‍ජාතක කතාව නැවත ලියන භාෂාත්මක අත්හදාබැලීමක්: කාමනීත

 ඡායාරූපය:

‍ජාතක කතාව නැවත ලියන භාෂාත්මක අත්හදාබැලීමක්: කාමනීත

පරිවර්තනය - පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි

නව මුද්‍රණය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ

 

බස අතින්, කතාව අතින්, සාහිත්යික භාවිතාව අතින් මා මවිත කළ කෘතියක් පසුගියදා මට කියවීමට ලැබිණි. ඒ, පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් විසින් සිංහලට නඟන ලද ‘කාමනීත’ නම් නවකතාවය. ගොඩගේ තොග අවසන් කිරීමේ පරණ පොත් අතර තිබී මා ඒ මිල දී ගත්තේ රුපියල් දහයක මුදලකටය. ආනන්ද මෛත්‍රෙය හිමියන් වැනි තෙර නමක නවකතාවක් සිංහලට නැඟීමද මට විස්මයක් විය. උන් වහන්සේ මෙතෙක් සිංහලට හඳුන්වා දී ඇත්තේ සපුරා වෙනස් චිත්‍රයක් ලෙස - ආධ්‍යාත්මික ධ්‍යාන පිරූවකු ලෙස - නිසාය. පසුව මට සෝමසිරි කස්තුරි ආරච්චි ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියා සඳහන් කළේ ආනන්ද මෛත්‍රෙය හිමියන් නවකතාවක්ද ලියා ඇති බවත්, උසස් බසක් ඇතත් එය වැඩි දෙනෙකුගේ අවධානය නොරැඳුණ බවත්ය.

‘කාමනීත’ පූර්විකාවේ දක්වා ඇති අන්දමට මෙය කාල් ජෙල්රස් නම් නෝර්වේ ජාතික ගත්කතුවරයා ජර්මානු භාෂාවෙන් ලියූ කෘතියකි. එය ඉංග්‍රීසියට පරිවර්තනය වී ඇත්තේ වර්ෂ 1900 දී පමණය. මෛත්‍රෙය හිමියන් සිංහලට නඟා ඇත්තේ ඒ ඉංග්‍රීසි ග්‍රන්ථයය. ඒ, 1938 වසරේ මැයි මස පටන් ‘සිංහල බෞද්ධයා’ පුවත්පතට කොටස් වශයෙනි. ඉංග්‍රීසි ග්‍රන්ථය පිටු 304කින් සමන්විත වුවත් තමන් වහන්සේ කළේ එහි කතාව (පිටු 82කට) සංක්ෂිප්ත කිරීම බවත් පරිවර්තක හිමියෝ මෙහි පූර්විකාවේ සඳහන් කරති. ‘කාමනීත’ මහායාන ධර්ම කතාවක ස්වරූපය දරන්නක් බවද එහි සඳහන් වන අතර එහි කතාව පිහිටුවෙන්නේ බුදුන් වහන්සේ වැඩ වසන සමයේ

‐ හරියටම බුද්ධ පරිනිර්වාණ වර්ෂයේ ‐ රජගහ නුවරය. (රජගහ නුවර අද හඳුන්වන්නේ රාජ්ගීර් යනුවෙනි.)

‘කාමනීත’ කතාන්දරයට අනුව බුදු රජාණන් වහන්සේ රජගහ නුවරට වැඩි අවස්ථාවක තමන් වහන්සේට දැන් පිරිනිවීමට කාලය එළඹ ඇතැයි කල්පනා වේ. ඒ අනුව උන් වහන්සේ සිය පරිවාර ආනන්ද හිමියන් ඇතුළු භික්ෂු සංඝයා ජීවක වෙදතුමා පිදූ අඹ උයනට යවා තනිවම අන් තැනක වැඩ විසීමට බැහැර වඩිති. එසේ වඩින අතරමඟ ඔවුනට කුඹල්හලක් හමු වේ. පසුව කුඹලාගෙන් තමන් වහන්සේට එහි රැය ගෙවිය හැකිදැයි විමසති. ඔහු පවසන්නේ කුඹල්හලේ දැන් පැමිණි තවුසකු සිටින බවත්, ඔහු කැමති නම් ගැටලුවක් නැති බවත්ය. බුදුන් වහන්සේ කුඹල්හලට ඇතුල් වී තවුසාගෙන් අවසර ඉල්ලන අතර ඔහු ඊට ඉතා කැමැත්තෙන් ඉඩ දෙයි. අනතුරුව බුදුන් වහන්සේ තවුසා පැමිණියේ කොහි සිටදැයි හා කුමට තවුස් දිවියට ඇතුළත් වූයේදැයි ප්‍රශ්න කරති. එවිට රැය පහන් වන තුරු ඔහු තමන් පිළිබඳ පුවත බුදුන් වහස්සේට ඉදිරිපත් කරයි. ඒ අනුව දෙවනුව දිගහැරෙන්නේ ජාතක කතාවක නිධාන කතාවක් ලෙස තවුසාගේ අතීත කතාවය.

එම කතාවට අනුව තවුසා කාමනීත නැමැත්තෙකි. ඔහු නිරිතදිග බොහෝ ඈත අවන්ති රටෙහි උජ්ජයිනී නුවර වෙළෙඳ කුලයට අයත් සිටුවරයකුගේ පුත්‍රයෙකි. ඔහු තක්සලා නුවර දිසාපාමොක් ඇදුරින් අතින් ඉතිහාස, සාහිත්‍ය, සිත්තම් ඈ කලාද, කඩු ‐ දුනු සිප්ද පරතෙරට හදාරා නැවත සිය නුවරට එන්නේ පියා ඔහුට වෙළෙඳාමේ පුරුද්ද ඇති කරගන්නැයි කොසඹෑ නුවර පනාද නම් මිතුරු වෙළෙන්දෙකු වෙත පිටත් කර යවයි. එහිදී කාමනීතට පනාද වෙළෙඳ සිටුගේ පුත් සෝමදත්ත හමු වෙයි. ඔහු තමා හා සම වයස් වන අතර දෙදෙනා මිතුරු වී කොසඹෑ නුවර සිරිනැරඹීමට යති. එහිදී කාමනීත විඳු දෙවඟනට පැවැත්වු පුද උලෙළකදී වාසිට්ඨි නම් යුවතියක හා පෙමින් බැඳේ. වාසිට්ඨියගේ මිතුරිය මේදිනීය. ඕ සෝමදත්තගේ පෙම්වතියය. මෙනිසා සිටුවර දියණියක වූ වාසිට්ඨි සමඟ පෙම් පුවත පැවැත්වීමට මේදිනියගේ සහාය ලැබේ. එහෙත් වාසිට්ඨිය කෙරේ කොසඹෑ නුවර රජ කුමරකු වූ ශාතාගිර කුමරුද පිළිබඳ සිතක් ඇති කරගෙන තිබෙන අතර වාසිට්ඨියගේ පියාණන් කැමැත්ත දී තිබෙන්නේද ඔහුටය. කෙසේ වුව කාමනීත නැවත උජ්ජයිනී නුවරට පිටත් වීමට පෙර ශ්‍රී කෘෂ්ණදේවයන් නමට වූ දෙවොලකදී වාසිට්ඨිය හමු වෙයි. එහිදී වාසිට්ඨිය කාමනීත හා කිසියම් පොරොන්දුවකට එළඹෙයි. එනම් “අපට මෙලොවැදී නැවත එක් වන්නට නොලැබුණහොත් දුක් සහිත වූ, මඳ ආයු ඇති මේ අත්බව මරණයෙන් බිඳී ගිය පසු සුඛාවතියේදී අපි එක් වෙමු” යනුවෙනි.

