ජීන් අරසනායගම්: කිවිඳිය සහ සිත්තරාවිය

 ඡායාරූපය:

ජීන් අරසනායගම්: කිවිඳිය සහ සිත්තරාවිය

මෙරට ඉංග්‍රීසියෙන් සාහිත්‍යකරණයේ නියුතු වූ ප්‍රවීණ ලේඛිකාවක වූ ජීන් අරසනායගම් (-Jean Arasanayagam) පසුගිය ජූලි මස 30 වෙනිදා අභාවප්‍රාප්ත විය. 1931 වසරේ දෙසැම්බර් 2 වෙනිදා උපත ලද ඇය උපතින් ජීන් සොලමන්ස්ය. ඇය මෙරට බර්ගර් ජාතික කාන්තාවකි. අධ්‍යාපනය ලබා ඇත්තේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙනි. අනතුරුව කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ගුරුවරියක ලෙස ඉගැන්වීමේ නිතර වී ඇත. ඇය ජීන් අරසනායගම් බවට පත් වන්නේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ත්‍යාගරාජා අරසනායගම් සමඟ විවාහ වීමත් සමඟය. ජීන්ට දියණියන් දෙදෙනෙකි. ඒ, දේවසුන්දරී අරසනායගම් හා පාර්වතී අරසනායගම් වශයෙනි. ඉන් පාර්වතී එක් කාව්‍ය කෘතියක් පළ කර ඇත.

ජීන් මූලිකවම කිවිඳියකි. ඈ පළ කර ඇති කාව්‍ය කෘති සංඛ්‍යාව 12 කි. ඒ, Kindura (1973), Poems of Season Beginning and a Season Over (1977), Apocalypse '83 (1984), The Cry of the Kite (1984) A Colonial Inheritance and Other Poems (1985) Out of Our Prisons We Emerge (1987), Trial by Terror (1987), Reddened Waters Flow Clear (1991), Shooting the Floricans (1993), Nallurruined gopurammother-in-law වශයෙනි. ගද්‍ය කෘති පහක් රචනා කර තිබේ. ඒ, The Cry of the Kite (A collection of short stories (1984), The Outsider (1989), Fragments of a Journey (1992), All was Burning (1995), Peacocks and Dreams (1996) ය. තවද ඇය චිත්‍ර ශිල්පිනියක ලෙසද භාව ප්‍රකාශනයේ නියැලී ඇත.

මියයන විට ජීන් 88 වැනි වියේ පසු වූ අතර මේ, ඇයට පසුගිය වසරේ දෙසැම්බරයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය විසින් ඩීලිට් සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමුණු අවස්ථාවේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් සිය ෆේස්බුක් පිටුවට ලියන ලද ලිපියකි.

ඔක්තෝබර් 31 වැනිදා කොළඹ එන්නට ජීන් අරසනායගම් කැමති වූයේ නැත. ඊට දින කීපයකට පෙර ජනාධිපතිවරයා කළ ක්‍රියාව නිසා කොළඹ නගරය ආශ්‍රිතව නොයෙක් කලබල ඇති වෙතියි ඇයත් ඇගේ සැමියාත් දියණියත් සිතූහ. තිස්එක් වෙනිදා පැවැති ඒ වැදගත් උත්සවයට අරසනායගම් පවුල කැඳවාගෙන යෑමට නියමිතව සිටි මිතුරාද ඒ ගමනේදී කරදර වෙතියි සිතුවේය. මෙම ප්‍රකට ලේඛක පවුලේ ආරක්ෂාව ගැන ඔහු විශේෂයෙන් කල්පනා කළේය. ඒ නිසා ඔක්තෝබර් 31 වෙනිදා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ජීන් අරසනායගම් කිවිඳියට සහ නවකතාකාරියට පිරිනැමුණු සම්මාන ආචාර්ය උපාධිය පිළිගැනීමට ඇය පැමිණියේ නැත.

ඇමෙරිකාවේ බෝඩුයින් විශ්වවිද්‍යාලයෙන්ද සම්මාන ආචාර්ය උපාධි දිනූ ඇයට ජාතික සහ ජාත්‍යයන්තර සම්මාන අමුතු දෙයක් නොවේ. උපාධියක් යනු බයෙන් බයෙන් ගොස් ගත යුත්තක් යැයි ඇය නොසිතන්නටද ඇත.

ආචාර්ය සෞම්‍ය ලියනගේ කියවූ අර්ථවත් හේතු පාඨයකින් අනතුරුව ඒ සම්මාන ආචාර්ය උපාධිය ඇයට පිරිනැමුණේ අනභිමුඛයෙහිය. මගේ වැඩිහිටි මිතුරිය ජීන් ලංකාවේ විශ්වවිද්‍යාලයකින් පිරිනැමුණු ප්‍රථම සම්මාන උපාධිය එම සරසවියෙහි කුලපති මහාචාර්ය සනත් නන්දසිරි අතින් පිළිගන්නා අයුරු දකින්නට මට අවස්ථාව නොලැබිණි. එදින උපාධි ප්‍රදානෝත්සව දේශනය කරන්නට නියමිත මමද වේදිකාවෙහි සිටියෙමි.

උපාධි ප්‍රදානෝත්සවය අවසන සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙහි උපකුලපති මහාචාර්ය සරත් චන්ද්‍රජීව මහතා අරසනායගම් මහත්මිය වෙත පිදෙන උපාධි සම්මානය, සහතිකය සහ අනිකුත් ලිපි ලේඛන යවන ආකාරය සාකච්ඡා කළේය. එය පමා නොවී යවන්නටද ඔහුට අවශ්‍ය විය.

"ඔබේ අකමැත්තක් නැත්නම් මම ගිහින් දෙන්නම්. එතකොට ඉක්මනටම ඇයට ලැබෙනවනෙ." මම කීමි.

උපකුලපතිවරයා අදාළ සියලු දේ අලංකාරද අභිමානවත්ද ලෙස අසුරා මට ලැබෙන්නට සැලැස්වූයේය.

"ඔව්. දේශනය කළ කෙනාම ඒක ගෙනියන එක ගැළපෙනවා." ඔහු කීය.

උපාධි ප්‍රදානෝත්සවය දාම ඒ සම්මාන උපාධිය ඒ විශිෂ්ට කිවිඳිය වෙත පිරිනමන්නට මට නොහැකි වූයේ මා ආපසු පේරාදෙණියට එන විට රෑ බෝ වූ බැවිනි. පසු දා උදෑසනම එම වැදගත් රාජකාරිය පිණිස පිටත්ව යන්නට සූදානම් වුණෙමි. අරසනායගම්වරුන් වාසය කරන්නේ මහනුවර ඉතාම කලබලකාරී ස්ථානයකය. පැරණි අරසනායගම් නිවස වටකරමින් නැගුණු රෙදිපිළි සාප්පුය. ඒ නිසා කාරයෙන් ගොස් එය නවත්වන්නට තැනක් සොයා ගත නොහැකිය. එහෙයින් සම්මාන උපාධියට අවමානයක් නොවන බෑගයක එය රුවාගත් මම මගේ ඉස්කූටර හැඬලයේ එය එල්ලාගෙන අරසනායගම් නිවස බලා ගියෙමි. ඒ වූකලි කලින් නොදන්වා යා හැකි නිවසකි.

අරසනායගම් නිවස ඉංග්‍රීසි භාෂා පාසැලක් වැනිය. මා යන විටත් සම්මානිත ලේඛකයෙකු වන ත්‍යාගරාජා අරසනායගම් මහතා උසස් පෙළ දරුවන්ට ඉංග්‍රීසි සාහිත්‍ය පන්තියක් කරමින් සිටියේය. වහා මා හඳුනාගත් ඔහු ඒ පන්තියටම මා කැඳවීය.

මගේ දෝතෙහි වූ බෑගය පෙන්නූ මම මෙසේ කීවෙමි:

"I am here to award your wife a DLitt."

සැණෙකින් සිද්ධිය වටහා ගත් ඔහු සිය බිරිඳට සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් පිරිනැමුණු ගෞරවය ගැන සිය පන්තියටද නිවේදනය කළේය. පන්තියේ සිටි සිංහල, දෙමළ, මුස්ලිම් දරුවෝ අත්පොළසන් දුන්හ. නිවස අභ්‍යන්තරයෙහි පොත්, පත්තර සහ සිත්තම් අතර සිටි ජීන් වෙත ඔහු මා කැඳවාගෙන ගියේය. ඇය සුපුරුදු උස් හඩින් කතා කරමින් මා පිළිගත්තාය.

ඒ සාලයේ අපිළිවෙළට විසිර තිබූ පොත්පත් ගොන්න අතරදී මම ඇයට සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් පිදෙන සාහිත්‍යසූරී සම්මාන ආචාර්ය උපාධිය පිරිනැමුවෙමි.

"ඔක්තෝබර් 31 වෙනිදා කොළඹ කලබල තිබුණෙ නෑ." මම කීමි.

"ඔව්. නමුත් අපි ටිකක් බය වුණා. විශේෂයෙන්ම අපිව එක්ක යන්න හිටි යාළුවා. අනික අපේ පිටරට ඉන්න දුවත් යන්න එපා කිව්වා පාරෙ තොටේ කලබල වෙයි කියලා. අපිටත් වඩා බයවෙලා ඉන්නෙ පිටරට ඉන්න අය."

"මම කලින් දැනගෙන හිටියා නම් මම කොහොම හරි එක්ක යනවා."

ඔක්තෝබර් 26 වෙනිදා ජනාධිපති සිරිසේන කළ දෙයින් පසු රටේ තත්ත්වය ගැන යථාර්ථවාදී අවබෝධයකින් සිටි මම කීවෙමි.

දෙමළ ජාතියෙකු හා විවාහ වීම නිසා 1983 ජාතිවාදී කලබල සමයෙහි අනාථ කඳවුරුවලද ගත කොට ඇති ජීන් වීදි කැරලි යනු මොනවාදැයි දනියි. තමා "දැන් අසූවත් පැනලා"යි ඇය සිහි කළාය. ඒ එදා කොළඹ නොයෑම ගැන කනගාටු වෙමිනි.

සිංහලයන් වන අප සේම බර්ගර් ජනයාද ආගන්තුක සත්කාරයට ළැදිය. ඇගේ ජීවිත කතාවේ ඇතැම් කොටස්වලට සවන් දෙමින් මම ඒ සත්කාර භුක්ති වින්දෙමි.

ඇගේ මුල් කාලීන කවි පොතක් වන Reddened Water Flows Clear කෘතියෙහි මගේ ගම් ප්‍රදේශය වන කුරුණෑගලද මහවද පසුබිම් කරගත් කවි ඇත. මම ඒවා ගැන කතා කළෙමි. ඇය මහව ප්‍රදේශයෙහි ඇගේ පවුලට අයිතිව තිබුණ ඉඩම් ගැන කීවාය.

"අපි බර්ගර්ස්ලා කාලා බීලා විනෝදෙන් ඉන්න මිනිස්සුනෙ. ඒ ඉඩම් ඔක්කොම වික්කා."

ඇය දැන් වසන නිවස පිහිටි ඉඩමෙන්ද විශාල කොටසක් විකිණී අවසානය. අද තිබුණේ නම් එය ප්‍රකෝටි ගණනක දේපොළකි. එහෙත් ඒවා ගැන වගේ වගක් නැති ඇය කවි ලියයි.

මා කියවා තිබුණේ ඇගේ පොත්වලින් තුනක් පමණි. ඇය තවත් පොත් පහක් මට පරිත්‍යාග කළාය.

"මම මේ අත්සන් කරපු පොත් මම මැරුණහම මිලියනයකට විතර විකුණගන්න පුළුවන් ජීන්ගේ අත්සනද සහිත පොත් කියලා." ඇය විහිළු කළාය.

මා වසන නගරයේම වසන අවසන් බර්ගර් ලේඛිකාව ඇය නොවේවායි මම පතමි. අනෙක් බර්ගර් ලේඛකයා වන කාල් මලර් රෝගීව සිටියි. ඔහුට දැන් ලියන්නට බැරිය. ජීන් තවමත් ලියයි. දැන් ඇය චිත්‍ර කලාවෙහිද නියැලී සිටියි. තමා කළ රේඛා චිත්‍රයක්ද ඇය මට තිළිණ කළාය. එය නුදුරු දිනෙකම මගේ නිවසෙහි බිත්තිවල අනෙක් චිත්‍ර අතරට එක් වෙනු ඇත.

ඔක්තෝබර් 26 වැනිදා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සිය අගමැතිවරයා මාරු නොකළේ නම් ඒ චිත්‍රය මා වෙත නොලැබෙන්නට ඉඩ තිබිණි.

 

මහාචාර්ය [ලියනගේ අමරකීර්ති]

මාතෘකා