කතාකරුවෙක් වෙන්න ​​​​​​​ඕනවට වඩා බුද්ධිමත් වෙලාත් බෑ මෝඩ වෙලාත් බෑ

 ඡායාරූපය:

කතාකරුවෙක් වෙන්න ​​​​​​​ඕනවට වඩා බුද්ධිමත් වෙලාත් බෑ මෝඩ වෙලාත් බෑ

පශ්චාත් නූතනවාදී ජපන් නවකතාකරු හරුකි මුරකාමි

2 වන කොටස

· ඔබ කිව්වා ඔබේ මුල් පොත් දෙක ලිවීම හුඟක් පහසු වුණාය, ඉන් පසු ආ පොත් ලිවීම තරමක් අමාරු වුණාය කියල. ඔබට ලියද්දි අමාරු වුණේ කුමක්ද?

මගේ ඒ මුල් කතා දෙක ලියද්දි - Hear the Wind Sing සහ Pinball, 1973 - මට ඒවා ලියන එක පහසු වුණා. ඒත් මට ඒ පොත් ගැන තෘප්තියක් තිබුණෙ නෑ. තවමත් මට ඒ ගැන තෘප්තියක් නැහැ. මම ඒ පොත් දෙක ලිව්වාට පස්සෙ මම ඊට වඩා වැඩි දෙයක් ලියන්න කල්පනා කළා. ඒ අනුව මම A Wild Sheep Chase - මගේ පළවෙනි සාමාන්‍ය නවකතාව - (අනෙක් නවකතා දෙක හුඟක් දුරට කෙටි නවකතා වගේ) ලිව්වා. ඒක ලියන්න ටිකක් කාලය ගියා - මං හිතන්නෙ අවුරුදු තුන හතරක්. මට එහිදී දිය උල්පතට යන්න ළිඳක් හාරන්න සිදු වුණා. ඒ නිසා A Wild Sheep Chase කියන්නෙ මගේ සැබෑ ලේඛන දිවියේ ආරම්භය කියල මං හිතනවා. මම මගේ පළවෙනි අවුරුදු තුන ලිව්වෙ ජෑස් ක්ලබ් එකේ අයිතිකාරයා විධියට එහි වැඩ කරන අතරතුරේ. ඒ කිව්වෙ මම උදේ දෙකට ක්ලබ් එකේ වැඩ අවසන් කරලා කුස්සියේ මේසය ළඟට ගිහින් වාඩි වෙනවා ලියන්න. ඒ වැඩ රටාව මට දරන්න බැරි වුණා. ඉතින් මුල් පොත් දෙකෙන් පස්සෙ මම ක්ලබ් එක විකුණලා ෆුල් ටයිම් ලේඛකයෙක් වෙනවා කියල තීරණය කළා. ඒත් මේ වෙද්දි ජෑස් ක්ලබ් එකෙන් හොඳ ආදායමක් තිබුණා. හුඟක් දෙනා මට කිව්වා ඒක විකුණන්න එපා කියල.

· දවල් රැකියාවෙන් ඉවත් වෙන්න එපා කියල!

ඉන් පස්සෙ මම A Wild Sheep Chase ලිව්වා. මොකද මට ලොකු පොතක් ලියන්න ඕන වුණා.

· ලොකු පොත් ලිවීම පහසු වුණාද? නැත්නම් ඒක අභියෝගයක් වුණාද?

මම A Wild Sheep Chase ලියද්දි මට එය හරිම පුදුමඑළවනසුලු දෙයක් වුණා. මොකද ලියාගෙන යද්දි එහි ඊළඟට වෙන්නෙ මොකක්ද කියල මං දැනන් සිටියෙ නෑ. පොතේ ඊළඟට මොනවා වෙයිද කියල දැනගන්න පහුවදා වෙනකන් මට බලා ඉන්න බැරි වුණා. වෙලා තියෙන දේ දැනගන්න මට පිටු පෙරළන්න ඕන වුණා. ඒත් එහි පිටු තිබුණෙ නෑ. මට පිටු ලියන්න සිදු වුණා.