ඒ අනුව කාමනීත උජ්ජයිනී පුරයට පැමිණෙන අතර නැවත ඔහුට කොසඹෑ නුවරට ගොස් වාසිට්ඨිය මුණගැසුමේ මං නොයෙකුත් හේතු මත දිගු කලකට මඟහැරේ. අවසන වසර ගණනකින් පසු ඔහු නැවත කොසඹෑ නුවරට යන විට ඔහුට දක්නට ලැබෙනුයේ ශාතාගිර කුමරු හා වාසිට්ඨියගේ සරණ මංගල්‍යය පැවැත්වෙන අයුරුය. ඉන් භග්නාශාවටත්, කම්පනයටත් පත් වන කාමනීත නැවත උජ්ජයිනී පුරයට පැමිණෙන්නේ පියා යෝජනා කරන විවාහයකට එකඟ වී විවාහ දිවියට ඇතුළත් වේ. එහිදී සිය බිරිඳට ලැබෙන්නේ දියණියන්ම බැවින් පියාගේ ඇණවුමකට දෙවන බිරියක්ද ගෙනෙයි. දෙවන බිරියට පුතුන් ලැබෙතත් අනතුරුව බිරියන් දෙදෙනා කලහ කරගැනීමට වෙයි. කාමනීත හාද කලහ කරති. ප්‍රතිඵලය ගිහිගෙයි කලකිරී ඔහු තවුස් දිවියට යෑමය. කුඹල්හලේදී ඔහුට බුදු රජාණන් වහන්සේ මුණගැසෙනුයේ එසේ ගිහිගෙය හැර යන අතරය.

මිනික්බිති එළඹෙන්නේ කතාවේ තෙවන භාගයය. එහිදී කාමනීත වාසිට්ඨිය හා ආශාවෙන් දැවී මියගොස් ඔහු පැතූ ලෙස සුඛාවතී දිව්‍ය ලෝකයේ පියුමක්ව ඉපදේ. වාසිට්ඨියද පෙර ප්‍රාර්ථනාව පරිදි එහි පියුමක්ව උපදී. වාසිට්ඨිය මිනිස් ලොව සිටියදී ශාතාගිරගෙන් වෙන්ව බුදු සසුනේ පැවිදි වී බුද්ධ ධර්මය ශ්‍රවණය කළ බවත්, බුදුන් වහන්සේ පිරිනිවන් පාද්දී ඒ අසල සිට ඔවුන්ගෙන්ම ධර්මය ශ්‍රවණය කළ බවත් කාමනීත හා පවසයි. මේ අනුව ‘කාමනීත’ කතාන්දරය අවසන් වන්නේ මුලින් වාසිට්ඨිය නිර්වාණයට එළඹීමෙනුත්, පසුව කාමනීත නිවන් මඟට එළඹීමෙනුත්ය.

චිරන්තන බස නූතනයට ගැළපීම

‘කාමනීත’ කතාන්දරය මා මවිත කළ තැන් බොහොමයකි. ඉන් ප්‍රධාන වන්නේ ආනන්ද මෛත්‍රෙය හිමියන් එය සිංහලට නඟන කාව්‍යාත්මක ආකාරයය. එය සැබැවින්ම චිරන්තන සාහිත්යික බස්වහර නූතනයට ගළපා ගත හැකි ආකාරයට මනා නිදසුනකි. මේ ඡේද විමසන්න:

“අවරගිරට බස්නා හිරුහුගේ මුදු මොළොක් රස්දහර සියලු රජගහ නුවර වසාගෙන පැතිරැ යන්නට වන. සැඳෑ එළියෙන් මුළු පෙදෙසම රන් රෙසෙහි ගිලී ගිය කලෙන සේ දිස් විය. සැඳෑ කැලුම් පහස ලත් අවට පිහිටි කඳුවැටි සහිත සියලු පෙදෙස නිවී සැනැහුණු කුඩා දෙව්පුරයෙක සිරි ඇරැපෑය.” (1 පිටුව)

“භාග්‍යවතුන් වහන්සේ උපනුවරද හුඟ දුරක් වැඩි සේක. මඟ දෙපසැ ගෙවල් විරළයහ. නවාතැනක් බලා වඩනා උන් වහන්සේට පළමුවෙන්ම දක්නට ලැබුණේ වත්තක් මැදැ වූ අඳුරු බිත්ති ඇති ගෙයකි. එය ඉදිරියෙහි ගසෙක අත්තෙක දැලෙක් එල්බැ තුබුණේය. ඒ කුරුලු - වැද්දකු පදිංචි තැනෙකි.

“භාග්‍යවතුන් වහන්සේ මොහොතකුදු එහි නොරැඳී ඉදිරියටම වැඩි සේක. එසේ ටික දුරක් වැඩි උන් වහන්සේට ඇනුම් බැණුම් හඬෙක් ඇසිණ. මාවත අද්දරැ පොහොසත් බමුණකුගේ ගෙයෙකි. එහි ඒ බමුණාගේ දෙඅඹුවන්ගේ කලහයෙකි. භාග්‍යවතුන් වහන්සේ එයද ඉක්මැ වැඩි සේක.

“නොබෝ දුරෙහි තව ගෙයෙක් පෙනිණ. එයින් සිනහ හඬද, අත්තාලම් හඬද, නොයෙක් වීණා ආදියේ හඬද නික්මිණ. එහි මඟුල් උළෙලෙකි. එහි දොරින් හිස මෑත් කළ යුවතියක් මේ අඳුරෙහි වඩනා අමුත්තාණන් දැක, ‘එන්නැ, එන්නැ, අප හා සතුටු වන්නැ. අප මඟුල් උළෙලට හවුල් වන්නැ’යි හඬ ගෑවාය.

“තව ටික දුරක් වැඩි සේක. හොඳටම රෑ විය. භාග්‍යවතුන් වහන්සේ තවත් ඔබ්බට වඩනා සේක්, මාවත පසෙකැ වූ කුඹල්හලක් දුටු සේක. කුඹලා දවසේ වැඩ අවසන් කළා පමණය. භාග්‍යවතුන් වහන්සේ ඔහු වෙත එළැඹි සේක. එළැඹැ ඔහු බණවා, ‘පින්වත, නුඹට බරෙක් නොවේ නම්, මේ අද එක් රැයක් නුඹේ කුඹල්හලේ වසන්නෙමි’යැ වදාළ සේක.” (4 පිටුව)

(මෙම උපුටනවල පද බෙදීම් අපට අභිමත ලෙස තබා ඇත. එසේ කළේ පැරණි - හෙළ හවුලේ - පද බෙදීමේ ක්‍රමය ඉවත් කළ විට ඒ බස අපට කෙතරම් සමීපදැයි පෙන්වීමටය.)

මේ බස්වහර ජර්මානු මුල් කෘතියේ හා ඉංග්‍රීසි පරිවර්තනයේ කෙබඳු ලෙස තිබුණේදැයි මම නොදනිමි. එහෙත් ආනන්ද හිමියන් චිරන්තන සාහිත්යික බස එහි කාව්‍යාත්මක බව නොබිඳා ඉදිරිපත් කරන අයුරු මින් විශද වේ. ඒ අනුව ඒ බස සමීපව විමසන්නෙකුට ඒ ඇසුරින් නූතන අත්දැකීම් ප්‍රකාශ කිරීමටද ධ්වනිපූර්ණ, කාව්‍යාත්මක බසක් ගොඩනඟාගැනීමට අපහසු නැත.

අලුත් ජාතක කතා

‘කාමනීත’ මා මවිත කරන තවත් තැනක් නම් වෙනත් කතාවක් පැරණි ජාතක කතාවක් ලෙස ඉදිරිපත් කරන ආකාරයය. පන්සියපනස් ජාතක කතාවේ වර්තමාන කතාවක් හා නිධාන කතාවක් ඇත. මෙහිදීද වර්තමාන කතාවක් හා ඊට පසුබිම් වූ අතීත කතාවක් ඇත. එය අතීත කතාව වර්තමානයට ගෙන එහි පූර්වාපර සන්ධි ගැළපීමක් බඳුය. මෙබඳු කතා ආකෘතියක් ජාතක කතාව මතකයට නංවන සේම ඊට වඩා වැඩි දෙයක්ද කරයි. එනම් පාඨකයා කතාවට ඇදබැඳ තබමින් ඔහුට කල්පනා ලෝක ආස්වාදයක් හා කතා රසයක් ගෙන දෙයි. අනෙක් අතට ජාතක කතා පොතේ එන කතා 550 පසුකර තවත් කතා ඊට එක් කිරීමට - අලුතින් ජාතක කතා ලිවීමට - මෙමගින් කෙනෙකුට හැකිය. ‘කාමනීත’ ඒ සඳහා හොඳ පූර්වාදර්ශයකි. (ඒ පූර්වාදර්ශය යුරෝපීය සංස්කෘතියේ නෝර්වේ ජාතික ගත්කතුවරයකු ලබාදීමත් පුදුමයකි.)

