මේ සාහිත්‍ය පරිහානියට වගකිව යුත්තේ ජාතික අධ්‍යාපන ආයතනයයි

 ඡායාරූපය:

මේ සාහිත්‍ය පරිහානියට වගකිව යුත්තේ ජාතික අධ්‍යාපන ආයතනයයි

සම්මානලාභී ලේඛිකා අනුලා විජයරත්න මැණිකේ

අනුලා විජයරත්න මැණිකේ නිහඬව සාහිත්‍ය සේවනයේ සහ නිර්මාණකරණයේ යෙදී සිටින ලේඛිකාවකි. ඇය ලියූ ප්‍රථම නවකතාව වූ ‘සුජාත පුත්‍රයින්ගේ වස්තුව’ සඳහා වර්ෂ 1987 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය. ‘වෙනසක් කළ හැකිය’ නමින් පද්‍ය නිර්මාණ සංග්‍රහයක්, ‘සඳමඬල’ නමින් යොවුන් නවකතාවක්, ‘කවුද හොරා’ සහ ‘රන් කළයේ නිධානය හා ඔරලෝසු නගරයේ සාදය’ නමින් ළමා කතා දෙකක්, ‘බැම්ම’ නමින් කෙටිකතා සංග්‍රහයක් මෙන්ම ‘වඩබාගින්න’, ‘දඩකෙළිය’, ‘වපසරිය’ සහ ‘සළාවැටුම’ නමින් නවකතා කිහිපයක්ද ඇය රචනා කර ඇත. ඒ අතරින් ‘වඩබාගින්න’ නවකතාව ඉංග්‍රීසි, දෙමළ සහ ජපන් භාෂාවලින්ද පළ විය. ගුරුවරියක ලෙස සේවය කළ ඇය උසස් පෙළ සිංහල සාහිත්‍යය විෂය අලළා විචාර ග්‍රන්ථ කිහිපයක්ද රචනා කර ඇත. වර්ෂ 2008දී ‘සපත්නී’ නමින් ලියූ නවකතාවෙන් පසු ඈ ලියූ අලුත්ම නවකතාව ‘වැසී ගිය පෙත් මං’ 2015 වසරේ සූරිය ප්‍රකාශනයක් ලෙස පළ විය. ඉදින් මේ, අප ඇය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

පසුගිය කාලය තුළ ඔබේ නිර්මාණ ජීවිතය ගෙවී ගියේ කෙසේද? අද දවසේ සාහිත්‍යය ගැන ඔබේ අදහස් කෙබඳුද?

ඇත්ත වශයෙන් මේ වෙනකොට මම හරි කලකිරීමකින් ජීවත් වෙන්නේ. අද අපේ රටේ සාහිත්‍යයක් කියලා දෙයක් නැහැනෙ. අද තියෙන්නේ එකිනෙකා අතර පොරකාගැනීමක්. ලංකාවේ පැරණි ශ්‍රී විභූතිය මනින්නේ ඒ කාලයේ තිබුණු සාහිත්‍යයේ දියුණුව මතයි. දඹදෙණි, පොළොන්නරු සහ අනුරාධපුර යුගයන් විශිෂ්ටයි කියලා අපට හිතාගන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒ කාලයේ තිබුණු සහ අදටත් තියෙන පැරණි සාහිත්‍ය කෘතීන් අනුවයි. නමුත් අපි මොනවද වර්තමානයෙන් අනාගතයට දෙන සාහිත්‍ය කෘතීන්? අද හැමෝම වගේ කියනවනේ අපි දැන් දියුණුයි, අධිවේගී මාවත් හදලා තියෙනවා, සංවර්ධනය වැඩි වෙලා තියෙනවා, ගුවන්තොටුපළවල් මෙච්චර තියෙනවා කියලා. නමුත් අපිට අනාගතයට දෙන්න පුළුවන් සාහිත්‍යයක් තියෙනවාද? රටක දියුණුව මනින ඒකකය සාහිත්‍යයයි කියන මානය අද සමාජයෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. අනාගතයට තියා වර්තමානයටවත් සාහිත්‍යයෙන් ඵලක් නැහැ කියන තත්ත්වයකට සමාජය පත් වෙලා තියෙනවා. මේ තත්ත්වයට හේතුව වර්තමාන පාලන ක්‍රමය විතරක්ම නෙවෙයි. මම වගකීමෙන් කියනවා මේ සාහිත්‍ය පරිහානියට වග කියන්න ඕන ජාතික අධ්‍යාපන ආයතනයයි කියලා. සාහිත්‍යයට මේ අවාසනාවන්ත තත්ත්වය උදා කරන්න කටයුතු කළේ ජාතික අධ්‍යාපන ආයතනයයි. ඔවුන් වපුරපු දේවල්වල අස්වැන්නයි අද මේ නෙළාගන්න වෙලා තියෙන්නේ. ජාතික අධ්‍යාපන ආයතනය කියන්නේ නිලධාරීවාදය තදින්ම ක්‍රියාත්මක වන තැනක්. ඔවුන්ගේම නවකතා ටිකක් තෝරගෙන, ඔවුන්ගේම විචාර ලියලා ඒවා දරුවන්ට උගන්වන්න කියලා ගුරුවරුන්ට දෙනවා. ඒ හරහා විභාග අපේක්ෂකයෝ පුරුදු වෙන්නේ පොත් කියවලා රස විඳින්න නෙවෙයි. ජාතික අධ්‍යාපන ආයතනය මුලින්ම විෂය නිර්දේශ සකස් කළා. ඊට පස්සේ ඔවුන්ම විචාර පොත් ලිව්වා. ඒ නිසා අලුත් පරම්පරාව පුරුදු වුණේ ඒ විචාර පොත් ටිකම පාඩම් කරලා විභාගවලට ලියන්නයි. සාහිත්‍ය විචාරය විභාග ප්‍රශ්න පත්‍ර සඳහා පමණක් සීමා වුණා. අපි දැන් අත්විඳින්නේ ඒ අවිචාරවත් වැඩවල ප්‍රතිඵලයි. අපට පෙර සිටි පරම්පරාව අපට සාහිත්‍යය හඳුන්වලා දුන්නා. අපේ කාලයේ විභාග ප්‍රශ්න පත්‍රවලට අනිර්දිෂ්ට ග්‍රන්ථවලිනුත් ප්‍රශ්න අහලා තිබුණා. ඒ හරහා අපි කියවපු නවකතාවක් රසවිඳින්න සහ ඒ ගැන අදහස් දක්වන්න අපට අවස්ථාව ලැබුණා.

අද දවසේ බිහි වන නවකතා ගැන ඔබේ අදහස කුමක්ද?

වර්තමාන නවකතාව කථන මාධ්‍යයක් කරා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නෙ කථා කරන බසින් ලියන කතා කලාවක් බවට පත් වෙලා තියෙනවා. කරන බසින් ලියැවුණු ලියනගේ අමරකීර්තිගේ පොතක් කියවනකොට අපට ඒක අපූර්ව අත්දැකීමක් වුණා. භාෂාව භාවිත කරපු ආකාරය තුළ ඒ කෘතියේ විශේෂත්වයක් තිබුණා. ඒත් හැම කෙනෙකුටම ඒ විදිහට භාෂාව හසුරුවන්න බැහැ. භාෂාව කියන්නේ එකිනෙකාට අනන්‍ය දෙයක්. හැමෝම ඒ රචනා විලාසය පරිහරණය කරන්න පටන්ගැනීමෙන් විශාල හානියක් සිද්ධ වුණා. හොඳ නවකතාවක තිබිය යුතු කරුණු කිහිපයක් තියෙනවා. චරිත නිරූපණය, කතාවේ තේමාව, ශිල්පීය ක්‍රම සහ දෘෂ්ටිය වගේ කරුණු ගණනාවක් ඒ අතර තියෙනවා. විශේෂයෙන්ම චරිතවල අභ්‍යන්තරය විමසීම හොඳ නවකතාවක තියෙන්නම ඕනෙ. නමුත් මේ කතා කරන භාෂාවෙන් ලියන නවකතාවලින් කොහොමද චරිතයක අභ්‍යන්තරය හෙළිදරව් කරන්නේ? ඒ භාෂාවෙන් චරිතයක අභ්‍යන්තරය හෙළිදරව් කරනකොට අපට දැනෙන්නේ නිකං ඕපාදූපයක් කියනවා වගේ දෙයක්. ඇත්ත වශයෙන්ම දැන් තියෙන්නේ ඕපාදූප කලාවක්.

ඔබේ අදහස අද උසස් නවකතා බිහි නොවන බවද?

හොඳ නවකතා බිහි වෙනවා. එහෙත් එවැනි හොඳ පොත් අද පාඨක අවධානයෙන් ගිලිහෙනවා. අවධානයට යොමු විය යුතු නැති ආකාරයේ පොත් ගැන අනවශ්‍ය විදිහට කතා කෙරෙනවා. දැන් තියෙන මේ කතා ක්‍රමය මොකක්ද? බොහෝ අය වචන ගණන බලලයි සාහිත්‍ය කෘති ලියන්න හදන්නේ. ඒ නිසා පල්හෑලි ලියන බවක් පෙනෙනවා. මෑත කාලයේ ලියැවිච්ච නවකතා බලන්න. සුනේත්‍රා රාජකරුණානායකගේ නවකතා විලාසය මම අගය කරනවා. නමුත් ඇය මෑත කාලයේ ලියපු නවකතා ඒ තරම් සාර්ථක නැහැ කියලා මට හිතෙනවා. දැන් පවතින ක්‍රමයට අනුගත වෙන්න යෑම නිසා ඇය තුළ තිබුණු විශිෂ්ට ප්‍රතිභානය නැති වෙලා ගිහිල්ලා. දැන් නවකතා ලියන විට ඇය සිදුවීම් අනවශ්‍ය පරිදි දිග්ගස්සන බවක් පෙනෙනවා. ඒක අපට වෙහෙසක් ගෙන දෙනවා. දැන් තියෙන නවකතාවල චරිත නිරූපණයක් තියෙනවාද? එහෙම තියෙන්න විදිහක් නැහැ. මොකද කට වචනයෙන්නේ කතාව කියන්නේ. ඒ නිසා ඒක ඕපදූප කියවීමක් විදිහටයි අපට දැනෙන්නේ. ඕපාදූපයක් තුළ කලාත්මක රසිකත්වයක් ඇති වෙන්නේ නැහැ. දැන් ඕන කෙනෙකුට ඔය විදිහට නවකතා ලියන්න පුළුවන්. හැබැයි එහෙම ලියැවෙන නවකතාවලින් අප තුළ කලාත්මක පරිඥානයක් ඇති වෙන්නේ නැහැ.

එහෙත් එවැනි පරිඥානයක් අප තුළ ඇති කළ හැකි ආකාරයේ විෂය ක්ෂේත්‍රයන් අද ලියැවෙන නවකතාවලට පාදක වෙනවා.

මම දකින ආකාරයට නම් වර්තමාන නවකතා රැල්ල තුළ සැලකිල්ලට යොමු වී ඇත්තේ සීමිත විෂය ක්ෂේත්‍ර කිහිපයක් විතරයි. දීර්ඝ කාලයක් තිස්සේ පැවැතිච්ච යුද්ධයෙන් බැටකාපු සිංහල දෙමළ ජනයා ගැන කවුද ලියන්නේ? කුණුහරුප ටිකක් ලියනවා මිසක් මේ වගේ අවුරුදු ගාණක අත්දැකීමක් අද ලියැවෙන නවකතාවකට වස්තු විෂය වෙන්නේ නැහැනෙ. යුද්ධය කියන්නේ අපට තදින්ම බලපාපු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය එක්ක බැඳුණු ගැටලු අදටත් තියෙනවා. ඇත්ත වශයෙන්ම ඒවා හොඳින් අධ්‍යයනය කරලයි නවකතා ලියන්න ඕනෙ. මධ්‍යම පාන්තික ගැටලු, කොළඹ ජීවිතය අවට පැල්පත් ජීවිත සහ කාමය, ලිංගික ජීවිතය හැර වෙන ලියන්න කොච්චර දේවල් අපට තියෙනවද? අද ලියැවෙන බොහෝ නවකතාවලට පාදක වෙන්නේ කාමය සහ ලිංගික ජීවිතයම පමණයි. ඒවම විතරක්ද අපට තියෙන්නේ? සූචනය කරන්න තව කොයි තරම් දේවල් තියෙද්දිද මේ වගේ කරුණු ගැන විතරක් ලියන්නේ?

නවකතාව සහ සාහිත්‍යය සම්බන්ධයෙන් අද පවතින මේ තත්ත්වය වෙනස් කළ හැකියි කියා ඔබ හිතනවාද?

ඒ සඳහා මූලිකත්වය ගන්න පුළුවන් විද්වතුන් කිහිප දෙනෙක් හෝ අදත් ඉන්නවා. අන්තවාදී නොවී නවකතාව ඇතුළු නිර්මාණ සහ සාහිත්‍යය ගැන අවංක අදහස් ඉදිරිපත් කරන්න ඒ අය කටයුතු කරනවා නම් හොඳයි කියලා මම හිතනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විචාරකයින් වගේ අය මේ කටයුත්තෙදි වගකීමකින් යුතුව කටයුතු කළ යුතුයි. සාහිත්‍යය අද වැටිලා තියෙන්නේ ඉතාම කනගාටුදායක තත්ත්වයකටයි. පැරණි සම්භාව්‍ය සාහිත්‍යය ගැන අද උසස් පෙළ හෝ සරසවි දරුවෝ දන්නේ නැහැ. මම නම් කියන්නේ අපේ රටේ ළමයින්ට පාළි උගන්වන්න ඕන. පුරාතන භාෂා උගන්වන්න ඕන. හැබැයි ඒ වගේ දේවල් උගන්වන්න ගියත් අපේ මිනිස්සු ඒක එපා කරයි. මොකද මුලින්ම කියලා දෙන්න යන්නේ ව්‍යාකරණනෙ. එහෙම නැතුව බොහොම සරල විදිහට ලස්සන සුන්දර ගාථාවල තේරුම් කියලා දීලා ළමයි තුළ රුචියක් ඇති කරලා ඒ ඔස්සේ පාළි සාහිත්‍යය ඉගෙනගන්න ළමයි පොලඹවන්න පුළුවන්. දැන් හාමුදුරුවරුවත් පාළි දන්නෙ නැහැ. උන් වහන්සේලාත් දැන් කුණුහරුප ලියනවා. පාළි සාහිත්‍යය ඇසුරින් හාමුදුරුවරුන්ට කොයි තරම් අත්දැකීම් ක්ෂේත්‍රයක් සූචනය කරන්න පුළුවන්ද? නමුත් උන් වහන්සේලාත් පාළි සාහිත්‍යය ඇසුරු කරන්නේ නැහැ.

සාහිත්‍ය සම්මාන ගැන ඔබේ අදහස කුමක්ද?

මේ සාහිත්‍ය සම්මාන ක්‍රමය සම්පූර්ණයෙන්ම නැති කරන්න ඕන කියලයි මම නම් කියන්නේ. සැබෑ සාහිත්‍යකරුවන් හඳුනාගෙන සාහිත්‍ය අනුමණ්ඩලයට දාගන්නකම්, සාහිත්‍ය අනුමණ්ඩලය සැබෑ සාහිත්‍යකරුවන්ගෙන් සමන්විත වෙනකම් මේ පරිහානිය නවත්වන්න බැහැ. ඇත්ත වශයෙන්ම දැන් සාහිත්‍යය කියලා හඳුන්වලා දෙන්න පුළුවන් දෙයක් නැහැ. මිනිසුන්ගේ සන්තානය හදන්නේ සාහිත්‍යයෙන්. ඒ කටයුත්ත කරන්න හැමෝටම බැහැ. මිනිසුන්ගේ සන්තානය හදන හොඳ සාහිත්‍යයේ අගය හඳුනාගත හැකි රසික පරිපාලකයන් ඉන්න ඕන අන්න ඒ නිසායි. එහෙම නැතුව පන්දමට ආණ්ඩුවට කඩේ ගිහිල්ලා පත්වීම් ගත්ත අය එක්ක සාහිත්‍යය ගොඩගන්න බැහැ. අද රාජ්‍ය සාහිත්‍ය සම්මාන විනිශ්චය මණ්ඩලය රහසක්. මේ විනිශ්චය මණ්ඩල හෙළිදරව් කරන්න ඕන. ස්වර්ණ පුස්තකය එහෙම විනිශ්චය මණ්ඩලය හෙළිදරව් කරනවා. නමුත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන විනිශ්චය මණ්ඩලය හෙළිදරව් කෙරෙන්නේ නැහැ. හෙළිදරව් කෙ‍ෙරන්නේ නැත්තේ මොකද? ඒගොල්ලන් තම තමන්ගේ රුචිය අනුව තම තමන්ගේ අයට සම්මාන දී ගන්නවා.

