කතාන්දරය!

 ඡායාරූපය:

කතාන්දරය!

ඇරැව්වල නන්දිමිත්‍ර මහතා තමා හැඳින්වීමට ප්‍රිය කළ ආකාරයක් තිබිණි. ඒ, තමා කතන්දරකාරයෙකු බවය. ඔහු එසේ හැඳින්වීමට ප්‍රිය කළ හේතුවක්ද තිබිණි. ඔහුගේ කතා නිකන් කතාන්දර මිස අන් කිසිවක් නොවේ යැයි විචාරකයන් ඔහුට චෝදනා නඟන්නට විය. මේ චෝදනාවට ඔහුට නිශ්චිත පිළිතුරක් නොමැති විය. අනෙක් අතට ඔහුට ඒ කියන කතාන්දරවලින් මිදීමටද නොහැකි විය. එහෙත් එහිදී ඔහු තමා කතාන්දරකාරයකු වීම ගැන ආඩම්බර වන බවද කීවේය.

සැබැවින්ම ප්‍රබන්ධය කතාන්දරයද? මේ පිළිබඳව ලිවීමට අරැව්වල නන්දිමිත්‍ර මහතාගෙන් ආරම්භය ගත්තේ ඔහු කතන්දරකාරයෙකැයි හඳුන්වන නිසා සේම පසුගිය මාර්තු 3 වෙනිදාට ඔහු අභාවප්‍රාප්ත වී වසරක්ද පිරුණු නිසාය.

මා දකින ලෙස කතාන්දරයත්, ප්‍රබන්ධ කතාවත් අතර මූලික වෙනසක් තිබේ. ප්‍රබන්ධයේ කතාව ගලන්නේ කතාව තුළින්ය. එහි චරිත හැසිරෙන්නේද චරිත විසින්ම වන අතර කතාකරුවාට චරිත මෙහෙයවීමේ, සිද්ධි ‐ අවස්ථා ගොඩනැඟීමේ කිසිදු බලයක් නැත. කතාන්දරයේ මෙහි අනෙක් පසය. එහි කතාව ගලන්නේ, චරිත මෙහෙයවෙන්නේ සහ අවස්ථා ‐ සිද්ධි ගොඩනැඟෙන්නේ කතාකරුවාට වුවමනා ලෙසය. කතාකරුවා ඊට මැදිහත් වීමෙන් හානි දෙකක් සිදු වේ. එකක් කතාව පාඨකයාට විශ්වසනීය නොමැති වීමය. දෙවැන්න කතාව පාඨකයාට බාහිර යථාර්ථය අවලෝකනය නොකිරීමය. විශාලම හානිය මේ දෙවන කරුණයි. සැබැවින්ම ප්‍රබන්ධය සෙසු ගද්‍යයෙන් වෙනස් වන්නේ ප්‍රබන්ධයට බාහිර යථාව අවලෝකනය කිරීමට හැකි වීම තුළය. යථාව අවලෝකනයට, ප්‍රස්තුතය දැකීමට නව ඇතුල් නුවණක් (Insight) ලබාදීමට කතාන්දරයට නොහැකි නම් ඒ ගද්‍යය පුවත්පත් වාර්තාවෙන් වෙනස් වන්නේ නැත. එවිට එය ප්‍රබන්ධයකැයි හැඳින්වී‍ෙම් තේරුමක්ද නැත.

එහෙත් ඇරැව්වල නන්දිමිත්‍ර මහතාගේ නවකතා, කෙටිකතා ආදියේ චරිත හැසිරෙන්නේ, අවස්ථා ‐ සිද්ධි ගොඩනැ‍ඟෙන්නේ කතාකරුවාට වුවමනා ලෙසද? මට හැඟෙන ලෙස නම් නැත. ඔහුගේ ‘මිහිසරණ’ වැනි නවකතාවක් ගත් විට එය පාඨකයාට අතිශයින් විශ්වසනීය වන අතර පාඨකයා ඉන් වෙනස්ම කල්පනා ලෝකයකට යයි. එපමණක් නොව එතුළින් යථාර්ථය දැකීමට නව කවුළු දොරක්ද විවර වේ. ඔහුගේ කෙටිකතාද එලෙසය. එසේ තිබියදී ඔහු ඇතැම් විචාරකයන් කතන්දරකාරයකැයි හැඳින්වූයේ ඇයි? ඊට හේතුවක් තිබේ. ඔහුගේ කතා පාඨකයාට පිළිගත හැකි යථාර්ථයක් විනා ඊට වැඩි යථාර්ථයක් ‐ මායා යථාර්ථයක් ‐ ඉදිරිපත් නොකරයි. එහෙත් ප්‍රශ්නය අප හැම විටම ප්‍රබන්ධයකින් වැඩි යථාර්ථයක් බලාපොරොත්තු විය යුතුද යන්නය. කතාවක යථාර්ථය වැඩි යථාර්ථයක් වෙත යා යුත්තේ කතාව තුළින්ම විනා ඉන් පරිබාහිරව නොවේ. නන්දිමිත්‍ර මහතාගේ කතා එවැනි යථාර්ථයක් වෙත නොයෑමෙන් ඒ කතා පහළට වැටී නැත. ඇත්ත වශයෙන් ඔහුගේ කතා මිනිය හැකි වෙනත් ආකාරයක් තිබේ. ඔහුගේ කතාවල එන මානුෂික කතාන්දරය අතිප්‍රබලය. ‘මිහිසරණ’ ඊට හොඳම නිදසුනයි. ඒ මානුෂීය කතාව විසින් ඔහුට යථාර්ථවාදයේ සියලු සීමා අතික්‍රමණය කළ හැකිය. තවත් ලෙසකින් කිවහොත් ඔහුගෙන් ගොඩනැඟෙන කතාවේ මානුෂික පැතිකඩ විසින් එහි සරල පරිධිය සෙලවීමකට ලක් වේ. ඒ තුළ පාඨකයාද ඉන් කම්පනයකට පත් වේ.