රස නිපයෙන ලෙස බස වැහැරීම

මෙහිදී ආනන්ද මෛත්‍රෙය හිමියන් භාවිත කරන්නේ සරල, සුගම බස්වහරක් පමණක් නොවේ. උන් වහන්සේ එක් පසෙකින් කතාව වඩා ධ්වනිපූර්ණ ලෙස ඉදිරිපත් කරන අතර අනෙක් පසින් උචිත ලෙස රස නිපයෙන පරිදි ඒ විදහාලති. වාසිට්ඨිය මුණගැසී ආපසු සෝමදත්තගේ ගෘහයට පැමිණි කාමනීත හැසිරෙන ආකාරය මෙහි ඉදිරිපත් වන්නේ මෙසේය:

“රෑ විය. මම මගේ කාමරයට වනිමි. මඳ වේලාවකින් මා යහළුවා බොජුන් ගෙන්වා ගෙන ආයේය. ‘දැන්ම වුවමනා නොවේ. තව ටික වේලාවෙකින් අහර ගන්නෙමි’යි මම් කීමි. හෙතෙම සිය ඕවරකයට ගියේය. ඔහු ගිය පසු මම බිමැ පැදුරක් එළීමි. එය මතැ හසර - මිණිය ගොතා හිඳ ගතිමි. කල්පනා කෙළෙමි. දිගටම කල්පනා කෙළෙමි. බොජුන් ගැන්මද සිහියට නොආයේය. මා සිතැ පෙනෙන සිරිකතගේ පිළිරුව අරමුණු කොට සමාධිය වැඩීමි. සොඟොවා තුබුණු තැනින් සායමුත්, තෙලිකූරුත් මෑත් කෙළෙමි. ඇය රුව අඳින්නට පටන් ගතිමි. ඉරු උදා වන්නට පෙරම එය ඇඳැ නිම කෙළෙමි. එකෙණෙහිම පිය හඬෙක් මා කනැ වැදිණ. මම ටිකක් තිගැස්සුණෙමි. චිත්‍රය ඇඳ යටට දැමීමි. කිසිවෙක් දොරට තට්ටු කෙළේය. මම සෙමෙන් දොර හළෙමි. ඒ, සෝමදත්තය. හේ කාමරයට වැදුණේය. මා දෙස බැලීය. වටපිටද බැලීය. ඇඳඇතිරිල්ල එළූ පරිදිම තිබෙනු දැක මඳක් විස්මිත අයුරක් පහළ කෙළේය…..” (12 පිටුව)

ඉහත ඡේදයේ ඇත්තේ සරල බස හා කෙටි වැකි පමණක් නොවේ. එහි අවස්ථාවෝචිතව රස නිපයීමත් භාෂා ශෛලිය අඩු වැඩි කිරීමත් ඇත. සියල්ල කුළුගන්වා ඇත්තේ රස වටාය. ප්‍රබන්ධය යනු පාඨකයාට තේරෙන ලෙස අදහස් කියා පෑම නොව පාඨකයා රසාස්වාදනයට පත් කිරීම බව ආනන්ද හිමියන් මැනවින් වටහාගෙන ඇත.

ශෛලිය හා රිද්මය

අවස්ථාවෝචිතව වේගවත් ශෛලියක් හා රිද්මයක් පාවිච්චි කිරීමට ඉහත ඡේදය සේම මේ ඡේදයද නිදසුනකි:

“මම වඩාත් බිය ගතිමි. සිහිවිකලව ගෙට වැදුණෙමි. බංකුවක් මතැ ඉඳ ගතිමි. පලි ගන්නට සිතුණොත් කවරදා නුමුත් පලි නොගෙන නොනවත්නා අඟුල්මල් මගෙන් සිය මිතුරා මැරූ පලිය ගන්නට වෙස් වළා ආයේ වනැයි මට හැඟිණ. මම් නොබෝ වේලායෙහි අසකු අරා රජු වෙත ගියෙමි. ඔහු මුව දඩයමේ ගියහයි අසා, වහා නගරාධිපතියා වෙත ගියෙමි. එසමයෙහි නගරාධිපතිවැ සිටියේ කොසඹෑ පුර ගමනේදී මගේ ආරක්ෂක වූ රාජ නියෝජිතයාය. එදා ඔහු බසට මා නොනැමුණු බව ගැන හේ මට කලකිරී සිටියේය. මගේ පැවැත්ම ගැනද පහත් හැඟීම් ඇත්තේ විය. එහෙත් මේ බිහිසුණු මොහොතෙහි ඔහු වෙත ගියෙමි. මට වූ හැඟීම සැල කෙළෙමි. හේ සිනාසුණේය. තමා බස නොපිළිගෙන හිතුවක්ම කරන්නට ගොස් අඟුල්මලුට හසුවැ හිරිහැර ලැබ, එයින් සිහිවිකලව හෝ එය ගැන පමණ ඉක්මැ සිතීමෙන් සිත්පෙරැළිය ඇතිවැ හෝ මා නන්දොඩවන බවත්, අඟුල්මලු ශාතාගිර කුමරුට හසුවැ පරලොවැ ගොස් බොහෝ කල් ගතවැ ඇති බවත් හේ කීය. මා නොයෙක් කරුණු දැක්වුවද හේ නොපිළිගත්තේය. ‘හොඳට නිදාගෙන විවේක ගන්නැ’යි හේ කීය. අඟුල්මලු බිම්ගෙයක සිර කරන ලදුවැ මළ බව ශාතාගිරයන් තමා හා කී බවද, උලැ තබන ලද ඔහු හිස තමා දුටු බවද වැඩිදුරටත් ඔහු කීය. ඔහුට කාරණය වටහවන්නට මා ගත් තැත නිෂ්ඵල විය. මම් පෙරළා ගෙට ආමි…..” (පිටු 36 - 37)

මෙහි ශෛලිය හා රිද්මය වෙනස් කර ඇත්තේ ඊට සමවාය බසක් භාවිත කරමිනි. ඒ බසේ කටෝර තැන් නැති අතර රළු වදන් කැටි භාවිත කර ඇත්තේ අරුත් උද්දීපනයට පමණි.

අනුප්‍රාසවත් වැකි හා වදන් කැටි

අනුප්‍රාසය තබමින් වැකි හා වදන් කැටි නිමවන ආකාරයද මෙහි අපූරුය. මේ, ඊට නිදසුන් කීපයකි:

“නන්වැදෑරුම් අබරණ පලන්, දෙව්දූන් බඳු යුවති මුළුවෙක් අප ඇස් ඇද ගත.” (10 පිටුව)

“මේ දෙව් උදහසෙක් දෝයි මට සිතුණේය.” (14 පිටුව)

“ඒ මුළු කාලය දික් සිහිනයක් සේ මට හැඟිණි. ” (16 පිටුව)

“වාසිට්ඨිය වසන අශෝක ප්‍රාසාදය මට එකම ක්ෂේමභූමිය යැයි, දුක් නැති එකම තැන යැයි කීමි.” (18 පිටුව)

“ප්‍රේම සමාධියෙන් කොතෙක් වේලා ගත කළමෝදැයි නොදත්තමු.” (21 පිටුව)

“අනේ! අනාගතය අප දෙස රවා බලන්නා සේ මට හැඟෙයි. අහෝ ප්‍රියය, එය මට දැනෙයි. ආයෙත් මේ ජීවිතයේදී මට ඔබ දකින්නට නොලැබේවත් දෝයි ඕ කිවුය.” (21 පිටුව)

“එයට අනතුරුවැ ශාතාගිර කුමරු තෙදැති කොට සරසන ලද මතැතක්හු නැඟ ආයේය.” (30 පිටුව)

“මා පිඬු පිනිස යන කලැ ඔහු මට ගලින් මුලින් කැටින් කැබිලිතියෙන් ගැසූහ.” (34 පිටුව)

“…. මඟ තොට හමු වන කිසිවක් ගැන තැකීමකුදු නොකොට ප්‍රීතිවේග විකාරයෙන් දුවන හේ තමා ඉදිරියට එන කුලප්පු වූ එළදෙනක නොදුටුයේය.” (50 පිටුව)

“පසුදා ශාතාගිර පසල් දනව්වෙක සොර උවදුරක් සංසිඳුවීමට යන්නට සැරසී ඒ බව මට දැන්වීය.” (63 පිටුව)

“ශාතාගිරාදීහු අපට සිවුපසයෙන් සංග්‍රහ කළහ.” (73 පිටුව)

“සිංසපා වනය බුදු පාමොක් සඟනට පැවැරීය.” (73 පිටුව)

“එක් මහ තෙර නමක් උයනේ රාජගාරකයේ මණ්ඩල මාලයේ දොරබා කෙළවරැ අඟුළු කනුවැ එල්බැ ගෙන හඬ හඩා සිටියහ.” (76 පිටුව)

“කාමනීත නිරුපාදිෂේශ නිර්වාණධාතුයෙන් පිරිනිවීමෙන් සියලු දුකින් මිදී ශාන්ති පුරයට වන” (76 පිටුව)

ප්‍රබන්ධයෙන් බැහැර වීම

‘කාමනීත’ ප්‍රබන්ධයේ අවසන් භාගය විහිදෙන්නේ දිව්‍ය ලෝකයේ කතාවක් ලෙසය. එය කෙනෙකුට අසාහිත්යික හා අභව්‍ය යැයි කිව හැකිය. එහෙත් එහිදී එවැනි රෝධයක් හා මනුෂ්‍ය හැඟීම් විවරණයට බාධාවක් ඇති කර නොගැනීමට කතාකරුවා සමත් වේ. ඔහු ජාතක කතා ආකෘතියෙන් සාර්ථක බුද්ධ කාලීන කතාවක් ඉදිරිපත් කරයි. එහිදී සිදු වන එකම වරද නම් කතාව අවසන් භාගයේ කතාකරුවා කතාවේ කලාත්මකභාවය බිඳ දැමීමය. එය සිදු වන්නේ වාසිට්ඨියට හා කාමනීතට සිය දුක් දොම්නසින් මිදීමට නිවන් පුරය මාර්ගයක් කර දීමෙනි. මෙය ප්‍රබන්ධය බණ පොතක් කිරීමකි. සාහිත්‍ය කලාව හැම විටම නිරාගමිකය. පුද්ගලයකුගේ ජීවිතයේ දුක්ඛ දෝමනස්ස ඔහු නිවන් පුරයට වැදීමෙන් අවසන් වේ නම් එහි හේතු - ඵලවාදී තාර්කිකත්වයක් ගොඩනැඟීම අපහසු වේ. එවිට එහි කලාත්මකභාවයද බිඳ වැටේ. කුමන හෝ හේතුවක් මත නෝර්වේ ජාතික කතාකරුවාට මේ තත්ත්වය අවබෝධ නොවේ. ඔහු වෑයම් කර ඇති බව පෙනෙන්නේ ධ්වනිපූර්ණ බස්වහරක් භාවිත කරමින් (එසේ සිතය හැකිය) බුදුදහම ගැන දැනුමක් ලබාදීමටය. පරිවර්තක ආනන්ද මෛත්‍රෙය හිමියන් මෙය පිටු 82කට සංක්ෂිප්ත කරන්නේ මුල් කෘතියේ වූ ධර්ම කරුණු බැහැර කරය.

එහෙත් එසේ වූ පමණින් ‘කාමනීත’ බාල කෘතියක් නොවේ. අවසන් පරිච්ඡේදය එළඹෙන ‍තෙක්ම එය එහි ප්‍රබන්ධ කලාව රැකගෙන ඇති අතර පාඨකයාට අපූරු වින්දනයක් ලබා දේ. වෙසෙසින් එහි පැරණි හා නව බස් මුසුව නව ප්‍රබන්ධ බසකට දොර කවුළු හැරදේ. බස පිළිබඳ කිසිදු සංවේදීතාවක් නොමැති පරිසරයක බසේ මහිමය, කතා කලාවේ අපූර්වත්වය මේ යැයි කියාපෑම ‘කාමනීත’හි විශිෂ්ටත්වයයි.

[එස්. පල්ලියගුරුගේ ]

මාතෘකා