කතාවක් සංස්කරණයෙන් එහි ශෛලිය පවා දියුණු වෙනවා

 ඡායාරූපය:

කතාවක් සංස්කරණයෙන් එහි ශෛලිය පවා දියුණු වෙනවා

තිලක් රංජිත් මද්දුමහේවගේ

දීර්ඝ කාලයක් පුරා සාහිත්‍ය නිර්මාණකරණයෙහි නියැළෙමින් කෙටිකතා රචකයකු ලෙස පිළිගැනීමක් හිමි කරගෙන සිටින ලේඛකයකු වන තිලක් රංජිත් මද්දුමහේවගේ රචනා කළ නවතම කෙටිකතා සංග්‍රහය වන ‘තිරිංග බිඳිලා බුල්ඩෝසරයේ’ සමඟ ‘විදුබිමේ රිදී උල්පත්’ නමැති ගුරු සිසු දින සටහන් කෘතිය සහ ගුරු දිවියේ තිස්දෙවසරක මතක ඇතුළත් ‘තක්සලා මල් තුහින’ කෘතිය ග්‍රැෆිකෙයා ප්‍රකාශන ලෙස පසුගියදා එළිදැක්විණි. එය නිමිති කරගනිමින්

අප පසුගියදා ඔහු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි, මේ.

ඔබේ නවතම කෙටිකතා සංග්‍රහයේ නිර්මාණ පසුබිම කුමක්ද?

මේ මගේ සිව්වෙනි කෙටිකතා පොතයි. මෙයට කලින් පළ වූ මගේ අනෙක් කෙටිකතා පොත් තුනට වැඩිය මේ කෙටිකතා පොතේදී මම අවධානය යොමු කළේ එකම තේමාවක් යටතේ කෙටිකතා කිහිපයක් නිර්මාණය කරන්නයි. එක්තරා කාලයක ලංකාවේ පැවති භීෂණ සමයත් එක්ක බැඳුණු කෙටිකතා මේ අතර තියෙනවා. මෙයට පෙරත් මේ විදියට එකම තේමාව යටතේ වෙනත් අය රචනා කළ කෙටිකතා කෘති වශයෙන් පළ වුණා. උදාහරණයක් විදියට 1991 දී යසලාල් වන්නිආරච්චි රචනා කළ ‘කපා වෙන් කළ නොහැකි පුවතක්’ සහ 1993 දී කමල් පෙරේරා රචනා කළ ‘ත්‍රිකෝණය සහ තවත් කතා’ වැනි කෙටිකතා සංග්‍රහයන් සලකන්න පුළුවන්. ඒ කෙටිකතා කෘතිවලට ඇතුළත් වුණේ වෙනත් තේමාවන් කිසිවක් නැතිව තනිකර භීෂණ සමය පමණක් පාදක කරගෙන රචනා වූ කෙටිකතායි. මට එවැනි කෙටිකතා එකතුවක් කරන්න ඕන කියලා හිතුණේ ඒ වගේ අත්දැකීම් රාශියක් මා සතුවත් තිබුණු නිසයි. පුවත්පත්වලින් මම කියවපු සිද්ධි වගේම එක එක්කෙනා මගෙත් එක්ක කියපු යම් යම් සිද්ධි ගැන විස්තරත් ඒ අතර තිබුණා. මට හිතුණා ඒ විවිධ අත්දැකීම් පාදක කරගනිමින් රචනා කළ කෙටිකතා කිහිපයක් එකතු කරලා කෘතියක් පළ කරන්න ඕන කියලා. ‘තිරිංග බිඳිලා බුල්ඩෝසරයේ’ කියන මේ අලුත්ම කෙටිකතා සංග්‍රහය පළ වුණේ එහි ප්‍රතිඵලයක් විදියටයි.

ඇත්තටම මේ කෙටිකතා සඳහා 88 - 89 භීෂණ සමය වගේම, උතුරේ භීෂණයත් පාදක කරගෙන තියෙනවා. විවිධ මුහුණුවර සහිතව මෙරට ජන සමාජයට බලපෑම් කළ භීෂණයේ බිහිසුණු බව හමුවේ මිනිස් සම්බන්ධතා ක්‍රියාත්මක වූ ආකාරය මේ කෙටිකතාවලින් ඉදිරිපත් වෙනවා. විශේෂයෙන්ම උතුරේ භීෂණය වතුකරයට බලපාන හැටි ගැනත් මේ එක කෙටිකතාවකින් කියැවෙනවා.

