෂෝක්”, “හරි පංකාදුයි”, “මේක අපි ෂෙයාර් කරමු” වගේ අදහස් වශයෙන් ඒවා වෙනස් වෙලා තියෙනවා මේ අයුරින් සංස්කෘතික සෞන්දර්ය ප්‍රවර්ග වෙනස් වන තරමට සාහිත්‍යය වුණත් පාරිභෝගිකකරණය වෙමින් තියෙන්නේ.

ඔබේ මෑත කෙටිකතා සඳහා ලැබෙන ප්‍රතිචාර ගැන ඔබ තෘප්තිමත්ද?

බොහෝ පිරිසක් ඒ කෙටිකතා කියවන බව පෙනෙනවා. මෑත කාලයේදී ඒ කියවීම තරමක් පුළුල් මට්ටමකින් සිදු වූ බවකුත් මට දැනෙනවා. මේ සියලුම කෙටිකතාවලින් නිරූපණය වෙන්නේ සමකාලීන ජීවිතයේ විවිධ පැතිකඩවල්. කෙටිකතාව කියන්නේ සමකාලීන ජීවිතය ස්පර්ශ කරන්න පුළුවන් බොහොම ප්‍රබලම මාධ්‍යයක්. ඒකෙ සමකාලීන ජීවිතය පමණක් නෙවෙයි, ජීවිතයේ රිද්මය, ශෛලිය, නව පෙනුම ඇතුළු හැමදෙයක්ම තියෙනවා. නවකතාවට සහ කවියට වැඩිය එවැනි දේවල් ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නෙ කෙටිකතාවටයි.

මෙයට පෙර පළ වූ ඔබේ ‘බැග්ඩෑඩ්’ කෙටිකතා සංග්‍රහයේ පෙරවදනෙහි සඳහන් කර ඇති ආකාරයට ජෝර්ජ් ලූකාෂ්ට අනුව ‘ඉතාමත් පාරිශුද්ධ කලා ආකෘතිය කෙටිකතාවයි’ යන අදහස ඔබ පිළිගන්නේ කුමන පදනමක් මතද?

මේ වන විට කෙටිකතාව ඉහළ වර්ධනයක් හිමි කරගෙන තියෙනවා. අපේ සිංහල කෙටිකතාව ගත්තත්, මාර්ටින් වික්‍රමසිංහගේ සිට ගුණදාස අමරසේකර දක්වාම කෙටිකතාව සම්බන්ධයෙන් ඇති වී තියෙන මේ වර්ධනය දැකගන්න පුළුවන්. මේ වන විට ජාත්‍යන්තර වශයෙනුත් කෙටිකතාව පිළිබඳ අවධානය ඉතා ඉහළ මට්ටමක පවතිනවා. විශේෂයෙන්ම කෙටිකතා පමණක්ම ලියන විදේශීය ලේඛකයෝ ඉන්නවා. ඇන්ටන් චෙකොව්ගෙන් පසුව ලොව පුරාම කෙටිකතාවේ විශාල වර්ධනයක් ලැබුවා. ඒ වර්ධනයත් එක්කම කෙටිකතාව වඩාත් පාරිශුද්ධ කලාත්මක ආකාරය බවට පත් වෙනවා. කෙටිකතාව බොහෝ විට සමාන වෙන්නේ නූතන කලාවටයි. නූතන කලාව හෙවත් ‘මොඩර්න් ආර්ට්’ කෙළින්ම සමකාලීනත්වය ස්පර්ශ කරන ශානරයක්. ඒ වගේම එහි කිසියම් ඉක්මන් බවකුත් තියෙනවා. කලාකරුවා මොඩර්න් ආර්ට් එකකට ශාස්ත්‍රාලයීය කලා නිර්මාණයකට වගේ විශාල කාලයක් වැය කරන්නේ නැහැ. එහි කිසියම් ඉක්මන් බවක් තියෙනවා. සමකාලීනත්වය, ඉක්මන් බව සහ ලඝු බව වගේ දේවල් එක්ක බලද්දි එය ඉතාමත් පාරිශුද්ධ කලා ආකෘතිය ලෙස සලකන්න පුළුවන්.

එහෙත් කෙටිකතාවට සාපේක්ෂව නවකතාව පිළිගැනීමක් ලබනවා?

දැන් දැන් බොහෝ වෙලාවට එක ශානරයක් තවත් ශානරයකට එරෙහිව යොදාගැනෙන බවක් දකින්න ලැබෙනවා. ඒක හරි නරක තත්ත්වයක්. නවකතාව විශාල පිරිසක් කියවන නිසාත් නවකතාවට වැඩි අලෙවියක් තියෙන නිසාත‍ෙ එයින් ලේඛකයින්ට වගේම පාඨකයින්ටත් කිසියම් ප්‍රසිද්ධියක් ලැබෙන නිසාත් වඩා ප්‍රබල සාහිත්‍යාංගය හැටියට එය සැලකෙනවා. ඒ විතරක් නෙවෙයි. මම දකිනවා අපේ නවකතාවට හුඟක් වෙලාවට මැදපෙරදිග වගේ රටවල් ආශ්‍රිත සංක්‍රමණික පිරිස් ඔස්සේත් ගොඩනැඟෙන වෙළෙඳ පොළක් තියෙනවා. අපේ මේ සිංහල සංක්‍රමණික වෙළෙඳ පොළ එච්චර දියුණු වෙළෙඳ පොළක් නෙවෙයි. මැදපෙරදිග හෝ ඉතාලිය හෝ ආශ්‍රිත මේ සංක්‍රමණික වෙළෙඳපොළට යෑම සඳහා ඇතැම් අය නවකතාව වාහකයක් කරගන්නවා. එතැනදි නවකතාව කිසියම් දූෂ්‍ය තත්ත්වයකට පත් වීමේ ඉඩකඩකුත් තියෙනවා. එහෙත් කෙටිකතාව එවැනි තත්ත්වයකට පත් වෙන්නේ නැහැ. එතැනදිත් නැවත තහවුරු වෙන්නේ කෙටිකතාව වඩාත් පාරිශුද්ධ කලාවක්ය කියන අදහසයි. නවකතාව තරම් කෙටිකතාව අපේ රට තුළ දූෂ්‍ය වෙලා නැහැ. විශේෂයෙන්ම මෑත අවුරුදු හතර පහ තුළ සිංහල නවකතාව බරපතළ විදියට දූෂ්‍ය වුණා. සිංහල නවකතාව නරක් වෙලා, කුණු වෙලා ගියා. ඒ ඇබැද්දිය කෙටිකතාවට තවම සිදු වුණේ නැහැ. ඒ අතින් ගත්තත් කෙටිකතාව පාරිශුද්ධ කලා ආකෘතියක් හැටියට සලකන්න පුළුවන්.

අද දවසේ සිංහල නවකතාව ගැන ඔබේ අදහස කුමක්ද?

නවකතාව තවදුරටත් වලංගු සාහිත්‍ය නිරූපණ මාධ්‍යයක් හැටියට පවතිනවා. ඒ කියන්නේ මේ අලුත් සහශ්‍රයටත් වලංගු සාහිත්‍ය උපායක්, උපක්‍රමයක්, ශානරයක් හැටියට නවකතාව පිළිගැනෙනවා. තවදුරටත් අපේ සමාජය විනිවිද දැකීම සඳහා අපි නවකතාව පාවිච්චි කරනවා. ඒක ඉතාම හොඳ තත්ත්වයක්. නවකතා ශානරය මඟින් එවැන්නක් කරන්න පුළුවන් කියන විශ්වාසය තවදුරටත් අපට තියෙනවා. ඒක මම හිතන්නේ අපි නවකතාව නිසාම ලබපු ජයග්‍රහණයක්. නවකතාවට තවදුරටත් සමාජයක් පවතිනවා සහ සමාජයට නවකතාවක් අවශ්‍යයි වැනි අදහසක් අප තුළ තියෙනවා. ඒ කියන්නේ නවකතාවට සමාජයක් ඕන වගේම සමාජයටත් නවකතාවක් ඕන. ඒ තහවුරුව තවදුරටත් පවතින එක අපි තවදුරටත් සංස්කෘතිකව මිය නොගිය බවට සාධකයක්.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා

ජනප්‍රිය ලිපි