‍මේ නවකතාව සම්මාන ලැබෙන එකක් නෙවෙයි : මොහාන් රාජ් මඩවල

 ඡායාරූපය:

‍මේ නවකතාව සම්මාන ලැබෙන එකක් නෙවෙයි : මොහාන් රාජ් මඩවල

මොහාන් රාජ් මඩවල ඔහුගේ අලුත්ම නවකතාව දැන් එළිදක්වා ඇත. ඒ, ' කලම්බො'ය. ‘මාගම් සෝලි’, ‘ලොවීනා’, ‘රැජන’ ආදී නවකතාවලින් පාඨක ලෝකය කැලඹූ ඔහු මේ කෘතියෙන් ඉදිරිපත් කරන්නේ කවරක්ද? එය නියුතු වන්නේ කවර කතිකාවකද? ඔහු එය ගෙන යන්නේ කවර සාහිත්යික අවකාශයකටද? මේ, ඒ පිළිබඳව අප ඔහු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි. ඔහුගේ පෙර කෘති මෙන් ‘කලම්බො’ නවකතාවද ‘බිසෝ’ ප්‍රකාශනයකි.

ඔබ 'කලම්බො' නවකතාව සඳහා වස්තුවිෂය සොයාගත්තේ කෙසේද?

ඒ, දෙයාකාරයකට. එක ආකාරයක් තමයි අතීත කොළඹත් අද්‍යතන කොළඹත් සංසන්දනය කිරීම. අද අපි දකින කොළඹ ඉතා කර්කෂ, ජනාකීර්ණ, විඩාබර තැනක්. නමුත් මීට අවුරුදු සීයකට පෙර කොළඹ එහෙම නැහැ. එක්වරම හිතන්නවත් අපහසු පරිසරයක් එදා තිබුණේ. ඒක හරියට හද්දා පිටිසර ගමක් වගේ. ඒ කොළඹට සමාන කරන්න පුළුවන් ගමක්වත් අද නැහැ. ඒ තරම් අව්‍යාජ තැනක් එතන. අනෙක එ් කාලයෙත් වාණිජ නගරය කොළඹ. අදත් එහි වාණිජ නගරයේ වෙනසක් වෙලා නැහැ. එදා එහි හිටියේ ගැමියෝ. පසුව පෘතුගීසින්ගේ ආගමනයත් සමඟ ඒ සමාජය කොටස් දෙකක් වෙනවා. ඒ පෘතුගීසි ආණ්ඩුවේ විදේශිකයන් සහ ඔවුන් අනුගමනය කළ, ඔවුන්ට ගැතිකම් කළ ස්වදේශිකයන් විධියට. මේ දෙපිරිස තමයි පසුව නාගරික කියන පන්තිය නියෝජනය කරන්නේ. එතනින් මම අතීත හා වර්තමාන කොළඹ මානව සමාජයේ වෙනස පෙන්වා දෙන ගමන් හද්දා පිටිසර ගැමියන් නාගරිකයන් වන අයුරු පවසනවා.

දෙවනි කාරණය තමයි දෙවනි ලෝක යුද්ධය කියන්නේ මම අතිශය ආශාවෙන් පරිශීලනය කළ මාතෘකාවක්. ඒ පිළිබඳව නිර්මාණය වුණු පොත්පත්, චිත්‍රපට විශාල ප්‍රමාණයක් මම අධ්‍යයනය කරලා තියෙනවා. හිට්ලර් දරුණු වධ දීලා අවුෂ්විට්ස් කඳවුරේ සිදු කළ ලක්ෂ දහතුනකට අධික මිනිස් ඝාතන ගැනත් මම සොයා බැලුවා. එ්ත් එක්කම ජපන් ජාතිකයන් කොළඹට බෝම්බ දැමීමත් මගේ හිතේ කාලයක ඉඳන් වැඩ කළ කාරණයක්. ඒ ගැන මිනිසුන්ට නිසි දැනුමක් නැහැ. ඒ නිසා ඒ කරුණුත් පාදක කරගෙන තමයි මම 'කලම්බො' වස්තුවිෂය නිර්මාණය කරන්නේ.

ඔබ කෘතියට ඉතා උචිත නමක් යොදා තිබෙනවා?

මම එහි කිසියම් ඉඟියක් පසු සටහනට යොදලා තියෙනවා. ඇත්තටම එය යොදන්නේ කුමන වෙනස්කම් වුණත් කොළඹ අදටත් කොළඹ නිසාමයි. වර්ෂ 1505 පෘතුගීසින් එන්න කලින් කොළඹ 'කොළොම්තොට' කියලයි හඳුන්වා තියෙන්නේ. ඒකට හේතුව කැලණි ගඟේ 'කොළොම්' කියලා අතු ගංඟාවක් කොළඹ හරහා ගලා ගිහින් තිබෙනවා. අතීතයේ තොටුපළක් ආශ්‍රිතව වෙළඳ නගරයක් බිහි වුණු නිසා කොළඹ මේ අතු ගංඟාවත් සමඟ වාණිජ නගරයක් වෙනවා. නමුත් පෘතුගීසින් එය Colombo කියලා වෙනස් කරනවා. විදේශ ජාතීන් කිහිපයක් රට පාලනය කරලත් 1948 නිදහසින් පසුවත් එය වෙනස් වෙන්නේ නැහැ. එය Colombo ම ලෙසයි තිබෙන්නේ. මම කියන්නේ එය කොළඹ වුණේ නැහැ කියලයි. මෙරට බිහිවුණු ඉංග්‍රීසියට ගරු කරන කොටසට එය අදත් හෙටත් Colombo ම තමයි. අදටත් ගැමියෝ ප්‍රාර්ථනා කරන්නේ Colombo නමැති සිහිනයේ නාගරිකයෙක් වෙන්න. ඒ සිහිනයත් කොළඹ මිනිස්සුත් වෙනස් වුණත් කොළඹ වෙනස් නොවීම නිසා තමයි මෙය 'කලම්බො' ලෙස නම් වෙන්නේ. 1956 වසරේ එස්. ඩබ්.ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු නමින් පංච මහා බලවේගයක් නිර්මාණ කිරීමට පදනම දැමීමත් සමඟයි මගේ කතාව අවසන් වෙන්නේ. පසුව පංච මහා බලවේගයම නාගරිකයන් වෙනවානේ.

ඔබ නවකතාවේ බොහෝ තැන්වල අතිශයෝක්තිය භාවිත කරනවා?

මම හිතන්නේ ඒක තමයි සාහිත්‍යය කියන්නේ. හැමෝම පුරුදු වෙලා තියෙන්නේ සම්ප්‍රදායට. නමුත් යමෙකුට තර්ක කරන්න පුළුවන් මේවා මෙහෙම වෙන්නේ කොහොමද කියල. මම මේක පැහැදිලි කරන්න නවකතාවෙන්ම උදාහරණයක් ගන්නම්. එහි එක්තරා තැනක තියෙනවා එව්ලින් නමැති කාන්තාව සිත් වේදනාවක් නැති කරගැනීමට දින හතක් නොනවත්වා හඬනවා කියලා. ඇය සීබල් නමැති කාන්තාවන් දෙදෙනෙකු ඉන්න සැම්සන් නම් පුරුෂයාට අනියම් බිරිඳක් වෙනවා. නමුත් ඇයට ඔහුගේ අනෙකුත් බිරින්දෑවරුන් ගැන ගැටලුවක් නැහැ. ඒ ඇය ඔහුට අවංකවම ආදරය කරන නිසා. නමුත් එක්වරම සීබල් මියයනවා. ඒ අනුව ඇය සැම්සන්ගේ යෝජනාවට අනුව ඔහුගේ බිරිඳ වෙනවා. නමුත් ඇයට සීබල් තම හිතින් සම්පූර්ණයෙන්ම අයින් කරන්න බෑ. ඉතින් ඇය සීබල් වෙනුවෙන් හිතේ පැවති දුක දින හතක් අඬලා අවසන් කරනවා. ඇය දෙබිඩි ගැහැනියක් නොවී අවංක ගැහැනියක් වෙනවා. අලුත් පුරුෂයෙක් සමඟ යහන්ගත වෙන්න ඇය හිත පිරිසිදු කර ගැනීමක් කරන්නේ. තමන් අතිශය ආදරය කළ සීබල්ව සම්පූර්ණයෙන්ම හිතින් අයින් කරන්නයි ඇය එහෙම කරන්නෙ. එය මම දකින විධියට අතිශයෝක්තියක් නෙමෙයි. එතන තමයි සාහිත්‍යය පවතින්නේ.

එළඹෙන සම්මාන උළෙලක් අරමුණු කරගෙනද 'කලම්බො' ජනගත කරන්නේ?

කිසිම විධියකින් නැහැ. මොකද මට සම්මාන දෙන්නේ නැහැනේ. මගේ ඉතිහාසය ගත්තත් එහෙමයි. 'කලම්බො'වලට කොහොමත් ලැබෙන්නේ නැහැ. මොකද එ්කෙ සෙක්ස් තියෙනවානේ. සම්මාන දෙන ක්‍රමවේදයේ අච්චුවක්නේ තියෙන්නේ. ඒකට කොහොමත් ‘කලම්බො’ ගැළපෙන්නේ නැහැ. සෙක්ස් ගෑවිලා තිබුණත් දෙන්නේ නැහැ. එතන තමයි ඛේදවාචකය තියෙන්නේ. සම්මාන අච්චුවේ මිනුම් දඬු යල්පැනගිය ඒවා. ඒවාට අනුව ලියනවා නම් අවස්ථා සම්බන්ධය නිවැරදිවම තිබිය යුතුයි. සෙක්ස් තියෙන්න බැහැ. භාෂාවේ වෙනස්කම් එහෙම කරන්න බැරි තරම්. ඒ නිසා 'කලම්බො' ඒ එකකටවත් අනුගත නැහැ. ඒ නිසා මේකට සම්මානයක් ලැබෙන්නේ නැහැ. ඒ තරම් අපේ සම්මාන උළෙලවල මිනුම් දඬු කල් ඉකුත් වෙලා. මට සම්මානයක් ගන්න ලියන්න අවශ්‍ය නම් මම එ‍ෙහම ලියනවා. එතකොට අනිවාර්යෙන්ම සම්මානයක් ලැබෙනවා.

ඔබ ගුවන්විදුලි මාධ්‍යයේ සිට ලේඛනයට පිවිසුණු කෙනෙක්. එවැනි පසුබිමක් සමඟ ඔබ ප්‍රබන්ධ සාහිත්‍යයේ නිරත වන්නේ කෙසේද?

මම මාධ්‍යයට එන්න කලිනුත් ලියපු කෙනෙක්. මගේ පළමුවැනි කෙටිකතා සංග්‍රහය වන 'බෝදිලිමා' මම ලියන්නේ 1990 ගණන්වල මැද භාගයේ. ඊට පසුව තමයි මම ගුවන්විදුලි නාලිකා කිහිපයකට සම්බන්ධ වෙන්නේ. අද නම් විද්‍යුත් මාධ්‍යවල සිංහල, ඉංග්‍රීසි දෙකටම නැති භාෂාවක් කතා කරන්නේ. එදා එහෙම තිබුණේ නැහැ. මම භාෂා දෙකම හොඳට දන්නවා. මම වසර පහළොවක් විතර මාධ්‍ය ආයතනවල වැඩ කළා. ඒ කාර්යබහුල ජීවිතයෙන් යම් නිදහසක් ඕනෙ කියලා හිතල තමයි මම 'මාගම් සෝලිය' ලියන්නේ. මාධ්‍යවල නිදහස තියෙනවා. හැබැයි මානසික නිදහස නැතිව. ඒ නිසාමයි මම ‘මාගම් සෝලියට’ අත තිබෙබ්. ඊට සැලකිය යුතු ප්‍රතිචාරයක් නොලැබුණා නම් මගේ ලේඛන කටයුතු එතනින්ම නවත්වා දමනවා කියලා මම හිතුවේ. නමුත් මට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ නිසා මම තවම ලියනවා.

ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු කොහොමද?

මගේ එහෙම තව දෙයකට කිසිම සූදානමක් නැහැ. මොකද හෙට මොනවා වෙයිද කියලා විශ්වාස කරන්න බැහැනේ. ජීවිතයත් හරි අස්ථිරයි. දැනට මම කිසිම දෙයක් ආරම්භ කරලා නැහැ. නමුත් මගේ තෘප්තිය වෙනුවෙන් විවිධ ක්ෂේත්‍ර පිළිබඳ කියවමින් ඉන්නවා. සමහර විට ඉදිරියේදී එ් හැදෑරීම්වලින් යමක් බිහි වෙයි. තවම නව නිර්මාණයක් ගැන අදහසක් නැහැ.

සාකච්ඡා කළේ [කවීෂ ආරච්චිගේ]

මාතෘකා