 කෙටිකතා රචනා කිරීම සඳහා ඔබට කොපමණ කාලයක් ගත වුණාද?

පසුගිය අවුරුදු හත අටකට වැඩි කාලයක් පුරා ලියැවුණු කෙටිකතා මේ අතර තියෙනවා. මම කෙටිකතාවක් ලියන්න අවුරුද්දක් විතර කාලයක් ගත කරනවා. මම ලියන්නෙ ඉතාම හෙමින්. කෙටිකතාවක් ලියලා අවසන් කළාට පසුව මම නැවත නැවතත් එය පිටපත් කරමින් සංස්කරණය කරනවා. ඒ නිසා පළ කිරීමට සුදුසු තත්ත්වයට එන තුරු කෙටිකතාවක් සකස් කරගන්න මට සැලකිය යුතු තරම් දීර්ඝ කාලයක් අවශ්‍ය වෙනවා. මගේ කෙටිකතා සංග්‍රහයක් පළ වුණාට පසුව ඊළඟ කෙටිකතා සංග්‍රහය පළ වෙන්න අවුරුදු හතක් අටක් පමණ කාලයක් ගත වෙනවා.

අත්දැකීමක් ලැබීම සහ ඒ ඇසුරින් කෙටිකතාවක් රචනා වීම අතර කාල පරාසය කෙබඳුද?

මා සෘජුව ලැබූ අත්දැකීම් කිහිපයකුත් මේ ඇතැම් කෙටිකතාවලට පාදක වෙලා තියෙනවා. අත්දැකීමක් ලැබූ දාම කෙටිකතාවක් ලියැවෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අත්දැකීමකින් එතරම් ඉක්මනින් කෙටිකතා ලියැවෙන්නෙත් නැහැ. ඇතැම් අත්දැකීම ලැබුණාට පසුව කාලයක් තිස්සේ ඒවා මතකයේ රැඳිලා තිබිලා පසු අවස්ථාවලදිත් කෙටිකතා ලියැවෙනවා. මේ අලුත් කෙටිකතා සංග්‍රහයේ තියෙන සමහර අත්දැකීම් ඉතා පැරණි වුණත් ඒවායෙන් කෙටිකතා ලියැවුණේ මෑත කාලයේදීයි. උදාහරණයක් හැටියට මේ පොතේ තියෙන ‘භූමි පුත්‍රයකුගේ ලෝකය’ කියන කෙටිකතාව ගත්තාම ඒක මම 1985 වසරේදී ලැබූ අත්දැකීමක්. එය මා දන්නා එක්තරා ගමක සැබෑ ලෙසම සිදු වූ සත්‍ය සිද්ධියක්. ඒ සිද්ධිය පාදක කරගනිමින් මම මේ කෙටිකතාව ලියන්නෙ අවුරුදු තිස්පහකට විතර පසු කාලයකයි. ඒ වගේ සමහර වෙලාවට අත්දැකීම් හුඟාක් පරණ වෙලා කෙටිකතා ලියැවෙන අවස්ථාත් තියෙනවා.

ඔබට අනුව කෙටිකතාවක් ලියවෙන්නේ කුමන ආකාරයටද?

මම කෙටිකතාවක් ලියද්දි ඒක වරින් වර ටිකෙන් ටික ලියමින් නැවත නැවතත් සකස් කරනවා. ඒ විදියට ලියද්දි එක කෙටිකතාවක් ඇත්තටම දහ පාරක් විතර ලියැවෙනවා. ඒ ලියන්නෙත් සම්පූර්ණ කෙටිකතාව නෙවෙයි. මම මුලින්ම ලියන්නෙ කෙටිකතාවක පේළි කිහිපයක් විතරයි. මුලින්ම පේළි දහයක් විතර ලියලා ඒ ටික පැත්තකින් තියනවා. ඊට දවස් තුන හතරකට විතර පස්සෙ මුල ඉඳලා අර ලියපු ටික කියවනවා. ආයෙත් පේළි දහයක් විතර ලියලා පැත්තකින් තියනවා. ඔහොම දහ පාරක් විතර ලියලා මාස තුන හතරකට සැරයක් සම්පූර්ණ කෙටිකතාවම කියවලා නැවත නැවතත් සකස් කරනවා. ඒ විදියට පිටපත් පහක් හයක් පමණ ප්‍රමාණයක් වරින් වර සකස් කෙරෙනවා. ඒ සකස් කිරීම් සියල්ලෙන් පසුව මම සෑහීමට පත් වුණාම තමයි කෙටිකතාවක් සම්පූර්ණ වුණා කියලා මම සලකන්නෙ.