· කතාවේ මොනවා සිද්ධ වෙයිද කියල සිතාගන්න බැරි වුණු දවස් ඔබට තිබිලා නැද්ද? ඒ කිව්වෙ ලියන්න වාඩි වුණාම ලියාගන්න බැරි වුණූ දවස්?

ලියාගන්න බැරි අවස්ථා මම අත්දැකලා නැහැ. මං මගේ මේසය ළඟ වාඩි වුණාම ඊළඟට වෙන්න යන දේ මම නිරායාසයෙන්ම දන්නවා. මම ඒක දන්නෙ නැත්නම් හරි, මට ලියන්න ඕන නැත්නම් හරි මං ලියන්නෙ නෑ. සඟරාවලින් එහෙම මට නිතරම වගේ කෝල් කරලා අහනවා ඔවුන්ට මොනවා හරි ලියන්න පුූළුවන්ද කියල. මම එතකොට ඔවුන්ට කියන්නෙම මට ලියන්න බෑ කියල. මම ලියන්නෙ මට ඕන වෙලාවට. මං ලියන්නෙ මට ඕන දේවල්. ඒවගේම මං ලියන්නෙ මං ලියන්න කැමති විධියට.

· නින්දෙදි ඔබ ඔබේ කතා හදනවාද?

නෑ. මං එහෙම හිතන්නෙ නෑ. මම සිහින දකින්නෙ නෑ. කතා කියන්නෙ කතා. සිහින කියන්නෙ සිහින. මට ලිවීම කියන්නෙ සිහින දැකීමක්. ලියද්දි මට සිතලා සිහින දකින්න පුළුවන්. මට හිතලා ඒ සිහිනය දැකීම පටන්ගන්න පුළුවන්. සිහිනය දැකීම නවත්වන්නත් පුළුවන්. ඒවගේම ඕන නම් සිහිනයේ ඉතිරි ටික පහුවදා බලන්න තියන්නත් පුළුවන්. ඔබ ලොකු මස් කෑල්ලක් කනවා හරි හොඳ බියර් එකක් බොනවා හරි ලස්සන තරුණියක් එක්ක ඉන්නවා හරි හීනයකින් දැක දැක ඉඳලා ඇහැරුණොත් ආයෙත් ඒවා දකින්න ලැබෙන්නෙ නෑ. ඒ ඔක්කොම නැඟිට්ටාම ඉවරයි. ඒත් ලියද්දි මට ඉතිරි ටික පහුවදා බලන්න පුළුවන්!

· අවුරුදු කීපයකට කලින් ඔබ මා එක්ක කිව්වා නවකතාවක් ලියාගෙන යද්දි ඔබ ‘කථා කරන වඳුරෙක්’, ‘පියගැටපෙළේදී අතුරුදන් වූ මිනිසෙක්’ වගේ අදහස් හෝ වාක්‍යාංශ ඔබ වෙනම ලැයිස්තුවක් විධියට ලියනවා කියල. ඊළඟට නවකතාව ලියලා ඉවර වෙලා ඔබ කෙටිකතා ලියන්න ගත්තාම “ඒ හැම කතාවකම ඒ ලැයිස්තුවේ ඇති දේවල්වලින් දෙකක් තුනක් තියෙන්න ඕන” කියල. ඔබ ඒ විධියට නිතර ලියනවාද?

