මා සසල කළේ ‘මනමේ’ පෙළයි : මහාචාර්ය ආරිය රාජකරුණා

 ඡායාරූපය:

මා සසල කළේ ‘මනමේ’ පෙළයි : මහාචාර්ය ආරිය රාජකරුණා

මා උපන්නේ අවිස්සාවේල්ල පුවක්පිටිය ඇස්වත්ත කියන ගමේ. කොළඔට තරමක් නුදුරු ප්‍රදේශයක් වුණත් එකල අපේ ගම බොහොම සුන්දරයි. මගේ අම්මා, තාත්තා එක්ක අපි දරුවෝ පස් දෙනෙක් අපේ පවුලේ සිටියා. මට සහෝදරයෝ දෙන්නායි, සහෝදරියෝ දෙන්නායි. මම පවුලේ හතරවැනියා. තාත්තා වතු පාලකයෙක්. අම්මා ගෘහණියක්. කියවීම කියන දේ මම හඳුනගත්තේ මගේ ගෙදරින්මයි. අක්කලා අයියලා පොත්පත් කියවන විදිය මම කුඩා කාලයේම දැක්කා. ඒ නිසා පොතපත කියන්නේ කියවිය යුතු, අධ්‍යයනය කළ යුතු දෙයක් බව මම තේරුම්ගත්තා.

මගේ පාසල් දිවිය ඇරඹෙන්නේ රත්නපුර සීවලී විදුහලෙන්. පාසලට ඇතුළත් වීමත් සමඟම පොතපතට තිබූ මගේ ළැදියාව තවදුරටත් වර්ධනය වුණා. සීවලී විදුහලෙන් පසු මම විශ්වවිද්‍යාල ප්‍රවේශ පංතිය සඳහා කොළඔ ආනන්ද විද්‍යාලයට ඇතුල් වෙනවා. ලංකා විශ්වවිද්‍යාලය කොළඹින් පේරාදෙණියට ගෙන යන විට ඒ ගෙන ගිය සිසුන් අතර මටත් සිසුවෙක් වෙන්න පුළුවන් වුණා. එය ඇත්ත වශයෙන් මගේ දිවියේ හැරවුමක් වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මට පොතපත පරිශීලනයට නිදහස් තෝතැන්නක් වුණා.

කියවීම විනෝදාංශයක් වු මගේ දිවියේ මා සසල කළම කෘතිය වන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ මනමේ පෙළයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනමේ බිහි වෙන්නේ මා විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙකුව සිටියදීමයි. ඒ, 1956 වසරේදී. මේ නාට්‍යය බිහි වීමට පෙර මෙකල අපේ නාට්‍ය කලාව උසස් රසිකත්වයක් සමඟ බැඳී තිබුණෙ නැහැ. රුක්මනී දේවි, එඩී ජයමාන්න වැනි නළු නිළියන් රඟදැක්වූ නාට්‍ය කලාවක් ප්‍රමුඛව දක්නට ලැබුණේ. නාඩගම්, නූර්ති වැනි රංගන සම්ප්‍රදායනුත් ඒ අතර ලැබුණා. විශ්වවිද්‍යාලය තුළ බටහිර ස්වභාවික නාට්‍ය අනුවර්තනය කර රඟදැක්වීමකුත් සිදු වුණා. කෙසේ වෙතත් මේ අතර උසස් නාට්‍ය කලාවක් දක්නට ලැබුණේ නැහැ.

මෙවන් යුගයක සරච්චන්ද්‍රයන් ජාතක පොතේ එන චුල්ලධනුද්ධර ජාතකය ආශ්‍රය කොට ගෙන මනමේ නාටකය බිහි කරනවා. මෙතෙක් කලක් ප්‍රේක්ෂකයාගේ උසස් රසාස්වාදනය විසිළුවට ලක් කළ නාට්‍ය රැල්ල මේ හරහා කිසියම් දුරකට බිඳ වැටෙනවා. විශේෂයෙන් නාට්‍යය යනු කුමක්ද, නාට්‍යයෙන් විය යුත්තේ කුමක්ද යනාදිය ගැන අලුත් අදහස් සමාජය තුළ ඇති වෙනවා. අනෙක් අතට ඉන් දේශීය නාට්‍ය කලාව ආරම්භ වෙනවා.

සරච්චන්ද්‍රයන් මනමේ ලියන්නේ මනමේ කෝළම සහ මනමේ නාඩගම ආශ්‍රය කොටගෙන. එහිදී ඔහු අතිශය නිර්මාණාත්මක බස් වහරක් යොදා ගන්නවා. පවුල් ජීවිතය තුළ සිදු විය හැකි අර්බුදයක් මානුෂීය පැතිකඩකින් ඉදිරිපත් කිරීමට එහිදී ඔහු සමත් වෙනවා. පෙළ රචනයේදී පැවැති සාම්ප්‍රදායික පැතිකඩ ඉක්මවා යෑමකුත් සිදු වෙනවා. ජාතක කතාව, මනමේ නාඩගම, මනමේ නූර්තිය ආදියට වහල් නොවී නිදහස් මනසකින් කතාපුවත දෙස බැලීම නිසා මනමේ පෙළ සාර්ථක බවක් ලබා ගෙන තිබෙනවා. මෙරට නාට්‍ය ඉතිහාසය නවමු මඟකට ගෙන ගිය මනමේ පෙළ මෙනිසා මගේ හද සසල කළම කෘතිය වෙනවා.

මාතෘකා