පරිවර්තන අවසරය

 ඡායාරූපය:

පරිවර්තන අවසරය

පරිවර්තන කෘතියක් පළ කිරීමේදී මුල් ප්‍රකාශන සමාගමෙන් අවසර ගෙන පළ කිරීම පොදුවේ පිළිගත් ක්‍රමවේදයයි. එසේම එය සදාචාරවාදී සම්මතයයි. එහෙත් අවසර ගැනීමේ ක්‍රමවේදය නිසා පරිවර්තන කෘතිය පරිහරණය කරන පාඨකයාට හානියක් වන්නේ නම්, එහි මුල් කෘතියට හා කතුවරයාට අසාධාරණයක් වන්නේ නම් ඒ පරිවර්තන අවසරයේ ගැටලුවක් පවතී. සැබැවින්ම අද ඇතැම් පොත් ප්‍රකාශකයන් මූල්‍ය ලාභයම පිණිස ඇතැම් උසස් කෘතිවලට මුල් ප්‍රකාශකයන්ගෙන් අවසර ගෙන ඔවුන්ම පරිවර්තකයන් තෝරා ඔවුන්ට ‘ඩෙඩ් ලයින්’ දී පරිවර්තනය කරවා සිල්ලර පරිවර්තන එළිදක්වන්නේ ඒ සියලු ගැහැට පාඨකයාටත්, සෙසු පරිවර්තකයනටත් උදා කර දෙමිනි. එහිදී ඔවුන් මුල් ප්‍රකාශකයනට සුළු මුදලක් ගෙවා (ඇතැම් විට කිසිදු මුදලක් නොගෙවා) ඒ ගන්නා අවසරය තමනට සදාකාලිකව හිමි වූවක් යැයි හුවා දක්වන්නේ එම කෘතිවල අන් පරිවර්තන වෙළෙඳපොළට ඒම වළකමිනි. මීට හොඳම නිදසුන පසුගියදා මෙරට ප්‍රකාශකයකු නොබෙල් සාහිත්‍යලාභී තුර්කි ලේඛක ඔර්හාන් පාමුක්ගේ

My Name is Red නම් මහා නවකතාව වෙනත් පරිවර්තකයකු විසින් පරිවර්තනය කර තිබියදී ඔහුට එය වෙළෙඳපොළට දැමීමේ අවකාශය අහුරමින් එම ප්‍රකාශකයාගේ ‘අවසර ගත්’ පරිවර්තනයක් මෙරට ප්‍රකාශයට පත් කිරීමට ගත් උත්සාහයයි. එහිදී එම ප්‍රකාශකයා හුවා දක්වා තිබුණේ මෙරට ඔර්හාන් පාමුක්ගේ පොත් පළ කිරීමේ පරිවර්තන අයිතිය ඇති එකම ප්‍රකාශකයා තමන් බවයි. එහෙත් එහිදීද ඔහුට පරිවර්තන අවසරය ගත් බවට ලිඛිත සාක්ෂියක් තිබුණේ නැත.

පරිවර්තන අවසරය හෝ අන් නීතියක් තිබිය යුත්තේ පාඨකයාගේ යහපත විනා නීතියට සාධාරණය ඉටු කිරීමට නොවේ. තවද පරිවර්තන අයිතිය පිළිබඳ අරගලය පරිවර්තකයන්ගේ මිස වෙළෙන්දන්ගේ බලුපොරයක් විය යුතු නොවේ. එහෙත් දැන් එය ඒ තත්ත්වයට ඇදවැටී තිබේ. මේ, ඒ පිළිබඳව පරිවර්තන ක්ෂේත්‍රයේ කිහිප දෙනෙකු සමඟ කළ මත විමසුමකි. සනත් බාලසූරිය‍ගේ පිළිතුර ඔහු ඊ‍ෙම්ල් මගින් ලියා එවුවකි.