ලේඛකයකු ලෙස සංස්කරණය ගැන ඔබේ අදහස කුමක්ද?

සංස්කරණය ඉතා වැදගත්. අපි සමහර වෙලාවට පේළි දහයකින් විතර කියපු දේවල් තවත් පේළියක් දෙකක් කැපිලා, කෙටි වෙලා ඒක අර්ථවත් වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. සංස්කරණය හරහා ලියන ශෛලිය පවා වැඩිදියුණු වෙනවා කියලා මම හිතනවා.

මේ අලුත් පොතේ සංස්කරණය ගැන ඔබ තෘප්තිමත්ද?

ඔව්. මෙයට කලින් පළ වූ මගේ කෙටිකතාවලට වඩා මේ කෙටිකතා පූර්ණත්වයට පත් වෙලා තියෙනවා කියලා මම හිතනවා. මේ කතා සියල්ල ගලා යන්නේ එකම තේමාවක් ඔස්සේ වුණත් ආකෘතිමය වශයෙන් එහි යම් යම් වෙනස්කම් කරන්න මම උත්සාහ කළා.

දෙබසක ස්වරූපයෙන් ඉදිරිපත් වන ඉතාම සංක්ෂිප්ත කෙටිකතාවකුත් මේ කෙටිකතා සංග්‍රහයට ඇතුළත්ව තිබෙනවා?

මම මේ ආකෘතිය මුලින්ම දැක්කෙ මීට අවුරුදු තිහකට විතර කලින් ආරියවංශ අබේසේකරගේ කෙටිකතා සංග්‍රහයකට ඇතුළත් වෙලා තිබුණු නිර්මාණයකයි. ඒ කෙටිකතා එකතුව පළ වෙලා තිබුණේ ‘රෑට බතට උන් කොතනද ලගින්නේ?’ නමින්. ඒකෙ අවසාන කෙටිකතාවේ තිබුණේ මේ වගේ දෙබස් ආකෘතියක්. භීෂණ කාලයේදී තරුණයන් මහමඟ ටයර් මත පිළිස්සෙන ආකාරය දැකපු මට පසු කාලයක හිතුණා මේ ආකෘතිය ඔස්සේ මෙවැනි කෙටිකතාවක් ගොඩනඟන්න පුළුවන් කියලා. මෙහි එන ‘අදහස්’ නම් කෙටිකතාව මම නිර්මාණය කළේ ඒ විදියටයි.

කෙටිකතා රචනයේදී ඔබ ආකෘතිය කෙරේ වඩාත් සැලකිලිමත් වන බව පේනවා?

ඔව්. මේ කතා සංග්‍රහයට ඇතුළත් වෙලා තියෙන එක් කතාවකට ජාතක කතා ආකෘතිය යොදාගන්න මා දරා ඇති උත්සාහය එවැන්නක්. කාලයකට ඉහතදී මහාචාර්ය සරච්චන්ද්‍රයන් ජාතික කතා ආකෘතියට කෙටිකතාවක් ලියලා තියෙනවා කියලා මම අහලා තිබුණා. එහෙත් මම ඒ කෙටිකතාව කියවලා තිබුණේ නැහැ. මේ පොතේ තියෙන ‘සෙබළා සහ ධීවරයා’ කියන කෙටිකතාව රචනා කර ඇත්තේ එවැනි ආකෘතියක් ඔස්සේයි. එය රචනා කළේ 88-89 භීෂණ සමය හා සම්බන්ධ අත්දැකීමක් ඔස්සේ, ගෞතම බුදුන් වහන්සේගේ කාලය සහ මෛත්‍රී බුදුන් වහන්සේගේ කාලය යන කාල දෙක අතර පරතරය සැලකිල්ලට අරගෙනයි. අතීත කාලයේ ජීවත් වූ මනුස්සයෙක් අනාගතයේදී නැවතත් උපත ලබනවා කියලා හිතාගෙනයි මම ඒ කෙටිකතාව නිර්මාණය කළේ.