එහෙම ලියවුණේ එක වතාවක් මම කෙටිකතා හයක් ලියද්දියි. එවෙලාවේ මගේ උදව්වට මං ළඟ මේ රහස් වචන තිබුණා. නවකතාවක් ලියද්දි මට එහෙම වචන ඕන වෙන්නෙ නෑ. මගේ ලිවීමේ ක්‍රමය වෙන්නෙ ලියන හැම විටම අලුත් දෙයක් අත්හදාබැලීමයි. මගේ කලින් හුඟක් පොත් මං ලිව්වෙ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන්. IQ84 නවකතාවේදි මම ප්‍රථම පුරුෂ චරිත තුනක් ගෙනාවා. එය මට අභියෝගයක් වුණා. බොහෝ වෙලාවට මගේ කථකයා, මගේ කතානායකයා මං කරන දේවල් කරන කෙනෙක්. ඒත් ඔහු මං නෙවෙයි. ඔහු මගේ විකල්පයක්. සැබෑ ජීවිතයේදී මම මමමයි. මට වෙන කෙනෙක් වෙන්න බෑ. ඒත් ප්‍රබන්ධයේදී මට ඕන කෙනෙක් වෙන්න පුළුවන්. එහිදී වෙන අයගේ සපත්තුවලට මගේ කකුල දාන්න පුළුවන්. ඒක කිසියම් ප්‍රතිකාරයක් කියල ඔබට කියන්න පුළුවන්. ඔබට ලියන්න පුළුවන් නම් ඔබ පැහැදිලි එක් කෙනෙක් නෙවෙයි. ඔබට ඕන කෙනෙක් වෙන්න පුළුවන් - ඔබට ඒ ඕන කෙනෙකු වීමේ හැකියාව තිබෙනවා.

·ඔබ දිවීම පටන්ගත්තේ ඔබ ලිවීම පටන්ගත් කාලයේමයි. ඇවිදින අතරේ තමන්ගේ සිත තුළ කතා ලියන්න කැමති අය ඉන්නවා කියල මම දන්නවා. එහිදී ඇවිදීමේ වේගය ඔවුන්ට කතාව ලියන්න උදව් වෙනවා. දුවද්දි ඔබ ලිවීම ගැන සිතනවාද?

කොහෙත්ම නෑ. මම දුවද්දි මං දුවනවා විතරයි. එවිට මම මගේ මනස හිස් කරනවා. දුවද්දි මම මොනවා හිතනවාද කියල මට හරියටම මතක නෑ. සමහර විට කිසි දෙයක් හිතන්නෙ නැති වෙයි. ඒත් දිගු කාලයක් ලියන්න නම් ඔබ ටිකක් දැඩි විය යුතු වෙනවා. එක පොතක් ලිවීම එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒත් අවුරුදු ගණනක් ලිවීම කරන්න බැරි වැඩකට හුඟක් සමානයි. එහිදී ඔබට අවධානය‍ යොමු කිරීමේ සහ දරාගැනීමේ ශක්තිය ඕන වෙනවා. සමහර වෙලාවට මම සෞඛ්‍යයට හුඟක් අහිතකර දේ ලියනවා. අමුතු දේ ලියනවා. අසම්මත දේ ලියනවා. මං හිතන්නෙ සෞඛ්‍යයට අහිතකර දේ ලියන්න ඔබ ඉතා සෞඛ්‍යමත් විය යුතු වෙනවා. ඒක වෙන්න බැරි විරුද්ධාභාසයක්. ඒත් ඒක ඇත්ත. සමහර ලේඛකයන් ගෙවා තියෙන්නෙ සෞඛ්‍යයට ඉතා අහිතකර ජීවිත - බෝදිලෙයාර් වගේ. ඒත් මගේ අදහසේ හැටියට ඒ කාලය දැන් ඉවරයි. මේ ඉතා සංකීර්ණ ලෝකයක්. මේ තුළ ඔබ දිවිගලවා ගන්න, ව්‍යාකූලත්වයෙන් ගොඩ එන්න ඔබ ශක්තිමත් විය යුතු වෙනවා. මම ලේඛකයකු වුණේ මට අවුරුදු තිහේදි. මං දිවීම පටන්ගත්තේ අවුරුදු තිස් දෙකේදි හෝ තිස් තුනේදි. මම හැමදාම දුවන්න කියල තීරණය කළේ මට, මොනවා වෙයිද කියල දැකගන්න ඕන වුණු නිසයි. මං හිතන්නෙ ජීවිතය කියන්නෙ ඕන දෙයක් අත්හදාබැලිය හැකි විද්‍යාගාරයක්. අන්තිමේ මං හිතන්නෙ එය විද්‍යාගාරයක් වීම මට හොඳ දෙයක් වුණා. මොකද මම ඒකෙන් දැඩි කෙනෙක් වුණා.

·ලිවීම දිවීම වගේ හුදකලා කාර්යයක්. ඔබ ජෑස් සංගීත ක්ලබ් එකක ඉතා සමාජශීලී ජීවිතයක සිට - නිතරම සෙනඟ රැස්කන තැනක සිට - ලියන කාමරයේ තනිව ඉන්න ජීවිතයකට මාරු වෙලා තියෙනවා. මේ දෙකෙන් ඔබට වඩා සුවපහසු කොයිකද?

මම ලොකුවට මිනිස්සු ඇසුරු කරන්නෙ‍ නෑ. මං කැමති නිස්කලංක තැනක සංගීත තැටියි, පුළුවන් නම් පූසොයි එක්ක තනි වෙලා ඉන්න. ඒවගේම බේස්බෝල් මැච් බලන්න පුළුවන් කේබල් ටීවී එකකුත් එක්ක ඉන්න. මං හිතන්නෙ මට ඕන එච්චරයි.

· ඔබ වරක් කිව්වා ඔබේ ජීවිතයේ ලොකුම සිහිනය ළිං පතුලක වාඩි වෙලා ඉඳීම කියල. ඒ දේ ඒ විධියටම කරන චරිත සැලකිය යුතු ගණනකුත් ඔබ නිර්මාණය කරලා තියෙනවා. ඒවගේම ඔබේ Killing Commendatore නවකතාවේත් ඒ දේ කරන චරිතයක් - මෙන්ෂිකි - ඉන්නවා. ඇයි එහෙම වෙන්නෙ?

මම ළිංවලට හුඟක් කැමතියි. මම ෆ්‍රිජ්වලට කැමතියි. මම අලින්ට කැමතියි. මම කැමති හුඟක් දේ තියෙනවා. මම මං කැමති දේවල් ගැන ලියද්දි මං සතුටට පත් වෙනවා. මං පුංචි කාලෙ අපේ ගෙවත්තෙ ළිඳක් තිබුණා. මම නිතරම වගේ ඒ ළිඳට ඔළුව දාලා බැලුවා. එතකොට මගේ පරිකල්පනය මෝදු වුණා. වතුර නැති ළිඳකට කෙනෙක් වැටෙන රේමන්ඩ් කාවර්ගේ කෙටිකතාවක් තියෙනවා. මම ඒ කතාවට හරිම කැමතියි.

· ළිඳක් ඇතුළට බහින්න ඔබ කවදා හෝ උත්සාහ කරලා තියෙනවාද?

නෑ. ඒක භයානකයි. මං ළිඳකට බහින්න කැමති මගේ පරිකල්පනයෙනුයි. ඒත් මං ලෙන්වලටත් කැමතියි. මම ලෝකය වටේ සංචාරය කරද්දි මම ලෙනක් දැක්කා. මම ඒ ලෙනට ඇතුල් වුණා. මම ලෙන්වලට කැමතියි. ඒත් මං උස් මුදුන්වලට කැමති නෑ.

· ඔබ උඩට නඟිනවාට වඩා පහළට බහිනවා?

සමහරු කියනවා ඒක උපවිඥානයට රූපකයක් කියල. ඒත් මම පොළොව යට පාතාල ලෝකයට හරිම කැමතියි.

· මීට වසර කීපයකට පෙර ‘පැරිස් රිවීව්’ සඟරාව හා පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔබ කියනවා ඔබේ ප්‍රබන්ධ කතාවල ගාමක බලවේගය “යමක් නැති වීම, නැති වූ දේ සෙවීම සහ එය සොයාගැනීමයි” කියල. එය තවමත් එසේමද?

