මගේ ලේවල තීන්ත තියෙනවා : බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත ඉන්දියානු ලේඛක රස්කින් බොන්ඩ්

 ඡායාරූපය:

මගේ ලේවල තීන්ත තියෙනවා : බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත ඉන්දියානු ලේඛක රස්කින් බොන්ඩ්

ඉන්දියාවේ ලේඛකයකුට, පුරවැසියකුට ලැබිය හැකි ඉහළම සම්මානවලින් පිදුම් ලැබූ බ්‍රිතාන්‍ය උරුමයකින් පැවත එන ලේඛකයා රස්කින් බොන්ඩ්ය. නොබෝදා 85 වැනි වියට එළඹුණු ඔහු තමාගේ ස්වයංචරිතාපදානය එළිදැක්වූයේය. ඒ, Lone Fox Dancing ය. 1934 වසරේ මැයි 19 වෙනිදා යටත් විජිත ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ජාතික පවුලක උපත ලැබූ රස්කින් බොන්ඩ් වයස අවුරුදු හතේදී පියා මියයෑම නිසා හුදකලා වූවෙකි. ඔහුගේ මව නැවත විවාහයක් කරගෙන බ්‍රිතාන්‍යයට ගියද බොන්ඩ් ඉන්දියාව හැරගියේ නැත. ඔහු විවාහ දිවියටද ඇතුළත් නොවීය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඔහු තමාගේ ගෙදරදොර වැඩවලට සහාය වූ තරුණයකු තමා හා නවත්වාගෙන ඔහුගේ පවුලේ සාමාජිකයෙකු බවට පත් විය. මේ වන විට ඔහු ඉන්දියාවේ උතුරු ප්‍රාන්තයේ මුසූරිහි ලෑන්ඩොර් ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ (තරුණයාගේ පවුලද සමඟ) පදිංචි වී සිටී. මූලිකවම ළමා සාහිත්‍ය රචකයකු වූ රස්කින් බොන්ඩ් අර්ධ ස්වයංචරිතාපදාන ලක්ෂණ දරන නවකතාද කිහිපයක් කර ඇත.ඔහුගේ Our Trees Still Grow in Dehra නම් නවකතාව සඳහා 1992 වසරේ ඉන්දියානු සාහිත්‍ය ඇකඩමි සම්මානය හිමි වන අතර 1999 වසරේ ඉන්දියානු පුරවැසියකුට පිරිනැ‍ෙමන ඉහළම සම්මානයක් වූ පද්ම ශ්‍රී සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය. තවද 2014 වසරේ පද්ම භූෂන් සම්මානයෙන්ද ඔහු පුද ලැබීය. මේ, ඔහුගේ සාහිත්‍ය ජීවිතය පිළිබඳව අරුණ ධීර් නම් සාහිත්‍ය රසිකාවියක විසින් ඔහු හා 2018 වසරේ අප්‍රේල් 2 වෙනිදා පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකි. පුවත්පත්, සඟරා සඳහා රස්කින් බොන්ඩ් සමඟ බොහෝ සම්මුඛ සාකච්ඡා පැවැත්වී ඇතත් ඒ අතරින් සාර්ථකම සාකච්ඡාව ලෙස බොන්ඩ් සලකනුයේ මෙයය. ඉදින් එය මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරමු.

 

·මං වගේම තවත් අතිවිශාල පාඨක පිරිසක් ඔවුන්ගේ පාසල් වයයේම ඔබට ආදරය කරනවා. ඔබ ලියන්නේ කිසියම් වයස් කාණ්ඩයක පාඨක පිරිසක් සිතේ තබාගෙනද?

මං පුංචි කාලෙ වැඩිහිටියන්ට ලිව්වා. මම ළමයින්ට ලියන්න පටන්ගත්තෙ මට අවුරුදු 40 දි. එහිදී මම හුඟක් සාර්ථක වුණා.

