මට කාලය යන්නෙ ලියන්න නෙවෙයි, කතාව මනසින් ගොඩනඟන්නයි

 ඡායාරූපය:

මට කාලය යන්නෙ ලියන්න නෙවෙයි, කතාව මනසින් ගොඩනඟන්නයි

ප්‍රවීණ ලේඛක කේ. ජයතිලක

විශ්ව සාහිත්යික පොත්පත් කියවද්දි ඒ මාර්ගයෙන් කතාවක් ලියන්න මගේ සිතේ කිසියම් කිතිකැවීමක් ඇති වෙනවා. මා අතින් කතාවක් ලියවෙන්න එයයි මට ඇත්තටම බලපෑවේ. මොකද එවැනි උත්තේජනයක් සිතට ආවාම එයින් ලේඛකයාට මිදෙන්න බැහැ. එවැනි කිතිකැවීමකින් පසු මා වටා ඇති අත්දැකීම්වලින් කතාවක් ලියන්න මට නිතර සිතෙනවා. එහිදී සමහර විට මා අතින් ඒ මොහොතේම කතාව ලියවෙනවා. සමහර විට මාස හය හතක් හිතේ තෙරපි තෙරපි ඉඳලා එය ලියවෙනවා. තවත් සමහර විට අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් කතාව සිතේ ගොඩනැඟිලා ලියවෙනවා. මගේ මුල්ම නවකතාව ‘පරාජිතයෝ’. එය ලියවෙන්න කලින් අවුරුදු දෙක තුනක් මම ඒ අත්දැකීම් එක්ක ජීවත් වුණා.

සාමාන්‍යයෙන් මට කාලය යන්නෙ කතාවක් ලියන්න නෙවෙයි, කතාව මානසිකව ගොඩනඟන්නයි. එහිදී බොහෝ විට මම කතාවේ පිටපත් තුනක් ලියනවා.

මං ලියන්නෙ එකම පෑනකින්. ඒ පෑන අතට බරට හසුවන පෑනක් වෙන්න ඕන. ඒ නිසා මම ඉස්සර තීන්ත පුරවන පාකර් පෑනක් පාවිච්චි කළා. දැන් මම ඒ වෙනුවට බෝල්පොයින්ට් පාකර් පෑනක් පාවිච්චි කරනවා. ඒක තීන්ත ඉවර වුණාම කූරු මාරු කරන පෑනක්. සැහැල්ලු පෑන්වලින් මට ලියන්නම බෑ.

මම ලියන්නෙ සිතට දැනුණාම විතරයි. ඒ ලියද්දිත් එකදිගටම ලියන්න බෑ, ටික ටික ඉඳ ඉඳයි ලියන්නෙ. මට පැය දෙක තුන එකදිගට ලියන්න බෑ. විශේෂම දේ ඒක නෙවෙයි. අදටත් මට මේ ගෙදර ලියන්න මේසයක් නෑ. ඔහේ හිතුණු තැනක ඉඳන් ලියනවා. වරක් මා ගැන ඒ.ඩී. රංජිත් කුමාර ‘ලියන මේසයක් නැති ලේඛකයා’ කියල පත්තරෙත් දැම්මා. ඒ නිසාම මම ලියන්නෙ බොහෝ විට කාර්යාලයේ ඉඳගෙන. මම ‘චරිත තුනක්’ ලීවෙත් අලුත්කඩේ කාර්යාලයේ (නීතිඥ කාර්යාල සංකීර්ණ පාරේ ඇති ප්‍රදීප ප්‍රකාශකයෝ පොත්හලේ) ඉඳගෙන. මගේ ඔක්කොම වගේ ප්‍රබන්ධ කතා එහි ඉඳගෙන ලියූ ඒවායි.

මට ලියද්දි අවට ශබ්දය බාධාවක් නෙවෙයි. කොච්චර කරච්චලයක් තිබුණත් මම ලියනවා. ඒවගේම කරච්චල් මැද්දෙ මම කියවනවා. සිංදු කැසට් හඬ පවා මට ලියන්න, කියවන්න ප්‍රශ්නයක් නැහැ. එහෙම වෙලා තියෙන්නෙ මම කියවීම, ලිවීම කරද්දි වෙනම ලෝකයක ඉන්න නිසයි.

[එස්. පල්ලියගුරුගේ]

(කතුවරයා අභාවප්‍රාප්ත වීමට පෙර කළ සමුමුඛ සාකච්ඡාවකිනි.)

මාතෘකා