ඔව්. එය මගේ ප්‍රබන්ධයේ ඉතා ලොකු තේමාවක් - යමක් නැති වීම, සෙවීම සහ එය සොයාගැනීම. මගේ චරිත නිතරම නැති වූ දෙයක් සොයනවා. සමහර විට ඒ ගැහැනු ළමයෙක්. සමහර විට ලොකු ගමනක අරමුණක්. සමහර විට බලාපොරොත්තුවක්. ඒත් ඔවුන් යම්කිසි වැදගත්, තීරණාත්මක වූ නැති වූ දෙයක් සොයනවා. ඒත් චරිතය ඒ දේ සොයාගත්තාට පස්සෙ එහි ඇත්තේ අපේක්ෂාභංගත්වයක්. මං දන්නෙ නෑ ඒ ඇයි කියල. ඒත් එය මගේ ප්‍රබන්ධයේ පුනරුච්චාරණය වන අදහසක් - ඒ කිව්වෙ යමක් සෙවීම, එය සොයාගැනීම, ඒත් තෘප්තිමත් නැති අවසානය.

· ඔබ ලියන පිරිමි චරිත හැම විටම වගේ මොනම විධියකින් හෝ ජීවිතය බිඳවැටුණු අයයි. එක්කෝ ඒ, භාවාත්මක (මානසික) පක්ෂයෙන්. නැත්නම් පැවැත්මේ අර්ථය ගිලිහීම අතින්. ඔවුන්ට ලෝකය තමන්ගේ යැයි යැයි සිතෙන්නේ නෑ.

කතානායකයා තෘප්තියෙන් ඉන්න කෙනෙක් නම් එහි කතාවක් නෑ.

· ඔබේ නවකතා සාමාන්‍යයෙන් අබිරහසක් වටා කැරකෙනවා. එහිදී ඇතැම් විට ඔබ අබිරහස විසඳනවා. ඇතැම් විට එය නොවිසඳා කතාව අවසාන වෙන්න ඉඩ හරිනවා. එසේ කරන්නේ පාඨකයාට එය විසඳාගැනීමට ඉඩ දෙන්න ඔබ කැමති නිසාද? නැත්නම් ඔබ දෙන විසඳුම ගැන ඔබට විශ්වාසයක් නැති නිසාද?

මම ප්‍රබන්ධ කෘතියක් පළ කරද්දි සමහර වෙලාවට මගේ මිතුරන් මට කෝල් කරලා අහනවා “මොකක්ද ඊළඟට වෙන්නෙ?” කියල. එතකොට මං කියනවා “ඒක තමයි අවසානය” කියල. ඒත් මිනිස්සු පොතේ ඊළඟ කොටසක් බලාපොරොත්තු වෙනවා. මම IQ84 නවකතාව පළ කළාට පස්සෙ කතාව නතර කළ තැන ඉඳලා ඊළඟට වෙන දේවල් සියල්ල මං අවබෝධ කරගත්තා. මට ඒ දේවල්වලින් එහි ඊළඟ කොටස ලියන්න තිබුණා. ඒත් මං ලිව්වෙ නැහැ. මට හිතුණා එතකොට ඒක ‘ජුරාසික් පාක් 4’ හරි ‘ඩයි හාඩ් 8’ වගේ හරි දැනේවි කියල. ඉතින් මම ඒ ඉතිරි කතාව මගේ ඔළුවේ විතරක් තියාගත්තා. මං ඒකෙන් ලොකු වින්දනයක් ලැබුවා.

· ඔබ ඒ කතාව කවදා හෝ ලියාවි කියල ඔබට හිතෙනවාද?

මං හිතන්නෙ නෑ. මං හිතන්නෙ ඒක මගේ මනසේ රැඳිලා තියේවි කියල. ඒ ඈඳුතු පොතේ කතානායකයා දහසය හැවිරිදි ටෙංගෝගේ දියණියයි. ඇත්තටම ඒක හරිම ආකර්ෂණීය කතාවක්.

· ඒ කියන්නෙ ‘ඩයි හාඩ් 8’ එන්නෙ නෑ?

ඒ පොතට කලින් ලියවුණු පොතක් විතරයි තියෙන්නෙ.

· පසුව එන පොතේ සිද්ධි තියෙන්නෙ ඔබේ ඔළුවෙද?