අන්තරාවර්තී මනෝවෘත්තිය ප්‍රබන්ධකරුවකු වීම සඳහා ඇවැසි මූලිකම සුදුසුකමයි. එම අන්තරාවර්තීභාවය ප්‍රබන්ධකරුවකුගෙන් විනා කතන්දරකරුවකුගෙන් විද්‍යමාන වන්නේ නැත. ඇත්ත වශයෙන් ඇරැව්වල නන්දිමිත්‍ර මහතා හුදු කතන්දරකරුවකුගෙන් වෙනස් වන්නේ මේ තුළය. ඔහු අන්තරාවර්තී කතන්දරකාරයෙකි. එවැනි අයෙකු ලියන්නේ පණිවුඩ දීමට නොවේ. ඔහු ලියන්නේ ඔහුම වෙනුවෙනි. ඔහුගේ භාව විශෝධනය වෙනුවෙනි. ඔහුට එහිදී සමාජමය වශයෙන් දිනාගැනීමට කිසිවක් නැති අතර එනිසාම ඔහු ලියද්දී ‘අයාලේ යෑම’ නිසගව සිදු වන්නකි. ඔහුගේ අයාලේ යෑමෙන් - පූර්වයෙන් නිශ්චය නොකළ අමුතු, ගුප්ත, අද්භූත තැන්වලට යෑමෙන් - සිදු වන්නේ ඔහුද නොදැනී ඔහු ලියන්නට වූ යථාර්ථ ලෝකය - බාහිර ලෝකය - අලුත් ඇසකින් දැකීමට නව නැණසක් පෑදීමය. කතන්දරකරුවාගෙන් මේ දේ සිදු නොවන්නේ ඔහු කතන්දරය කියන්නේ කිසියම් අරමුණක් ඇතිව සහ ඒ අරමුණට යෑමට කතාවේ මුල, මැද, අග පූර්වයෙන් නිශ්චය කරගෙන නිසාය.

මෙසේ බැලූ විට ප්‍රබන්ධ කතාවේත්, කතාන්දරයේත් වෙනසක් තිබේ. එහෙත් ප්‍රබන්ධයක එවැනි වෙනසක් ඇති වන්නේ අත්දැකීමේ නොහොත් කතාවේ ප්‍රශ්නයක් නිසා නොව කතාකරුවාගේ ප්‍රශ්නයක් නිසාය. කතාකරුවා සරල වින්දනයට හුරු, පෙර කී සේ අන්තරාවර්තී නොවන බාහිරාවර්තී චරිතයක් නම් ඔහුගෙන් කතාන්දරයක් මිස ප්‍රබන්ධ කතාවක් ලිවීමේ ඉඩක් නැත. එසේ බැලූ විට විමසිය යුත්තේ ප්‍රබන්ධ කතාවේ හා කතාන්දරයේ වෙනස නොවේ, සැබෑ ප්‍රබන්ධකරුවාගේ හා ව්‍යාජ ප්‍රබන්ධකරුවාගේ වෙනසය.

කෙසේ වෙතත් මේ දේ සිංහල සාහිත්‍යයේ ප්‍රශ්න කිරීමට ලක් වූයේ ‘90 දශකයේ අගභාගයේ බව කිව යුතුය. හේතුව ගේබ්‍රියෙල් ගාර්සියා මාර්කේස්, මාරියෝ වර්ගාස් ලෝසා, ඉසබෙල් අයියන්දේ, ජෝර්ජ් ඕවෙල්, ෆ්‍රාන්ස් කෆ්කා ආදීන්ගේ විශ්ව සම්භාව්‍ය සාහිත්‍ය කෘති සිංහලට ඒමට වූයේ මෙසමයේ වීමය. තවත් ලෙසකින් කිවහොත් සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයට මායායථාර්ථවාදය, අධියථාර්ථවාදය, ෆැන්ටසිය නව සාහිත්‍ය රීතීන් ලෙස හඳුන්වා දෙනු ලැබුණේ එසමයේ වීමය. කෙසේ හෝ මෙහි ප්‍රතිඵලය ප්‍රබන්ධයක් නම් එය අනිවාර්යෙන් කතාන්දරය (Story) ඉක්මවිය යුතු යැයි වූ අදහස ව්‍යාප්ත වීමය. එහෙත් මෙහිදී අප වරදවා ගත් තැනක්ද විය. ඒ, ප්‍රබන්ධයේ පදනම කතාව (Story) බව, මාර්කේස්ගේ ප්‍රබන්ධය වුව ගොඩනැඟුණේ ඒ මත බව අප අමතක කිරීමය. මේ අනුව එක් පසෙකින් අප කතන්දරකරුවන් ප්‍රතික්ෂේප කරද්දී අනෙක් පසින් කතාන්දරවලට එරෙහිව මායායථාර්ථවාදී හෝ ෆැන්ටසි කතා ලෙස අපේ ගොඩනැඟුණේ සාහිත්‍යයේ පදනම වූ පෙර කී කතාව නොමැති ව්‍යාජ කතා දහරාවක්ය.

මා සිතන ලෙස කතාව (Story) ප්‍රබන්ධයක් වුව, කතාන්දරයක් වුව එහි කල්පනා ලෝකයක් තිබේ. එනිසා මායා හෝ ෆැන්ටසි ව්‍යජයෙන් කතාවක් නැති ප්‍රබන්ධකරණය සැබෑ ප්‍රබන්ධයක් ලෙස සැලකිය නොහැකිය. ඇත්ත වශයෙන් අප කතාන්දරය බැහැර ලීම නිසා අද සිදු වී ඇත්තේ ප්‍රතිභා හීන පිරිස්ද නවකතාකරුවන්, කෙටිකතාකරුවන් වීමය. ප්‍රතිභා හීනයනට පහසුවෙන් ආකෘතික හරඹ කළ හැකිය. එහෙත් අඩු තරමින් කතාන්දරයක් ලිවිය නොහැකිය. මට හැඟෙන්නේ සරච්චන්ද්‍රයන්ගේ ‘කල්පනා ලෝකය’ කෘතිය අද අවශ්‍යයෙන්ම කතිකාවට ගත යුතු පොතකි. එහිදී සාහිත්‍යයේ කල්පනා ලෝකයේ වැදගත්කම මැනවින් පෙන්වා දෙන බැවිනි.

ප්‍රබන්ධය අපට වුවමනා වන්නේ යථාර්ථයෙන් බැහැර වීමේ උපකරණයක් ලෙසය. කතාන්දරයත් එසේය. එහෙත් කතාන්දරයෙන් නොකෙරෙන දෙයක්ද ප්‍රබන්ධයෙන් වේ. එය පෙර කී පරිදි කල්පනා ලෝක ආස්වාදය දෙන අතර යථාවේ සංකීර්ණ තැන්ද දැකීමට සලස්වයි. එහෙත් ඊනියා මායා කතා හා මැජික් කතා මේ කී කල්පනා ලෝක ආස්වාදය හෝ දෙන්නේ නැත. සැබැවින්ම කෙනෙකුට මායායථාර්ථවාදී හෝ ෆැන්ටසි කතාකාරයකු විය හැක්කේ ඔහු පළමුව හොඳ කතාන්දරකරුවකු නම්ය. කතාන්දරය පදනමය.

පසුගියදා මට කියවීමට ලැබුණු කෙටිකතා වෙසෙසක් නම් දෙබස් කෙටිකතාය. එය ආකෘතික කතාවකි. එහි මා දුටු මූලික ගැටලුව එය කල්පනා ලෝකයක් ඉදිරිපත් නොකිරීමය. එහි සමාජ පරිසරය ආශ්‍රිත දෙබස් මතින් කල්පනා ලෝකය අවහිර වී ඇති නිසාය. නිසැකවම දෙබස් මතින් කතාවක් ගොඩනැඟිය යුත්තේ එය කතාවෙන් ඉල්ලන්නේ නම්ය. නැතුව සපත්තුවේ තරමට කකුල කපා ඵලක් නැත. දෙබස් කතාව අලුත් දෙයක්ද නොවේ. එදාද එය ලත් තැනම ලොප් වූයේ එය කල්පනා ලෝකය - කතාන්දරය - අවහිර කරන නිසාය.

අත්හදාබැලීම් සාහිත්‍යයට අවශ්‍යය. එහෙත් අත්හදාබැලීම ඉතිරි වී සාහිත්‍යය මියේ නම් එය ඵලදායක දෙයක් නොවේ. සාහිත්‍යයේ පදනම කතාව නොහොත් කතාන්දරය නම් අප එහිලා කවර හෝ ඉදිකිරීමක් කළ යුත්තේ කතාන්දරය මත සිටගෙනය.

මාතෘකා