අමෝස් ඌස් යනු කවුද?

 ඡායාරූපය:

අමෝස් ඌස් යනු කවුද?

පසුගිය දෙසැම්බර් 28 වෙනිදා ඊශ්‍රායලයේ මහා ලේඛක අමෝස් ඌස් (Amos Oz) අභාවප්‍රාප්ත විය. මියයන විට 79 වියේ පසු වූ ඔහු නවකතා 20ක්, කෙටිකතා සංග්‍රහ 3ක්, ප්‍රබන්ධ නොවන කෘති 11ක් වශයෙන් කෘති 40ක් රචනා කර තිබුණි.

ඒ.බී. යෙහෝෂුවා, අමලියා කහනා - කර්මෝන්, අරෝන් ඇපල්ෆෙල්ඩ්, ෂ්මුවෙල් යොසෙෆ් ඇග්නොන්, ඩේවිඩ් ග්‍රොස්මන් ආදී හැටේ දශකයේ ඊශ්‍රායලයේ ‘නව රැල්ලේ’ සාහිත්‍යධරයන් අතර ප්‍රමුඛයකු වූ ඔහු සාහිත්‍යය අලළා මෙන්ම මැදපෙරදිග සාමය වෙනුවෙන්ද හඬ නැගූවෙකි. සැබැවින්ම ඊශ්‍රායල - පලස්තීන සාමය මේ තරමින් හෝ සුරැකී පැවතුණේ යෙහෝෂුවා, ඩේවිඩ් ග්‍රොස්මන් හා අමෝස් ඌස් නිසා බව පැවසේ.

අමෝස් උපත ලබන්නේ 1939 වසරේ පලස්තීනයේ ජෙරුසලම් නුවරය. උපතින් ඔහු අමෝස් ක්ලෝස්නර් (Amos Klausner) ය. පියා ලිතුවේනියාවෙන් පලස්තීනයට පැමිණි සංක්‍රමණිකයෙකි. ඔහු නමින් යෙහුඩා ආරී ක්ලෝස්නර්ය. භාෂා 16ක්, 17ක් පරිහරණය කිරීමේ සමත් ශාස්ත්‍රාභිලාෂී තැනැත්තෙකු වූ ඔහු හීබ්‍රෑ විශ්වවිද්‍යාලයන් උසස් අධ්‍යාපනය ලැබූ අතර මව එකල පෝලන්තයට අයත්, අද යුක්රේනයේ රිව්නේ ප්‍රදේශයේ කෙනෙකූ වූ ෆානියා මුස්මාන්ය.

ඇයද භාෂා 6ක් දත්, ජෙරුසලමේ හීබ්‍රෑ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ මානවිකාවකි. ඔවුන් විවාහ වන්නේ ඒ අහඹු හමුවෙන් පසුය. නැගෙනහිර යුරෝපයෙන් ජෙරුසලමට සංක්‍රමණය වූවන් වූ ඔවුන් ජෙරුසලමට පැමිණ තිබුණේ එංගලන්තය මැදිහත් වී මේ වන විට පලස්තීනයේ යුදෙව් කලාපයක් (Mandatory Palestine ) ඇති කර තිබූ බැවිනි. ඒ, ඔටෝමාන් අධිරාජ්‍යය බෙදා වෙන් කිරීමේ එංගලන්ත සැලසුමට අනුවය. මේ අනුව ආමෝස් ඌස් වූකලී 1947 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලය බිහි කිරීමට පෙර පැවති පූර්ව ඊශ්‍රායලයද, අනතුරුව බිහි වූ වර්තමාන ඊශ්‍රායලයද සියැසින් දුටුවෙකි.

අමෝස් ක්ලෝස්නර් (Amos Klausner) අමෝස් ඌස් (Amos Oz) බවට පත් වනුයේ කෙසේද? ඒ නම් ඔහු පියාට එරෙහිව ගැසූ කැරැල්ලක ප්‍රතිඵලයකි. අමෝස්ගේ පියා අන්ත දක්ෂිණාංශිකයෙකි. එහෙත් අමෝස් අන්ත වාමාංශිකයෙකි. ඔහු මැදපෙරදිග යුදෙව් රාජ්‍යයක් ඉල්ලූ යුදෙව් රාජ්‍යවාදයේ (Zionism) වම නියෝජනය කළ අතර පියාගේ සමාජයෙන් විතැන්, නැඟෙනහිර යුරෝපයේ ආඪ්‍ය ජීවිතය ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව ඔහු පියා හැරගොස් - මේ වන විට ඔහුගේ මව සියදිවිනසාගෙන තිබුණි - මධ්‍යම ඊශ්‍රායලයේ හුල්ඩා නම් යුදෙව් ගොවි ජනපදයකට (kibbutz collective farm) බැඳුණේය. මේ වන විට අමෝස් 14 වැනි වියේ දරුවෙකි. එබැවින් මෙකල ඔහු හදාවඩා ගනු ලැබුණේ හුල්ඩාහි ගොවි පවුලක් විසිනි. ඔහු තමාට ඌස් (Oz) වාසගම අරෝපණය කරගන්නේ මින් පසුය.

අමෝස් ඌස්ගේ කෘති අතර වඩාත් පාඨක, විචාරක අවධානය දිනාගන්නේ ඔහුගේ මතක සටහන් කෘතිය වූ A Tale of Love and Darknessය. සෙසු කෘති අතර Black Box, In the Land of Israel, The Jackals Howl, Scenes from Village Life, Panther In The Basement, My Michael, Don't Call It Night , In the Land of Israel, Israel, Elsewhere, Perhaps, How to Cure a Fanatic, Black Box හා, Palestine and Peace ආදියද වේ. මේවා ලොව භාෂා 45කට වඩා පරිවර්තනය වී ඇති අතර ඊශ්‍රායලයේ වඩාත්ම ජාත්‍යන්තරයට ගිය ලේඛකයා ඔහුය.

මියයන විට නෙගොව්හි බෙන් ගුරියොන් විශ්වවිද්‍යාලයේ හීබ්‍රෑ සාහිත්‍යය පිළිබඳ මහාචාර්ය ධුරය දැරූ ඔහු ජර්මානු බුක් ට්‍රේඩ් සාම ත්‍යාගයද, ප්‍රංශයේ ලීජන් ඔෆ් ඔනර් සම්මානයද, ඊශ්‍රායල් ජාතික ත්‍යාගයද, ගර්තේ ත්‍යාගයද, ප්‍රීමෝ ලෙවී ත්‍යාගයද, ෆ්‍රාන්ස් කෆ්කා ත්‍යාගයද වශයෙන් සම්මාන රැසක් දිනා තිබූ අතර බොහෝ දුරට මීළඟ නොබෙල් සාහිත්‍යලාභියා වීමටද ඉඩ තිබුණි. ඔහුගේ අවසන් නවකතාව වන Judas මෙවර මෑන් බුකර් සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශ විය. මේ, 2015 වසරේ මාර්තු 18 වෙනිදා ALAIN ELKANN වෙබ් අඩවිය ඔහු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක සිංහල පරිවර්තනයකි.

පරිවර්තනය [එස්. පල්ලියගුරුගේ]

මාතෘකා