නූතන කෙටිකතාවේදී හමු වන නව රීතීන් සම්බන්ධයෙන් ඔබ කිසියම් අවධානයක් දක්වනවාද?

නූතන කෙටිකතාව හා සම්බන්ධ විවිධ රීතීන් ගැන මම කියවලා තියෙනවා. එවැනි විවිධ රීතීන් ඔස්සේ කෙටිකතා රචනා කරන අපේ ප්‍රවීණ කෙටිකතාකරුවන් වන ටෙනිසන් පෙරේරා, කේ. කේ. සමන් කුමාර සහ සයිමන් නවගත්තේගම වගේ අයගේ වෙනස් ආකාරයේ කෙටිකතා මම කියවලා තියෙනවා. හැබැයි ඒ වගේ රීතීන් අනුගමනය කරන්න මට පුළුවන් වුණේ බොහොම අඩුවෙන්. මෙයට පෙර මම රචනා කරපු ‘සිහින දකින්නා’ කියන කෙටිකතාවෙදි නම් වෙනස් ආකාරයක රීති කිහිපයක් සිහින විදියට අනුගමනය කරන්න මම උත්සාහ කළා. ඒ කොහොම වුණත් බොහෝ වෙලාවට කෙටිකතා රචනයේදී මම අධියථාර්ථය භාවිත කරලා තියෙන්නෙ ඉතාමත්ම අඩුවෙන්.

යථාර්ථවාදී රීතියෙන්ම කෙටිකතා රචනා කිරීමට ඔබ වැඩි කැමැත්තක් දක්වන්නේ විශේෂ හේතුවක් ඇතිවද?

එහෙම විශේෂ හේතුවක් නම් නැහැ. මම ලියන්න ගත් කෙටිකතාව ලියැවෙන ශෛලිය අනුව තමයි මම ලියන්නෙ. කෙටිකතා රචනයේදී විශේෂ උපක්‍රම භාවිත කරන්න මම උත්සාහ කරන්නේ නැහැ. අලුත් කෙටිකතාකරුවන් නම් කෙටිකතාවේ විශාල පෙරළි කරලා තියෙනවා. ඒවා සාර්ථකයි. අපි එක තැනක ඉන්නෙ නැතිව ඉස්සරහට යන්න ඕන කියන ආකල්පය මා තුළත් තියෙනවා.

කෙටිකතාවෙන් නවකතාවට යොමු වීමේ අදහසක් ඔබට තිබෙනවාද?

මම නවකතාවට හෝ කවියට වැඩිය කෙටිකතාවට ළැදියි. දැන් කෙටිකතා ලිව්වා ඇති, නවකතා ලියන්න පටන්ගන්න කියලා බොහෝ අය මට උපදෙස් දීලා තියෙනවා. ඉතින් ඉදිරියේදී නවකතා වෙත යොමු වීමේ අදහසක් මා තුළත් තියෙනවා.

කෙටිකතාව සහ නවකතාව යන මාධ්‍ය දෙක අතර ඇති වෙනස ඔබ දකින්නේ කුමන ආකාරයටද?

නවකතාවකට වැඩිය කෙටිකතාවක් නිර්මාණය කිරීම අමාරුයි කියලයි මම හිතන්නෙ. මගේ එක පොතක මම එහෙම අදහසක් කියලාත් තියෙනවා. ටෙනිසන් පෙරේරාගේ ‘වෛර්ණ’ කියන කෙටිකතා සංග්‍රහය කියෙව්වාම මට හිතුණෙ ඒ කතා සංග්‍රහයේ තියෙන කෙටිකතා එක පියකුට දාව, මනාව හැදුණු දරුවන් කැලක් වගෙයි කියලායි. මේ අදහසම ‘වැලපෙන විලෝ’ නමින් කෙටිකතා සංග්‍රහයක් රචනා කළ රෝහිත මුණසිංහත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කෙටිකතා සංග්‍රහය රචනා කරද්දි එක පියකුට දාව දරුවන් රැසක් බිහි වෙනවා වගේ හැඟීමක් තමන්ට ඇති වුණා කියලා ඔහු කියලා තියෙනවා. නවකතාවකින් ලබනවාට වඩා රසයක්, අත්දැකීම් සමූහයක් සහ අවබෝධයක් කෙටිකතා සංග්‍රහයක් කියවීමෙන් ලබාගන්න පුළුවන්.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා