කවුළුව

 ඡායාරූපය:

කවුළුව

මාසෙල් ෆෲස්ට්ගේ නොපළ නිර්මාණ එකතුවක් පළ වෙයි

ප්‍රකට ප්‍රංශ ලේඛකයෙකු වූ මාසෙල් ෆෲස්ට් විසින් රචනා කරන ලදුව මෙතෙක් අප්‍රකටව පැවති කෙටිනවකතා සහ කෙටිකතා නවයක් මේ වසරේ ඔක්තෝබර් මාසයේ නවවැනිදා පළ කිරීමට නියමිතව තිබෙනවා. පෲස්ට් වයස අවුරුදු විසි ගණන්වල මුල් කාලයේදී මේ නිර්මාණ රචනා කර ඇත්තේ 1896 වසරේ පළ වූ සිය මුල්ම කෘතියට ඇතුළත් කිරීමේ අදහස ඇතිවයි. එහෙත් කුමන හෝ හේතුවක් නිසා මේ නිර්මාණ ඒ කෘතියට ඇතුළත නොකිරීමට ඔහු පසුව තීරණය කර තිබෙනවා. ෆෲස්ට් මියගොස් වසර සියයකට ආසන්න කාලයක් ගතව තිබියදී එඩිෂන්ස් ඩි ෆැලොයිස් නමැති ප්‍රංශ ප්‍රකාශන සමාගමේ නිර්මාතෘ බර්නාඩ් ඩි ෆැලොයිස් විසින් සොයාගන්නා ලද මේ නිර්මාණ, කෘතියක් ලෙස පළ කිරීමට කටයුතු සැලසුම් කරමින් තිබියදී 2018 වසරේ ඔහු මියගියා. එහෙත් ඔහු අපේක්ෂා කළ පරිදි මේ නිර්මාණ එකතුව පළ කිරීමට එඩිෂන්ස් ඩි ෆැලොයිස් සමාගම මේ වන විට සූදානමින් සිටිනවා. ‘ද මිස්ටීරියස් කොරස්පොන්ඩන්ට් ඇන්ඩ් අදර් අන්පබ්ලිෂ්ඩ් නොවෙලාස්’ (The Mysterious Correspondent and Other Unpublished Novellas) යන නමින් පළ වීමට නියමිත මෙය පිටු 180කින් සමන්විත කෘතියක් බවයි සඳහන් වන්නේ. මේ නිර්මාණ අතරින් බොහොමයක් සාම්ප්‍රදායික කෙටිකතා ආකෘතියෙන් රචනා වී ඇතත්, ෆෲස්ට්ගේ පසුකාලීන නිර්මාණවල අඩංගු වූ සංකේත රූප සහ උත්ප්‍රාසාත්මක බස වැනි සුවිශේෂතා පිළිබඳ ඉඟි රැගත් නිර්මාණ කිහිපයක්ද ඒ අතර ඇති බවයි ප්‍රකාශන සමාගම පවසන්නේ. ෆෲස්ට් මේ නිර්මාණ සිය ප්‍රථම කෘතියට ඇතුළත් නොකිරීමට තීරණය කරන්නට ඇත්තේ ඒවායේ ඇතුළත් වූ ප්‍රේමය සහ සමලිංගික සබඳතා පිළිබඳ ඇතැම් කරුණු එවක පැවැති පාඨක සමාජය ප්‍රතික්ෂේප කරනු ඇතැයි යන බිය නිසා වන්නට ඇතැයි අනුමාන කළ හැකි බවයි ප්‍රකාශන සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

----------------------

යුරෝපයේදී අස්ථානගත වූ කෆ්කාගේ ලිපිලේඛන ඊශ්‍රායලයට

ප්‍රකට ලේඛක ෆ්‍රාන්ස් කෆ්කාගේ අප්‍රකට ලිපිලේඛන රැසක් සම්බන්ධයෙන් දශකයකට අධික කාලයක් පුරා පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව දශක ගණනක් තිස්සේ ස්විට්සර්ලන්තයේ රඳවා තබා ගත් ඒ ලිපිලේඛන සියල්ල පසුගියදා ජෙරුසලමට ආපසු බාරදෙනු ලැබ තිබෙනවා. කෆ්කා සහ ඔහුගේ මිත්‍රයකු වූ මැක්ස් බ්‍රොඩ් විසින් ලියන ලද පෞද්ගලික ලිපි, අත්පිටපත් සහ කටුසටහන් ඇතුළු සියයකට අධික ලිපිලේඛන ප්‍රමාණයක් ඇතුළත්ව තිබුණු ලිපිගොනු හැටක් මේ අතර තිබී ඇතැයි සඳහන් වෙනවා. කෆ්කා විසින් 1920 ගණන්වලදී මියයෑමට පෙර සිය මිත්‍ර මැක්ස් බ්‍රොඩ් වෙත භාරදෙන ලද ලිපිලේඛන රැසක්ද මේ අතර තිබෙන බවයි කියැවෙන්නේ. කෆ්කා ලියා අවසන් නොකළ ‘වෙඩින් ප්‍රෙපරේෂන්ස් ඉන් ද කන්ට්‍රි’ (Wedding Preparations in the Country) යන ඉංග්‍රීසි පරිවර්තන අදහස සහිත මුල්කාලීන නිර්මාණයක අතින් ලියූ පිටපත් තුනක් සහ බ්‍රොඩ් ලියූ අවසාන කෘතියේ අත්පිටපතද මේ ලිපිලේඛන අතර තිබීම විශේෂ කරුණක්. කෆ්කා සිය ලිපිලේඛන රැසක් බ්‍රොඩ් වෙත භාරදී, තමා මියගිය පසු ඒ සියල්ල විනාශ කර දමන මෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එහෙත් බ්‍රොඩ් ඒ ඉල්ලීම නොතකමින් කෆ්කාගේ ලිපිලේඛන අතරින් බොහොමයක් පළ කිරීමට කටයුතු කළා. කෆ්කාගේ විශිෂ්ට කෘති ගණනාවක් ප්‍රකාශයට පත් වුණේ එහි ප්‍රතිඵලයක් ලෙයසි. මියයෑමට පෙර පළ කිරීමට නොහැකි වූ තවත් ලිපිලේඛන රැසක් බ්‍රොඩ් සතුව තිබී ඇති අතර, ඒවා සිය මරණයෙන් පසුව ඊශ්‍රායලයේ ජාතික පුස්තකාලයට භාරදීමට කටයුතු කරන මෙන් ඔහු සිය අන්තිම කැමති පත්‍රයේ සඳහන් කර තිබුණා. එහෙත් 1968 වසරේදී බ්‍රොඩ් මියගිය පසුව ඒ ලිපිලේඛන අස්ථානගත වී තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ ජර්මනිය, ස්විට්සර්ලන්තය සහ ඊශ්‍රායලය ආශ්‍රිතව කරන ලද පරීක්ෂණ මඟින් ඒ ලිපිලේඛන අතරින් ඇතැම්වා වරින්වර සොයාගැනීමට හැකි වුණා. එහෙත් පසුගියදා ඊශ්‍රායලයට නැවත බාරදෙන ලද ලිපිලේඛන ගොනුව කාලයක් තිස්සේ ස්විට්සර්ලන්තයේ රඳවා තබාගත් බැවින් එහි සැබෑ හිමිකාරත්වය ඉල්ලා නීතිමය පියවර ගැනීමට ඊශ්‍රායල බලධාරීන්ට සිදු වුණා.

[මේනුක විතාන]
 

මාතෘකා