ඔබත් රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභිනියක්. ඔබේ ‘සුජාත පුත්‍රයින්ගේ වස්තුව’ නවකතාවට 1987 වසරේදී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණා?

රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි වුණේ මගේ එකම පොතකට පමණයි. අද මම ඒක ගැන ආඩම්බරයෙන් කතා කරන්නේ ඒ කාලයේ සාහිත්‍ය මණ්ඩලයේ හිටියේ විශිෂ්ට ප්‍රාඥයෝ නිසයි. ඒ නිසයි මම වගේ කෙනෙකුට ඒ කාලයේ එහෙම සම්මානයක් ලැබුණේ. නැත්නම් මට කවදාවත් එහෙම අවස්ථාවක් නොලැබෙන්නත් ඉඩ තිබුණා. අද තියෙන විදිහේ සම්මාන ක්‍රියාවලියකින් නම් මට කවදාවත් සම්මානයක් ලැබෙන එකක් නැහැ. විශ්වවිද්‍යාලවල ළමයි යොදවලා මේ සම්මාන ලබන පොත් ගැන සමීක්ෂණයක් කරනවා නම් හොඳයි. එතකොට පෙනෙයි මොකක්ද මේ වෙන්නේ කියලා. මේක මහජනතාවගේ සල්ලි මංකොල්ලකෑමක්. මේක සහගහන අපරාධයක්. ප්‍රශස්ත පොතක් තෝරලා සම්මානයක් දෙනවා නම් ඒක ජනතාවට කරන සාධාරණයක් වෙනවා. පොත් කබලකට සාහිත්‍ය සම්මාන දුන්නාම ජනතාවත් ඒ ඔස්සේ ගිහිල්ලා මුළා වෙනවා. හොඳ සාහිත්‍ය රසිකයෝ තවමත් ඉන්නවා. ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න නම් හොඳ පොත් වැඩි වැඩියෙන් බිහි වන පසුබිමක් නිර්මාණය කරන්න ඕන. සාහිත්‍යය සහ කලාව මිනිසුන්ගේ අන්තර්ඥානයේ හැංගිලා තියෙනවා. අපේ උරුමයන් ඇතුළු හැමදෙයක්ම අප තුළ හැංගිලා තියෙනවා. මේවා මතු කරගන්න පුළුවන් සාහිත්‍යයක් අපට ඕන.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන හැරුණු විට ගොඩගේ සහ ස්වර්ණ පුස්තක ඇතුළු තවත් සාහිත්‍ය සම්මාන කිහිපයක්ම දැනට ක්‍රියාත්මක වෙනවා?

අද අපේ සාහිත්‍ය කියන්නේ සම්මාන තරගයක් පමණයි. මේකට ස්වර්ණ පුස්තක සම්මානයත් සෑහෙන්න වගකියන්න ඕනෙ. මේ වෙළෙන්දෝ ටික එකතු වෙලා අපේ සාහිත්‍යය විනාශ කළා. දැන් තියෙන්නේ පොත්වල පිටු ගණනින් ඒවායේ අගය මනින ක්‍රමයක්. ස්වර්ණ පුස්තක නිලධාරී මණ්ඩලය ඇතුළු ව්‍යාපාරිකයන් මේ රටේ සාහිත්‍යයට ටිකක් සහයෝගය දීලා ඔවුන්ගේ ව්‍යාපාරය කරගත්තාට කමක් නැහැ. ඇත්ත වශයෙන්ම අද සාහිත්‍යය ස්වර්ණ පුස්තකකාරයන්ගේ දෙයක් බවට පත් වෙලා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වුණත් ව්‍යාපාරයක් විතරයි. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන එක සමහරුන්ට අද මේනියාවක් වෙලා. විශේෂයෙන්ම කාන්තාවන් විශාල ප්‍රමාණයක් මේ ප්‍රදර්ශනයට එනවා. එතැනට එන බොහෝ අය විලාසිතාවට වගේ ලොකු පොත් උස්සගෙන යනවා. නමුත් ඒවා ගෙනියන්නේ කියවන්න නෙවෙයි. ඔතැන තියෙන්නේ ව්‍යාපාරිකයෝ කාන්තාවගේ මානසිකත්වයෙන් ප්‍රයෝජන ගැනීමක් විතරයි. හැබැයි පාසල් ළමයි නම් ඔවුන්ගේ විෂයන්ට අදාළ පොත් කියවනවා ඇති. සමහරු මම මෙච්චර පොත් ගත්තා, අච්චර පොත් ගත්තා කියලා මහා පොත් උස්සගෙන යනවා. ඒකත් මහා ව්‍යාජයක්. ඇත්තටම ඒක දැන් විලාසිතාවක් බවට පත් වෙලායි තියෙන්නේ. සාරි විලාසිතා ප්‍රදර්ශනයකට යන එකයි පොත් ප්‍රදර්ශනයට යන එකයි අතර ඒ තරම් ලොකු වෙනසක් නැහැ. බොහෝ මධ්‍යම පාන්තික කාන්තාවන් ඔය ප්‍රදර්ශනයට එන්නේ අනිත් අය හමු වෙලා, ප්‍රදර්ශන භූමියේ තියෙන වීදි කඩවලින් කෑම කාලා යන්නයි. ඒ වගේ අය නම් පොත් කියවනවා කියලා මම හිතන්නේ නැහැ. අනිත් එක ඒ මහ සෙනඟ මැද්දේ පොතක් තෝරගන්න පුළුවන්ද?

මෙයට පෙර ඔබ ලියූ ‘සපත්නී’ නවකතාව ඇතුළු නිර්මාණ ප්‍රමාණවත් අන්දමින් කතාබහට ලක් වුණා කියා ඔබට සිතෙනවාද?

‘සපත්නී’ කියන්නේ කාන්තාව පිළිබඳ සමාජයේ පවතින පොදු මතයක් පදනම් කරගෙන ලියූ නවකතාවක්. සාමාන්‍යයෙන් බොහෝ අය කියන්නේ කාන්තාව මොනවා කරත් අන්තිමට වැරදිකාරිය ඇයයි කියන එකනෙ. ඒ නවකතාවෙන් මම කතා කරන්න උත්සාහ කළේත් ඒක ගැනයි. හැබැයි ඒ නවකතාව ගැන කවුරුවත් කතා කළේ නැහැ. එහෙම වුණේ පොත හොඳ නැති නිසා වෙන්න ඇති කියලාත් මට හිතුණා. හැබැයි ඉතින් කවුරුවත් මගේ පොත් ගැන කතා කරන්න ඕනය කියලා හිතාගෙන මම පොත් ලියන්නෙත් නැහැ. මට ඕන මා තුළ ප්‍රබලව දැනෙන යම් දෙයක් තියෙනවා නම් ඒක නිර්මාණයකට ගොනු කරන්නයි. ‘සපත්නී’ වගේම මගේ තවත් කෘති කිහිපයක්ම ප්‍රමාණවත් තරම් කතාබහට ලක් වුණේ නැහැ කියලා මට හිතෙනවා. ‘සුජාත පුත්‍රයින්ගේ වස්තුව’ මගේ විශිෂ්ටම කෘතිය කියලා බොහෝ අය කියනවා. නමුත් ‘වඩබාගින්න’ නවකතාවත් හොඳ කෘතියක් කියලා මම හිතනවා. ඒ නවකතාව දෙමළ සහ ජපන් භාෂාවලටත් පරිවර්තනය වුණා. නමුත් ලංකාවේ නම් ඒ නවකතාව ගැන ප්‍රමාණවත් ආකාරයෙන් කතා වුණේ නැහැ. ‘බැම්ම’ කියන කෙටිකතා සංග්‍රහය නම් යම් තරමකට පාඨකයන් අතරට ගියා කියලා මම හිතනවා.

 

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා