නිර්මාණකරණයේ  සොඳුරු දඩයක්කාරයා

 ඡායාරූපය:

නිර්මාණකරණයේ  සොඳුරු දඩයක්කාරයා

ප්‍රසන්න ජයකොඩිගේ ‘සංසාරේ දඩයක්කාරයා’ චිත්‍රපටය නැරැඹිමෙන් ලත් ආස්වාදය නිසා ඊට පාදක වූ සයිමන් නවගත්තේගමගේ ‘දඩයක්කාරයාගේ කතාව’ යළි කියවන්නට ගත්තා. එය කියවද්දී යළි යළිත් පසක් වූයේ ඒ මහා නිර්මාණවේදියාගේ අප්‍රමාණ වූ නිර්මාණවේශයේ මහිමය මෙන්ම වනාන්තරයේ සතා සිවුපාවා, ගහකොළ ඇසුරු කළ සැබෑම දඩයක්කාරයකු සේ ඔහු භුක්ති විඳි සැබෑම අත්දැකීම් ස්වකීය නිර්මාණකරණය පෝෂණය කරන්නට උපකාරී වී ඇති ආකාරයයි. සැබැවින්ම විවිධ තරාතිරම්වල විවිධ ආකාරයේ ගැහැනුන් මිනිසුන් පමණක් නොව මේ තරම් වනාන්තරයේ ගහකොළ සහ සතාසිවුපාවුන් ඇසුරු කරමින් ඔවුන්ගේ ජීවන ලාලසාවන් විනිවිද දකින්නට වරම් ලද නිර්මාණකරුවකු සිංහල සාහිත්‍ය වංශයේ අපට හමු නොවෙයි.

පේරාදෙණි සාහිත්‍යය බිඳවැටීමත් හැත්තෑව දශකයේදී ඊනියා ජනතා සාහිත්‍යය උත්කර්ෂයට නැංවීමත් සමග පුරන් වූ සිංහල සාහිත්‍ය කෙතට සරු බිජුවට වැපිරූ අපූර්ව නිර්මාණවේදියා සයිමන් නවගත්තෙගමයි. වන්නියේ හද්දා පිටිසර සිවලාකුලමෙන් සිදාදියට ආ මේ අපුරු නිර්මාණවේදියා වේදිකාවේ සහ සිනමාවේ විශිෂ්ට රංගන ශිල්පියකු පමණක් නොව විශිෂ්ට නාට්‍යවේදියකු මෙන්ම විශිෂ්ට සාහිත්‍යවේදියකු සහ විචාරකයකු ලෙසද 70 දශයේදී මතු වුණා.

‘ගංගාවක් සපත්තු කබලක් සහ මරණයක්’, ‘ඔරුව එනතුරු’, ‘ගගන සරණ කුරුල්ලනේ’, ‘පුස්ලෝඩං’, ‘සුබ සහ යස’, ‘ස්ත්‍රී’ ඇතුළු ඔහුගේ නාට්‍යවල විෂය ක්ෂේත්‍රය දාර්ශනික සහ දේශපාලනික වශයෙන් වැදගත් තැනක් ඉසිලුවා. සයිමන්ගේ ‘සුබ සහ යස’ එවකට ආන්දෝලනාත්මක නාට්‍යයක් වුණේ ඊනියා ජනතාවාදී සාහිත්‍යයෙන් ඊට බැට දෙන්නට පටන් ගත් නිසා. එවකට ‘ඇත්ත’ පුවත්පත මගින්ද ඔහු හැඳින්වූයේ සී අයි.ඒ.කාරයකු හැටියටයි. චින්තන ජයසේන නමැති විචාරකයා ඔහුගේ ‘කොලම’ මගින් ‘සුබ සහ යස’ ට පහර දුන්නේ ‘සුබ සහ යස නොහොත් කිතුලට ගිය මිනිසාගේ කතාව’ යනුවෙන්. එහි ප්‍රතිඵලය වුණේ ‘සුබ සහ යස’ රට පුරා දර්ශන වාර 1000ක් පමණ පවත්වන තරමට ජනප්‍රිය වීමයි.

සයිමන් මුලින්ම ‘ඔහුගේ කතාව’ නමින් කෙටිකතා එකතුවක් කරන්නේ ශිෂ්‍ය අවදියේදීයි. ඔහුගේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය ලෙස විචාරක පාඨක දෙපාර්ශ්වයේම සම්භාවනාට පාත්‍ර වන්නේ ‘සාගර ජලය මදි ඇඬුවා ඔබ සන්දා’ කෘතියයි. ඉන්පස්සේ සයිමන් අතින් ලියැවෙන ‘සුද්දිලාගේ කතාව’ නවකතාව සිංහල සාහිත්‍යයට නව අනුභුතියක් වුණා. එතෙක් අපේ සාහිත්‍යයෙන් මැවූ සුන්දර ගම සයිමන් එම නවකතාවේලා කුඩුපට්ටම් කරනවා. මුළු නවකතාව පුරාම දකින්ට ලැබුණේ අව්‍යාජත්වයක්.

‘සුද්දිලාගේ කතාවෙන්’ පසුව සයිමන් අතින් ලියැවෙන ‘සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා’ නැවත සිංහල සාහිත්‍යයේ විෂය ක්ෂේත්‍රය ඔළුවෙන් හිටුවා තබනවා. ‘සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා’ තුළින් සයිමන් ගෙනෙන ආඛ්‍යාන රීතිය එතෙක් පුරන්ව තිබූ සාහිත්‍ය කෙතට වට වැස්සක් වුණා. ඉන්පසු ඔහු ලියූ ‘දඩයක්කාරයාගේ කතාව’, ‘ක්ෂීරසාගරය කැලඹිණ’, ‘සංස්සාරාරණ්‍යය අසබඩ’ ඇතුළු නවකතා නවපුරේ නිර්මාණකරුවන්ට ආස්වාදජනක නව අනුභුතීන් බවට පත් වුණා.

සයිමන්ගේ මේ අතිශය නිර්මාණශිලී සාහිත්‍ය භුමිකාව ඔහු මියයන තුරුත් නිසි අගැයීමට ලක් වුණේ නෑ. සම්මාන උත්සවවලදී ‘සාගර ජලය මදි ඇඬුවා ඔබ සන්දා’, ‘සුද්දිලාගේ කතාව’ ඇතුළු විශිෂ්ට කෘති අගැයුණේ නෑ. ‘සංසාරාරණ්‍ය අසබඩ’ නවකතාව පමණක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උත්සවයකදී හොඳම නවකතාව හැටියට සම්මානයට පාත්‍ර වුණා. ඒ අවස්ථාවේදී අධිපති මතවාදයෙන් සම්මාන පිදූ අයටත් සයිමන්ටත් බැට දුන්නේ එය කුණුහරුප පොතක් හැටියට හංවඩු ගහමිනුයි.

සයිමන් ඔහුගේ සාහිත්‍යය තුළ ලිංගිකත්වය නොසඟවා ලිව්වා. ඒවා එම නිර්මාණ කෘතිවල ආ චරිතවල අව්‍යාජ ලිංගික චර්යාවන් මිස අහසින් පොම්ප කළ ඒවා නොවෙයි. සයිමන්ගේ සාහිත්‍ය භාවිතාව නිල විචාරය විසින් නොතකාහැර සහ ඔහුගේ නව නිර්මාණකරණය ඒ නිල විචාරකයන්ටක් දුරවබෝධව තිබූ අවදියක ‘සිංහල ජාතියේ වංශ කතාව, සංසාරාරණ්‍යය සහ සයිමන් නවගත්තේගම’ නමින් ඉතා අගනා කෘතියක් පළ කරමින් එම භුමිකාව පූර්ණ විග්‍රහයකට ලක් කළේ කේ. කේ. සමන් කුමාර (සර්පයා) පමණයි. සයිමන්ගේ නිර්මාණකරණයේ ඇතුළත විමසන්නකුට ඒ සඳහා දොරගුළු හැර ගන්නට තිබෙන එකම යතුර එම කෘතිය පමණයි.

සයිමන්ගේ සමස්ත නිර්මාණකරණයත් ඔහුගේ පෞද්ගලික ජීවිතයත් දෙකක් නොව එකක්. ඔහු ඉතා හොඳින් ජීවිතය වින්ඳා. තමන් ඇසු රු කළ ගැහැනුන්ගේ සහ පිරිමින්ගේ ජීවිත විනිවිද දුටුවා. ඒ ජීවිත ඇතුළේ තිබූ කුණුසැරව එළියට ඇදලා දැම්මා. එහිදී සම්මත සමාජය ඔහු තුට්ටුවකටවත් මායිම් කළේ නෑ.

‘සුද්දිලාගේ කතාවේ’ පෙරවදනෙහිලා සයිමන් මෙහෙම කියනවා.

“මෙම ජීවිත සටහන්වල සඳහන් වන ප්‍රධාන චරිත අතරින් රොමියෙල් හැර අනික් අය අද ජීවතුන් අතර නැත. එක්තරා අවධියකදී මට ඔවුන් හැම දෙනාම වෙන් වෙන්වද එක්වද ආශ්‍රය කිරීමේ භාග්‍යය ලැබිණි. සුද්දී නමින් මෙහි හැඳින්වෙන අහිංසක ගැහැනිය පවා ඉතා ළඟින් ඇසුරුකරමින් ඇගේ සිතුවිලි හා ජීවිතය මුළුමනින්ම වගේ දැනගැනීමට අපූරු අවස්ථාවක් මම ලැබීමි. මෑතක්වන තුරු රොමියෙල් මට විටින් විට ඔහුගේ ජීවිතයේ හැම දෙයක්ම හෙළි කළේය.

“ඔවුහු හැම දෙනාම මට ජීවිතය සහ සමාජය ගැන ඉගැන්වූහ. සුද්දිලා, රොමියෙල්ලා ඇසුරු කිරීමෙන් එක් කලෙක මා නොයෙක් අපහාස සහ ඕපාදූපවලට ගොදුරු වුවත් ඔවුන් හා එක්ව ගත කළ කාලය මට ඉතාම රසවත් විය...”

‘දඩයක්කාරයාගේ කතාව’ පෙරවදනෙහිලා සයිමන් මෙහෙම කියනවා.

“අපගේ ගම වටා එකල මහා වනාන්තරයක් විය. ඉතා දක්ෂ දඩයක්කාරයකු වූ මගේ පියාණන්දෑ තුළ වනාන්තරය පිළිබඳව වූයේ අනල්ප වූ ඥාන සම්භාරයකි. උන්දෑගෙන් උරුම කොටගත් දැනුම මෙම නවකතාවේ හරය වෙයි.”

සයිමන්ගේ නිර්මාණවලට විෂය වූ චරිත, පරිසරය සහ එම අනුභුතීන් සියල්ල ඔහු විසින් හොඳින් අත්දකින ලද ඒවා බව පැහැදිලියි. ඔහුගේ නිර්මාණකරණය මෙතරම් පොහොසත් වන්නටත් අව්‍යාජ වන්නටත් ප්‍රධානම හේතුව එහි එන චරිත තුළින් අව්‍යාජව මිනිස් ගඳ හා සුවඳ දෙකම වහනය වීමයි.

 

මාතෘකා