ඔව්.

· සමහර ලේඛකයන් තමන්ගේ හැම පොතකින්ම එකිනෙකට සම්පූර්ණ වෙනස් දෙයක් කරන්න උත්සාහ දරනවා. සමහර ලේඛකයන් ඔවුන්ට හොඳටම කළ හැකි දේ තව දියුණු කරන්න බලනවා. ඔබ මින් කරන්නේ කුමක්ද?

මම කසුවෝ ඉෂිගුරෝගේ කෘතිවලට කැමතියි. ඔහු මගේ මිත්‍රයෙක්. ඔහු අලුත් පොතක් පළ කරන හැම විටම එය කලින් පොතෙන් සෑහෙන දුරට වෙනස්. ඒක හරිම අපූරුයි. ඒත් මගේ විෂය සහ තේමාව එච්චර වෙනස් වෙන්නෙ නෑ. මම පොතකට ඈඳුතු කතාවක් ලියන්න කැමති නෑ. ඒත් මගේ කල්පනා ලෝක පරිසරය පොතෙන් පොතට එච්චර වෙනස් වෙන්නෙ නෑ. මම නිකන් එක් පුද්ගලයෙක්. මං හිතන්නෙ කරන්නෙ මටම ආවේණික විධියකට: මට ඒක වෙනස් කරන්න බෑ. ඒත් එකම දේ නැවත නැවත ලියන්න මට ඕන නෑ.

· ඔබේ ඔබට ආවේණික කතා ශෛලිය තුළ නිතරම වගේ සංකීර්ණ හෝ හුඟක් එකට කැටිගැසුණු අදහස් තියෙනවා. එසේ වුණත් ඔබේ ලිවීම තුළ එවැනි තදබදයක් හෝ සංකීර්ණත්වයක් ඇත්තෙ නෑ. ඔබ සැබැවින්ම ලියන වාක්‍ය හරිම සරලයි වගේම සුගමයි. මෙය ඔබ හිතාමතා කරන දෙයක්ද?

හුඟක් ලේඛකයන් කුඩා, නොගැඹුරු දේවල් සංකීර්ණ, දුෂ්කර ශෛලීන්ගෙන් ලියනවා. මං හිතන්නෙ මට ඕන කරන්නෙ ගැඹුරු, සංකීර්ණ, දුෂ්කර දේවල් කියවන්න ලේසි, ගලායන ඉතා පහසු ශෛලියකින් ලියන්නයි. එවැනි දුෂ්කර දේවල් ලියන්න නම් ඔබ පතුලට යන්න, ඇතුළට ඇතුළට යන්න කැමැති විය යුතුයි. ඉතින් මං ලියූ අවුරුදු හතළිහ තුළ මම එහි යෑම සඳහා තාක්ෂණයක් ගොඩනඟලා තියෙනවා. ඒක හරියට භෞතික තාක්ෂණයක් වගෙයි - එය බුද්ධිමය තාක්ෂණයක් නෙවෙයි. මං හිතන්නෙ ඔබ ප්‍රබන්ධ රචකයකු නම් ඔබ ඕනවට වඩා බුද්ධිමත් නම් ඔබට ලියන්න බැහැ. ඒවගේම ඔබ මෝඩයකු නම් ඒත් ඔබට ලියන්න බැහැ. ලියන්න ඔබ මේ දෙක අතර තැනක් සොයාගත යුතු වෙනවා. ඒක හරිම අමාරු දෙයක්.

· ඔබ හිතනවාද ඔබේ තාක්ෂණය පරිවර්තනවලිනුත් එනවා කියල?

ඔව්. මං පැහැදිලි කරන්න දන්නෙ නෑ, ඒත් මගේ පොත් මම ඉංග්‍රීසියෙන් කියවද්දි මට හැඟෙනවා මේ මමම ලියලා කියල. රිද්මය, ගද්‍ය ශෛලිය ඒකමයි - හුඟක්ම දුරට ඒකමයි.

