සමාජවාදී කලාව!

 ඡායාරූපය:

සමාජවාදී කලාව!

ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත සහෝදරයා කලාව පිළිබඳව දරන ආකල්පය පසුගියදා (නොවැම්බර් 25 වෙනිදා) කිසියම් නිර්භය ස්වරයකින් සති අන්ත පුවත්පතකට හෙළිදරව් කර තිබිණි. එම ස්වරයෙන් ඔහු ගම්‍ය කිරීමට වෑයම් කර තිබුණේ තමා කලාව අලළා දරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පොදු ආකල්පය නොවන බවත්, තමාගේ ආස්ථානය සෞන්දර්යවාදී බවත්ය. එහෙත් ඒ සම්මුඛ සාකච්ඡාව කියවන විට මට සිතුණේ එය ජනතා විමුක්ති පෙරමුණේ පොදු මතයෙන් - ජනතාවාදයෙන් - වෙනස් නොවන බවයි. මේ, ඔහු පැවසූ අදහස්වලින් කොටසකි:

“මම ඕනෑ කලා කෘතියක් රස විඳිනවා. අමරදේව මහත්තයාගේ සිංදුවක තියෙනවා ‘බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා - සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා’ කියල. මේකෙ තියෙන්නෙ සෞන්දර්යයනේ. මේක විඳින්න පුළුවන්. කෙනෙක්ට අහන්න පුළුවන් ඔබ මාක්ස්වාදියෙක්නේ. ඔබට මේකේ සෞන්දර්යයෙන් ඇති වැඩේ මොකක්ද කියලා. ඒකෙන් සමාජ ප්‍රගමනයට වෙන්නේ මොකක්ද කියලා. සමාජ ප්‍රගමනයට හේතු වන කලා නිර්මාණත් තියෙනවා. ඒක විතරක්ම තියෙන්න ඕනද කියන එකයි ප්‍රශ්නය. පණිවුඩයක් එක්ක සෞන්දර්යාත්මක දෙයක් කියන කලා නිර්මාණත් තියෙනවා. ඒත් හැම එකකින්ම පණිවුඩ ඕන නෑ. කොහොම වුණත් සමහර නිර්මාණවල අන්තර්ගතය ප්‍රතිගාමීයි. එහෙම නිර්මාණ ගැන විවේචනයක් තියෙනවා.”

(අනිද්දා, 2018.11.25)

ලාල් කාන්ත සහෝදරයා මෙහිදී කලාව කොටස් දෙකකට වෙන් කරයි. ඒ, සෞන්දර්යාත්මක කලාව හා සමාජ ප්‍රගතිකාරක කලාව වශයෙනි. එහිදී ඔහු ඒ දෙකම පිළිගන්නා අතර ඒ දෙකම කලාව අලළා තිබිය යුතු යැයි විශ්වාස කරයි. ඔහු තවද වර්ගීකරණයක් කරයි. ඒ, පණිවුඩ සහිත සෞන්දර්යාත්මක කලාව සහ පණිවුඩ රහිත සෞන්දර්යාත්මක කලාව වශයෙනි. ඊට අමතරව ඇතැම් නිර්මාණ ප්‍රතිගාමී බවත්, එය ඔහු විවේචනය කරන බවත් සඳහන් කරයි. කලාව අලළා මේ විවරණය නිවැරදිද?