· ප්‍රසිද්ධිය හා සාර්ථකත්වය කෙරේ පුල පුලා සිටින හුඟක් ලේඛකයන් වගේ නෙවෙයි ඔබ. ඔබට ඒ දේවල් ලැබුණේ ඔබ අලුතින් ලියන කතාව ගැන පමණක් සිත යොමු කරමින් වැඩ කරගෙන යද්දීයි කියල මට හිතෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

හුඟක් පුංචි දවස්වල මම හරියට උත්සාහවන්ත වුණා. අවුරුදු විසි ගණන්වලදි විතර මට ප්‍රසිද්ධිය සහ සාර්ථකත්වය හුඟක් ඕන වෙන්න ඇති. ඒත් වයසින් වැඩි වෙන්න වැඩි වෙන්න ඒවා මට වැදගත්කමින් අඩු වුණා. ඇත්තටම මම, මොන දේ කළත් මං අසාර්ථකයි කියල තමන් ගැන හිතන ජාතියේ කෙනෙක්. මට අවංකවම හිතෙනවා මීට වඩා හුඟක් හොඳ පොත් මට ලියන්න තිබුණා කියල. මගේ ලෝකයේ හැම විටම වෘත්තීය ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර ගැටුමක් තියෙනවා. හුඟක් ප්‍රසිද්ධ ලේඛකයන් ඔවුන්ගේ ලේඛනකරණයට ඉහළම තැනක් දෙනවා. ඒත් මං එහෙම නෑ. මට මං හැඟීම්වලින් බැඳුණු දේවල් සහ මගේ ජීවිතයේ ඉන්න මිනිස්සු වඩා වැදගත්. ඉතින් මා තුළ තියෙන්න පුළුවන් දේවල් මම සාහිත්‍යකරණයේදී යොදවලා නෑ.

ඒත් ඒ සමඟම මම ලේසියෙන් අත්නොහරින ජාතියේ කෙනෙකුත් වෙනවා. මම කොහෙ හරි කියෙව්වා මගේ වගේ බාල වියේ තාත්තා නැති වුණු කෙනෙකුට තමන් ලියන දේවල් එක්ක තෘප්තියක් නැති වෙලා ඊට වඩා මහන්සි වෙලා වැඩ කරන්න ඕන වෙලා තියෙනවා කියල. සමහර විට ඒ, ඔහු තමන්ට නැති වූ දේ ආපසු ලබාගන්න වෙන්න පුළුවන්.

· මා රස්කින් බොන්ඩ් සමඟ සම්මුඛ සාකච්ඡාව පටිගත කළේ නැත. මා කළේ ඔහු කියන දේ පෑනෙන් ලියාගැනීමය. එහෙත් මෙහිදී ඔහු පිළිතුරු දුන්නේ මට ලියාගැනීමට බැරි තරම් වේගයකිනි. මෙවිට මම ඔහුට මා ෂෝට්හෑන්ඩ් (ලඝුලේඛන) දන්නේ නැතැයි කීවෙමි. ඔහු ඊට සිනාසෙමින් තමාගේ පෙර අත්දැකීමක් විස්තර කළේය:

මම මගේ පළමු රැකියාවේ වැඩ හරියට කරගන්න බැරිව ඉන්දැද්දි මං මාව සම්මුඛ සාකච්ඡාවට ලක් කරපු කාර්යාල ප්‍රධානියාව හොඳට ඇන්දුවා. ඔහු මගෙන් ඇහුවා මං ලඝුලේඛන දන්නවාද කියල. මම බොහොම අවධාරණයෙන් කිව්වා ඔව් කියල. වතාවක් මං වැඩ කරගෙන යන අතර ඔහු දැක්කා මම යමක් කුරුටු ගානවා. ඔහු ඒ දිහා හොඳට බැලුවා. බලලා කිව්වා ඔහොම එකක් මං මීට කලින් දැකලා නෑ කියල. මං ඔහුට කිව්වා ඒක අලුත්ම ලඝුලේඛන ක්‍රමයයි කියල. ඔය විධියට වැඩ කරගෙන යද්දි මම මගේම වූ ලඝුලේඛන ක්‍රමයක් සොයා ගත්තා.