· ඔබ පරිවර්තකයෙකුත් වෙනවා. ඔබ ෆිට්ස්ජෙරල්ඩ්ගේ කෘති, ට්‍රෑමන් කැපොටේගේ කෘති, රේමන්ඩ් කාවර්ගේ කෘති සහ තවත් අයගේ කෘති ජපන් බසට පරිවර්තනය කරලා තියෙනවා. දැන් ඔබ ජෝන් චීවර්ගේ කෘති පරිවර්තනය කරමින් ඉන්නවා. ඔබ මේ පරිවර්තනය කරන ලේඛකයන්ට ඔබ ඇදී ගියේ ඔවුන්ගේ කවර ගුණයක් නිසාද?

ඒක හරි ලේසියි. මම පරිවර්තනය කරන්නෙ මම කියවන්න ආස දේයි. මම රේමන්ඩ් කාවර්ගේ ඔක්කොම නවකතා පරිවර්තනය කරලා තියෙනවා. මම ඔහුගේ ශෛලියට හරිම කැමතියි. මම ඔහුගේ The Long Goodbye කෘතිය පස් පාරක් හෝ හය පාරක් කියවලා තියෙනවා.

· පරිවර්තනයේ නියුතු වෙද්දි ඔබට තවත් කතුවරයකුගේ හඬ ලබාගත යුතු වෙනවා. වෙන විධියකට කීවොත් ඔබ ෆිට්ස්ජෙරල්ඩ් විය යුතු වෙනවා. නැත්නම් රේමන්ඩ් චන්ඩ්ලර් විය යුතු වෙනවා. නැත්නම් ජෝන් චීවර් විය යුතු වෙනවා. ඔබටම කියූ පැහැදිලි සාහිත්‍ය ස්වරයක් තියෙද්දි අනෙකෙකුගේ ස්වරයක් ගැනීම අභියෝගයක්ද?

ඔව්. මම ෆිට්ස්ජෙරල්ඩ්ට කැමතියි - මම ඔහුගේ හුඟක් පොත් පරිවර්තනය කරලා තියෙනවා. ඒත් ඔහුගේ ශෛලිය මට වඩා හුඟක් වෙනස්. ඒවගේම හුඟක් ලස්සනයි සහ සංකීර්ණයි. ඒත් මම ඔහුගේ සාහිත්‍යයෙන් හුඟක් දේවල් ඉගෙනගෙන තියෙනවා - මං හිතන්නෙ ඔහුගේ දැක්ම, ඔහු ලෝකය දිහා බලන විධිය ආදිය. රේමන්ඩ් කාවර්ගේ ශෛලිය සහ ඔහුගේ ලෝකය මගෙන් හුඟක් වෙනස්. ඒත් ඔහුගෙනුත් මම ඉගෙනගෙන තියෙනවා.

· ඔබ දැන් නියැලී ඉන්නේ ජෝන් චීවර්ගේ නිර්මාණ පරිවර්තනයේ. ඇයි ඔහු තෝරාගත්තේ?

ඇයි ජෝන් චීවර් තෝරාගත්තේ? මම හුඟක් කාලයක් තිස්සෙ ඔහුගේ කෙටිකතා රස විඳිනවා. ඒත් චීවර් ජපානයේ ජනප්‍රිය නෑ. බොහොම ටික දෙනයි ඔහුගේ කෘතියක් කියවලා තියෙන්නෙ. මොකද මං හිතන්නෙ ඔහුගේ කතා ඕනවට වඩා ඇමෙරිකානුයි. ඕනවට වඩා එක්දහස් නවසිය පනස් ගණන්වලට සමීපයි. ඕනවට වඩා මධ්‍යම පන්තිකයි. මං හිතන්නෙ නෑ ඔහුගේ කතාවලට ජපන් පාඨකයො වැඩි දෙනෙක් කැමති වේවි කියල. ඒත් මම ඒවාට කැමතියි. ඉතින් ඒක අභියෝගයක්.

පරිවර්තනය - එස්. පල්ලියගුරුගේ

මාතෘකා