පරිවර්තන අවසරය දෙන්නේ උපරිම වශයෙන් වසර පහකට

සරසවි ප්‍රකාශන අධිපති එච්.ඩී. ප්‍රේමසිරි

පරිවර්තන කෘතියක් පළ කරනවා නම් අනිවාර්යෙන් පරිවර්තන අවසරය ලබාගත යුතුයි. එය එසේ ගත යුතු වන්නේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත අනුවයි. ඒ අවසර ගැනීමේදීත් එය අපට දෙන්නේ අදාළ කෘතියේ ප්‍රකාශකයා මිස මුල් ලේඛකයා නෙවෙයි. එතකොට එ් අවසරය ගැනීමට අපි එම ප්‍රකාශකයාට අදාළ ගෙවීම කරනවා. ඒවගේම කවුරු හරි ඒ විධියට ප්‍රකාශන හිමිකම ගත්තාම එ් පරිවර්තන අයිතිය ඒ ප්‍රකාශකයාට සදාකාලිකව අයිති නෑ. මොකද එ් අවසරය දෙන්නේ සාමාන්‍යයෙන් වසරකට, දෙකකට හෝ උපරිමය වසර පහකට පමණයි. ඒ නිසා පොතකට පරිවර්තන අයිතිය ගත් ප්‍රකාශකයෙක් අදාළ කාලය අවසන් වුණාම එය වෙනත් ඕනෑම කෙනෙකුට මුල් සමාගමෙන් අයිතිය ගෙන පරිවර්තනය කර පළ කළ හැකියි. එතනදි අවශ්‍ය වෙන්නේ මුල් ප්‍රකාශකයාට අත්තිකාරම් මුදලක් ගෙවීම පමණයි.

මම උදාහරණයක් කියන්නම්. මගේ ආයතනයෙන් Harry Potter පොත්වලට පරිවර්තන අවසරය ගත්තේ එහි බලය ලත් නියෝජිතයෙකුගෙන්. ඒ අවසරය ගන්නකොට මුලින්ම සියයට 10ක විතර මුදලකුයි අපි ගෙවීම හැටියට කළේ. ඒ වෙලාවේ අපි පොතේ පිටපත් දහසක් හෝ දෙදහසක් මුද්‍රණය කරන්න එකඟ වුණා. ඇත්තටම කිසිම ප්‍රකාශකයෙකුට තමන් මුල් ප්‍රකාශකයා සමඟ එකඟ වූ පිටපත් ගණනට වඩා වැඩියෙන් පළ කරන්න අවසරයක් නෑ. ඒත් අපි දන්නවා අපේ අැතැම් ආයතන එක් වරක් අවසර ගෙන දිගටමත්, පොතේ පිටපත් අසීමිතවත් මුද්‍රණය කරනවා කියල. කොහොම වුණත් අපි ලොකු අලෙවියක් තිබෙන Harry potter කෘතියට, අදාළ එංගලන්ත ප්‍රකාශන සමාගමට සියයට 15ක මුදලක් ගෙවනවා. ඒවගේම තව දෙයක් තමයි, එහෙම අවසර ගත් බව අදාළ පරිවර්තන කෘතියේ දෙවැනි පිටුවේ අවසරය ගත් සමාගම හෝ පුද්ගලයාගේ නම සමඟ පැහැදිලිව සඳහන් කරන්න ඕන. එය අනිවාර්යෙන් කළ යුතුයි. නැත්නම් ඒක හොරට කරපු පොතක් වෙනවා. ඔය අවසර ගන්නවා කියන කී දෙනෙක් ඒ වැඩේ කරනවාද? ඇත්ත වශයෙන් හුඟක් දෙනා මේ කාර්යය කරන්නේ හොරට.

සරසවි ප්‍රකාශන සමාගම විධියට දැනට විදේශීය පොත් 60කට පමණ පරිවර්තන අවසරය අරගෙන තියෙනවා. මුලදී අපිත් එච්චර ඔය ගැන සොයා බැලුවේ නැහැ. නමුත් දැන් බුද්ධිමය දේපළ පනත යටතේ නීතියක් තියෙනවානේ. අපට ඒකට බැඳිලා ඉන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවල අපි අදාළ බලය ලත් නියෝජිතයාගෙන් අවසර ඉල්ලුවාම ඒක ලැබෙන්නේත් නැහැ. ඔවුන් අපිව නොසලකා හරින වෙලාවල් තියෙනවා. මට එහෙම වෙලා තියෙනවා. ඒ වෙලාවට පොත හොඳ පොතක් නම් අපි අවසරය ගැන නොසිතා පාඨකයා වෙනුවෙන් එය පරිවර්තනය කර පාඨකයාට ලබාදෙනවා. අදටත් ඇතැම් නවක පරිවර්තකයන් අපට පොත් ගෙනත් දෙනවා මේක මුද්‍රණය කරලා දෙන්න කියල. ඒ වෙලාවට ඒ කෘතිය හොඳයි නම් අපි ඒ දේ කරනවා. නමුත් දැන් බොහෝ ප්‍රකාශන ආයතන කරන ඒවා නම් කිසිම වගතුවක් නැතිව කරන්නන් වාලේ කරන ඒවා.

පරිවර්තන අවසරය, නිර්මාණ අයිතිය සම්බන්ධව යහපත් වුණාට ඉන් පාඨක ප්‍රජාවේ අයිතිය නැති වෙනවා

ප්‍රවීණ පරිවර්තක ගාමිණී වියන්ගොඩ

යම් කෘතියක් පරිවර්තනය කිරීමේදී ඊට බුද්ධිමය දේපළ පනත යටතේ අවසර ගැනීම අනිවාර්යෙන් කළ යුතු දෙයක්. එමගින් කෘතියේ මුල් හිමිකරුට තම බුද්ධිමය දේපළ රැකගන්න හැකියාවක් ලැබෙනවා. ඊට නීතිමය පසුබිමක් නිර්මාණය වෙනවා. ඒක ඉතා හොඳ දෙයක්. එ්ත් එම අවසර ගැනීම නිර්මාණ අයිතිය සම්බන්ධව යහපත් වුණාට සෑම තැනකටම ගැළපෙන්නේ නැහැ. සමහර අංශ තියෙනවා මේ දේ අකුරටම ඉටු කරන්න ගියාම විශාල පාඨක ප්‍රජාවකට තමන්ගේ අයිතිය නැති වෙනවා. නිර්මාණයක රසවින්දන පරාසයට සීමා පැනවෙනවා.

විවාදයක් නෑ. නිර්මාණ කෘතියක් කියන්නෙ වාණිජ වටිනාකමක් තිබෙන භාණ්ඩයක්. එතකොට එම බුද්ධිමය දේපළෙහි මුල් හිමිකරුට අදාළ වටිනාකම ලැබිය යුතුයි. එ්ත් ලංකාව වගේ රටක ආර්ථිකය, වෙළඳපොළ තියෙන්නේ ඉතාම පහළ මට්ටමක. විශේෂයෙන්ම සාහිත්‍ය කෘති සම්බන්ධව එය එසේමයි. ඒක මෙහෙම කියන්නම්කෝ. ලංකාවේ පරිවර්තන නවකතා ගත්තොත් බොහෝ විට පිටපත් 500ක් විතර තමයි මුද්‍රණය කරන්නේ. එතනදි අදාළ පරිවර්තකයාට ලැබෙන මුදල අතිශය අල්පයි. නමුත් නියම පරිවර්තකයෙක් කිසියම් කෘතියක් පරිවර්තනයට වැය කරන ශ්‍රමය ඔහුට ලැබෙන මුදලට කිසිසේත් සමානුපාත කරන්න බැහැ. ඒ නිසා පරිවර්තකයා මේ කාර්යයේ නිරත වන්නේ ලාබ ලැබීමට නෙවෙයි. ඒ, පාඨකයාගේ රුචිය, වින්දනය වෙනුවෙන්. ඇත්තටම මේ වගේ පනත්වලින් සීමා කළ යුත්තේ පරිවර්තකයාට පරිවර්තන කාර්යයේදී වෙළඳපොළෙන් ලැබෙන යම් ලාබයක් තියෙනවා නම් එය දෙවන පාර්ශ්වයක් වෙත යෑමයි. අනෙක මේ වගේ පනත් නිසා ප්‍රකාශක ඒකාධිකාරයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නෙ එක ප්‍රකාශකයෙකුට හැර වෙන ප්‍රකාශකයෙකුට යම් කෘතියක් පළ කිරීමේ, වෙන පරිවර්තකයෙකුට එය පරිවර්තනය කිරීමේ ඉඩ නැති වෙන්න පුළුවන්.

ඇත්තටම මම පරිවර්තන සම්බන්ධව අවසර ගැනීමේ නීතියට එකඟයි. නමුත් සාහිත්‍යයේ යම් යම් ක්ෂේත්‍රයන්ට එතනදී ලිහිල් ප්‍රතිපත්තියක් පැවතිය යුතුමයි. ප්‍රධාන වශයෙන්ම නවකතාව සහ කෙටිකතාවට ඒ ලිහිල් බව තිබිය යුතුමයි. මම නම් අවසර ලබාගත්තේ මගේ පරිවර්තන නවකතා පොත් දෙකකට හෝ තුනකට විතරයි. අනෙක් සෑම කෘතියක්ම පරිවර්තන අවසරයකින් තොරව පළ කළ ඒවා. මම මගේ සමහර කෘතිවලට පරිවර්තන අවසරය ලබාදෙන ලෙස ඉල්ලීම් කරලා තියෙනවා. එ්ත් ඒ අවසරය ගන්න යද්දි සමහර අවස්ථා තිබුණා මුල් කෘතියේ හිමිකරු ජීවිතක්ෂයට පත් වුණු. නැත්නම් අදාළ බලය හිමි සමාගම එ් කෘතිය ප්‍රකාශනයෙන් ඉවත් වෙලා තිබුණා. ඔවැනි හේතු මත මට පරිවර්තන අවසර ගැනීම ගැටලුසහගත වුණා.

මම තරයේ විශ්වාස කරනවා සාහිත්‍යයට ඉතා කුඩා වෙළඳපොළෙක් හිමි ලංකාව වගේ රටක බුද්ධිමය දේපළ සම්බන්ධ නීති තව ලිහිල් විය යුතුයි කියල. මම නම් ඔය පරිවර්තන අවසර පස්සේ දුවන කෙනෙක් නෙමෙයි. කිසියම් හොඳ කෘතියක් පරිවර්තනය කරන්න හිතුණොත් මම කරනවා. එය මුද්‍රණය කරලා පාඨකයා වෙත ගෙනියන්න නීතිමය බාධාවක් ආවත් මගේ සමීපයන් කිහිප දෙනෙකුට දෙන්න හරි මම අත්පිටපත් කිහිපයක්වත් රචනා කරනවා. මම දකින විධියට ඕනෑම රටක මේ වගේ නීති සම්පාදනය වෙන්න ඕන ඒ රටේ වෙළඳපොළ තත්ත්වයට අතිශය ගැළපෙන ලෙසයි. විශේෂයෙන් සාහිත්‍යයට නීති නිර්මාණය කරන විට ඒ ගැන වඩාත් සැලකිලිමත් වීම වැදගත්.

කිසිම සදාචාරයක් නැතිව අද ප්‍රකාශන හිමිකම නොගෙන පරිවර්තන පළ කරනවා

ප්‍රවීණ පරිවර්තක චූලානන්ද සමරනායක

සාමාන්‍යයෙන් පොතක ප්‍රකාශන හිමිකම දෙන්නේ පිටපත් දාහකට, දෙදාහකට හෝ වසර තුනකට වගේ තමයි. නමුත් අද එහෙම කිසිම සදාචාරයක් නැතිව ප්‍රකාශන හිමිකම නොගෙන මේ කටයුත්ත කරන පිරිස වැඩියි.

• එක් ප්‍රකාශයකයන් පරිවර්තන හිමිකම සින්නක්කරව ගත් බවට ෆේස්බුක් සටහන් තබා තිබුණා?

ඔව්. හැබැයි මම දන්නා තරමින් ඒ ප්‍රකාශකයා එයට කිසියම් හිමිකමක් අරගෙන තිබෙනවා. මම හරියටම දන්නෑ කාගෙන් ඒක ගත්තාද කියලා. හැබැයි ඔර්හාන් පාමුක්ගෙන් නම් නෙවෙයි අරන් තියෙන්නෙ. කලින් කිව්වා වගේ ජාත්‍යන්තර ප්‍රකාශකයෙක් අපට පරිවර්තන හිමිකම දෙන්නේ වසර කිහිපයකට සහ සීමිත මුද්‍රණ පිටපත් ගණනකට. ඒ නිසා මින් පස්සෙ මේ පොත ලංකාවේ වෙන කාටවත් පළ කරන්න බෑ කියල කෙනෙකුට ප්‍රකාශ නිකුත් කරන්නත් බෑ.

කොහොම වුණත් ලංකාව වගේ සාහිත්‍යයේ මළපොත කියවන අපි වගේ රටකට ඔය ගැටලුව ප්‍රබලව බලපානවා. මොකද ලේඛකයාට නෙමෙයි ඔය අයිතිය තියෙන්නේ, ප්‍රකාශන ආයතනයකට. ඔවුන් තමයි හිමිකම් ගන්න දේවලට මැදිහත් වෙන්නේ. ඒකට හේතුවක් තිබෙනවා. පරිවර්තකයාට ඔවුන්ට ගෙවන්න තරම් මුදලක් නැහැ. එතනත් ගැටලුවක් එනවා. ප්‍රකාශකයා අරන් දෙන පොත තමයි පරිවර්තනය කරන්න වෙන්නේ. තමන්ගේ කැමැත්තට කරනවා නෙමෙයි.

දැන් ඔර්හාන් පාමුක්ගේ My name is Red නවකතාව අවසරයක් නොගෙන සනත් බාලසූරිය කරලා තියෙනවා. නමුත් දැන් අවසර ගත් බව කියන ප්‍රකාශකයෙක් ඉන්න නිසා ඒ අතර ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මම දැනුත් ඇමරිකානු ලේඛකයෙකු සමඟ සම්බන්ධ වෙලා අලුත් පරිවර්තන පොතක් කරගෙන යනවා. ඔහුත් මට අයකිරීමකින් තොරව ප්‍රකාශ කරන්න අවසරය දුන්නා. නමුත් මම පිටපත් දාහක් පමණයි ගහන්නේ කියල ඔහුට ගිවිසුමක් ඉදිරිපත් කළා.

කොහොම වුණත් කිසිම කතුවරයෙක් හෝ ප්‍රකාශකයෙක් පරිවර්තන කෘතියක් ප්‍රකාශනය කරන්න කාටවත් සදාකාලික අවසරයක් දෙන්නේ නැහැ.

අපේ රටේ පරිවර්තන අයිතිය ගත් සියලු පොත් ඉතා දුර්වලයි

සුභාවි ප්‍රකාශක නිශාන්ත පරණගම

සාමාන්‍යයෙන් අපට පරිවර්තන හිමිකම දෙන්නේ වසරකට, දෙවසරකට, තෙවසරකට හෝ වසර පහකට. ඒවගේම ඒ, සීමිත පිටපත් ගණනකට. එ්ක තීරණය වෙන්නේ අදාළ කෘතිය අනෙකුත් රටවල අලෙවි වෙන පිටපත් ගණන මතයි. ඒවගේම අපේ ප්‍රකාශකයා මුලින් අවසර ගත් පොත නැවත මුද්‍රණය කරනවා නම් ඔහු මුල් ප්‍රකාශකයා හා ගිවිසගත් ගිවිසුම අලුත් කරන්නත් ඕනේ. නමුත් අපේ රටේ කිසිම ප්‍රකාශකයෙක් එහෙම කරන්නේ නැහැ. ඔවුන් මුලින් පොතකට අවසර ගත්තා නම් තමන්ට හැර වෙන කාටවත් එය පළ කළ නොහැකි බව දන්වා ඔවුන් ඇති තරම් පිටපත් යළි යළි මුද්‍රණය කරනවා.

ඒවගේම තමයි සාමාන්‍යයෙන් එක් ප්‍රකාශකයෙක් පොතකට පරිවර්තන අයිතිය ගත්තාම වෙනත් කෙනෙක් ඒ පොතට අවසර ගන්නෙ නෑ. ඒත් එහෙම විය යුතු නෑ. මොකද ඔවුන් අවසර අරන් තියෙන්නෙ කොච්චර කාලෙකටද කියල අපි දන්නෙ නෑ. කොහොම වුණත් වර්තමානයේ ලංකාවේ පරිවර්තනය වන පොත්වලින් සියයට 90ක්ම කිසිම අවසරයක් නොගෙනයි ප්‍රකාශයට පත් වෙන්නෙ. මම පළ කළ පරිවර්තන කෘතිවලින් පොත් දෙකකටයි අවසර අරගත්තෙ. හැබැයි මම දකින විධියට අපේ රටේ පරිවර්තන අයිතිය අරන් පළ කරලා තියෙන සියලු පොත් ඉතාම දුර්වල තත්ත්වයකයි තිබෙන්නේ. මුල් පොතේ නම පවා ඇතැම් පරිවර්තකයන් නිවැරදිව පරිවර්තනය කරලා නැහැ.

මගේ පරිවර්තන කාර්යය ප්‍රශ්න කරන අය මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න

සනත් බාලසූරිය

මගේ My Name is Red පරිවර්තන කාර්යය සම්බන්ධයෙන් චෝදනා කරන කිසියම් පරිවර්තකයෙක්/ ප්‍රකාශකයෙක් සිටිත් නම්, ඔවුන් හා හිස් වාදවල පැටලීමට පෙර ප්‍රධානකොටම මම ඔවුන්ගෙන් පහත සඳහන් ප්‍රශ්න කිහිපය විමසා සිටිමි.

ඈත අතීතය පසෙකින් තබන්න. 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතින් පසු ගත වූ වසර 15ක පමණ කාලය තුළ ඔබ විදෙස් සාහිත්‍ය කෘති කීයක් පරිවර්තනය කර/ පරිවර්තන වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙන්නේද? ඒවායින් කීයකට ඔබ පරිවර්ත අනුමැතිය/ පරිවර්තන වශයෙන් ප්‍රකාශයට පත්කිරීමේ අනුමැතිය නිලවශයෙන් ලබාගෙන තිබේද? එසේ පරිවර්තන/ පරිවර්තන ප්‍රකාශන අයිතිය ලබාගැනීම වෙනුවෙන් ඔබ ඒ ඒ කෘතිය සඳහා ගෙවන ලද මිල කීයද?

මේ ප්‍රශ්නවලට ඍජු පිළිතුරු සපයන්නේ නම් පමණක් මගේ පරිවර්තන කාර්යය සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන පරිවර්තකයන්/ ප්‍රකාශකයන් සමග මේ ගැන විවෘත සාකච්ඡාවකට මට එළැඹිය හැකිය. ඒ, එක එක කෝන්තර පිරිමසාගැනීමට, හීනමාන/ අධිමාන සංතර්පණය කිරීමට නොව අපේ පරිවර්තන සාහිත්‍ය කර්මාන්තයේ නිම්වළලු පුළුල්වීමක අපේක්ෂාවෙන් පමණකි.

ඊළඟට 'මගේ නම රතු' නම් වන මගේ පරිවර්තනය ඉලක්ක කොටගෙන මහා ආන්දෝලනයක් ඇතිකරන්නට උත්සාහ කළ නිශ්චිත පුද්ගලයන්ගෙන් මම මේ ප්‍රශ්න කිහිපය විමසා සිටිමි.

මා මේ පරිවර්තනය මුළුමනින්ම නිමවා ඇති බව පළමු වතාවට Facebook ඔස්සේ කියා සිටින විට ඔබ/ ඔබේ පරිවර්තකයන් එම පොතේ පිටු කීයක් පරිවරතනය කර තිබුණේද? මෙවැනි ප්‍රශ්නයකට ලැබෙන පිළිතුර සත්‍යවාදී වීමට ඇති ඉඩ අවම බැවින් ඒ ප්‍රශ්නය යළිත් මෙසේ වර නඟමි. අද මේ මොහොත දක්වා ඔබ/ ඔබේ පරිවර්තක එහි පිටු කීයක් පරිවර්තනය කර තිබේද? (ඒ කියන්නේ මම ඔවුන්ට තවත් මාසයකුත් දින 3ක් අතින් දෙමි.) එය වචනවලින් කීයක්ද? (ගැටලුව මතුකැරෙන අවස්ථාව වන විට මුළුමනින් අවසන් කර තිබූ මගේ සිංහල පරිවර්තනයේ සමස්ත වචන ප්‍රමාණය 180,000කට අධිකය. සිංහලයෙන් එළිදුටු කෘතියේ පිටු 620ක් පමණ පුරා ඒ පඨිතය දිගහැරේ.) තේරෙන බාසාවෙන් කියනවා නම් මේ අයිතිවාසිකම් කෝලහාලයේ යටිපෙළ වූයේ "උඹේ වචන 180,000ක පරිවර්තනය අල්ලලා විසිකරපං. අ‍පියි මේකෙ අයිතිකාරයෝ" යන්න නොවන්නේද? (ඔවුන් එසේ කියන්නේ පරිවර්තනය කරන ලද එකම පිටුවක්වත් අතේ නැතිවය!)

මා මගේ පරිවර්තනය එළිදකින බව කියන අවස්ථාව වන විට ඔබ සතුව My Name is Red සිංහලයෙන් පළ කිරීම සඳහා වන නීත්‍යනුකූල අයිතිවාසිකමක් තිබුණේද? ඒ අයිතිය ඔබට ලැබුණේ කවදාද? සාක්කි සාධක සහිතව ප්‍රසිද්ධ කරන්න.

එක්තරා ප්‍රකාශකයෙක් ඔර්හාන් පමුක්ගේ My Name is Red ඇතුළු කෘති ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් පළ කිරීමේ අයිතිය ඇත්තේ තම ප්‍රකාශන සමාගමට යයි Facebook ඔස්සේ පසුගිය සැප්තැම්බර් 04 වැනිදා ප්‍රකාශයට පත් කරන විට එම ප්‍රකාශන ආයතනයට ඒ කියන අයිතිවාසිකම නිල වශයෙන් ලැබී තිබුණේද? එසේ නම් ඒ, කවදාද? සාක්ෂි සාධක සහිතව ප්‍රසිද්ධ කරන්න.

කෙනෙකු පරිවර්තන අයිතිය ගැන මේ තරම්ම නීත්‍යනුකූල, සදාචාරවාදී කන්‍යාභාවයක් සොයන්නේ නම්, ඔහු විදෙස් කෘතියක නිල පරිවර්තන අයිතිය ලබාගත යුත්තේ එම කෘතිය පරිවර්තනය කිරීම අරඹන්නට කලිනි. මේ ලේඛකයාගේම Red Haired Woman කෘතිය දැන් සිංහලෙන් පළ වී තිබේ. ඒ සඳහා එම ප්‍රකාශකයා අවසර ගත්තේද? ඒ, කවදාද? ඒ, පරිවර්තකයකුට අදාළ පරිවර්තන කාර්යය පවරන්නට කලින්ද? අවම වශයෙන් පරිවර්තනයේ පෙර මුද්‍රණ කටයුතු සිදු කරන්නට කලින්ද? ඊටත් අවම වශයෙන් මුද්‍රණයට බාරදෙන්නට කලින්ද? දින‍ වකවානු සහිතව, සාක්ෂි සහිතව ප්‍රසිද්ධ කරන්න.

මේ ප්‍රශ්නවලට ඍජුව, සාක්ෂි සහිතව අදාළ පුද්ගලයන් පිළිතුරු දෙන්නේ නම් පමණක් මම මේ වාදය සමග තවදුරටත් රැඳී සිටිමි. එහිදී ඇවැසි නම් මෙම කෘතියේ පරිවර්තන අයිතිය ලබාගැනීම සම්බන්ධයෙන් සිදු වූ කුප්‍රකට සිදුවීම් වැල කරුණු කාරණා - දින වකවානු සහිතව ගෙනහැර පාමින්නෙමි. එය ලංකාවේ පරිවර්තන ප්‍රකාශන මාෆියාවේ අන්ධකාර අහුමුළුවල ඇති දුගඳ හමන කුණුකන්දල් එළියට ඇදීමේ ආරම්භයක් වන්නට ද ඉඩ තිබේ.

මාතෘකා