ඔහුගේ සුහද කතාවෙන් සැහැල්ලුවට පත් වූ මම ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් ගැන විමසුවෙමි.

මං යන්තම් ඉස්කෝලෙ විභාග ටික විතරයි සමත් වුණේ. මම වැඩ බැරි ළමයෙක් නෙවෙයි. ඒත් මං ළමා කාලෙ හුඟක් හිතුවක්කාරයි. මගේ අම්මාට ඕන කළා මාව හමුදාවට යවන්න. ඒත් මට ඒක ඇල්ලුවේ නෑ. මං හුඟක් මුරණ්ඩුයි. මට කෙළින්ම ලේඛකයෙක් වෙන්න ඕන වුණා. මං ඒ වන විටත් ගැටවර වියේම ලියලා මුදල් උපයමින් සිටියා. ඉතින් මං කල්පනා කළා ඇයි මම විශ්වවිද්‍යාලෙ යන්නෙ කියල. මම තනියම හුඟක් පොත් කියෙව්වා. හැබැයි මට විශ්වවිද්‍යාලෙ යන්න බැරි වුණා කියල මං දුක් නොවුණත් මම අනික් ළමයි හැමෝටම කියන්නෙ නෑ එහෙම කරන්න කියල. අද ලෝකය හුඟක් තරගකාරීයි. අද හැමෝටම ලේඛකයන් වෙන්න බෑ.

·එච්චර අඩු වයසකදි සාහිත්‍ය සම්මානයක් හිමි වීම ගැන ඔබට හැඟෙන දේවල් මොනවාද?

ඉස්කෝලෙ ගිහින් ඉවර වුණාට පස්සෙ මම අවුරුදු දෙක තුනකට එංගලන්තයට ගියා. මේ වෙද්දි අම්මා තව කෙනෙක් එක්ක විවාහ වෙලා සිටි නිසා මම ගෙදරට එච්චර ඇලුම් කළේ නෑ. ඒත් එංගලන්තයට ගියාට පස්සෙ මට ගෙදර එන්න ඕන කියල සාංකාවක් තිබුණා. ඉන්දියාව මගේ රට නොවුණත් මං ඒ සාංකාවෙන් Room on the Roof කියන පොත ලිව්වා. ඒ පොත සම්මානයක් ලබලා කියල මං දැනගත්තෙ මම ආපසු ඉන්දියාවට ආවාට පස්සෙ. ඒත් ඉන්දියාවේ කවුරුවත් ඒ ගැන දැන සිටියේ නෑ. ඒ නිසා ඒක මට එච්චර බලපෑමක් කළේ නෑ. වුණේ මිතුරන් කීප දෙනෙක් මං ගැන ඇත්තටම සන්තෝස වීම විතරයි.

· රස්කින් බොන්ඩ් වඩාත්ම අගය කරන පුද්ගලයන් කවුරුන්දැයි දැන ගැනීමට මට වුවමනා විය. ඔහුට පරමාදර්ශී පුද්ගලයන් සිටීද?

මොනම හරි දේකට කැප වෙලා එහි හඹා යන මිනිසුන් මම අගය කරනවා. ඒ, වඩුවෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ක්ෂේත්‍රයේ පරිපූර්ණ දෙයක් කරන්න වෙහෙසෙන ශිල්පියෙක් වෙන්න පුළුවන්. නැටුම් ශිල්පියකු විධියට ෆ්‍රෙඩ් ඇස්ටෙයාර්ට මම කැමතියි. ලේඛකයන් අතර මම මාක් ට්වේන්ට, චාල්ස් ඩිකන්ස්ට, එමිල් සෝලාට කැමතියි.

· Junoon නම් සිනමාපටය ගොඩනැඟෙන්නේ ඔබේ Flight of Pigeons නම් කෙටිකතාව ඇසුරින්. ඔබ චිත්‍රපට නරඹන්න කැමතිද?

මම දෙහෙරාදුන්වල ඉන්දැද්දි චිත්‍රපටි පිස්සෙක්. මම සංගීතමය චිත්‍රපටිවලට ආස කළා. ඒවගේම මං හුඟක් කෑදර පාඨකයෙක්. මම ඩිකන්ස්, ගී ද මෝපසාන්, සමර්සෙට් මෝම් සහ තවත් හුඟ දෙනෙකුගේ හැම පොතක්ම කියෙව්වා. ඒවගේම මම හොනරේ ද බල්සාක්ගේ සම්භාව්‍ය නවකතාවලටත් ඇලුම් කළා. මට එක සිංදුවක කෑල්ලක්වත් හරියට කියන්න බැරි වුණාට මං ඉන්දියානු සංගීතය, බටහිර සම්භාව්‍ය සංගීතය අහන්න ආස කළා. ඒවගේම මම හරිම ක්‍රීඩා රසිකයෙක්. මම මඟ නොහැර ජාත්‍යන්තර ක්‍රිකට් තරග නරඹනවා. පාපන්දු තරග නරඹනවා. ඇත්ත වශයෙන් මං රූපවාහිනී නරඹන එකම අවස්ථාව ඒකයි. මං පොඩි කාලෙ පාපන්දු ක්‍රීඩා කළා. මම හොඳ ලේඛකයකුට වඩා හොඳ ගෝල් කීපර් කෙනෙක්. ලකුණු රැස් කරනවාට වඩා ගෝල් යන්න නොදී බේරාගන්න හැටි එය මට ඉගැන්නුවා. දැලට වැදෙන්න නොදී කොහොමහරි ගෝල ආරක්ෂා කරගන්න තැනට එය මාව ගෙනාවා.

· මේ මොහොතේ අපගේ සම්මුඛ සාකච්ඡාවට බාධා කරමින් කිසිවකු දොරට ගැසීමට විය. තරුණ යුවළක් පැමිණ ඇත. ඔවුන්ගේ මීළඟ රැස්වීමේදී රස්කින් බොන්ඩ් ලවා පරිසර විද්‍යාව ගැන දෙසුමක් පවත්වා ගැනීමට ඔවුනට වුවමනා වී ඇත. යුවළට බොන්ඩ් කීවේ තමාගේ කාර්යබහුල කාලසටහන තුළ දේශනයකට වේලාව සොයාගැනීමට බැරි බවත් නොවරදවා රැස්වීමට පෙර එම විෂය ගැන ලිපියක් ලියා එවන බවත්ය. යුවළ පිටත් විය. ඔවුන්ගේ ආරාධනය බැහැර ලීමට සිදු වීම ඔහුට කෙතරම් දුෂ්කර කටයුත්තක් වී දැයි මම රස්කින් බොන්ඩ්ගෙන් විමසුවෙමි.

මම ළමයින්ගේ ආරාධනයක් නම් කවදාවත් ප්‍රතික්ෂේප කරන්නෙ නෑ. වැඩිහිටියන්ගේ නම් ප්‍රතික්ෂේප කරනවා. මොකද ඔවුන් එන්නෙ මොකක් හරි සැඟවුණු අරමුණක් එක්ක. ළමයින්ට එහෙම සැඟවුණු අරමුණු නෑ. ඔවුන් එන්නෙ ඔවුන් කතා කියවූ ලේඛකයා බැලීමේ කුතුහලයෙන්.

·ඔබම පිළිගත්තා, ඔබ පාසැලෙන් පස්සෙ වෘත්තීය ලේඛකයෙක් වුණා කියල. ඔබ මේ රැකියාව තෝරාගත්තේ කොහොමද?

