සිනමාව මිස ඉන්දියානු සාහිත්‍යය අපි වැලඳගත්තෙ නෑ : හින්දි භාෂා කථිකාචාරිණී සුභා රත්නායක

 ඡායාරූපය:

සිනමාව මිස ඉන්දියානු සාහිත්‍යය අපි වැලඳගත්තෙ නෑ : හින්දි භාෂා කථිකාචාරිණී සුභා රත්නායක

සුභා රත්නායක හින්දි භාෂාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරියකි. පරිවර්තිකාවකි. ස්වාධීන මාධ්‍යවේදිනියකි. මෙයට පෙර ‘මහා කවි නිරාලා සහ මහගම සේකරගේ කාව්‍ය ඔස්සේ නිරූපණය වන ප්‍රගතිශීලී චින්තනය’ යන අදහස සහිත කෘතියක් හින්දි භාෂාවෙන් රචනා කළ ඇය මෙරට පුවත්පත් මෙන්ම හින්දි බසින් පළ වන ඉන්දියානු පුවත්පත් සහ සඟරා සඳහාද ලිපි සපයන්නියකි. ඉන්දියානු කිවියර ආචාර්ය සුධීර් සක්සේනා විසින් රචිත කාව්‍ය නිර්මාණ හින්දි බසින් සිංහලට පරිවර්තනය කරමින් කාව්‍ය සංග්‍රහයක් පළ කිරීමට සූදානම් වන ඇය ඒ පිළිබඳව අප සමඟ අදහස් පළ කළේ මෙසේය.

ඔබ හින්දි කවි සිංහල බසට පරිවර්තනය කිරීමට යොමු වූයේ කෙසේද?

මම කවිය සම්බන්ධ මහා ලොකු ප්‍රවීණත්වයක් තියෙන කෙනෙක් නෙවෙයි. වයසින් පරිණත කෙනෙකුත් නෙවෙයි. මම තවමත් කවිය සහ පරිවර්තනය පිළිබඳ අත්දැකීම් අඩු කෙනෙක්. පහුගිය අවුරුදු පහළොවක කාලයක් තිස්සේ මම හින්දි ඉගෙන ගනිමින් ඉන්නවා. ඒ වගේම මම අවුරුදු හතක පමණ කාලයක් තිස්සේ විශ්වවිද්‍යාලවල හින්දි භාෂාව සහ සාහිත්‍යය උගන්වනවා. හින්දි සාහිත්‍යයට මගේ ළබැඳියාව හින්දි ඉගෙනගන්න කලින් ඉඳලම තිබුණා. ඒ ආසාව ඇති වුණේ කුඩා කාලයේදීමයි. මගේ අප්පච්චි කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. ඔහු ළඟ හොඳ පොත් එකතුවක් තිබුණා. ඒ අතර හින්දි නොවන ඉන්දියානු පොත් විශාල ප්‍රමාණයක් තිබුණා. කුඩා කාලයේදී ඒවා කියෙව්වාම ඉන්දියානු සංස්කෘතිය සහ ඉන්දියානු සමාජය ගැන මට ඇල්මක් ඇති වුණා. කවදා හරි මේ රට බලන්න යන්න ඕන කියලා මම එදා හිතාගත්තා. උසස් පෙළ කරනකොට මම තීරණය කළා මම අනිවාර්යයෙන් හින්දි භාෂාව විෂයක් හැටියට කරනවා කියලා. මගේ අමම්යි අප්පච්චියි බොහොම නිදහස් අදහස් දරන උගත් දෙපළක්. ඒ හින්දා ඒගොල්ලෝ විරුද්ධතාවක් දැක්වුවේ නැහැ. හැම ගුරුවරයෙක්ම වගේ ඇහුවා ඇයි මේ වගේ විෂයක් කරන්නෙ කියලා. ඒ වුණත් අම්මයි අප්පච්චියි කිසිම විරුද්ධත්වයක් දක්වන්නෙ නැතුව මගේ කැමැත්තට ඉඩ දුන්නා. ඒ දෙන්නාව මම ඉතාම ආදරෙන් මතක් කරනවා. මොකද ඔවුන් නිසා තමයි මම මේ විෂය හැදෑරුවේ. විශ්වවිද්‍යාලයට තේරුණාම උපාධියට හින්දි භාෂාව, සාහිත්‍යය, වාග්විද්‍යාව ඉන්දියානු සංස්කෘතිය ඇතුළු සියලු දේවල් කැටි කරගත්ත පුළුල් විෂය මාලාවක් හදාරන්න මට අවස්ථාව ලැබුණා. ඒ ඔස්සේ තමයි මේ සියල්ලට පසුබිම සැකසුණේ.