ප්‍රථමයෙන් ලාල් කාන්ත සහෝදරයා කලාව ගැන කථා කිරීම ඇගයිය යුතුය. එහෙත් ඔහු කලාවත්, කලාවේ නාමයෙන් ඇති දේත් අතර වෙනස හඳුනාගෙන ඇති බවක් නොපෙනේ. කලාවෙන් ඕනෑම කෙනෙකුට ආස්වාදයක් ලැබිය හැකිය. විනෝදයක් ලැබිය හැකිය. එහෙත් කලාව ඇත්තේ ඕනෑම කෙනෙකුගේ ආස්වාදය, විනෝදය සඳහා නොවේ. එය ඇත්තේ කලා රසිකයාගේ වින්දනය සඳහාය. රසිකයා ඒ වින්දනය ලබන්නේ කලා කෘතියේ ඇති රසවලිනි. රස සහ රසිකයා අතර සබඳතාව සාමාන්‍ය පෙළ විද්‍යාව විෂයේදී එන්සයිම ගැන කථා කරද්දී උගන්වන යතුරු - අගුළු යාන්ත්‍රණය වැන්නකි. ගැළපෙන අගුලට ගැළපෙන යතුර වැටුණු විට දොර හැරේ. එලෙසටම කලා කෘතියේ රස වින්දනය වන්නේ රස වින්දන ශක්තිය ඇති පාඨකයා එය කියවූ විටය. සෙස්සන්ටත් ඕනෑ නම් කෘතිය ආස්වාදනය කළ හැකිය. එහෙත් කලා කෘතියෙන් අපේක්ෂා කරන දේ - ‘එන්සයිම ක්‍රියාකාරීත්වය’ - ඉන් ඇති වන්නේ නැත.

ලාල් කාන්ත සහෝදරයා සිය විවරණයේදී කිසි තැනක රස ගැන කථා කරන්නේ නැත. ඔහු සෞන්දර්යාත්මක කලාව ගැන සඳහන් කරයි. එහෙත් එය සෞන්දර්යාත්මක වන්නේ රස නිසා බව නොකියයි. ඒ බව ඔහුට අවබෝධ නොවූ සෙයකි. සැබැවින්ම කලා කෘතියක් රස විඳි කෙනෙකුට - රසිකයකුට - ලාල් කාන්ත සහෝදරයා වද වන දේ - කෘතියේ සෞන්දර්යාත්මක බව, එහි සමාජ ප්‍රගතිකාරක බව, එහි පණිවුඩ තිබේද, නැද්ද යන්න, අන්තර්ගතය ප්‍රගතිශීලිද, ප්‍රතිගාමීද යනාදිය - වද වීමට කාරණා නොවේ. කෘතිය රසාස්වාදනය මතින් ඒ සියලු දේ නොසැලකිය යුතු තැනට පත් කරන නිසාය. අනෙක කලාවේ සෞන්දර්යවේදය ගැන සාකච්ඡාවට සරල ගීතය ආදර්ශ කර ගැනීමද එතරම් නිවැරදි නොවේ. සරල ගීතය සම්පූර්ණ කලා ආස්වාදනයක් නොදෙන නිසාය.

මෙහිදී ජවිපෙ සහෝදරයා සෞන්දර්ය ආස්වාදයත්, සමාජ ප්‍රගමනයත් වරදවා ගත් බවක් පෙනේ. උසස් කලාව හුදු සෞන්දර්ය ජනනය පමණක් නොවේ, කරන්නේ. එය රසිකයා ජීවිතාවබෝධයටද පත් කරයි. එය ඇත්ත වශයෙන් ආනන්දයෙන් ඇති වන ප්‍රඥාවකි. මේ ප්‍රඥා මාර්ගය නිසැකවම සමාජ ප්‍රගමනයකි. එහෙත් එය සමාජ ප්‍රගමනයකැයි කීවොත් අර්ථය ලඝු වේ. ඒ අනුව ආනන්දයෙන් ප්‍රඥාව ලැබූවකුට කලා කෘතියේ පණිවුඩ තිබේද, නැද්ද ගැන කරදර වීමට වුවමනා නැත. පණිවුඩ ඇවැසි වන්නේ හීන රසිකයාටය. රස හීනයා කලාවේ පණිවුඩ සොයන්නේ ඔහුට ආනන්දයෙන් ප්‍රඥාවට එළඹිය නොහැකි බැවිනි. (ඒ තුළ ඔහු කලාව ප්‍රගතිශීලීද, ප්‍රතිගාමීද කියා සෙවීමත් අරුමයක් නැත. )

