සෝමලතා සුබසිංහ නාට්‍ය උලෙළ දෙසැ. 7, 8 සහ 9 දිනවල

 ඡායාරූපය:

සෝමලතා සුබසිංහ නාට්‍ය උලෙළ දෙසැ. 7, 8 සහ 9 දිනවල

සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් ඉදිරිපත් කරන පොඩිත්තන් සඳහා වන වාර්ෂික ළමා නාට්‍ය උළෙල මෙම දෙසැම්බර් 7, 8 සහ 9 දක්වා ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වේ.

මෙවර උළෙල සඳහා නාට්‍ය තුනක් කරළිගත වන අතර සෝමලතා සුබසිංහ විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද ‘රත්මලී’ සහ ‘තොප්පි වෙළෙන්දා’ දෙසැම්බර් 7 සවස 3.30 සහ 7.00 දර්ශන ලෙසද, චන්දන අලුත්ගේ අධ්‍යක්ෂණය කළ ‘වලස් පවුල’ දෙසැම්බර් 8 සහ 9 යන දෙදින සවස 3.30 සහ7.00 දර්ශන ලෙසද පැවැත්වේ.


විමලසිරි අගලකඩගේ ‘නිහඬ ඉසිවරයාණෝ’ 11දා එළිදකී

ප්‍රවීණ මාධ්‍යවේදී විමලසිරි අගලකඩ ලියූ අලුත්ම ග්‍රන්ථය ‘නිහඬ ඉසිවරයාණෝ’ මෙම දෙසැම්බර් 11 වෙනිදා උදේ 10ට කොළඹ මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සමාගමේදී දොරට වඩී.

මේ කෘතිය ප්‍රබන්ධයක් හෝ චරිතාපදානයක් නොව එක් පුද්ගලයකු වටා ගෙතුණු සිදුවීම් සමුදායකි. ඔහු දැහැමි, සද්ගුණවත්, භාවනානුයෝගීව කල් ගෙවන සමාජශීලී පුද්ගලයෙකි. ඔහුගේ අරමුණ කුමක්දැයි අප දන්නේ නැත. එහෙත් අරමුණ පිරිසිදුය. එක්තරා ගමක වැසියෝ දෙවියකු මෙන් ඔහු අදහන්නේ ඒ නිසා බව විමලසිරි අගලකඩ පවසයි.


මහානාම දුනුමාලගේ ‘පටිබිම්බ’ නවකතාව නිකුත් වේ

ප්‍රවීණ ලේඛක මහානාම දුනුමාලගේ අලුත්ම නවකතාව ‘පටිබිම්බ’ ෆාස්ට් පබ්ලිෂින් ප්‍රකාශනයක් ලෙස පසුගියදා එළිදැක්විණි. මෙය ඔහුගේ හතරවන නවකතාව වන අතර එය ගෙවුණු විසිවන සියවසේ වැඩි කාලයක් (ක්‍රි.පූ. 1902 සිට 1983 දක්වා) පසුබිම් කරගනී. පරම්පරා තුනක් නියෝජනය කරන චරිත කීපයක් ඇසුරින් තත්කාලීන වැදගත් සමාජ සංසිද්ධීන් හා සමාජ හැසිරීම නිරූපණය කරන්නට කතුවරයා වෑයම් කරයි. මෙහි මිල රු. 400කි.

 

මාතෘකා