පරිවර්තනය සඳහා විශේෂයෙන් ආචාර්ය සුධීර් සක්සේනාගේ කවි තෝරාගැනීමට හේතුව කුමක්ද?

මම මේ කවි පරිවර්තනය කරන්න තෝරගත්තෙ හින්දි සාහිත්‍යයට තියෙන බැඳීම නිසායි. හින්දි සාහිත්‍යයේ තවත් විශිෂ්ට කවි රාශියක් තියෙනවා. ඒ අතර අනිවාර්යෙන්ම සිංහලට පරිවර්තනය විය යුතු කවි තියෙනවා. පරිවර්තනය සඳහා ආචාර්ය සුධීර් සක්සේනාගේ කවි තෝරාගැනීමට මා පෙළඹුණේ ඔහු හා මා අතර ගොඩනැඟුණු මානව සම්බන්ධතාව ඔස්සේයි. මානව සම්බන්ධතාව කියන්නෙ හුදෙක් යාළුකමක් හෝ වෙන යම් දෙයක් නෙවෙයි. මම ඔහුගේ සඟරාවට කවි සහ ලිපි ලියනවා. ඒ වගේම මම කවිය සහ සාහිත්‍යය ගැන යම් යම් දේවල් ඔහුගෙන් ඉගෙන ගන්නවා. ඒ සියලු දේවල් සමඟ තමයි මේ කවි පරිවර්තනයට මම යොමු වුණේ.

පරිවර්තනය සඳහා ඔහුගේ කවි තෝරාගත්තේ කුමන පදනමකින්ද?

ඔහුගේ එක පොතක කවි එකසිය එකොළහක් තියෙනවා. ඒ එකසිය එකොළහ අතර අපේ සංස්කෘතියට හරියටම ගළප්පන්න බැරි යම් යම් දේවල් සහිත කවිත් තියෙනවා. එවැනි කවි වෙනුවට අපේ සංස්කෘතියට සහ සමාජයට ගළප්පන්න පුළුවන් කවි හැටක් තමයි මම තෝරගත්තෙ. සමාජය එක දවසින් වෙනස් කරන්න පුළුවන් මහ විශාල දර්ශනයක් මේ කවිවල තියෙනවා කියලා මම හිතන්නෙ නැහැ. මේ කවි කියවපු ගමන් අපේ පාඨකයා ඒවාට ප්‍රතිචාර නොදක්වන්නත් පුළුවන්. සාමාන්‍ය ප්‍රේමය, අරගලය සහ මිනිස් ඉතිහාසයේ සිට සිදු වූ වෙනස් වීම ඇතුළු බොහෝ දේවල් සම්බන්ධ කවි මේ අතර තියෙනවා. මේ කවි පරිවර්තනය කිරීමට මට මඟ පෑදෙන්නේ හින්දි භාෂාවට මා තුළ තියෙන කැමැත්ත සහ දැනුම වගේම ආචාර්ය සුධීර් සක්සේනා මුණගැහුණට පසුව ඔහු ගැන මට ඇති වූ අවබෝධය කියන මේ සියලු කාරණාත් සමඟයි. මම ඔහුගේ නිර්මාණ ගැන ලියැවී ඇති විචාර ග්‍රන්ථ ගණනාවක් කියෙව්වා. අවුරුදු තිහ, තිස් පහ වගේ වයසෙ ඉන්න නූතන යුගයේ කවියො ඔහුව විචාරය කරලා තියෙන හැටියට සහ අලුත් ප්‍රජාවට, අලුත් කවීන්ට ඔහු අත දෙන්නෙ කොහොමද කියන එකත් එක්ක මම ඔහු ගැන පැහැදීමට පත් වුණා. ඒ සියල්ල ඔස්සේ තමයි මම මේ කවි පරිවර්තනය කරන්න හිතුවෙ. හැබැයි මෙතැනදි සිදු වුණේ හුදෙක් කවිවලට ආස වෙලා මම ඔහුව හොයාගෙන යෑමක් නෙවෙයි. ඇත්තටම කියනවා නම් මේ සියල්ලට පසුබිම සැකසුණේ ඔහුගේ පුද්ගලභාවය, සාහිත්‍ය භාවිතය සහ ඔහු ගැන ඉන්දියාවේ නූතන කාව්‍ය සමාජය දරන අදහස අනුව ඔහු ඇසුරු කිරීම ඔස්සේයි. මේ කවිය කියන්නෙ මට බොහොම පොඩි දෙයක්. ඊට වැඩිය මම ඔහුත් එක්ක විඳින අත්දැකීම හරිම ඉහළයි.

ඔබ මෙයට පෙර සාහිත්‍ය කෘති ලියා පළ කර තිබෙනවාද?

මෙයට පෙර මම හින්දි භාෂාවෙන් රචනා කළ පොතක් ඉන්දියාවේදි ප්‍රකාශයට පත් වුණා. ඒක මගේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවට ලියපු කෙටි නිබන්ධනයක්. ඒ සඳහා මාව යොමු කළේ මගේ ගුරුවරයා වූ මහාචාර්ය යෝගේන්ද්‍ර කුමාර්. ඔහු දර්ශනය සහ ඉතිහාසය පිළබඳ පුළුල් දැනුමක් තියෙන කෙනෙක්. අනෙක් හැමෝම මට කිව්වේ පහසුවෙන් ලියන්න පුළුවන් දෙයක් තෝරගන්න කියලයි. නමුත් මහාචාර්ය යෝගේන්ද්‍ර මාව ඒ සඳහා ලොකුවට මහන්සි කෙරෙව්වා. මටත් ඒක හොඳ අත්දැකීමක් වණා. ඔහු මට කිව්වේ, “අපි ලංකාව ගැන දන්නෙ නැහැ. අපි දන්නෙ ලංකාවේ ප්‍රධාන භාෂාව දෙමළ කියලයි. ඒක හන්දා හොඳ සිංහල කවියෙක් ඉන්නවා නම් ඉන්දියානු කවියෙකු සමඟ සසඳමින් ඔහු ගැන නිබන්ධනයක් ලියන්න” කියලයි. මම මහගම සේකරගේ සහ නූතන යුගයේ, ඒ කියන්නේ එක්දහස් නවසිය විසි ගණන්වල ප්‍රධාන ධාරාවේ ඉන්දියානු කවියකු වන නිරාලාගේ කවි සන්සන්දනාත්මකව විග්‍රහ කරමින් ඒ නිබන්ධනය ලිව්වා. මේ කවීන් දෙදෙනා සමාජයට ප්‍රගතිශීලී දැක්මක් ඇති කරන්න කවිය භාවිත කළේ කොහොමද කියන අදහසයි ඒ නිබන්ධනය හරහා ඉදිරිපත් වුණේ. ඒක පළ වුණේ අවුරුදු නවයකට කලින්. මම දන්න විදියට ඉන්දියාවේ හින්දියෙන් පොතක් පළ කළ එකම සිංහල කෙනා මම කියලයි මං හිතන්නෙ.

හින්දි කවි සිංහල බසට නැඟීම සම්බන්ධයෙන් ඔබට ඇති අත්දැකීම ගැන කියනවා නම්?

මුල් භාෂාවෙන් පරිවර්තනය කිරීම හරි ලේසියි, එතකොට අදහස පෙරෙන්නෙ එක පාරයි, ඒ නිසා එවැනි පරිවර්තන හරිම නැවුම් කියලයි සමහරු කියන්නෙ. හැබැයි මම නම් කියන්නෙ ඒක හරි අමාරුයි කියලයි. මම හින්දි නොදැන හිටියා නම් හොඳයි කියලාත් මට වෙලාවකට හිතෙනවා. මුල් භාෂාව වඩාත් හොඳින් දැනගත්තාම පරිවර්තනය වඩ වඩාත් අමාරු වෙනවා කියලා මම හිතනවා.

ඔබ දකින ආකාරයට හින්දි කවි එතරම් සිංහලට පරිවර්තනය නොවීමට හේතුව කුමක්ද?

කවි පොතක් හෝ කවි සංකලනයක් කියන එක දැනට අපේ අය අතර පරිශීලනය වෙන්නෙ අඩුවෙන්. හින්දි ඉගෙනගන්න බොහෝ අය වුණත් විෂය නිර්දේශයෙන් එහාට සිංහල සමාජය ඇතුළෙ ආයෙත් හින්දි පරිශීලනය කරන්න යන්නෙ නැහැ. ඊට වඩා දැවීමක් හෝ වෙන මොකක් හරි දෙයක් තියෙන කෙනෙක් තමයි කවිය වගේ දෙයක් වැඩිදුරටත් හොයාගෙන යන්නෙ. අනෙක හැත්තෑව සහ අසූව දශකයේ සිංහල සමාජය ඉන්දියානු සිනමාව වැලඳ ගත්තා මිසක් ඉන්දියානු සාහිත්‍යය වැලඳගන්න උත්සාහයක් දැරුවේ නැහැ. ඒක හැමතැනම වෙලා තියෙනවා. බොහෝ අය වැලඳගත්තෙ ජනප්‍රිය සංස්කෘතිය පමණයි. එවැනි පසුබිමක් තුළ කවිය වැනි සාහිත්‍යාංගයකට ලොකු අවධානයක් යොමු වුණේ නැහැ.

එවැනි පසුබිමක හින්දි කවි සිංහල බසට නැඟීම අභියෝගයක්ද?

අනිවාර්යෙන්ම අභියෝගයක්. මම හින්දි දන්න නිසාම මම ඒක හරියටම දෙන්න හදනවා. පළවෙනි භාෂාවෙන් පරිවර්තකයාගේ භාෂාවට පරිවර්තනය කිරීම හරියට දැළි පිහියෙන් කිරි කනවා වගේ භයානක වැඩක්. හින්දි කවි විශේෂයෙන්ම සිංහල භාෂාවට පරිවර්තනය කරන විට තවත් ගැටලුවකට මුහුණ දෙන්න අපට සිදු වෙනවා. සිංහල භාෂාවේ ද්විරූපතාව කියලා දෙයක් තියෙනවා. අපි කතා කරන විදියයි ලියන විදියයි එකිනෙකට වෙනස්නෙ. කතා කරන භාෂාවෙන් ‘මම යනවා’ කියලා කිව්වට අපි ලියන්නෙ ‘මම යමි’ හෝ ‘මම යන්නෙමි’ කියලනෙ. හින්දි භාෂාවේ මේ භාෂා ද්විරූපතාව නැහැ. ලිඛිතව සහ මෞඛිකව භාවිත කරන විදග්ධ වචන මාලාවක් හරි වාචික වචන මාලාවක් හරි තියෙනවා. නමුත් හින්දි භාෂාවේදී ලිඛිත සහ මෞඛික භාෂවේදි වෙනසක් සිද්ධ වෙන්නෙ නැහැ. අන්න ඒ නිසා ඒ කවි සිංහලට පරිවර්තනය කරද්දි ලොකු ගැටලුවක් මතු වෙන අවස්ථා තියෙනවා. ඒ නිසාම හින්දි භාෂාවේ තියෙන සුලලිත්‍යය, සෞම්‍ය සහ ලාස්‍ය ගතිය හරියටම සිංහල භාෂාවට ගන්න බැරි අවස්ථා මේ පරිවර්තන කරනකොට හමු වෙනවා. මෙවැනි කවි මුල් හින්දි බසින් නැතිව ඉංග්‍රීසි වැනි අතරමැදි භාෂාවකින් පරිවර්තනය කරන විට අපට මෙතරම් අපහසුවක් දැනෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මුල් කවිය හෝ කවියාව ඒ විදියටම පිටපත් කරන්න පරිවර්තකයකුට බැහැ. එතැනදී පරිවර්තකයාගේ නිර්මාණශීලීත්වයත් මුසු වෙනවාමයි.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා