මා සසල කළේ සරච්චන්ද්‍රයන්ගේ ‘මළවුන්ගේ අවුරුදු දා’ නවකතාවයි

 ඡායාරූපය:

මා සසල කළේ සරච්චන්ද්‍රයන්ගේ ‘මළවුන්ගේ අවුරුදු දා’ නවකතාවයි

බුද්ධදාස ගලප්පත්ති

මම නවකතා, කෙටිකතා, පද්‍ය කෘති ආදී ඕනෑම කෘතියක් කියවන කෙනෙක්. එහෙම කියවූ පොත් අතරින් මගේ සිත සසල කළ කෘතිය වන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මළවුන්ගේ අවුරුදු දා’ නවකතාවයි. මේ කෘතියේ මුල් ඈඳුතුව ‘මළගිය ඇත්තෝ’ යි. එය සරච්චන්ද්‍රයන් රචනා කරන්නේ 1959 වසරේයි. ඉන් පසු 1965 වසර වන විට එතුමා ‘මළවුන්ගේ අවුරුදු දා’ රචනා කරනවා. ‘මළගිය ඇත්තෝ’ මගින් කියවෙන්නේ දෙවොන්දරා සං ඔහුගේ ප්‍රේමය හඳුනාගන්නා ආකාරයයි. එය උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් රචනා වෙන්නේ. ‘මළවුන්ගේ අවුරුදු දා’ කෘතියෙන් කියවෙන්නේ නොරිකෝ සං සිය ප්‍රේමය දකින ආකාරයයි. එහිදී ඇය දෙවොන්දරා සං හා පැවති ආදරය විස්තර කරනවා. එයත් උත්තම පුරුෂ කථනයක් වුවත් එමගින් නොරිකො සංගේ වගේම දෙවොන්දරා සංගේත් හදවත හඳුනාගන්න ලැබෙනවා.

නවකතාවක් හැම විටම ජීවිතය මූලික යමක් කිව යුතුයි. එනම් ජීවිතය පිළිබඳ කිසියම් අරුතක් දැනවිය යුතුයි. මේ ජීවිත විවරණයේදී ආදරය, ප්‍රේමය, ඊර්ෂ්‍යාව වැනි මොන කරුණක් වුණත් පොදු මානව අනුභූතියක් විය යුතුයි. මේ කෘතියේ එන ප්‍රධාන චරිත දෙක පරිසර දෙකක හැදුණු දෙදෙනෙක්. නොරිකෝ සං අප නොදන්නා ජපන් පරිසරයේ හැදුණු වැඩුණු කෙනෙක්. දෙවොන්දරා සං ලාංකිකයෙක් - ලාංකීය සිත්තරෙක්. මොවුන්ගේ ප්‍රේමය වැඩෙන්නේ ඔවුන් දෙදෙනා අතර පවතින පොදු රුචි අරුචිකම් මතයි. ඔවුන් එක්ව ජපානයේ සාම්ප්‍රදායික නාට්‍ය විශේෂයක් වූ කබුකි නාට්‍ය බැලීමට යනවා. කබුකි රස විඳීමට ඉහළ රසඥතාවක් වුවමනා වෙනවා. මේ දෙදෙනාටම ඒ රසඥතාව තියෙනවා. නවකතා ද්වයෙන්ම ඔවුන් දෙදෙනාගේ ආත්මීය සමානකමුත්, ඔවුනොවුන්ගේ පරස්පරතාත් විවරණය වෙනවා. අන්තර්ගතය ගත් විට මෙය සාමාන්‍ය ප්‍රේම කතාවක්. ඒත් මෙහි බස අප සසල කරන තරම් කාව්‍යාත්මකයි. කොහොමටත් සරච්චන්ද්‍රයන්ගේ ප්‍රබන්ධ බස අතිශය කාව්‍යමය සුන්දර එකක්. ඔහුගේ බස් වහර සුන්දර වී ඇත්තේ ඔහු ඇසුරු කළ සම්භාව්‍ය ග්‍රන්ථ නිසා බව කිව යුතුයි. එම කාව්‍යමයභාවයට නිදසුනක් මේ. මෙය ‘මළවුන්ගේ අවුරුදු දා’ එහි එන ඡේදයක කොටසක්:

“..... එදා රාත්‍රියේ රුප්පාවල හිඳිමින් ගී ගයමින් රමණය කළ නුවරුන් අතර ප්‍රීති ප්‍රාමෝද්‍යයෙන් විසඥ වූ කලෙක මෙන් නිහඬව ඔහු සමඟ සක්මන් කරමින් හුන් වේලේ අප දෙදෙනා සුවින ලොවක සැරිසරන්නවුන් සේ පෙනුණද මතු මත්තෙහි කුමක් වෙතත් යොවුන් වියෙහි මට මේ සා අවස්ථා විඳින්නට ලැබීම මහත් භාග්‍යක්යැයි කල්පනා කෙ‍ළෙමි....

(පිටුව 65)

ඉතා උසස් බස් වහරක් භාවිත කරමින් මනා පරිකල්පනයක් කරා මනස යොමු කිරීමට මෙහිදී සරච්චන්ද්‍රයන් සමත්ව තිබෙනවා. සැබැවින්ම එහි ප්‍රේම කතාවත්, එම කතාව ඉදිරිපත් වන ළගන්නාසුලු බස් වහරත් පාඨකයා දිගු කාලයකට ඒ හා රඳවනවා.

මා ගැන කීවොත් මම උපන්නේ බෙලිඅත්තේ. මගේ අම්මා ගෘහණියක්. තාත්තා රියදුරෙක්. දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලක මම වැඩිමහල් දරුවායි. බෙලිඅත්ත විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව මම මාතර ශාන්ත සර්වේශස් විදුහලෙන් ද්වීතීය අධ්‍යාපනය ලැබුවා. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවේ විෙද්‍යා්දය විශ්වවිද්‍යාලයෙන්. ඒ කිව්වේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්. පොඩි කාලේ අම්මා මට කවි කියන්න පුරුදු කළා මට මතකයි. ඒවගේම තාත්තා හැමදාම වගේ ගෙදරට පත්තරය ගෙනාවා. මං හතර පහ පන්තිවලදි අපට සිංහල ඉගැන්වූයේ හෙළ හවුලේ අනුගාමිකයෙකු වූ ටී.කේ. සෝමපාල ගුරුතුමායි. ඔහු මට පොත් කියවීමේ අගය තවදුරටත් පැහැදිලි කළා. එහෙත් සැබැවින්ම සාහිත්‍යයට මා ඇලුම් කරන්න ගත්තේ සරච්චන්ද්‍රයන්ගේ ග්‍රන්ථවලිනුයි. පසුව මට සරච්චන්ද්‍රයන් ඇසුරු කිරීමටත් ලැබෙනවා. ඉතින් එදා මෙදා තුර මා කියවූ පොත් අතර මා සසල කළ කෘතිය මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මළවුන්ගේ අවුරුදු දා’ නවකතාවයි.

මාතෘකා