මීට දොළාස් වසකට පෙර අනුරාධපුරයේ (ප්‍රථම වතාවට) පැවති රාජ්‍ය සාහිත්‍ය උලෙළේදී එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා වූ විමල් වීරවංශ සාහිත්‍ය දෙසුමක් කළේය. ඒ දෙසුම එදා සාහිත්‍ය උලෙළේ ප්‍රධාන දෙසුම විය. ඔහු එහිදී කීවේ සාහිත්‍යකරුවා අගයන්නේ වරප්‍රසාද ලත් පන්තියේ අයගේ ශ්‍රමය පමණක් බවත්, එහෙත් සාහිත්‍යකරුවා වරප්‍රසාද ලත් පන්තියට ශ්‍රමය වගුරන ජනතාවගේ ශ්‍රමයටද වටිනාකමක් ලබා දිය යුතු බවත්ය. මේ ජනතාවාදී අදහස රැගත් වීරවංශ සහෝදරයාගේ දෙසුම එදා අක්ෂර සංයෝජනය කර මාධ්‍යවලට බෙදා හැරියේ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකයය. එනිසා ඒ අදහස ජවිපෙහිද නිල කලා ආස්ථානය බව සිතිය හැකිය. ලාල් කාන්ත සහෝදරයාගේ ප්‍රකාශය මේ තරම් අමු නොවූවත් ඔහු සිටින ආස්ථානය එදා ජවිපෙ සිටි තැනින් වෙනස් නැත.

ජවිපෙ සංස්කෘතික අංශය සංවිධානය කරන ‘දහදිය සිත්තම’ සාහිත්‍ය උලෙළ තුළද පෙනෙන්නේ මේ ස්වරූපයමය. මෙවරත් එහි ප්‍රධාන දේශකයන්, කථිකයන් වූයේ ජනතා විමුක්ති පෙරමුණු සමාජිකයන් හෝ රුසියානු සමාජවාදය කරින් ගත්තන්ය. මට අනුව නම් සාහිත්‍ය කලා උලෙළකට ‘දහදිය සිත්තම’ ලෙස නම් තැබීමද සාහිත්‍යයට පරස්පරය. සාහිත්‍යයේ ශ්‍රමයක් නැති නිසාය. සාහිත්‍යකරණය වින්දනයක් විනා මහන්සි වී කරන වැඩක් නොවේ. සාහිත්‍යය සිත්තමක්ද නොවේ. එය ඇත්ත වශයෙන් මූර්තියක් නෙලීමක් වැන්නකි. සිත්තමක් අඳිද්දී කරන්නේ අලුතෙන් කොටස් - ඉරි - එකතු කිරීමය. ඇස්, කන්, නාසය බිහි වන්නේ එසේ අඳින ඉරිවලිනි. සාහිත්‍යය බිහි වන්නේ මෙසේ ඉරි හෝ කොටස් එකතු කිරීමෙන් නොව කොටස් - වචන - සංස්කරණයෙනි. ලියූ දේ කප කපා ඉවත් කිරීමෙනි. එය මූර්තියක් නෙළන විලාසයට සමානය.

මේ ආකාර පරස්පර විරෝධයක් ඔවුන්ගේ කලාවේ ඇත්තේ ඇයි? මට සිතෙන ලෙස ඒ, ජවිපෙ න්‍යාය මත දිවෙන දේශපාලන ව්‍යාපාරයක් නිසාය. ඔවුන්ගේ දේශපාලන න්‍යාය නම් මාක්ස්වාදයයි. ජීවිතයේ න්‍යාය වැඩ කරන්නේ නැති වුවත් ජීවිතය වස්තු වූ කලාවට න්‍යාය වැඩ කරන බව ඔවුන් සිතන බව පෙනේ. මෙවැනි තත්ත්වයක් තුළ මා සිතන්නේ ජවිපෙ කවර කලා කටයුත්තක නියුතු වුවද ඵලක් නැත.

මීට දස වසරකට පෙර කේමද්‍රස මාස්ටර්ගේ අවසන් ඔපෙරාව වූ ‘ප්‍රොමිතියස්’ රංගගත ‍වෙද්දී ඊට නිෂ්පාදනයෙන් දායක වූයේ ජනතා විමුක්ති පෙරමුණයි. හරියටම කීවොත් ඔවුන්ගේ සමාජවාදී කලා සංගමයයි. ‘ප්‍රොමිතියස්’ සඳහා පාදක වූයේ ග්‍රීක මිථ්‍යා කතාවකි. ගින්දර නොමැතිව සීතලෙන් පීඩා විඳි මහපොළොවේ මිනිසුනට ගිනි වරම දීමට ප්‍රොමිතියස් සූර්ය විමනේ ආත්මාර්ථකාමී දෙවිවරුන් පරයා එඩිතර පියවරක් තබයි. එහි ප්‍රතිඵල වශ‍යෙන් ඔහු දෙවිවරුන්ගේ මරණ දඬුවමට ලක් වේ. ජවිපෙය ‘ප්‍රොමිතියස්’ ඔපෙරාවට මූල්‍ය ආයෝජනය කරන්නේ ඉන් ඔවුන්ගේ දේශපාලන භූමිකාවද අවලෝකනය වේ යැයි සිතාය. එහෙත් එය එසේ වේද? ප්‍රොමිතියස් මහපොළොවට ගිනි වරම දීම ඔපෙරාවේ ප්‍රවේශයක් විනා එහි වින්දනාත්මක පක්ෂය නොවේ. එම වින්දනාත්මක පක්ෂය පුළුල් ජීවිතාවලෝකනයක් දෙන්නකි. එහෙත් එ් බවක් සමාජවාදී කලා සංගමයට අවබෝධ වූයේ නැත.

ජවිපෙ මේ තත්ත්වය අද වෙනස් වී ඇද්ද? මා සිතන්නේ නැත. ඔවුන්ගේ නිල සාහිත්‍ය උලෙළ වන ‘දහදිය සිත්තම’ තවමත් පරණ තැනම තිබීමෙන් ඒ බව පැහැදිලි වේ. සාහිත්‍යය, කලාව ‘වාදී’ - සමාජවාදී, මාක්ස්වාදී, ධනවාදී, ලිබරල්වාදී - දේශපාලනයන් හා යන්නේ නැත. සාහිත්‍යය හැම විටම ලිබරල්ය. එය ලිබරල්වාදය තුළද සිර වී නැත. සාහිත්‍යකරුවා, කලාකරුවා ද එලෙසය. ඔහුට ‘වාදී’ පාලනයන් තුළ සිටිය නොහේ. කලාව නිදහස සොයා යන මාධ්‍යයක් නිසාය. එනයින් කලාවට, සාහිත්‍යයට දේශපාලනඥයන් තුළ පැවැත්මක් ඇත්තේ ඔවුන් හැකි තරම් බැඳීම්වලින් බැහැර වන තරමටය. බැමි කඩන තරමටය. සරච්චන්ද්‍ර චරිතය අද බොහෝ දෙනා විසින් හඳුන්වා දෙනු ලබනුයේ ඔහු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු ලෙසය. එහෙත් සැබැවින්ම ඔහු එක්සත් ජාතික පාක්ෂකයකු බව සඳහන් කළේ ‘60 දශකයේ ඔහුගේ ‘පේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයේ ගායන වෘන්දයේ සාමාජිකයකු හා සමීප සරච්චන්ද්‍ර ගෝලයකු වන ඒ.එම්.පී. පාදෙණිය මහතාය. (ඔහු එසේ කීවේ වරක් ඔහු සමඟ මා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීය.) එහෙත් එදා - 40 දශකයේ - මෙරට පැවතියේ කොමියුනිස්ට් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය පමණක් බවත්, එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නොපැවති බවත් ඔහු එහිදී විස්තර කළේය. කෙසේ වුව එය ඉතා සාධාරණය. කිසිදු සමාජවාදී, මාක්ස්වාදී, කොමියුනිස්ට්වාදී පාලනයක් තුළ ලේඛකයකුට, කලාකරුවකුට ජීවිතයක් නැත. කලාවට, සාහිත්‍යයට ඉඩක් ඇත්තේ ජීවිතය ඇති තැනය. ජීවිතය නිදහසේ බුක්ති විඳින තැනය. ඒ ජීවිතය බුක්ති නොවිඳින කිසිවෙකු සාහිත්‍යය, කලාව ගැන කථා කිරීමත්, ඊට අනුග්‍රාහ දැක්වීමත් අර්ථ ශූන්‍යය.

මාතෘකා