මානුෂික සබඳතා නැත්නම් චාරිකාලංකාරයක් නෑ

 ඡායාරූපය:

මානුෂික සබඳතා නැත්නම් චාරිකාලංකාරයක් නෑ

 

ප්‍රවීණ ගුවන්විදුලි සන්නිවේදක සමන් අතාවුදහෙට්ටි

ප්‍රවීණ ගුවන්විදුලි සන්නිවේදකයකු, චාරිකාලංකාර සටහන්කරුවකු හා දේශපාලන ක්‍රියාකාරිකයකු වන සමන් අතාවුදහෙට්ටි ඔහුගේ අලුත්ම චාරිකාලංකාර ව්‍යායාමය එළිදැක්වීමට දැන් සූදානම් වෙයි. ඒ, ‘සොඳුරු සැරිසර - රම්‍ය සාගරය දිගේ’ සහ ‘සොඳුරු සැරිසර - රතු බලකොටුව දිගේ’ යන කෘති ද්වයයි. ඒ අනුව මෙම අගෝස්තු 21 වෙනිදා සවස 4.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා ලෝටස් ශාලිකාවේදී එය දොරට වඩින අතර එහිදී මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය රෝහණ වීරසිංහ, විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන, බිම්සරා ප්‍රේමරත්න, රන්ජන් පෙරේරා, චන්දන තිලකරත්න, සුරේෂ් මාලියැද්ද, උරේෂා රවිහාරි, සඳුනි විජේතුංග යන කලාකරුවන්ගේ දායකත්වයෙන් සාහිත්‍ය කලා සම්භාෂණයක් සහ රසවින්දනාත්මක සැඳෑවක් පැවැත්වේ. ඉදින් මේ, ඒ නිමිති කර සමන් අතාවුදහෙට්ටි සමඟ අප පැවැත්වූ සංවාදයකි.

ඔබේ මේ අලුත් සාහිත්‍ය කර්තව්‍යය ගැන විස්තර කළොත්?

මේ මගේ චාරිකාලංකාර කෘති මාලාවේ හයවෙනි පොත. මෙහි පළවෙනි පොත කළේ 2011 අවුරුද්දෙ. ඒ තමයි ‘සොඳුරු සැරිසර - හනමිචිය දිගේ’. එය ජපානය පිළිබඳව ලියවුණු කෘතියක්. 2012 අවුරුද්දෙ එහි දෙවන පොත ‘සොඳුරු සැරිසර - සේද මාවත දිගේ’ පළ වුණා. එය චීනය පිළිබඳව චාරිකා සටහනක්. 2013 දි එහි තුන්වන පොත වන ‘සොඳුරු සැරිසර - සරවක් නදිය දිගේ’ කළා. එය මැලේසියාව පිළිබඳ කෘතියක්. ඊට පස්සෙ ‘සොඳුරු සැරිසර - සක්වළ පියස දිගේ’ කළා. එයත් චීනය පිළිබඳවයි. හැබැයි ඒ ටිබෙටය කේන්ද්‍ර කරගෙනයි. ඉන් පස්සෙ තමයි මේ කෘති දෙක වන ‘සොඳුරු සැරිසර - රම්‍ය සාගරය දිගේ’ ජපානය පිළිබඳවත් ‘සොඳුරු සැරිසර - රතු බලකොටුව දිගේ’ ඉන්දියාව පිළිබඳවත් එන්නෙ. ඒ අනුව මම චීනය, ජපානය, ඉන්දියාව, මැලේසියාව යන ආසියානු රටවල් හතරක් ගැන චාරිකාලංකාර ලියා තිබෙනවා.

ඔබ මූලික වශයෙන් ගුවන්විදුලි සන්නිවේදකයෙක්. ඔබ චාරිකා සටහන් ලිවීමට පෙළඹුණේ කෙසේද?

කොහොමටත් මම පුංචි කාලෙ ඉඳලා චාරිකාවලට කැමැත්තක් දැක්වූවා. මම චාරිකාවලට ගියාම ඒ පිළිබඳ සටහන් ලියාගෙනත් තිබුණා. එහෙම සටහන් තියාගෙන ඉන්න අතරේ දවසක් මම එක්තරා ජාතික පුවත්පතක කතුවරයෙකුත් තව මිතුරු කැළකුත් එක්ක පොඩි මධු සාදයක ඉන්දැද්දි මං ගිය චාරිකාවක ලැබූ අත්දැකීමක් විස්තර කළා. එය ඇසූ පුවත්පත් කතුවරයා මට කිව්වා “ඇයි ඔයා ඕක පත්තරේට නොලියන්නෙ?” කියල. ඉතින් ඔහුගේ පුවත්පතට මම එකදිගට සති 111ක් ඒ චාරිකා සටහන් තීරුව ලිව්වා. ඒ අතරේ සිදු වුණේ මේ තීරුව දැකපු ෆාස්ට් පබ්ලිෂින් ප්‍රකාශන ආයතනයේ ප්‍රධානී ප්‍රේම් දිසානායක “ඇයි අපි මේක පොතක් විධියට පළ නොකරන්නෙ?” කියල මට පොතක් කරන්න යෝජනා කිරීම. ඉතින් ඒ විධියට තමයි මෙහි පළවෙනි පොත වන ‘සොඳුරු සැරිසර - හනමිචිය දිගේ’ පළ වුණේ.

ඒවගේම එහිදී තව දෙයක් සිදු වුණා. ඒ පොතට ඒ වසරේ (2012 වසරේ) හොඳම තීරු ලිපි රචනා පොතට හිමි විද්‍යෝදය සම්මානය හිමි වුණා. ඒ සම්මානය නිසා මට මෙවැනි සංචාරක පොත් කිරීමේ ආසාවක් ඇති වුණා. ඒ වෙද්දි අර පුවත්පතට ලියූ මගේ චාරිකා සටහන් කොලමත් නැවතිලා තිබුණෙ. එවිට ප්‍රේම් දිසානායක මිතුරා මට ආරාධනා කළා අපි මේක සංචාරක කෘති මාලාවක් විධියට දිගටම කරමු කියල. ඉතින් එහෙම තමයි මගේ මේ ආගමනය සිදු වුණේ.

ඔබට මේ කෘති මාලාවට ලැබෙන ප්‍රතිචාර මොනවාද?

හුඟක් ප්‍රතිචාර තියෙනවා. පාඨකයෝ ඒ පොත් මිලට අරගෙන කියවනවා. ඒවගේම ඒ පිළිබඳව ඔවුන් මගෙන් නිතර විමසීම්ද කරනවා.

සාමාන්‍යයෙන් සංචාරයකදී ලේඛකයකුට අතිවිශාල තොරතුරු සම්භාරයක් ලැබෙනවා. එවිට සංචාරක කෘතියකට ඉන් තොරතුරු තෝරාබේරා ගන්නේ කෙසේද?

මං හිතන්නෙ ඒක තමයි සංචාරක සටහන්කරුවාගේ විශේෂත්වය. ඔහු තමාගේ ප්‍රතිභාවෙන් ඕන දේවල් එපා දේවල් නිසි ආකාරයෙන් වෙන් කර ගන්න ඕන. මම මෙහිදී අනුගමනය කරන දේ ඔබට කියන්නම්. මම සාමාන්‍යයෙන් සංචාරක ස්ථානයකට ගියාම ඒ මොහොතේ එතැනින් ලබාගත හැකි සියලු තොරතුරු ලබාගන්නවා. ඒකට තරමක් වෙහෙසක් දරන්නත් වෙනවා. ඒ කියන්නෙ සාමාන්‍ය සංචාරකයෙක් යම් තැනක පැයක් ගත කරනවා නම් මට එහි දවසක් ගත කරන්න වෙයි. එහිදී සියලු සම්පත් දායකයන්ගෙන්, තොරතුරු මූලාශ්‍රවලින් මම විස්තර ලබාගන්නවා. ඒ මූලාශ්‍රවලට ඒ තැන ගැන ලියවුණු පතපොතත් ඇතුළත්. දැන් මම ඉන්දියාව ගැන තොරතුරු ගවේෂණය කරද්දි මම එහි කෞතුකාගාරවලට, ලේඛනාගාරවලට ගිහින් දූවිලි වැදුණු පරණ පොත්පත් පරිශීලනය කළා. සමහර පොත්වල ඡායාපිටපතුත් ගත්තා. මේ විධියට අදාළ ස්ථානයෙන් ගන්න පුළුවන් තොරතුරු ලබාගත්තාට පස්සෙ මම සංචාරක සටහන ලියාගෙන යනවා. ඒ කිව්වෙ ලංකාවේදි එය ලියද්දි මම අන්තර්ජාලයට ගිහිනුත් තොරතුරු ලබා ගන්නවා. ඉතින් ලියද්දි මේ සියලු තොරතුරු මගෙන් ලියවෙනවා. හැබැයි කියන්න ඕන මම මෙහිදී සංචාරක ස්ථානයකට ගිහින් කෙනෙකුට සොයාගන්න බැරි කරුණුත් පොතට ඇතුළත් කරනවා කියල. ඒ කියන්නෙ අදාළ තැනට ගියාම වටපිටාවෙන් සහ සම්පත් දායකයන්ගෙන් එම ස්ථානය ගැන වූ වැළලිලා ගිය ඓතිහාසික හා මානුෂික කරුණු ඇතුළත් කරනවා. විශේෂයෙන් මානුෂික සම්බන්ධතා චාරිකාලංකාරයකට නව ඇසක් ලබාදෙනවා.

මම හිතනවා අද සංචාරක සටහන් ඉස්සර වගේ තොරතුරුවලින්ම පමණක් සන්නද්ධ වෙලා හරියන්නෙ නෑ කියල. ඒ කියන්නෙ සංචාරක සටහන් නිර්මාණාත්මක විය යුතුයි. නිර්මාණාත්මක නොවුණොත් කෙනෙකුට පුළුවන් කිසිම සංචාරයක් නොකර ගෙදර ඉඳන් අන්තර්ජාලයෙන් තොරතුරු අරන් අදාළ තැන්වලට ගියා වගේ ලියන්න. ඒ නිසා චාරිකාලංකාරයක් ඉදිරිපත් කිරීම අනිවාර්යෙන් නිර්මාණාත්මක විය යුතුයි. එය අද ලෝකයේම සංචාරක සටහන් ලේඛකයන් මුහුණ දෙන අභියෝගයක්. නිර්මාණාත්මක වුණොත් කවුරු කොපි කිරීම් කළත් සාර්ථක නෑ.

නීල් විජේරත්න ඔහුගේ සංචාරක සටහන්වලදී අනුගමනය කරන එක් ප්‍රයෝගයක් තමයි ප්‍රබන්ධමය ගමන් සගයෙක් නිර්මාණය කරගැනීම. ඒ අනුව ඔහු සංවාදවල නියුතු වෙමින් කතාව ඉදිරිපත් කරන්නේ ගමන් සගයා සමඟයි. ඔබේ ප්‍රයෝගයන් තිබෙනවාද?

නීල් විජේරත්නගේ චාරිකා සටහන් හරි ආකර්ෂණීයයි. ඒ එක්ක පාඨකයා බැඳෙන්නේ ඔහුගේ ඒ නිර්මාණාත්මකභාවය නිසයි කියල මම හිතනවා. ඒත් මට ප්‍රබන්ධමය ගමන් සගයෙක් ඕන කරන්නෙ නෑ. මොකද මට හුඟක් වෙලාවට සැබෑ ගමන් සගයෙක් ඉඳලා තියෙනවා. හැබැයි මම ඒ සැබෑ ගමන් සගයා සමඟ වූ නාටකීය අවස්ථා තීව්‍ර කරනවා. මම කියන්නෙ මොන විධියකින් හරි සංචාරක සටහන නිර්මාණාත්මක ලේඛනයක් විධියටම එළියට ආ යුතු බවයි. එහෙම නොවුණොත් අපි කලින් කිව්වා වගේ තැනකට නොගිහින් අන්තර්ජාලයෙන් තොරතුරු අරන් චාරිකා සටහන් ලිවිය හැකි තැනට පත් වෙනවා.

ඇමෙරිකානු ජාතික චිලී ලේඛිකා ඉසබෙල් අයියන්දේ කියනවා ඇය සත්‍යය ලියන්න ගියාම ඇගෙන් ප්‍රබන්ධමය දේ ලියවෙන බවත් ප්‍රබන්ධ ලියද්දි සත්‍යය දෙසට වැඩි නැඹුරුවක් ඇති වන බවත්. සංචාරක සටහන්කරුවාගෙන් ලියවෙන සත්‍යය ප්‍රබන්ධමය වෙන්න නැඹුරුවක් නැද්ද?

මම චාරිකා සටහන්වලදි හිතන දෙයක් තමයි එහි ප්‍රබන්ධයත් සත්‍යය පදනම් කරගත යුතුයි කියල. මම හිතන්නෙ එහිදී අපට ඇස් දෙකට පේන්න තියෙන දේ ප්‍රබන්ධයක් කරන්න බෑ. ඒක නීල් විජේරත්නත් කරනවා කියල මම හිතන්නෙ නෑ. හැබැයි දෙබස්වලදී නම් ප්‍රබන්ධමය පැත්තට මම ගිහින් තියෙනවා. ඒ හැරුණාම මගෙන් සත්‍යය බොරුවක් බවට පත් වෙන්නෙ නෑ.

සංචාරක සටහන් සඳහා චාරිකාලංකාරය යන වදන එන්නේ ඔබෙන්?

නෑ. එහි බුද්ධිමය දේපළ අයිතිය තියෙන්න ඕන කුලරත්න ආරියවංශට. මගේ පළවෙනි හෝ දෙවැනි කෘතියට ඔහු ලියූ ලිපියකදියි මේ වචනය ඇතුළත් කළේ.

චාරිකාලංකාර සඳහා ඔබට පූර්වාදර්ශ වූ ලේඛකයකු සිටිනවාද?

නිශ්චිත ලේඛකයෙක් සඳහන් කරන්න බෑ. මම චාරිකා කෘති හුඟක් කියවනවා. මම ඊට ප්‍රිය කරනවා. ඒ අනුව මට ඒ හැම දෙනාම බලපාන්න පුළුවන්. උදාහරණයකට මම ඉස්සර සිළුමිණට මීමන ප්‍රේමතිලක, ධර්මසිරි ගමගේ මෙන්ම විමලරත්න කුමාරගම කවිවලින් ලියූ චාරිකා සටහන් කියවා තිබෙනවා. කරුණාදාස සූරියාරච්චිත් චාරිකා සටහන් ලිව්වා. සරච්චන්ද්‍රත් ‘අසම්පූර්ණ චාරිකා සටහන්’ කියල සංචාරක සටහන් කෘතියක් ලිව්වා. ඒ සියල්ල වගේම විදෙස් ලේඛකයන් අතරින් මාකො පෝලෝ, ඉබන් බතූතා, හියුං සියෑන්, ෆාහියන් වැනි කතුවරුන්ගේ සංචාරක සටහනුත් මම කියෙව්වා. ඒවගේම සමහර ප්‍රබන්ධ කෘතිත් මට බලපෑවා. උදාහරණයකට සින්බෑඩ්, දොන් ක්විසෝට්, රොබින්සන් ක්‍රෑසෝ වගේ සංචාරක සටහන් වැනි වූ ප්‍රබන්ධ මම කියෙව්වා. ඒ නිසා මට පූර්වාදර්ශ වූ නිශ්චිත එක් ලේඛකයකු සඳහන් කරන්න අමාරුයි.

ඔබේ කෘති හරහා ඇතැම් විදෙස් වදන් මුල් වරට සිංහල පාඨකයාට හඳුන්වා දෙනු ලැබෙනවා. එහිදී ඒවායේ උච්චාරණය නිවැරදි විය යුතුයි.

ඔව්. මම හැමවිටම හරිම විදෙස් වචන උච්චාරණය ඇතුළත් කරනවා. විශේෂයෙන් චීන වචනවල උච්චාරණය නිවැරදි විය යුතුයි. ඇත්තටම ෆාහියන් සහ හියුන් සියෑන් යන වචන වුණත් අපි උච්චාරණය කරන විධිය වැරදියි. ඒවා ඊට වඩා චීන ඌරුවක් ගන්නවා. ෆාහියන් ඇත්තටම ෆාෂියෑන් විය යුතුයි.

ඔබ මීට දශක තුන හතරකට පෙර ඉතා ප්‍රබල ගුවන්විදුලි සන්නිවේදකයෙක්. දක්ෂ ගුවන්විදුලි නාට්‍ය හඬ නළුවෙක්. හොඳ ක්‍රීඩා විස්තර විචාරකයෙක්. ඔබ යා යුතු දිශාව අද වැරදියට අරන් තියෙනවාද?

නෑ. මම කවදත් එක් මාධ්‍යයකට සීමා වුණේ නෑ. එකලත් මම පුවත්පත්වලට කොලම් ලිව්වා. රූපවාහිනී වැඩසටහන් කළා. මට ලැබෙන සෑම අවස්ථාවක්ම මම පාවිච්චි කළා. මම දෙසතිය සඟරාව පටන්ගනිද්දි එහි අවුරුදු හතරක් ක්‍රීඩා කර්තෘ විධියට වැඩ කළා. ඒ නිසා මං එක් මාධ්‍යයකට සීමා වුණා කියන්න බෑ.

අපි දන්නවා ගුවන්විදුලියේ ‘50, ‘60 දශකවල මහා සම්ප්‍රදායක් තිබුණු බව. ඒ කියන්නෙ සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, මහගම සේකර ආදීන්ගෙන් ඇරඹි සම්භාව්‍ය කලා ප්‍රවාහයක් තිබුණා. ඔබ මේ ප්‍රවාහය ස්පර්ෂ කිරීමට භාග්‍යය ලද්දෙක්?

ඔව්. ඇත්තටම ඒ සම්ප්‍රදාය අපට විශාල වශයෙන් බලපෑවා. විශේෂයෙන් එදා ආධුනිකයන් වූ අපට ගුවන්විදුලි මාධ්‍යය හදාරන්න කිසිම ආයතනයක් තිබුණෙ නෑ. තිබුණු එකම තැන ගුවන්විදුලි අභ්‍යාස ආයතනයයි. එහිදීත් කෙරුණේ කෙනෙකුට සුමාන තුන හතරක පුහුණුවක් දීම විතරයි. ඒ හැර හදාරන්න පොතක් පතක් තිබුණෙ නෑ. පොතක් කොහෙ හරි තිබුණා නම් ඒක තිබුණෙ ඉංග්‍රීසියෙන්. ඒවාත් ගුවන්විදුලි මාධ්‍යය ගැන ලියවුණු පොත් නෙවෙයි. ඒ නිසා එදා අපට මේ සියල්ල ලබාගත හැකි වුණේ මේ කියන මහා කලාකරුවන් හරහායි. එදා ගුවන්විදුලි කොරිඩෝවට ගියොත් හරි වෙන තැනකදි හරි අපට සරච්චන්ද්‍ර, අමරදේව, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති, සුගතපාල ද සිල්වා, මහගම සේකර ආදීන් හමු වෙනවා. ඒ ගොල්ලො ගහක් ළඟ, කොරිඩෝවක, මේසයක් වටේ යන ඕන තැනක කථා කරමින් ඉන්නවා. අපි කරන්නෙ ඒ අය ඉන්න තැනකට ගිහින් අහගෙන ඉන්නවා. ඇත්තටම ඒ දවස්වල හැන්දෑවට ගුවන්විදුලියට යනවා කියන්නෙ විශ්වවිද්‍යාලයකට ගියා වගේ දෙයක්. ඕන දෙයක් අපට දැනගන්න පුළුවන්.

ඔබ මුලින්ම ගුවන්විදුලියට ගියේ කොයි කාලෙද?

මම මට අවුරුදු දහයේදි ගුවන්විදුලියට ගියේ. ඒ කිව්වෙ 1967දි. ඒ ආවේ ගුවන්විදුලියේ ළමා පිටියට. එදා මං ආවේ කොට කලිසම ඇඳලා. මම ළමා පිටියේ දිගටම වැඩසටහන්වලට ආවා. මම ඉස්කෝලෙ ගියේ රෝයල් කොලීජියට. ඉස්කෝලෙ ඇරුණාට පස්සෙ මම එහෙමම ගුවන්විදුලියට යනවා. කොහොම හරි මම ගුවන්විදුලියට ස්ථිර සේවකයකු ලෙස සම්බන්ධ වෙන්නෙ 1977 වසරේ. ඒත් ‘76 ඉඳලා මම එහි සහන නිවේදකයකු විධියට වැඩ කළා. ප්‍රේමකීර්ති ද අල්විස් ඇතුළු සියලු ගුවන්විදුලි ශිල්පීන් මුණගැසුණේ මේ කාලයේයි.

ඔබ ගුවන්විදුලියේ පිරිහුණු සමයේත් එහි සිටි පුද්ගලයෙක්?

ඔව්. ඒකට එහෙම වුණේ ගුවන්විදුලිය අලුත් වෙන්න තිබුණු අකමැත්ත නිසයි. එහි නිර්මාණශීලී පුද්ගලයන් හැමදාමත් සිටියා. එක් පැත්තකින් ගුවන්විදුලිය ඔවුන්ගෙන් ගත යුතු වැඩ ගත්තෙ නෑ. අනෙක් පැත්තෙන් අදාළ කාලයේ තාක්ෂණය ගත්තෙ නෑ. සිරස ගුවන්විදුලිය මේ දෙකම අරගත්තා. සිරස ඒ තත්ත්වයට ගෙනා ශිල්පීන් අතර ප්‍රධාන පුද්ගලයෙක් නිමල් ලක්ෂපති ආරච්චි. ඔහු කොතැන කෙනෙක්ද? ගුවන්විදුලියේ කෙනෙක්.

අපි නැවත ඔබේ චාරිකාලංකාරයට එමු. මේ කෘතියේ හුඟක් ඡායාරූප තිබෙනවා. කල්පනා ලෝකයක් මවා ගැනීමට ඡායාරූප බාධාවක් නොවේද? මට නම් එය බාධාවක්.

මෙහි විස්තර කරන සියල්ල සැබෑ දේවලුයි. එතකොට ඒ ගැන පාඨකයාට හරියටම චිත්‍රය ගේන්න තමයි ඡායාරූප ඇතුළත් කළේ. ඒත් ඔබ කියනවා නම් එය පාඨකයාට බාධාවක් කියල ඊළඟ පොත්වලදි අපි ඒකට විකල්පයක් යොදන්න බලමු.

ඔබේ ඊළඟ සාහිත්‍ය ව්‍යායාමය කුමක්ද?

තවම මම ඒ ගැන හිතලා නැහැ. දැනට මම ඉන්නේ මේ කෘති දෙකත් එක්කයි. ඒත් ප්‍රබන්ධයක් එහෙමත් ඉදිරියේදි එන්න පුළුවන්. කොහොම වුණත් මම බලාපොරොත්තු වෙනවා මේ කෘති දෙක දොරට වැඩීමේ උත්සවයට ඔබ පැමිණේවි කියල.

 

සාකච්ඡා කළේ [රවීන්ද්‍ර විජේවර්ධන ]

 

මාතෘකා