ලේඛකයාගේ භූමිකාව කතා කීමයි

 ඡායාරූපය:

ලේඛකයාගේ භූමිකාව කතා කීමයි

චිලී ජාතික ඇමෙරිකානු ලේඛිකා ඉසබෙල් අයියන්දේ

ඉසබෙල් අයියන්දේ ඇමෙරිකාවේ වෙසෙන චිලී ජාතික නවකතාකාරියකි. 1942 වසරේ අගෝස්තු 2 වෙනිදා පේරු රාජ්‍යයේ ලීමා නුවර උපත ලද ඇය මායායථාර්ථවාදී කතා රීතිය අනුගමනය කරන කෙනෙකි. ඇය The House of the Spirits, City of the Beast, Eva Luna වැනි නවකතාවලින් ලොව ප්‍රකට වී ඇති අතර ලොව වැඩිම පාඨක පිරිසක් කියවන ස්පාඤ්ඤ බසින් ලියන ලේඛිකාවකි. ඇයට 2004 වසරේ ‘ඇමෙරිකන් ඇකඩමි ඔෆ් ආර්ට්ස් ඇන්ඩ් ලෙටර්ස්’ සම්මානයද, 2010 වසරේ චිලී රාජ්‍යයෙන් ‘නැෂනල් ලිටරේචර් ප්‍රයිස්’ ත්‍යාගයද, 2014 වසරේ ජනාධිපති බැරැක් ඔබාමා විසින් නිදහස පිළිබඳ ජනාධිපති සම්මානයද පිරිනැමී ඇත. මේ්‍, ඇගේ Island Beneath the Sea නවකතාව නිකුත් වූ වේලේ BIG THINK.COM වෙබ් අඩවිය ඈ සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

 ඇයි ඔබ ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී එහි පුරවැසිභාවය ලබන්න තීරණය කළේ?

ඔව්. මම අමෙරිකාවට ආවේ මං (ඇමෙරිකානු ජාතික තරුණයකු සමඟ) ප්‍රේමයෙන් බැඳිලා ඔහුට බල කළ නිසයි - මම විවාහ වෙන්න බල කළ නිසයි. ඉතින් මම මෙහි නතර වුණා. ඊළඟට මං නතර වුණත් මට අවබෝධ වුණා මගේ ළමයින් මෙහෙ එක්ක එන්න බෑ කියල. මම පුරවැසිභාවය ලබා නොතිබුණොත් මට ළමයින් ගෙන්න ගන්න ඔවුන්ට අනුග්‍රහය දක්වන්න (ස්පොන්සර් කරන්න) බෑ. ඉතින් මම මෙහි පුරවැසියෙක් වුණා. ඒත් කියන්න ඕන ඒ වෙද්දි මං මේ රටට ආදරය කරන්න අරන් තිබුණා කියල. මට මේ රටින් හුඟක් දේවල් ලැබිලා තියෙනවා. මම මේ රට ගැන හරිම විවේචනාත්මකයි. ඒත් ඒ එක්කම මම මේ රටට හරිම ණයගැතියි. ඉතින් මට ලැබුණූ දේවලට මම මේ රටට යමක් දිය යුතු වෙනවා. මම අයිති වෙන්නෙ මෙහෙටයි.

 දැන් ඔබ ඇමෙරිකානු ලේඛිකාවක් කියල ඔබ ගැන හිතනවාද?

මම ලේඛිකාවක්. ලතින් ඇමෙරිකාවේ අය කියනවා මම ලතින් - ඇමෙරිකානු ලේඛිකාවක් කියල. මොකද මම ස්පාඤ්ඤ බසින් ලියනවා වගේම මගේ පොත් අන් භාෂාවලට පරිවර්තනය වෙනවා. ඒත් මම අමෙරිකානු පුරවැසිනියක් සහ මගේ පොත් මෙහෙ පරිවර්තනය වෙනවා. එතකොට මම ඇමෙරිකානු ලේඛිකාවකුත් වෙනවා.

 ඔබ පිටුවහල් ලේඛිකාවක්ද?

නෑ. පිටුවහල් කියන්නෙ විශේෂ දෙයක්. පිටුවහල් යන්න එන්නෙ එහි වාතාවරණය ඔබට පාලනය කරන්න බැරි අවස්ථාවක, ඔබට ඔබ ඉන්න රටෙන් බැහැර වෙන්න බල කෙරෙන විට සහ ඔබට ආපසු ඔබේ රටට එන්න බැරි වන විටයි. ඒකයි හරියටම කියනවා නම් පිටුවහල් වීම කියන්නෙ. මම අවුරුදු 13ක් පිටුවහල්ව වෙනිසියුලාවේ දේශපාලන සරණාගතයකු ලෙස සිටියා. ඉන් පස්සෙ මම ඇමෙරිකා එක්සත් ජනපදයට ආවා. ඉන් අවුරුද්දකට පස්සෙ චිලීයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති වුණා. ඒ නිසා මට ආපහු චිලීයට යන්න තිබුණා. ඒත් මං ගියේ නෑ. මොකද මං එතකොට කසාද බැඳලා. ඇමෙරිකාවේ නවතින්න තීරණය කරලා. ඉතින් දැන් මම සංක්‍රමණිකයෙක්. මම පිටුවහල් කෙරුණු කෙනෙක් නෙවෙයි.

 ඔබ ඔවව මායායථාර්ථවාදී ලේඛිකාවක ලෙස සලකනවාද?

මං හිතන්නෙ ජීවිතය හරිම අද්භූතයි. අපි එහි නොදන්නා දේ හුඟක් තියෙනවා. ඒවගේම සෑම සංස්කෘතියකම, සෑම තැනකම මායායථාර්ථවාදයේ අංග ලක්ෂණ තියෙනවා. ටෝනි මොරිසන් කියවන්න. දකුණූ අප්‍රිකානු ලේඛකයන් කියවන්න. මායායථාර්ථවාදය තියෙන්නෙ ලතින් ඇමෙරිකාවේ විතරක් නෙවෙයි. අපට අනිවාර්යෙන් පිළිගන්න වෙනවා අපි සියල්ල දන්නෙ නෑ කියල සහ ඕනම දෙයක් වෙන්න පුළුවන් කියල.

 ඔබට පොතක් ලියන්න කොච්චර කල් යනවාද?

හැම අදහසක්ම මගේ ඇඟ තුළ තියෙන පුංචි බීජයක් වගේ. මං හිතන්නෙ මං ගාව බීජ හුඟක් තියෙනවා. ඒ එක බීජයක් මා තුළ වැඩෙන්න අරගෙන මට බාධා කරමින් මගේ මානසික ආවේශයක් (Obsession) වගේ දෙයක් බවට පත් වුණොත් මං දන්නවා ඒක බොහෝ වෙලාවට මට ලියන්න වෙනවා කියල. දැන් එතකොට එහිදී මගෙන් ලියවෙන පොත මොන වගේ වෙයිද? එසේ නැත්නම් මගේ කතාව මොන වගේ වෙයිද? ඒක මං දන්නෙ නෑ. මගෙන් ලියවෙන්නෙ ඓතිහාසික නවකතාවක් නම් මම පර්යේෂණයක් කරනවා. ඒක එහෙම දෙයක් නොවේ නම්, ඒක නවකතාවකට යම් ආකාරයක අදහසක් විතරක් නම් මම එය ජනවාරි 8 වෙනිදා ලියන්න වාඩි වෙලා ලියාගෙන යනවා. මම සමහර වෙලාවට දවසකට පැය 8ක්, 14ක් අතර කාලයක් ලියනවා. නවකතාවට මගේ පර්යේෂණය හුඟක් දිගු වුණොත් එය ලියන්න මට කොච්චර කල් යයිද? මම ඒ කොච්චරද කියලවත් හිතන්නෙ නෑ. පොදුවේ මං කියන්නෙ අවුරුද්දකින් මට පොතක් ඉවර කරන්න පුළුවන් කියල. එතකොට පොත එන්න කලින් මම ඒ වෙනුවෙන් කොච්චර වැඩ කන්දරාවක් කරලා තියෙනවාද? මං දන්නෙ නෑ. හුඟාක් වැඩ කරලා තියෙන්න පුළුවන්.

 ඔබ එක කතාවක් ලියද්දි තවත් කතා ලියනවාද?

මම එකවර එක කතාවයි ලියන්නෙ. ඒත් මට, උදාහරණයකට මතක සටහනක් වගේ දෙයක් ලියමින් මගේ The Island Beneath the Sea නවකතාව ලියන්න හයිටිය ගැන පර්යේෂණ කරන්න පුළුවන්. ඇත්ත වශයෙන් මගේ අලුත්ම කෘතිය එක්ක මං කළේ ඒකයි. ඒ පොත ලියන්න මට ලොකු පර්යේෂණයක් කරන්න ඕන වුණා. මම ඒකට අවුරුදු දෙකක් පර්යේෂණ කළා. එතකොට මං හිතුවා දැන් මට කතාව ලියන්න පුළුවන් කියල. ඒ අනුව ජනවාරි 8 වෙනිදා මං එය ලියන්න වාඩි වුණා. ඒත් මට තේරුණා තවම නවකතාව මට ඇවිත් නෑ කියල. ඉතින් ඒ අතර කාලයේ මම මතක සටහනක් ලිව්වා. ඒ සමඟ මම නවකතාවට කරන පර්යේෂණයත් දිගටම කරගෙන ගියා.

 හැම අලුත් කතාවක්ම ඔබ ලියන්න ගන්නෙ ජනවාරි 8 වෙනිදා කියන්නෙ ඇත්තද?

ඇත්ත වශයෙන් මම මගේ පළවෙනි නවකතාව වන The House of the Spirits ලිවීම ආරම්භ කළේ 1991 ජනවාරි 8 වෙනිදායි. මොකද ඒ වෙද්දි මම ජීවත් වුණේ වෙනිසියුලාවේ පිටුවහල් වෙලා සහ මගේ සීයා සිටියේ චිලීවල මරණය අබියස. මට මගේ සීයා ළඟ ඉන්න එන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. ඉතින් මම සීයාට ලියුමක් ලියන්න ගත්තා. අවසානයේ ඒ ලියුම තමයි මගේ පළවෙනි නවකතාව The House of the Spirits බවට පත් වුණේ. ඒවගේම එය ඉතා සාර්ථක නවකතාවක් වුණා. ඉතින් ඒ මිථ්‍යා විශ්වාසයත් කබාලා (Kabbalah) ධර්මයත් නිසා මම මගේ දෙවෙනි පොතත් ඒ දවසේම ආරම්භ කළා. ඒත් ඊළඟට මගේ පොත්වල ප්‍රවර්ධන සංචාරත් පුවත්පත් සාකච්ඡාත් අරෙයාට මෙයාට ලිපි ලිවීමේ කටයුතුත් පාඨකයනට පිළිතුරු දීමත් ආදිය නිසා මගේ ජීවිතය මුළුමනින් සංකීර්ණ වුණා. ඔබ දන්නවා ඇති ඒක හරිම සංකීර්ණයි. දැන් වෙද්දි මට මගේම පුණ්‍යායතන පදමනකුත් තියෙනවා - දැන් මට ලිවීමට අමතරව පදනමක් පවත්වා ගන්න වෙලා තියෙනවා. පවුලක් ගෙනියන්න වෙලා තියෙනවා. මගේ කාර්යාලය පවත්වා ගන්නත් වෙලා තියෙනවා. මම ඒවා කරන්නෙ හරිම සීසොප්‍රීනික් (නිරතුරුවම වෙනස් වෙමින් යන) විධියට. මම මගේ අවුරුද්ද භාග දෙකකට කඩලා තියෙනවා. ජනවාරි 8 වෙනිදායින් ආරම්භ වෙන අවුරුද්දේ පළමු භාගය මං ලිවීමේ නිරත වන මගේ පෞද්ගලික වූ කාලයයි. එය හුදකලාවේ නිහඬ, නිස්කලංක කාලයක්. ඊළඟට අවුරුද්දේ සෙසු කාලය මම මට කරන්න වෙලා තියෙන වැඩ කරනවා.

 ලියන්න වාඩි වුණාම ඔබ මුලින්ම කල්පනා කරන්නෙ කුමක්ද?

කතාවයි. මම කතාවවලට කැමතියි. මම ඒ ගැන පර්යේෂණය කරනවා. මගේ මෑතම නවකතාව වන Island Beneath the Sea ගත්තොත් මම අද පවතින හයිටිය සහ එහි නිව් ඕර්ලියන්ස් ප්‍රදේශය, කැරිබියානු දූපත් ආදිය ගැන පර්යේෂණ කළා. ඊළඟට එතැනින් මාව එය ඇමෙරිකානු විප්ලවය ගැන, ප්‍රංශ විප්ලවය ගැන, කැරිබියානු මුහුදු කොල්ලකරුවන් සමඟ ඊට මුහුණ දෙන්න සිදු වූ දේ ගැන පර්යේෂණ කරන්න යොමු කළා. ඒක එක්තරා විධියකට මං කතාවක් ලියද්දි පූට්ටු කරන කෑලි වගේ දෙයක්. ඉතින් ඒ සියලු පර්යේෂණාත්මක තොරතුරු එක්ක, සියලු කෑලි කොටස් එක්ක ජනවාරි 8 වෙනිදා මං ලියන්න වාඩි වෙනවා. මම දන්නවා මං වහල් ගැහැනියක ගැන ලියන්න යනවා කියල. ඒත් මං දන්නෙ එච්චරයි. එහිදී මට වහලිය කිසියම් දුරකට පේනවා. ඇය කවුද කියල මං දන්නවා. දැන් ඇයට සිද්ධ වෙන්න යන්නෙ කුමක්ද? ඇගේ කතාවට වෙන්නෙ කුමක්ද? මං ඒ ගැන හරියටම දන්නෙ නෑ. ඒත් මං කතාව ලියද්දි ඒ දේවල් පිටතට දිගහැරෙනවා. ඊළඟට චරිත මං බලාපොරොත්තු නොවන දේවල් කරන විට මං දන්නවා කතාව ගලන්නේ ඊටම ආවේණික මාර්ගයක කියල. මට කතාවට තව චරිත වුවමනා නම් ඒ චරිත එළියට එන්නෙ කොහොමද? මගේ කතාවේ වහල් ගැහැනියක් ඉන්නවා නම් ඇයට අනිවාර්යෙන් වහලුන් පාලනය කරන ස්වාමියකුත් ඕන වෙනවා. වහල් පවුලක් ඕන වෙනවා. තව වහලුන් ඕන වෙනවා. වහලියට නිදහස සොයායන්න උදව් කරන අය ඕන වෙනවා. ඒවගේම ඇය සමඟ ප්‍රේමයෙන් වෙළෙන කෙනෙකුත් ඕන වෙනවා. ඉතින් මේ සියලු චරිත එන්නෙ කතාව ලියවෙන ආකාරයටයි.

 ඔබ ලියන මේසය මොන වගේ එකක්ද?

මගේ මේසය U හැඩයේ එකක්. එහි තැබීමට මට මගේ පරිගණකය තියෙනවා. ශබ්දකෝෂ හුඟක් තියෙනවා. ඒ, මම ලියන්නෙ ස්පාඤ්ඤ භාෂාවෙන් සහ ජීවත් වෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන් නිසයි. මගේ අලුත්ම කෘතියේදී සියල්ල සිදු වුණේ ප්‍රංශ භාෂාවෙන්. ඒ කිව්වෙ ප්‍රංශ කොලනියක. ඉතින් මං ළඟ ප්‍රංශ භාෂාවෙන් ලියවුණු පොත් තියෙනවා. මං කියන්නෙ ප්‍රංශ, ඉංග්‍රීසි, ස්පාඤ්ඤ ශබ්දකෝෂ තියෙනවා. මං වැඩ කරන්නෙ ඒ විධියට. ඊළඟට මා වටා මම කළ සම්පූර්ණ පර්යේෂණ තොරතුරු තියෙනවා. ඒවගේම මගේ කාර්යාලයේ බිත්ති සියල්ල පිරිලා තියෙන්නෙ මගේ පොත්වල පළමු මුද්‍රණවලිනුයි, මං ආදරය කරන ජීවත් වන හා මැරුණු මිනිසුන්ගේ ඡායාරූපවලිනුයි. ඉතින් මගේ මේසය එකම අවුල් ජාලයක්.

 සමාජයේ ලේඛකයකුගේ භූමිකාව කුමක්ද?

කතා කීමයි. කතා එක්රැස් කර ඒවා ඉදිරිපත් කිරීමයි. මිනිසුන්ට දේශනා කිරීමේ මිෂන් එකක් මට තියෙනවා කියල මං හිතන්නෙ නෑ. මම මං සැලකිලිමත් වන දේවල් ගැන ලියනවා. මං විශ්වාස කරන දේවල් ගැන ලියනවා. මට ඕන කරන්නෙ කතාවක් කියන්නයි. වෙනත් කතාවක් නැතිව ඒ කතාවම මං කියන්න තෝරාගන්නේ ඇයි? උදාහරණයකට ඇයි මම වෝල් ස්ට්‍රීට් ගැන කතාවක් නොලියන්නෙ? හේතුව ඒකෙන් මට ඇති වැඩක් නැති නිසයි. එය මට නොදැනෙන නිසයි. මම ලියන්න තෝරන්නෙ ශක්තිමත් ගැහැනුන්ගේ කතායි. නොසලකා හැරි මිනිසුන්ගේ කතායි. ප්‍රචණ්ඩත්වය පිළිබඳ කතායි. මරණය ගැන කතායි. අහිමි වීම් ගැන කතායි. ආදරය ගැන කතායි. මිත්‍රත්වය ගැන කතායි. හේතුව මගේ ජීවිතයේ සැබෑවටම වැදගත් වන්නේ ඒවායි. ඉතින් මගේ පෞද්ගලිකත්වය සහ මං හිතන පතන දේ යම් ආකාරයකට මගේ වැකිවලට පෙරී එනවා. ඒත් මං ඒ හරහා කිසිම මිෂන් එකක් දියත් කරන්න උත්සාහ ගන්නෙ නෑ. ඒවගේම කතාවක් කියනවා හැරුණාම මට සමාජයේ දියත් කරන්න මිෂන් එකක් තියෙනවා කියලත් මං හිතන්නෙ නෑ.

 ඔබේ පුණ්‍යායතන පදනම එක්ක ඔබ කරන වැඩ මිෂන් එකක කොටසක් නොවේද?

ඒත් ඒක මගේ ලිවීම නෙවෙයි. ඒක මගේ ජීවිතයයි. ඔබ ඇසුවේ මගේ ලිවීම ගැනයි. පුරවැසියකු හැටියටෙ, මනුෂ්‍යයකු හැටියට, කාන්තාවක් හැටියට මං හිතනවා මම කළ යුතු දේවල්, මගේ සහෝදරියන්ට උදව් කිරීමේ කාර්යභාරයක් ආදිය මට තියෙනවා කියල. මම හුඟක් පහසුකම් ලැබූ කෙනෙක්. මට අධ්‍යාපනය ලැබුණා. සෞඛ්‍ය පහසුකම් ලැබුණා. මට ආදරය කරන ස්වාමිපුරුෂයෙක් මට ලැබිලා තියෙනවා. මම කවදාවත් ඔහුගෙන් පහරකෑමට ලක් වෙලා නෑ. මට හොඳ ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒවගේම මට හැමෝටම වගේ දේවල් නැති වෙලාත් තියෙනවා. ඒත් මගේ ජීවිතය නරක නෑ. මගේ ජීවිත කාලය තුළ මම අවුරුදු පනහක් තිස්සේ ස්ත්‍රීවාදී අරගලය තුළ ඉඳලා තියෙනවා. මේ වෙද්දි අපට මුදුන්පමුණුවා ගන්න පුළුවන් වෙයි කියල අපි හිතපු හැම දෙයක්ම අපි මුදුන්පමුණුවා ගෙන නෑ කියල මට පේනවා. තවමත් අපි එහිලා කළ යුතු දේ බොහොමයක් තියෙනවා. එහිදී ඒ කාර්යභාරයේ කොටස්කරුවකු වෙන්න මට ඕන කරනවා. මගේ පුණ්‍යාතන පදනම කරන්නෙ ඒකයි. අපි සෞඛ්‍යය අතින්, ආරක්ෂාව අතින් සහ අධ්‍යාපනය අතින් කාන්තාවන් සහ ගැහැනු ළමයින් සවිබලගැන්වීමේ කාර්යයේ නියුතු වෙලා ඉන්නවා.

 

සාකච්ඡා කළේ [එස්. පල්ලියගුරුගේ]

මාතෘකා