මට කරන්න තිබුණු තව දේවල් තිබුණා. ඒත් ලිවීම කියන්නෙ මම හොඳින්ම කළ දෙයක්. අනික් දේවල් නිකන් ලස්සන අදහස් විතරයි. මම හෙමිහිට, එක වේගයකින් ලියන ලේඛකයෙක්. ඒත් මම නිතිපතා ලියන කෙනෙක් නෙවෙයි. මම ලිවීමෙන් සන්තෝස වෙනවා. මට ඕන කරන්නෙ එහෙම සතුටට ලියන්න.

· ඔහු අනතුරුව වේදිකා නාට්‍ය ගැන කථා කරන්නට විය.

මගෙන් නිතරම අහනවා ඇයි මම වේදිකා නාට්‍ය ලියන්නෙ නැත්තෙ කියල. ඒත් වේදිකා නාට්‍ය ලියනවා කියන්නෙ මට බොම්බාය වගේ, ලන්ඩන් වගේ මිනිස්සු නාට්‍ය රඟ දක්වන තැනක ජීවත් වෙන්න වෙනවා කියන එක. කවි ලිවීම, කෙටිකතා ලිවීම කියන්නෙ මට ඕන තැනක ඉඳන් කරන්න පුළුවන් දෙයක්. කාන්තාරයක ඉඳගෙනත් කරන්න පුළුවන්. මම කඳුවල ඉන්න ආසයි. මම නගරයේ ජීවිතයට කැමති නෑ. දිල්ලිය ගැන කිව්වොත් කිසිම දෙයක් මාව එහි ජීවත් වෙන්න උනන්දු කරවන්නෙ නෑ. සමහර නගරවල ඊට අනන්‍ය සුන්දරත්වයක් තියෙනවා. ඉතිහාසයක් ඇති නගර තියෙනවා. ‍අනන්‍ය ආකර්ෂණීයභාවයක් ඇති නගර තියෙනවා. ඒවගේම පැරණි ගොඩනැඟිලි පසුපස පුදුමසහගත කතා තියෙන තැන් තියෙනවා. ලන්ඩනය මාව ආකර්ෂණය කළා. මොකද එහි පුළුල් ඉතිහාසයක් තියෙනවා. ඩිකන්ස් ඔහුගේ ප්‍රබන්ධ කතා ලියන්නට ඇති තැන්වල මම ඇවිද්දා.

·ඔබ ලිවීම සඳහා කිසියම් විධිමත් පුහුණුවක් ලැබුවාද? ඔබ හිතන්නේ ලිවීම සහජයෙන් එන දෙයක් කියලද? නැත්නම් පුහුණුවෙන් අත්පත් කරගත හැකි දෙයක් කියලද?

මහා ලේඛකයකු නම් සහජ දක්ෂයකු විය යුතුයි. සමහර විට ලිවීමේ ශිල්පය (Craftsmanship) ගොඩනඟා ගත හැකියි. වචන ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙකුට හොඳ ලේඛකයකු විය හැකියි. ඒත් එහෙම කෙනෙකුට උසස් ලේඛකයෙක් වෙන්න බෑ. ඔබ දන්නවා ඇති ඩිකන්ස් සහ ශේක්ස්පියර් පාසැල් අවසානයටවත් ගියේ නෑ. මං ගැන කීවොත් මම තනියමයි ලියන්න ඉගෙනගත්තෙ. මගේ ලේවල තීන්ත තිබුණා.

·ඔබ හිතන විධියට නවකතා ලියන්න පටන්ගන්නා කෙනෙකුට, බලපෑමක් කළ හැකි දැවැන්තයකු සිටීම කොච්චර වැදගත්ද? ඔබ දන්නවා ඇති ආර්.කේ. නාරායන්ට මිතුරකු සහ උපදේශකයකු ලෙස ග්‍රැහැම් ග්‍රීන් සිටියා.

මට නම් එහෙම කවුරුවත් සිටියෙ නෑ.

·නැඟී එන ලේඛකයකු සඟරා, පුවත්පත් ආදියට පළ කිරීමට යවන නිර්මාණ පළ කළ නොහැකි යැයි දන්වා‍ ලියුම් කඩදාසි එද්දි ඔහු ඒ තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද?

මට මුල් කාලයේ එහෙම ලියුම් කඩදාසි හුඟක් ආවා. මදුරාසියේ කුඩා සඟරාවක් වූ My Magazine of India අලෙවි කරන තැනක් ඒ දවස්වල තිබුණා. මට එන හරවා එවීමේ ලියුම් ඔක්කොම එන්නෙ එතනට. ඒ සඟරාව මුදල් ඇණවුමකින් මට රුපියල් පහක් ගෙව්වා. වතාවක් මට ඇවිල්ලා තිබුණේ රුපියල් තුනයි. මට හොඳටම කේන්ති ගියා. මං ඒක ඔවුන්ගෙන් ඇහුවා. ඔවුන් කිව්වෙ සඟරාවේ වාර්ෂික සාමාජිකත්වය සඳහා රුපියල් දෙකක් අඩු කළා කියල.

ඒත් කොච්චර එපා වුණත් ඔබ කරගෙන යන දේ දිගටම කරගෙන යා යුතුයි. ඔබ එහෙම කරන තරමට එය වඩා පහසු වෙනවා. ඇත්ත වශයෙන් ඔබ එහිදී ඔබේ වෙළෙඳපොළ ගැන අවබෝධයකට එනවා. මං හිතන්නෙ ඔබ ඔබ ගැන විශ්වාසය තැබිය යුතුයි. ඔබ කරන දේ වැදගත් බව විශ්වාස කළ යුතුයි. ඒවගේම ඔබ සැබැවින්ම කැමති වෘත්තියක් හඹායෑමත් වැදගත් වෙනවා. මේ දවස්වල මිනිසුන්ට එච්චර තෝරාගැනීම් කරන්න බැරි වුණත් එහෙම රැකියාවක් ඔබ සොයා යා යුතුයි. කිසිසේත් බලාපොරොත්තු නැති කරගන්න එපා.

·ඔබේ කතාවල ඔබේ චරිතය පෙනී සිටිනවා ඕනවට වඩා වැඩියි. ඒ කතා මුළුමනින් ප්‍රබන්ධ යැයි පේන්නෙ නෑ. මේ කියන දේ කොච්චර දුරට ඇත්තද?

කතාවක හුඟක් වෙලාවට තියෙන්නෙ ස්වයංචරිතාපදානයකුයි, ප්‍රබන්ධයකුයි. මම බොහොමත්ම ආත්ම විවරණ (Subjective) ලේඛකයෙක්. මම බාහිරයේ දේවල් දකින්නේ මගේ මනැසින්. මම මං ලැබූ අත්දැකීම් ලියනවා. සමහර විට මං අවට සිදු වූ, ඒත් මම කෙළින්ම අත් නොදුටු දේවල් ලියනවා. කතා ආඛ්‍යාන ගොඩනැඟීම අතින් සැලකුවාම මම ආඛ්‍යාන ගොතන්න එච්චර දක්ෂ නැහැ. මං ලියන්න අදහස් ගන්නේ මම දන්න දේවලින් සහ මට හුරුපුරුදු දේවලින්.

ඒවගේම පාතාල කල්ලි, මානසික විකෘතීන්ගෙන් පෙලෙන මිනීමරුවන්, වංක, හොර දේශපාලනඥයන් ආදී අප්‍රසන්න මිනිසුන් ගැන ලිවීමත් මට අමාරුයි. ඒත් ලෝකය පිරිලා තියෙන්නෙ නම් එහෙම අයගෙන් තමයි. මගේ කතාවල එන හොල්මන් පවා මිත්‍රශීලීයි. මගේ කතාවල අවසානයේ නිතරම වගේ බයට පත් වෙන්නෙ ළමයා නෙවෙයි, හොල්මනයි.

·මානුෂික සුවඳ නිසා ඔබේ කතා පාඨක හදවත ග්‍රහණය කරගත්තත් ඒ කතා බොහොමයක් පාඨකයා තුළ වේදනාබර හැඟීමක්, සතුටුදායී අවසානයක්වත් නැහැ නේද කියා හැඟීමක් ඇති කරන්නෙ. ඇයි ඒ?

ඔබ කී දේ ඇත්ත. මගේ කතා බොහොමයක හුඟක් සංවේගජනක දේ තියෙනවා. ඒත් ඒ කතා ලියවුණේ 1960 ගණන්වල සහ ‘70 ගණන්වලයි. ඒ කාලයේ මගේ මානුෂික සබඳතා මට ඕන විධියට අවසාන වුණේ නෑ. ඉන් ඇති වූ අපේක්ෂාභංගත්වයයි මගෙන් එහෙම කතා ලියවෙන්න බලපෑවේ. මං පුංචි කාලෙ මම මං ගැන සැලකුවේ බොහොම බැරෑරුම් විදියට. ලොකුමහත් වෙද්දි මම මගේ වැරදි දකින්න පටන්ගත්තා. මට ඒවාට හිනා වෙන්නත් පුළුවන් වුණා. ඒත් ඔබ මගේ ළමා කතාවල මේ දේවල් දකින්නෙ නෑ. ඒවායේ හුඟක් උපහාසය තියෙනවා.

· අද ඉන්දියාවේ රාජ්‍ය සබඳතා ගැන ඔබට කියන්න තියෙන්නේ කුමක්ද?

ඒක හරිම මානසික පීඩාවක් ගෙන දෙන දෙයක්. එදා නේරු වගේ කෙනෙකුට කිසිම ආරක්ෂක භටයෙක් නැතිව ඉන්දියාවේ ඇවිදින්න පුළුවන් වුණා. අද මෙහේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුට පවා එදා අපේ අගමැතිට සිටි ආරක්ෂක භට පිරිස වගේ දෙගුණයක් ඕන වෙනවා. මේ දවස්වල කෙනෙකුට ඉතා පහසුවෙන් තමන් සිර වෙලාය, තමන්ට නිදහස් වෙලා යන්න බැහැය වගේ බයක් ඇති වෙන්න පුළුවන්. 1950 ගණන්වල, ‘60 ගණන්වල මිනිසුන්ට හුඟක් බලාපොරොත්තු තිබුණා. ඔවුන් තුළ සුබවාදයක් තිබුණා. දැන් කෙනෙක් දකින්නෙ අපරාධවල වර්ධනයන්, ආර්ථික අසමතුලිතතාවන්, උගත් තරුණ පරපුර අතර විරැකියාවන් ආදියයි.

·අපගේ සම්මුඛ සාකච්ඡාව පැවැත්වෙද්දී හුරුබුහුටි පුංචි දැරියක් තේ බන්දේසියක් රැගෙන අප වෙත ආවාය. ඈ වෙත බොන්ඩ් සීයා කෙනෙකුගේ ආදරබර බැල්ම හෙළුවාය. මේ වනාහි බොන්ඩ් වසා සිටින කුරුලු කැදැල්ලේ සාමාජිකාවකි. දැරිය නමින් සාවිත්‍රිය. සාවිත්‍රිගේ පියා ප්‍රේම් සිංය. ප්‍රේම් සිං රස්කින් වෙත පැමිණෙන්නේ ඔහුගේ වැඩට පළට උදව් කිරීමට පුංචි සන්දියේය. අනතුරුව ඔහු විවාහ වන අතර විවාහයෙන් පසුවත් රස්කින් හා රැඳේ.. සිය බිරිඳද ඔහු සමඟ වෙයි. දැන් ප්‍රේම් සිංට ළමයින් තිදෙනෙකි. ඔවුුහුද රස්කින් පවුලේ සාමාජිකයෝය. ඔබ ප්‍රේමය ගැන හුඟක් ලියලා තියෙනවා. ඔබට විවාහ ජීවිතයකට ඇතුල් වෙන්න සිතුණෙ නැද්ද?

මම විවාහ නොවී ඉන්න ඕනය කියල හිතලා විවාහ නොවුණෙ නෑ. කොහොම වුණත් විවාහ වුණා නම් මගේ සාහිත්‍යකරණයට යම් යම් සීමා බන්ධන පැනවෙන්න තිබුණා. අනෙක තනි මිනිහෙකුට මුදල් අගහිඟකමුයි, අනෙක් දුෂ්කරතායි දරාගන්න පුළුවන්. ඒත් තනියම ජීවත් වීමෙන් මට විශේෂ සතුටක් නැති නිසා මම පවුලක් එක්ක ඉන්නවා.

ඔබේ කතාවල ඔබේ චරිතය පෙනී සිටිනවා ඕනවට වඩා වැඩියි. ඒ කතා මුළුමනින් ප්‍රබන්ධ යැයි පේන්නෙ නෑ. මේ කියන දේ කොච්චර දුරට ඇත්තද?

හුඟක් වෙලාවට ස්වයංචරිතාපදානයත්, ප්‍රබන්ධයත් එහි තියෙන්නෙ. මම බොහොමත්ම ආත්ම විවරණ (Subjective) ලේඛකයෙක්. මම බාහිරයේ දේවල් දකින්නේ මගේ මනැසින්. මම මං ලැබූ අත්දැකීම් ලියනවා. සමහර විට මං අවට සිදු වූ, ඒත් මම කෙළින්ම අත් නොදුටු දේවල් ලියනවා. කතා ආඛ්‍යාන අතින් සැලකුවාම මම ආඛ්‍යාන ගොතන්න එච්චර දක්ෂ නැහැ. මම ලියන්න අදහස් ගන්නේ මං දන්න දේවලින් සහ මට හුරුපුරුදු දේවලිනුයි.

ඒවගේම පාතාල කල්ලි, මානසික විකෘතීන්ගෙන් පෙලෙන මිනීමරුවන්, වංක, හොර දේශපාලනඥයන් ආදී අප්‍රසන්න මිනිසුන් ගැන ලිවීම මට අමාරු දෙයක්. ඒත් ලෝකය පිරිලා තියෙන්නෙ නම් එහෙම අයගෙන් තමයි. මගේ කතාවල එන හොල්මන් පවා මිත්‍රශීලීයි. මගේ කතා අවසානයේ නිතරම වගේ බයට පත් වෙන්නෙ ළමයා නෙවෙයි, හොල්මනයි.

·මානුෂික සුවඳ නිසා ඔබේ කතා පාඨකයාගේ හදවත ග්‍රහණය කරගත්තත් ඒ කතා බොහොමයක් පාඨකයා තුළ වේදනාබර හුදකලාවක හැඟීමක් සහ සුබදායී අවසානයක් ගැන බලාපොරොත්තු තබාගන්නැයි හැඟීමක් ඇති කරනවා. ඇයි ඒ?

ඔබ කී දේ ඇත්ත. මගේ කතා බොහොමයක හුඟක් සංවේගජනක දේ තියෙනවා. ඒත් ඒ කතා ලියවුණේ 1960 ගණන්වල සහ ‘70 ගණන්වලයි. ඒ කාලයේ මගේ මානුෂික සබඳතා මට ඕන විධියට අවසාන වුණේ නෑ. ඉන් ඇති වූ අපේක්ෂාභංගත්වය මගෙන් එහෙම කතා ලියවෙන්න බලපෑවා. මං පුංචි කාලෙ මම මං ගැන සැලකුවේ බොහොම බැරෑරුම් විදියට. මං ලොකුමහත් වෙද්දි මම මගේ වැරදි දකින්න පටන්ගත්තා. මට ඒවාට හිනා වෙන්නත් පුළුවන් වුණා. ඒත් ඔබ මගේ ළමා කතාවල මේ දේවල් දකින්නෙ නෑ. ඒවායේ හුඟක් උපහාසය තියෙනවා.

පරිවර්තනය [එස්. පල්ලියගුරුගේ]

මාතෘකා