ලේඛකයා තමා තුළම ඔත්තුකාරයෙක් රඳවාගෙන යනවා

 ඡායාරූපය:

ලේඛකයා තමා තුළම ඔත්තුකාරයෙක් රඳවාගෙන යනවා

පේරු නවකතාකරු මාරියෝ වර්ගාස් යෝසා

මාරියෝ වර්ගාස් යෝසා දැනට දිවමන්ව සිටින ලතින් ඇමෙරිකාවේ මහා ලේඛකයන්ගෙන් කෙනෙකි. 1936 වසරේ මාර්තු 28 වෙනිදා උපත ලබන ඔහුගේ සම්පූර්ණ නම හොර්හේ මාරියෝ පෙද්රෝ වර්ගාස් යෝසා (Jorge Mario Pedro Vargas Llosa) ය. ස්පාඤ්ඤ බසින් සාහිත්‍යකරණයේ යෙදෙන ඔහු පුවත්පත් කලාවේදියකු, විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු, ලිපි රචකයකු මෙන්ම දේශපාලනඥයකු ලෙසද ප්‍රකටය. 2010 වසරේ ඔහු සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබිණි. ලතින් ඇමෙරිකානු පුනරුද (Latin American Boom) සාහිත්‍යකරුවන් අතර ලොව වඩාත්ම පාඨකයන් සිටින ලේඛකයා ඔහු යැයි කියනු ලැබේ.

යෝසා නවකතාකරුවකු ලෙස ජාත්‍යන්තර කීර්තියට පත් වන්නේ 1960 දශකයේය. ඒ, මෙකල එළිදුටු නවකතා ත්‍රිත්වයකිනි. එනම් ඔහුගේ පළමු නවකතාව වූ The Time of the Hero කෘතියත් අනතුරුව ආ The Green House නවකතාව හා Conversation in the Cathedral නවකතාවත් නිසාය. ඔහු උපහාස නවකතා, ඓතිහාසික නවකතා, අපරාධ කතා, දේශපාලන රහස් පරීක්ෂක කතා යන විවිධ නවකතා ශානරවල නියුතු වී ඇති අතර ඔහුගේ ප්‍රබන්ධවල එනුයේ පෙරූවියානු සමාජය පිළිබඳව ඔහුගේ සිතුම් පැතුම් හා ඔහුම එහිදී ලැබූ අත්දැකීම්ය. විචාරකයන් පිළිගන්නා ඔහුගේ ප්‍රධාන නවකතා කිහිපයකි. The Time of the Hero (1963), Conversation in the Cathedral (1969), The War of the End of the World (1981), Aunt Julia and the Scriptwriter (1977), The Green House (1965), The Storyteller (1987), The Feast of the Goat (2001) ආදී වශයෙනි. ඔහු මැඩ්‍රිඩ් විශ්වවිද්‍යාලයට ලියූ ආචාර්ය උපාධි නිබන්ධනය මාර්කේස්ගේ සාහිත්‍ය භාවිතාව පිළිබඳ දීර්ඝ අධ්‍යයනයකි. ඒ, García Márquez: Story of a Deicide (García Márquez: historia de un deicidio) වශයෙනි. විචාරාත්මක පක්ෂයෙන් යෝසා ලොව විවිධ ප්‍රදේශවල ජාතිකවාදයන් පිළිබඳව ලියා ඇත. ප්‍රබන්ධයේදී ඔහු ප්‍රථමයෙන් අනුගමනය කරනුයේ නූතනවාදී ප්‍රවණතාවය. පසුව ඔහු එය භාෂා හරඹය භාවිත වන පශ්චාත් නූතනවාදී ප්‍රබන්ධය වෙත වෙනස් කර ඇත.

1990 වසරේ ඔහු ෆ්‍රෙන්ටේ ඩිමොක්‍රටිකෝ (Frente Democrático) නම් සන්ධානය යටතේ ‍ෙප්රුහි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. එහෙත් ඔහු ප්‍රතිවාදී අපේක්ෂක ඇල්බර්ටෝ ෆුජිමෝරීට පරාජය විය. සාහිත්‍ය ලෝකයේ වර්ගාස් යෝසා ප්‍රසිද්ධ තවත් සිද්ධියක් වේ. එනම් 1976 වසරේ ‘මෙක්සිකෝ සිටි’ නම් අවන්හලේදී කෑම ගනිමින් සිටියදී ඔහු ගාර්සියා මාර්කේස්ට මුෂ්ටි ප්‍රහාරයක් එල්ල කිරීමය - ඔහු පහර දුන්නේ කුමක් නිසාදැයි මාර්කේස් හෝ යෝසා කිසි දිනෙක කිසි තැනක සඳහන් කර නැත. මුලදී වර්ගාස් යෝසාගේ සාහිත්‍යකරණයට බලපා ඇත්තේ මාර්ටින් ඇඩාන්, කාර්ලෝස් ඔක්වින්ඩෝ ඩි අමට්, සේසාර් මෝරෝ යන එතරම් කැපී නොපෙනෙන පේරු ලේඛකයන්ය. ඔහුගේ පසු සාහිත්යික තාක්ෂණයට හා ශෛලියට බලපෑවේ ෂෝන් පෝල් සාර්ත්‍ර හා ගුස්ටාව් ෆ්ලෝබයාය. පොදුවේ සැම කාලයකම ඔහුට බලපෑ, ඔහු වඩාත්ම අගයන ලේඛකයා ඇමෙරිකානු නවකතාකරු විලියම් ෆෝක්නර්ය. ෆෝක්නර් ඔහු හඳුන්වනුයේ “නූතන නවකතාවේ කතා විලාසයන් පරිපූර්ණත්වයට පත් කළ ලේඛකයා” (the writer who perfected the methods of the modern novel) වශයෙනි. ඔක්ටාවියෝ පාස්, හූලියෝ කොර්තාසා, හොර්හේ ලියුස් බොර්හේස්, ගබ්රියෙල් ගාර්සියා මාර්කේස්, කාර්ලෝස් ෆුවෙන්තෙස් ආදී ලතින් ඇමෙරිකානු මහා සාහිත්‍යධරයන් අතර වර්ගාස් යෝසාද එකසේ ප්‍රබලයෙකි.

නොබෙල් සාහිත්‍ය ත්‍යාගයට අමතරව ජාතික වශයෙන්ද, ජාත්‍යන්තර වශයෙන්ද සුවිශාල සම්මාන ගණනක් දිනා ඇති යෝසා දැනට නවකතා 19ක් ලියා ඇත. ඒ සියල්ල ඉංග්‍රීසියටද පරිවර්තනය වී තිබේ. ඔහුගේ සිංහලට නැඟුණු ප්‍රථම නවකතාව ගාමිණී වියන්ගොඩ සිංහලට පෙරළූ ‘අලහේන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය’ ය. එහි මුල් කෘතිය 1984 වසරේ පළ වූ Historia de Mayta ය. එය ඉංග්‍රීසියට නැඟෙනුයේ The Real Life of Alejandro Mayta (1985) යනුවෙනි. 1997 වසරේ යෝසා ප්‍රබන්ධ කලාව පිළිබඳ විචාරාත්මක කෘතියක් පළ කළේය. ඒ, Cartas a un joven novelista (Letters to a Young Novelist) ය. මෙයද සිංහලට නැඟුණු අතර එය පරිවර්තනය කළේ ලියනගේ අමරකීර්තිය. ඒ, ‘තරුණ නවකතාකරුවකු වෙත’ යනුවෙනි. යෝසා නාට්‍ය කෘති 9ක් ලියා ඇති අතර ප්‍රබන්ධ නොවන කෘති 24ක් ලියා ඇත. මේ, 2016 වසරේ මාර්තු 17 වෙනිදා HuffPost වෙබ් අඩවිය සඳහා යෝසා සමඟ එලේනා කූ (Elena Cue) විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකි.

ඇයි අපි මේ සාකච්ඡාව හෙට එළිදැක්වීමට තිබෙන ඔබේ අලුත්ම නවකතාව වන Five Corners පිළිබඳ කතාබහකින් අරඹන්නෙ නැත්තෙ? ඔබේ ජීවිතයේ මෙවැනි වකවානුවක (අවුරුදු 80දි) සහ මේ සා දිගු සාහිත්‍ය චාරිකාවක් තුළ ඔබට මේ නවකතාවේ වැදගත්කම කුමක්ද?

මේ නවකතාව, ප්‍රායෝගිකව මං ලියන හැම කතාවක්ම වගේ මටත් හුඟක්ම තේරුම්ගන්න බැරි විධියට ලියවුණු එකක්. මට කතාව ලියන්න කලින් අදහසක් තිබුණා. ඒ තමයි පුහු ආන්දෝලනාත්මක දේ හෙළිදරව් කරන පුවත්පත් කලාව (Yellow Journalism) පිළිබඳව, ඒ කිව්වෙ පාඨකයා කලඹන මාධ්‍යවේදය (Sensationalist Journalist) පිළිබඳව කතාවක් ලිවීම. කලඹන මාධ්‍යවේදය මං හිතන්නෙ අපේ කාලයේ ආවේණික දෙයක්. මම හිතන්නෙ මේ ආන්දෝලනාත්මක මාධ්‍යවේදය සංවර්ධනය වූ රටවල් සහ සංවර්ධනය වන රටවල් යන හැම තැනකම එක වගේ දකින්න ලැබෙන දෙයක්. ඒවගේම (පේරුවල) ෆුජිමෝරි ඒකාධිපතිවාදයේදි එය සැලකිය යුතු භූමිකාවක් ඉටු කරලා තියෙනවා. මොකද විපක්ෂය බිය වද්දන්න, ඔවුන් පිළිබඳ ආන්දෝලනාත්මක අපවාදයක් - ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට මිස ඔවුන්ගේ වෘත්තියට කිසිම අදාළත්වයක් නැති අපවාදයක්. ඒවගේම බොහෝ වෙලාවට ඔවුන් අපකීර්තියට පත් කරන්න, ඔවුන්ගේ නම කැත කරන්න කියන බොරු, කෘත්‍රිම ගෙතීම් - එළිදක්වනවා කියල විපක්ෂය මෙල්ල කරන්න එම රෙජීමය මේ කලඹන පුවත්පත් කලාව පාවිච්චි කළා. එම ඒකාධිපතිවාදී ආණ්ඩුව තමන්ගේ විවේචකයන් සියලු දෙනාට එරෙහිව මෙය ඉතා සැලසුම්සහගතව පාවිච්චි කළා.

· මේ නවකතාව ඇරඹෙන්නේ හුඟක්ම අසාමාන්‍ය ආකාරයේ ශෘංගාරාත්මක (erotic) අවස්ථාවකින්….

මං හිතන්නෙ ඒක ශෘංගාරය (erotic) යනු කුමක්ද යන්න ඉදිරිපත් කරන ආකාරයයි. ඒ ඉදිරිපත් කෙරෙන ආකාරය අනුවයි ශාංගාරය සුන්දරද, වල්ද, ව්‍යංග්‍යාර්ථවත්ද, නැත්නම් වනචරද කියල තීරණය වෙන්නෙ. එය ඒ දේ ඉදිරිපත් වන ආකාරයයි. වචන, සම්පූර්ණ දර්ශනය ගොඩනැඟෙන ආකාරයයි…. ශෘංගාරවේදය (Eroticism) තුළම කිසියම් දුරකට ශිෂ්ටත්වය ඇතුළත් වෙනවා. මං හිතන්නෙ ප්‍රාථමික සමාජයක, එසේ නැත්නම් ප්‍රාථමික මිනිසුන් තුළ ශෘංගාරය ඇත්තෙ නෑ. ලිංගික සංසර්ගය කියන්නෙ කෙනෙකුට සහජයෙන් එන දේ මුදාහැරීමයි. ලිංගික සංසර්ගයේදි සත්ව සාධකය විසින් සංවේදීතාව (යමක් කෙරේ හැඟීමෙන් සිතීම) පරාජය කරනු ලබනවා. පිළිගත් නියාමධර්ම (Formal Component) පරාජය කරනු ලබනවා. ශෘංගාරවේදය (Eroticism) ශිෂ්ටාචාරයේ පහළ වෙන්නේ ලිංගික සහජාසය සත්ව සාධකයෙන් ඉවත් වෙලා එය කලාවෙන්, සාහිත්‍යයෙන් පෝෂණය වෙන්න පටන්ගත්තාමයි. භාවමය උත්කර්ෂය/ අතිශයෝක්තිමත්භාවය (Theatricality) ආදරය කිරීම තුළ පැනනඟින දෙයක්. ඉතින් මේ නම් ශෘංගාරවේදයයි. මෙය ඛාදනය වුණොත්, නැත්නම් එහි තත්ත්වය බිඳ වැටුණොත් - දිළිඳු ඉදිරිපත් කිරීම මත, නොහැකියාව මත, විස්තර කරන්නාගේ හෝ කියා සිටින්නාගේ මන්ද කුසලතාව මත - එවිට අසභ්‍ය ජවනිකා (Pornography) මතු වෙනවා. මං හිතනවා ශෘංගාරවේදය ශිෂ්ටත්වය එක්ක, සමාජ හරයන් එක්ක, කිසියම් සංස්කෘතියක් එක්ක සබැඳියාවක් තියෙනවා කියල. මේ සබැඳියාව තමයි කෙනෙකුගේ ශුද්ධ ලිංගික ආවේගයන් සමාජය පිළිගත් දේකට (කලා කෘති බිහි කිරීමට) යොමු කරවන්නේ.

· එහෙනම් අපි ෆ්‍රොයිඩ් ගැන කථා කළ යුතුයි. කලාත්මක නිර්මාණකරණය වෙනුවෙන් ලිංගික ආසාව භාවිත වීමේ සිද්ධාන්තයට ඔබ එකඟද?

ඔව්. කිසි සැකයක් නැතිව එකඟ වෙනවා. මං හිතන්නෙ එහිදී ෆ්‍රොයිඩ් ඉතාම නිවැරදියි. ඒවගේම ඔහු ලිංගික සංසර්ගය ජීවිතයේ මූලික ක්‍රියාවක් වෙනවාය කීමත් ඉතා නිවැරදියි කියල මං හිතනවා. ඒත් එය නැතිවම බැරි හෝ ඕනම නැති දෙයක් නෙවෙයි. උදාහරණයකට සාහිත්‍යයේදි සහ කලාවේදි ලිංගික කාරණා අනෙක් සියලු කාරණා මකා දමන තරම් ප්‍රමුඛ වෙද්දි එය ඉතා කෘත්‍රිම දෙයක් බවට වෙනවා. සැබෑ ජීවිතය මොකක්ද කියල ඇත්තටම නොපෙන්වන යමක් බවට පත් වෙනවා. මම හිතන්නෙ නෑ හැම දේම තේරුම්ගන්න ලිංගිකත්වය පැත්තෙන් සිතීම අවශ්‍යමයි කියල. මනෝවිශ්ලේෂණය අච්චර දුර ගිහින් තියෙන්න පුළුවන්. ෆ්‍රොයිඩ් අච්චර දුර ගිහින් තියෙන්න පුළුවන්. ෆ්‍රොයිඩ් ශ්‍රේෂ්ඨයෙක්. ඒ ගැන වාදයක් නෑ. ඒත් අපි ඒ ශ්‍රේෂ්ඨත්වය පසෙක තියලා පියවරක් පස්සට ගත යුතුයි.

· සැබෑ අත්දැකීම අභිභවන තරමට පරිකල්පනයට ලිංගික අත්දැකීමක් කලා කෘතියකට භාවිත කරන්න පුළුවන්ද?

මං හිතන්නෙ පරිකල්පනයට, සංවේදීතාවට, සංස්කෘතියට ශෘංගාරාත්මක අත්දැකීමක් පුදුමාකාර විධියට පොහොසත් කරන්න පුළුවන්. ඒත් යථාර්ථය (සැබෑ අත්දැකීම) අභිභවීම දක්වා යන්න ඊට හැකියාවක් නැහැ කියල මම හිතනවා. එහි තිබෙන පොහොසත්ම දේ, වැදගත්ම දේ යථාර්ථයයි. අපේ පරිකල්පනය අපට විස්මයජනක, ඉතාම පොහොසත් කෘත්‍රිම ජීවිතයක් අත්විඳින්න ඉඩ පහසුකම් ලබා දීලා තියෙන බව සැබැයි. ඒත් මං විශ්වාස කරන්නෙ නෑ කිසිම කලාකරුවෙක්, නිමවන දේ (කෘත්‍රිම දේ) සැබෑ ජීවිතයට වඩා හොඳයි කියල කියන්න එඩිතර වෙනවා.

· ඔබ ලියූ දෙයක් නැවත කියවලා එය කොහොමද ලියවුණේ කියල කල්පනා කරද්දි ඔබ කවදා හෝ මවිතයට පත් වෙලා නැද්ද?

තියෙනවා. ලියද්දි මම හැම විටම මවිතයට පත් වෙනවා. කතාවක් ලියද්දි අපූරුම සහ උද්යෝගීම අවස්ථා සිදු වෙන්නෙ හදිසියේ දේවල් මතු වෙද්දියි කියල මම ඔබට කියන්න ඕන. උදාහරණයකට Five Corners නවකතාවෙදි එක චරිතයක් තිබුණා, එය මම ගොඩනඟද්දි සාපේක්ෂව නොසැලකිය යුතු චරිතයක්, දෙවන පෙළ චරිතයක් වෙන්නයි ගියේ. ඒත් මගේ අනෙක් ප්‍රබන්ධවලත් සිදු වෙනවා වගේ මේ චරිතය කතාව ලියාගෙන යද්දි ක්‍රම ක්‍රමයෙන් බලපරාක්‍රමය අතට ගනිමින් වැඩෙන්න ගත්තා. හරියට චරිතයේම හයි හත්තියෙන් නැඟී සිටිනවා වගේ ඔහු කතාවේ ප්‍රමුඛත්වයක් ගන්න තීරණය කළා. මං හිතන්නෙ මේවා තමයි ප්‍රබන්ධයක හරිම සිත්ගන්නා දේවල්. ඒ කිව්වෙ එක්වරම චරිතයක් ජීවත් වෙන්න ගන්නවා…

· ඔබේ නිර්මාණාත්මක ක්‍රියාවලිය තුළ ඔබ ජයගත යුතු බාධක මොනවාද?

බාග විට අමාරුම දේ විශ්වාසයක් නැතිකමයි. මම ලිවීම තුළ හුඟ කාලයක් ඉඳලා තියෙනවා කියල, එහෙම නැත්නම් මම හුඟක් පොත් පළ කරලා තියෙනවා කියල කෙනෙක් හිතන්න පුළුවන්. ඒත් එහෙම වුණා කියල එය මා තුළ විශ්වාසයක් ඇති කරලා නැහැ. ඒ වෙනුවට වෙලා තියෙන්නෙ එය මගේ අනාරක්ෂිත බව (අවිශ්වසනීයත්වය) වැඩි කිරීමයි. බාග විට ඒ, මමම මං ලියන දේ විවේචනය කර ගැනීම හෝ ලියන දේ ගැන හුඟක් බලාපොරොත්තු තබා ගැනීම නිසා විය හැකියි. ඒත් කතාවක් අරඹද්දි, එය නවකතාවක් වේවා, නාට්‍ය තිරරචනයක් වේවා, ලිපියක් වේවා මුලදි මට දැනෙන අනාරක්ෂිතභාවය මං මගේ මුල්ම පොත් ලියූ කාලෙට වඩා හුඟක් වැඩියි. කොහොම වුණත් නොපසුබස්නා උත්සාහයත් යළි යළි ලිවීමත් පිහිට කරගෙන මට මගේ අවිශ්වාසය මඟහැරගන්න පුළුවන් කියල මම දන්නවා.

· මම හිතනවා ලේඛකයකුට ලිවීම යනු ජීවන විලාසයක් කියල. ඔබ සියලු දේ නිරීක්ෂණය කරනවා. කරලා හැම දෙයක්ම වෙනස් ආකාරයකින් සෙස්සන්ට විශ්ලේෂණය කරනවා. මේ වෙනස්කම් පිහිටන්නේ කොහේ කියලද ඔබ හිතන්නෙ?

ඔබේ ප්‍රශ්නය ෆ්ලෝබයා ඔය ගැන ලියූ දේකට සමාන ප්‍රකාශයක් සිහිගන්වනවා. ඒ තමයි “ලිවීම යනු ජීවත් වීමේ ආකාරයකි” යන්න. මං හිතන්නෙ ඒක එකලා නිවැරදියි. ඒ ඒ ලේඛකයා එය කරන්නේ එකිනෙකට වෙනස් ලෙස වුණත් මං විශ්වාස කරනවා එහි කිසියම් කැප කිරීමක්, කැප වීමක් තියෙනවා කියල. ඒ කියන්නෙ ලේඛකයා තමන් අත්දැකීම් ලබන අතර - මිතුරන් සමඟ, පෙම්වතුන් - පෙම්වතියන් සමඟ, නොරිස්සුම් සමඟ සැබෑ ජීවිතය ගෙවන අතර - ඔහු තමන් තුළ ඔත්තුකාරයකුත් රඳවාගෙන යනවා. ඒ සියලු දේ දකින, ලේඛකයකු වශයෙන් ඒ දේවල් ඔහුගේ කෘතිය තුළ හොඳින්ම පාවිච්චි විය යුත්තේ කෙසේද කියල තීරණය කරන කෙනෙක් ඔහු තුළ ඉන්නවා.

· ඔබ ගැන කීවොත් ඔබේ සාහිත්යික උත්තේජනයට වඩා ඵලදායී වී ඇත්තේ විඳවීමද? නැත්නම් සන්තුෂ්ටියද?

සතුට අත්විඳීම හරිම අපූරු දෙයක් කියල මම හිතනවා. ඒත් මං හිතන්නෙ නෑ ඒක ලිවීමට අමුද්‍රව්‍යයක් කියල. අඩු තරමේ අපේ කාලයට ඒක එහෙම නෑ. බාග විට අතීතයේ, සමහර කාලවල එය ලියන්න අමුද්‍රව්‍ය වුණා වෙන්න ඇති. ඒත් අපේ කාලයේ සාහිත්‍යය, කලාව, නිර්මාණශීලීත්වය උද්යෝගීමත්භාවයට වඩා, ආහ්ලාදයට වඩා. සන්තුෂ්ටියට වඩා දුෂ්කරතාවලින්, අසුභවාදයෙන්, බියෙන්, වේදනාවෙන්, කේන්තියෙන්, විඳවීමෙන් ගහන වෙනවා. මං හිතන්නෙ මේ නිසා තමයි අපේ කාලයේ කලාව කිසියම් පුදුම හිතෙන සහ ඛේදනීය නැඹුරුවක් දරන්නේ. එය තෘප්තිමත් වීමේ හෝ ලෝකය ඒ විධියටම බාරගැනීමේ සාහිත්‍යයක්, කලාවක් නෙවෙයි. ඒ වෙනුවට මං හිතන්නෙ අපේ කාලයේ සියලු කලා මාධ්‍ය ඉතා දැඩි කැරලිකාර ස්වරූපයක් දරනවා කියල. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නෙ එය මූලිකවම ජීවිතයේ සුබවාදීයි කියන දේට වඩා හුඟක් අසුබවාදී දෙයින් උත්තේජනය වීමයි.

· ඇතැම් විට කලා නිර්මාණය කලාකරුවාගේ වේදනාව අවම කරන්න. අසුබවාදී හැඟීම් බැහැර කරන්න මාර්ගයක්.

ඔව්. ඔබට නැති දෙයක් ගැන ඇති කාංසාව හෝ කේන්තියේ නොරිස්සුම පිටතට ප්‍රකාශ කරන්න එය මාර්ගයක්.

චිත්‍ර, සාහිත්‍යය යන කවර හෝ කලාත්මක භාෂා මාධ්‍යයකින් ඒ හැඟීම් මුදාහැරීමෙන් සහනයක් දැනෙනවාද?

කලාව යනු දැනුමේ ආකාරයක්. කලාව ඔබට ජීවිතය වඩා ගැඹුරින් දැනගන්න, වඩා බැරෑරුම් ලෙස දැනගන්න උදව් වෙනවා. මොකද සාමාන්‍යයෙන් කෙනෙකුට ජීවිතයේ පේන්නෙ බොහොම පොඩි දුරයි. ඒත් කලාව ඔබට දෘෂ්ටියක්, පරිස්ථිතියක් ලබාදෙනවා. ඒ දෘෂ්ටිය, පරිස්ථිතිය ලෝකයේ යථාර්ථය තේරුම් ගන්න, එහි මෙහෙයුම් සාධක, මතුපිට හැසිරීම්වල පසුබිමේ සැඟවුණු යාන්ත්‍රණයන් තේරුම් ගන්න උදව් දෙනවා. සැඟවුණු යථාර්ථයක් පිළිබඳ මේ විස්තරය තමයි කලා කෘතියක් ලබාදෙන්නේ. ඉතිහාසයට, සමාජ විද්‍යාවට සහ අන් ඕනෑම සමාජ විද්‍යාවකට වඩා කලා කෘතියක් ඒ දේ ලබාදෙනවා.

කෙනෙකුට කලා කෘතියකින් ඒ මුදාහැරීමේ සහනය දැනෙනවාද?

එහිදී අවසානයේ දැනෙන්නේ ඇත්ත වශයෙන් භාව විශෝධනයක් වගේ දෙයක්. මහා බරක් වගේ දැනුණ දෙයකින් ඔබ එහිදී නිදහස් වෙනවා. ඒත් එය මොකක්ද, මොන වගේද කියල ඔබට දැනගන්න ලැබෙන්නෙ එය සාහිත්‍යය, සිතුවම්, සංගීතය හෝ අන් කලා මාධ්‍යයකින් ඔබට ප්‍රකාශ කරන්න ලැබුණාමයි. ඔබට හරිම වේදනාවක් දැනෙනවා. ඒත් ඒ ඇයි කියල ඔබ දන්නෙ නෑ. මං හිතන්නෙ කලාවේ පුදුමයන් අතර එකක් තමයි එය ඔබට ඔබේ අවිනිශ්චිත, ව්‍යාකූල, බරපතල සාංකාවන්ට හේතු වන දේ ප්‍රකාශ කරන්න ඔබ දිරිමත් කිරීම. ඒත් අවසානයේ කලාව ඔබේ ඒ දේවල්වලට හැඩයක් ලබාදී ඇති බව, එය තේරුම්ගත හැකි දෙයක් බවට පෙරළා ඇති බව දැකීම කොච්චර විස්මයක්ද! හුඟක් වෙලාවට ඒ හැඟීම, එම මනෝභාවයන්…. ඔබ දන්නෙ නෑ ඒවා කොහෙන් එනවාද කියල. කෙනෙක් මේ මනෝභාවයන්ගෙන් පෙලෙනවා. ඒත් ඒවා ගැඹුරින් පැහැදිලි කරන්න ඔහු දන්නෙ නෑ. මම හිතනවා මේ දේවල් පැහැදිලි වෙන්නෙ සාහිත්‍යය හෝ කලාවට ඔබව පස්සට දාලා ඔබේ හැඟීම්වලින්, ඉවෙන් සහ ප්‍රතිභාවෙන් ඔබේ ජීවිතය තක්සේරු කරන්න ඉඩ දුන්නොත් පමණයි කියල. මං හිතන්නෙ එය කලාවේ ප්‍රධාන භූමිකාවලින් එකක්. එනම් අප තුළ ගැඹුරින්ම ඇති දේ, සැඟවුණුම දේ ඉදිරිපත් කිරීමයි.

එසේ නම් ඔබ ඔබේ හැඟීම් ප්‍රකාශනයෙන් ඔබ ගැන දේවල් දැනගන්න - හුඟක් වෙලාවට හරියටම කුමක්දැයි නොදන්නා, ඔබේ උපවිඥානයෙන් අනිච්ඡානුග ලෙස එන දේවල් දැනගන්න - සහ දැනගත් දේවල් මොනවාදැයි හඳුනාගන්න සමත් වෙලා ඇති.

සමහර වෙලාවට ඔබ එහිදී දැනගන්නා දේවලින් විස්මයට පත් වේවි. සමහර විට බය වේවි. එතකොට ඔබ ඔබෙන් අහන්නෙ මෙහෙම දෙයක්: “ඒ මගේ ඇතුළාන්තයද? එහෙම දෙයක් මා තුළ තිබුණාද? එය මා තුළට ආවේ කොහෙන්ද?”

ඇත්තටම “එය මා තුළින් ආ දෙයක්”?

කලා කෘති කියන්නෙ සැඟවුණු ස්වයංචරිතාපදානයි. බාග විට සාහිත්‍ය කෘති අන් කවරකටත් වඩා ස්වයංචරිතාපදානයි. මොකද ඒවා හරිම ඍජුව අප ඇතුළත දෑ කියනවා. විවෘතවම කියනවා. ඒවා උදාහරණයකට සංගීතය වගේ සංකේතීය දේ නෙවෙයි. සංගීතයත් ස්වයංචරිතාපන තමයි. ඒත් ඒවා හුඟාක් දුරට අමූර්තයි. (Abstract) සාහිත්‍යය කොහෙත්ම අමූර්ත නැහැ. එය හුඟක්ම ඍජුයි. හුඟක් දුරට මෙන්න මේකයි කියල පෙන්වන්න පුළුවන් තරමයි. එය මනුෂ්‍ය අභ්‍යන්තරය පිළිබඳ, මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ, මනුෂ්‍යයා සිටින තැන පිළිබඳ එක්ස් රේ කොපියක්. ඒ එක්ස් රේ කොපිය දිහා බලලා එහි ඇති දෙයින් කෙනෙක් හොල්මන් වෙන්න පුළුවන්. ඒත් එහි භාව විශෝධන ක්‍රියාකාරීත්වයකුත් තියෙනවා. භාව විශෝධනයෙන් ඔබට ඒ දේවල්වලින් නිදහස් වෙන්න පුළුවන්.

 

පරිවර්තනය කළේ [එස්. පල්ලියගුරුගේ]

මාතෘකා